ලෝකයේ කාර්යබහුලම සමුද්‍ර මාර්ගයක පිහිටි කොළඹ වරායේ ජයබහාලුම් තෙල් බැංකු පර්යන්තය (JCT Oil Bank) වත්කමක් සේ සලකා කලාපීය නැව්වලට තෙල් ලබා දීමේ බංකර් මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමෙන් වසර 2030 වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන පහක ආදායමක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බව රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පීඨයේ (Faculty of Engineering University of Ruhuna) ආචාර්ය ප්‍රභාත් වීරසිංහ ප්‍රකාශ කළේය.
කාලයක් තිස්සේ රජය සතු සම්පත් නිසි ප්‍රයෝජනයක් නොගෙන ආර්ථික වශයෙන් නැගී සිටීමට යොදා නොගැනීම වරදක් බව සඳහන් කළ ආචාර්යවරයා, මතු පරපුරේ දියුණුව අපේක්ෂාවෙන් වර්තමාන රජය හෝ මෙවැනි සම්පත් නිසිලෙස යොදා ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
කාර්යබහුල කොළඹ වරායට යාබදව පිහිටි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ජයබහාලුම් තෙල් ටැංකි පර්යන්තය වැඩි දියුණු කිරීම සඳහා ලොව පිළිගත් නව ආයෝජන කැඳවමින් සහ පවතින ආයෝජන පුළුල් කරමින් ඉඩප්‍රස්ථා ලබාදුනහොත් එය සමුද්‍ර කේන්ද්‍රීය ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුවේ සංධිස්ථානයක් වන බව ද ඔහු කීය.
වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබෙන සහ ඌන උපයෝජිත වත්කමක් වන මෙම ශ්‍රී ලංකාව සතු විශාල ආර්ථික දියුණුවට උදව් වන අංශයක් බව සඳහන් කරන ආචාර්යවරයා වසර 2030 දක්වා මෙම වත්කම් යොදා ගනිමින් රජය ක්‍රියාත්මක කළ යුතු තිරසර වැඩපිළිවෙළක් යෝජනා කරන බව ද කියයි.
කෙටිකාලීන (2024-2026) - ගබඩා ධාරිතාව ක්ෂණිව පුළුල් කිරීම සහ ඉන්ධන පිරවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම.
මධ්‍ය කාලීන (2026 – 2028) - බාධාවකින් තොරව මෙහෙයුම් සඳහා උසස් තාක්ෂණයන් සහ ඩිජිටල් පද්ධති අනුගමනය කිරීම.
දිගුකාලීන (2028 – 2030) - තිරසර ඉන්ධන යටිතල පහසුකම් ඒකාබද්ධ කිරීම සහ ගෝලීය හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම.
ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකය. ජය බහාලුම් තෙල් බැංකු පර්යන්තය යටිතල පහසුකම් කොටසක් පමණක් නොවේ. එය ඩොලර් බිලියන ගණනක ආර්ථික අවස්ථාවක් නියෝජනය කරයි. ප්‍රතිපත්තිමය දිශානතිය, උපායමාර්ගික සහ තිරසාර භාවිතයන්හි නිවැරදි මිශ්‍රණය සමඟින්, ශ්‍රී ලංකාවට ඉන්දියන් සාගරයේ ප්‍රමුඛතම බංකර මධ්‍යස්ථානයක් ලෙස නැවත ස්ථාපිත කළ හැකිය.
පර්යන්තයේ පුනර්ජීවනය සහ පුළුල් කිරීම සඳහා රජය ප්‍රමුඛත්වය දෙන්නේ නම්, 2030 වනවිට රටට ඩොලර් බිලියන 5ක වාර්ෂික ආදායම් මාර්ගයක් විවෘත කළ හැකි අතර, විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරයක් ඇති කර ගත හැකි බව ද ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේය.




(සටහන | ජේ. මුණසිංහ)



