ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවය.
"පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා...මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්."
"මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා."
ජනපතිවරයා ආර්ථික සමුළුව අමතමින් තවදුරටත් මෙසේද පැවසිය.
* මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල ඉදිරි අයවැයෙන් වෙන් කරනවා
* ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක්
* ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි
* කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර ගමට ගෙන යා යුතුයි
* අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමට සැලසුම්
* පුද්ගලයන් ඉලක්ක කර ආධාර ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් ඇති කරනවා
* වතු සේවකයින්ට දෛනිකව රු 1700ක් ලබාදීමට අසමත් සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි
මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.




