අදානි සමාගම ව්‍යාපෘතිය අත්හැරීමට ප්‍රධාන හේතුව වූයේ, විදුලි ඒකකයේ මිල ගණන යැයි ද මෙසේ අවම මිලකට ඒකකයක් ඉල්ලීමේ පසුබිම ගැන ජනපතිගේ ඉන්දීය සංචාරයේදී එරට නායකයන්ට පවා කරුණු පැහැදිලි කර තිබුණේ යැයි ද ඇමතිවරයා අවධාරණය කළේ ය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අදානි ව්‍යාපෘතිය අහෝසි කිරීමකට කිසිසේත් උත්සාහ නොකළ බවත් හැතිකරම් උත්සාහ කළේ විදුලි ඒකකයකට අදානි සමාගම ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් සත 8.25ක මිල පහළ අගයකට ගෙන ඒම බවත් ය.
දේශීය හෝ විදේශීය ආයෝජකයකුගෙන් අපේක්ෂා කරන්නේ සාධාරණ මිලකට සේවා ලබා ගැනීම යැයි ද අඩු ම තරමින් අදානි සමාගම ඉන්දියාවේදී ඉදිරිපත් කළ මිල ගණන්වලට හෝ ඒකකයක් ලබා ගැනීමට අවසන් වශයෙන් ආණ්ඩුව උත්සාහ කළේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
නව ආණ්ඩුව පැමිණීමෙන් පසු ආයෝජකයෙකු ව්‍යාපෘතිය හැර ගිය බවට නිර්මාණය කරන අදහස් සත්‍යයෙන් තොර බවත් ඒ සඳහා අඩු මිලට සමාගමක් ඉදිරිපත්ව ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
අදානි ව්‍යාපෘතිය ගැන ජනාධිපති අයවැය කතාවේදී කියපු කතාව
ජනාධිපති අනුර කුමාර දිසානායක ද පසුගිය 17 දා මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්විය. ඒ, 2025 අයවැය ඉදිරිපත් කරන අතරතුරයි.
ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ, පුනර්ජනනීය බලශක්තිය භාවිතය බලශක්ති ක්ෂේත්‍රය නංවාලීම සඳහා අත්‍යවශ්‍ය වුවත්, සුළං බලාගාර ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීම සාධාරණ නොවන බවයි.
ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ, මෙගා වොට් 50ක සුළං විදුලි බලාගාරයකින් ඒකකයක් මිලදී ගන්නා අඩුම මිල වන ඇමරිකානු ඩොලර් ශත 4.65 මිලකට ගිවිසුම් ගත වූ බවයි. එය ඉතිහාසයේ ප්‍රථම වතාවක් බව ද ඔහු සඳහන් කළේය.
රජය අඛණ්ඩව බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා කටයුතු කරන අතර, අවම පිරිවැයකින් යුත් බලශක්ති ආයෝජන සඳහා අවස්ථාව ලබා දෙන බව ඔහු එහිදී අවධාරණය කළේය.
රට හෝ සමාගම කුමක් වුවත් එය වැදගත් නොවන බව ද ඔහු පැවසීය.
ඇමරිකානු ඩොලර් ශත 8.26 කට සුළං විදුලි ඒකකයක් මිලදී ගැනීමට තිබූ සූදානම ගැන ජනාධිපතිවරයා සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉන්දිය රජයේ ඉල්ලීම මත මෙරටට පැමිණි ඉන්දියානු අදානි සමාගමේ ඩොලර් බිලියන 1 ක ආයෝජනයක් ගැනය. එම ආයෝජනය මගින් මෙගා වොට් 50 ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතව තිබුණි.
කෙසේ වුවත්, අදානි සමාගම මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය දා පැවසුවේ නිවේදනයක් නිකුත් කරමිනි.
ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයක් වූ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් රජය විසින් නැවත වතාවක් සලකා බැලීම සඳහා කමිටු පත් කරනු ලැබීම මුල් කරගෙන එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි සමාගම සිය ලිපියෙහි සඳහන් කර තිබිණි.
සාම්පූර් සූර්ය බලාගාරය සඳහා අප්‍රේල් මසදී මුල්ගල් තැබේ
ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 50ක (අදියර I) සහ මෙගාවොට් 70ක (අදියර II) සූර්ය බලාගාර ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් එකඟතාවකට පැමිණ ඇත.
මේ අතර, ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 50ක (අදියර I) සහ මෙගාවොට් 70ක (අදියර II) සූර්ය බලාගාර ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් එකඟතාවකට පැමිණ ඇත.
රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ව්‍යාපෘතියක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගම විසින් ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මෙය සිදුවේ.
ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව විසින් හවුල් ව්‍යාපාර සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද ට්‍රින්කොමාලි පවර් කම්පැනි ලිමිටඩ් මගින් යෝජිත මෙගාවොට් 50ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.
(mawbima | Bingun Menaka Gamage)



