ඒ අනුව එම ක්ෂේත්‍රයේ දියුණුව හරහා මේ වසර තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලී සිටින කොළඹින් දුර බැහැර ඈත පළාත්වල සුළු හා මධ්‍යපරිමාණ පතල්කරුවන්, සුළු මැණික් ව්‍යාපාරිකයින් සහ මැණික් ගැනුම්කරුවන් එකම වහලක් යටට කැන්දන මෙවැනි මැණික් පොළවල් පැවැත්වීම ඇතුලු වැඩසටහන් ගණනාවක් සංවිධානය කොට ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මැණික් විද්‍යාඥ ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමැතිවරයා ලෙස 79වෙනි අය වැය ඉදිරිපත් කරමින් යෝජනා කළ 2025/2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම වැඩිකර ගැනීමේ අමුණින් මැණික් ක්ෂේත්‍රයේ නියලෙන්නන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මැණික් පොළ පැවැත්වීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කොට ඇතැයිද බුත්පිටිය කීය.
ලංකා මැණික් පතල්කරුවන්ගේ සුබ සාධක සංගමය සහ සිංහ ඔක්ෂන් සමාගම 04වෙනි වතාවට සංවිධානය කරන මැණික් පොළ මෙවර පැවති අතර මෙහිදී ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මීට එක්වීමට දෙස් විදෙස් ගැණුම් සහ විකුණුම් කරුවන්ට අවස්ථාව උදා කර දුන් බවද ඔහු සඳහන් කළේය.
ලෝකයේ රටවල් ගණනාවක් තිබුණද ඉතා මිල අධික අලංකාර මැණික් හමුවනුයේ ප්‍රධාන වශයෙන් රටවල් නමයකිනි. ඒ අතර ශ්‍රී ලංකාවෙන් හමුවන නිල් මැණික් වලට ඉහළ ඉල්ලුමක් පවතී. නිල් මැණික්වලට අමතරව මෙරටින් හමුවන සියලු මැණික් පිළිබඳව, විකුණුම්කරුවන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස්කර තොරතුරු එක්රැස් කර ගැනීමටද අනාගතයේදී එය භාවිතා කොට මැණික් වෙළෙඳාම දියුණු කිරීමටද කටයුතු කළ යුතුව ඇතැයි ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය ප්‍රකාශ කළේය.
(සටහන | ජේ.මුණසිංහ)






