රඳවාගෙන සිටින වාහන වලට අදාල ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනයක් මේ මස 24 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් පමණ ඊයේ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම්දීම සිදුකළේය.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින්ගේ වාහන රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව සඳහන් කළේය.
මෙම කරුණට අදාලව ගැසට් නිවේදන දෙකක් පවතින බවත් එම ගැසට් නිවේදන වලට අනුව අදාළ වාහන රේගු විසින් රඳවා ගැනීම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙන්වා දුන්නේය.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කරන ලද වාහන 800 ක් 900 ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබෙන බව සඳහන් කළේය.
එම වාහන අතුරින් 90 ක් හෝ 100 ක් සම්බන්ධයෙන් මෙම අධිකරණය හමුවේ නඩු පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම වාහනවලට අදාල අධිභාර සහ රේගු ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනයක් මේ මස 24 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු බොහෝ දෙනකු අධිකරණයට දැනුම් දුන්නේ එම ගැසට් නිවේදන නිකුත් වීමෙන් පසුව සිය පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අදාල පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව අදාල පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 12 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළහ.
රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට සූදානම් බවට ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
එම කොන්දේසියට යටත්ව මේසේ රදවාගෙන සිටි එක් වාහනයක් මුදා හැරීමට ද අධිකරණය හමුවේ අද එකගතාවයක් ඇතිවිය.
(aruna | කේ.එස්. උදය කුමාර)




