ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් ලබන 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආර්ථික දැක්මට සහය වීම සඳහා රජයේ ඉල්ලීම මත සීමිත කාලයකට මෙම වගකීම භාරගත් ඔහු, පෞද්ගලික අංශයේ ප්‍රබල අත්දැකීම් සහ වෘත්තීය සුදුසුකම් සහිතව මෙම ධුරයට එක්විය.
දශක තුනකට අධික කාලයක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දැරූ හේරත්, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් විශාල වෘත්තීය ගෞරවයක් දිනා සිටි පුද්ගලයෙකි.
ඔහුගේ මෙම නික්මයාම පිළිබඳ කතාබහ කොළඹ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පසුගිය සති කිහිපය පුරාම දෝලනය වූ අතර, බලධාරීන් ඔහුට තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙස ඉල්ලීම් කළ ද ඔහු සිය ඉල්ලා අස්වීමේ තීරණය ස්ථාවරව පවත්වාගෙන ගොස් ඇත.
විපක්ෂයේ දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට
අර්ජුන හේරත් ගේ නායකත්වය යටතේ පැවති ආයෝජන මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ විපක්ෂයේ දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර, විශේෂයෙන්ම දත්තවල නිරවද්‍යතාව සහ රට තුළට සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමේ මන්දගාමීත්වය එහිදී ප්‍රධාන විය.
ශ්‍රී ලංකාව වැනි ආර්ථික අර්බුදයකින් මිදෙමින් පවතින රටකට සෘජු විදේශ ආයෝජන යනු හුදෙක් මුදල් ප්‍රවාහයක් පමණක් නොව, එය සමස්ත ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම ලෙස සැලකේ. රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත්, දේශීය කර්මාන්ත කරා නවීන තාක්ෂණය හා කළමනාකරණ කුසලතා ගලා ඒමටත් සෘජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන්ම රජය අපේක්ෂා කරන අපනයන මත පදනම් වූ ආර්ථිකයක් කරා යන ගමනේදී විදේශ ආයෝජන මගින් ලැබෙන ගෝලීය වෙළෙඳපොළ සබඳතා තීරණාත්මක සාධකයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රටේ ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳව යම් දෙගිඩියාවක් !
එබැවින්, අර්ජුන හේරත් වැනි ප්‍රබල වෘත්තීයවේදියෙකු ආයෝජන මණ්ඩලයෙන් සමුගැනීම, රටේ ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳව යම් දෙගිඩියාවක් ඇති කිරීමට ඉඩ පවතින බව ව්‍යාපාරික ප්‍රජාව අතර මතයක් පවතී.
රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ ආයෝජන හිතකාමී පරිසරය විදේශීන්ට ඒත්තු ගැන්වීමට නම්, ආයෝජන මණ්ඩලය වැනි ආයතන සතු දත්තවල විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය ඉහළ මට්ටමක පැවතිය යුතුය. දේශපාලන විවේචන හමුවේ වුවද, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ වේගවත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම මීළඟට පත්වන නායකත්වය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වනු ඇත.




