ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, දිගුකාලීන ආයෝජන අවස්ථා සහ රට කෙරෙහි ඇති ජාත්‍යන්තර විශ්වාසය පිළිබඳ ප්‍රබල පණිවුඩයක් ලොවට ලබා දෙමින් 'කොළඹ වරාය නගර විශේෂ ආයෝජක සමුළුව' (Exclusive Port City Colombo Investor Forum) 2026 ජනවාරි 27 වන දින සිංගප්පූරුවේ ෂැංග්‍රිලා (Shangri-La) හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.

දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, ආයෝජන සහ වත්කම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ කලාපීය ව්‍යාපාරික නායකයින් 100කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
සමුළුව සමාරම්භ කරමින් අදහස් දැක්වූ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක අවධාරණය කළේ සිංගප්පූරුව ඇතුළු කලාපීය හවුල්කරුවන් සමඟ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෝලීය වෙළඳපොළ සමඟ වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වීමට ශ්‍රී ලංකාව සතු සූදානම කොළඹ වරාය නගරය මඟින් මැනවින් නිරූපණය වන බව ද ඔහු සඳහන් කළේය.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රී ලංකාව යනු "යථා තත්ත්වයට පත්වීමේ කතාවක් නොව, පරිවර්තනය වීමේ කතාවක්" (not a recovery story, but a transformation story) බවයි. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ශීඝ්‍ර දියුණුව, ස්ථාවර උද්ධමනය, නව ආර්ථික වර්ධනය සහ ශක්තිමත් විදේශ සංචිත පිළිබඳව කරුණු පැහැදිලි කළ ඔහු, ජාත්‍යන්තර ආයතන පවා ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික පුනර්ජීවනය මෑත ඉතිහාසයේ වේගවත්ම එකක් ලෙස පිළිගෙන ඇති බව පෙන්වා දුන්නේය.
ස්වාධීන මධ්‍යම බැංකුවක් පිහිටුවීම, රාජ්‍ය මූල්‍ය හා ණය කළමනාකරණ නීති ශක්තිමත් කිරීම සහ විනිවිදභාවයෙන් යුත් නීති මත පදනම් වූ ආර්ථික රාමුවක් හරහා ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපති විශේෂ නියෝජිතවරයා මෙහිදී කරුණු දැක්වීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ (CPCEC) සභාපති හර්ෂ අමරසේකර, 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති ස්වාධීන පාලන රාමුව පිළිබඳව විස්තර කරමින්, මෙය ආයෝජකයින්ට උපරිම ආරක්ෂාව සහ පැහැදිලි සහන සලසන ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු සේවා විශේෂ ආර්ථික කලාපය බව පැහැදිලි කළේය.
CPCEC හි අධ්‍යක්ෂ ජනරාල් රෙවාන් වික්‍රමසූරිය විසින් ආයෝජන ක්‍රියාවලිය, උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා ලබාදෙන දිගුකාලීන බදු සහන, නම් කරන ලද විදේශ මුදල් 16 කින් ගනුදෙනු කිරීමේ හැකියාව සහ ආයෝජකයින් සඳහා වන 'හරිත මාවත' (Green Channel) වීසා පහසුකම් පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, KPMG ශ්‍රී ලංකා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ ස්වාධීන විශ්ලේෂණයක් ද ඉදිරිපත් කරන ලදී. Ansell සහ Millennium IT ESP යන ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ තම සාර්ථක අත්දැකීම් බෙදා ගත් අතර, CHEC Port City Colombo (Pvt) Ltd හි සහකාර කළමනාකාර අධ්‍යක්ෂ බායි ෂියාපින් මෙනවිය පවසා සිටියේ ව්‍යාපාරවලට තම කලාපීය මූලස්ථාන පිහිටුවීමට සහ ඉන්දියන් සාගර ආර්ථිකය සමඟ බද්ධ වීමට කොළඹ වරාය නගරය කදිම පරිසර පද්ධතියක් බවයි.





