ජර්මානු ඩොලර් ලංකාවට එවන්න බර්ලින් නුවර සූදානම්: හැබැයි ‘සෙල්ලම් බෑ’
කොළඹ ජර්මානු ව්‍යාපාරික සංසදයේදී ආණ්ඩුවට කොන්දේසි මාලාවක්!
ලෝක බලවතුන්ගේ ඉන්දු-පැසිෆික් (Indo-Pacific) භූ-දේශපාලනික සටන මැද, ශ්‍රී ලංකාව කෙරෙහි යුරෝපයේ බලවතා වන ජර්මනියේ දැඩි අවධානය යොමුව තිබේ.
"විශ්වසනීය හවුල්කාරිත්වයන් ගොඩනැගීම" යන තේමාව යටතේ කොළඹදී පැවැත්වුණු "ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාරික සංසදය 2026" (Sri Lankan-German Business Forum) මේ සඳහා කදිම නිදසුනකි.
එහෙත්, රාජ්‍යතාන්ත්‍රික සිනහවන් සහ වැදගත් සාකච්ඡාවලින් ඔබ්බට යමින් ජර්මානු නියෝජිතයන් නව රජයට ලබාදී ඇත්තේ ඉතා පැහැදිලි සහ දැඩි පණිවිඩයකි. ඒ, ලංකාවට ජර්මානු ආයෝජන අවශ්‍ය නම්, රටේ පවතින සාම්ප්‍රදායික නිලධාරීවාදය, දූෂණය සහ ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය වහාම අවසන් කළ යුතු බවයි.
උපායමාර්ගික පිහිටීම සහ ඩොලර් අවස්ථාව
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ ජර්මානු සමාගම් මේ වන විට විශ්වසනීය ජාත්‍යන්තර හවුල්කරුවන් සොයමින් සිටින බවයි.
ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික මාර්ග මධ්‍යයේ පිහිටා තිබීම නිසා නැගෙනහිර සහ බටහිර වෙළඳාම සම්බන්ධ කිරීමේ සුවිශේෂී උපායමාර්ගික වාසියක් ලංකාව සතුය.
බහුජාතික සමාගම් සිය සැපයුම් දාමයන් (Supply Chains) එක් රටකට පමණක් සීමා නොකර විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන මේ මොහොතේ, ලංකාවට ඉන් විශාල ප්‍රයෝජනයක් ගත හැකි බව තානාපතිවරයා කීවේය. විශේෂයෙන්ම සමුද්‍රීය සේවා, ලොජිස්ටික්ස්, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල ජර්මානු ආයෝජන සඳහා ඉහළ විභවයක් පවතී.
බර්ලින් නුවර බලාපොරොත්තු වන ‘වැඩ’
නමුත් මේ සියලු අවස්ථාවන් දිනාගත හැක්කේ ලංකාව ඇතුළේ කෙරෙන ප්‍රතිසංස්කරණ මත පමණක් බව ජර්මානු වාණිජ මණ්ඩලයේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ද අවධාරණය කළේය.
1959 සිටම ලංකාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට (German Tech) ජර්මනිය උදව් කළේ දක්ෂ ශ්‍රමිකයන් බිහි කිරීමටය. එහෙත් ආයෝජකයෙකු පැමිණි විට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ප්‍රමාදයන් සහ ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති වෙනස් වීම් (Policy Inconsistency) සිදුවේ නම් ඔවුන් ලංකාව මඟහැර යනු ඇත.
මාලිමාවේ ආණ්ඩුව වේදිකාවල කියන ‘යහපාලනය’ සහ ‘විනිවිදභාවය’ හුදු දේශපාලන කතා නොවන බව ජාත්‍යන්තර ආයෝජකයන්ට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට කාලය එළඹ ඇත.
(සටහන | සම්පත් ධීරසේකර)




