ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ඇතුළු මෙරට බලධාරීන් සහ ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) සභාපති කිෂි ටකාෂි (Kishi Takashi) ඇතුළු නියෝජිතයන් අතර පැවැති මෙම සාකච්ඡාව හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එහා ගිය, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන තීරණය කරන තීරණාත්මක එකක් විය.
රාජ්‍ය තාන්ත්‍රික සිනහවෙන් ඔබ්බට ගිය ‘බිස්නස්’ යථාර්ථය

සාමාන්‍යයෙන් මෙවැනි ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් වන්නේ එකිනෙකාට ස්තූති කරගනිමින්, සමූහ ඡායාරූපවලට පෙනී සිටිමිනි. නමුත් මෙවර ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික පරිසරය පිළිබඳ කමිටු රැස්වීම ඊට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත්තේය. එහිදී ‘රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර’ වලට වඩා ඉස්මතු වූයේ ‘ව්‍යාපාරික ප්‍රායෝගිකත්වයයි’.
මෙරට ආයෝජනය කර ඇති ජපන් සමාගම් මුහුණ දෙන ගැටලු, ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයක් නොමැතිකම සහ ව්‍යුහාත්මක බාධාවන් පිළිබඳව මෙහිදී ඉතා විවෘතව සහ දැඩිව සාකච්ඡා වී තිබේ. ගෝලීය ආයෝජකයන් වෙළෙඳපොළ විභවයට වඩා රෙගුලාසිවල පවතින විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව (Regulatory predictability) සොයන යුගයක, ලංකාවට තවමත් එම විශ්වාසය පූර්ණ වශයෙන් තහවුරු කිරීමට නොහැකි වී ඇති බව මෙම සාකච්ඡාවෙන් වක්‍රව පැහැදිලි වේ.
"පොරොන්දු ලැයිස්තුව දිගයි; වැඩ සිද්ධ වෙනවාද?" - ජපන් නියෝජිතයාගෙන් ප්‍රශ්නයක්!
රැස්වීම අමතමින් ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (JCCI-SL) සභාපති කිෂි ටකාෂි කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා රජයේ ආයතන දක්වන සහයෝගය අගය කරන අතරම, ඔහු රාජ්‍ය තාන්ත්‍රිකව නමුත් ඉතා සෘජුව අවධාරණය කළේ "ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැඟෙන්නේ සාකච්ඡා පැවැත්වීමෙන් පමණක් නොව, එහිදී මතු කරන ගැටලුවලට නියමිත වේලාවට (Timely resolution) විසඳුම් ලැබීමෙන්" බවයි.
මෙය ලංකාවේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයට එල්ල කළ ‘නිහඬ’ නමුත් ‘බරපතළ’ අනතුරු ඇඟවීමකි. ජපානය වැනි නිරවද්‍යතාව සහ වගවීම (Precision and follow-through) අකුරටම සුරකින රටක ව්‍යාපාරිකයන්, ලංකාවේ පවතින ‘හෙට බලමු’ දේශපාලන හා පරිපාලන සංස්කෘතිය ගැන සෑහීමකට පත් නොවන බව මෙයින් පැහැදිලි වේ.
"ජපන් සමාගම් ආයෝජනය කරන්නේ කෙටි කාලීන ලාභයට වඩා ස්ථාවරත්වය සහ ගුණාත්මකභාවය මතයි. ඔවුන් තවමත් ලංකාව සමඟ සාකච්ඡා මේසයේ ඉඳගෙන සිටීමම ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි තැබූ විශ්වාසයකි. නමුත් එය සදාකාලික බලපත්‍රයක් නොවේ."
BOI සභාපතිගේ ‘උපායමාර්ගික’ පිළිගැනීම සහ වගවීමේ අභියෝගය

ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද මෙහිදී යථාර්ථය වටහාගෙන ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ප්‍රකාශ කළේ ජපන් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පවත්වන මෙම අඛණ්ඩ සංවාදය ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවශ්‍යතාවක් බවයි. දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරග කරමින් සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට නම්, ආයෝජකයන්ගේ ‘රිදුම් ලක්ෂ්‍ය’ (Investor pain points) වහාම සුව කළ යුතු බව ඔහු පිළිගත්තේය.
මෙම කමිටුවේ ඇති සුවිශේෂීත්වය වන්නේ එහි ඇති ‘වගවීමේ යාන්ත්‍රණයයි’ (Accountability mechanism). සෑම රැස්වීමක්ම ආරම්භ වන්නේ පෙර රැස්වීමේදී පොරොන්දු වූ දේවල් ඉටු කර තිබේද නැද්ද යන්න ප්‍රගති සමාලෝචනයකට ලක් කරමිනි.
ලංකාවට මෙයින් දෙන පාඩම කුමක්ද?
ආර්ථික අර්බුදයකින් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට වෙර දරන මෙවැනි වටපිටාවක, ජපානය වැනි දීර්ඝකාලීන මිතුරෙකු සහ තාක්ෂණික දැවැන්තයෙකු ඉතිරි කර ගැනීම ලංකාවට අත්‍යවශ්‍ය වේ. තාක්ෂණ හුවමාරුව (Technology transfer), හරිත කර්මාන්ත (Green industry) සහ ඉහළ අගයක් එකතු කළ නිෂ්පාදන (High-value manufacturing) සඳහා ජපන් ප්‍රාග්ධනය මෙරටට ගලා ඒම අත්‍යවශ්‍යය.
නමුත් ප්‍රශ්නය ඇත්තේ ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළය. JETRO, JICA සහ ජපන් තානාපති කාර්යාලය එක්ව ලංකාවට අවස්ථාවන් උදා කර දුන්නද, එම ආයෝජන රැක ගැනීමට නම් ලංකාව "කතාවෙන් නොව වැඩෙන්" තමන්ගේ විශ්වසනීයත්වය ඔප්පු කළ යුතුය. ජපන් ව්‍යාපාරිකයන් මේ දෙස බලා සිටින්නේ අවධානයෙනි. පොරොන්දු කඩ වුවහොත්, ඔවුන් නිහඬවම වෙනත් කලාපීය රටවල් වෙත හැරෙනු ඇත.
(සටහන | සම්පත් ධීරසේකර)




