ලංකාවේ මහපොළොවෙන් මතුකර ගන්නා වටිනා ඛනිජ සම්පත්, අගය එකතු කිරීමකින් තොරව (Value Addition) අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
වසර 27කට පසුව යාවත්කාලීන කරන ලද නව 'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය' මේ වන විට නිල වශයෙන් බලාත්මක කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ, ජූනි 11 වනදා සිට මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟෙන බවයි. මින් ඉදිරියට ඛනිජ ගවේෂණය, කැණීම්, සකස් කිරීම සහ අගය එකතු කිරීම යන සමස්ත ක්‍රියාවලියම රජයේ දැඩි නියාමනයට ලක්වේ.
ටොන් එකක මිලට කිලෝවක්: අහිමි වූ බිලියන ගණනක ඩොලර්
ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ සිදුකළේ වටිනා ඛනිජ සම්පත් කුණු කොල්ලයට පිටරට පැටවීමයි. සර්කෝන්, ගානට්, සිලිකන්, ක්වාර්ට්ස් සහ ටයිටේනියම් වැනි ඉහළ ඉල්ලුමක් ඇති ඛනිජ වර්ග මෙලෙස මෙරටින් පිටවිය. ඉන් රටට ලැබිය යුතු නියම ඩොලර් වටිනාකම ජාතික ආර්ථිකයට එකතු වූයේ නැත.
"අපි ඛනිජ වර්ගයක ටොන් එකක් ඩොලර් 2,000කට අපනයනය කළා නම්, ඒක අගය එකතු කරලා එක කිලෝවක් ඩොලර් 20,000ක අගයකට වර්ධනය කරන්න පුළුවන්," අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පැරණි ප්‍රතිපත්තිවල තිබූ බුරුල නිසා, මෙතෙක් කල් බොහෝ සමාගම් ඛනිජ සම්පත් ගවේෂණ බලපත්‍රවලට පමණක් සීමා කරමින් ජාතික ධනය සූරාගෙන තිබේ. කැබිනට් සහ පාර්ලිමේන්තු අනුමැතිය ලත් නව ප්‍රතිපත්තිය හරහා මෙම ජාවාරම මුළුමනින්ම නතර වනු ඇත.
දේශීය කර්මාන්තකරුවන්ට නව පණක්: ආර්ථිකයේ දැවැන්ත පිම්මක්
නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට ඛනිජ සම්පත් උපයෝගී කරගනිමින් දේශීය කර්මාන්ත පද්ධතියක් ගොඩනැඟීමයි. අමුද්‍රව්‍ය පිටරට යැවීම නැවතීමත් සමඟ, විදේශීය සමාගම්වලට ලංකාව තුළම කර්මාන්තශාලා ආරම්භ කිරීමට සිදු වේ. නැතහොත් දේශීය ව්‍යවසායකයන් ලවා ඒවා නිමවුම් නිෂ්පාදන බවට පත් කළ යුතු වේ.
මෙමඟින් රට තුළ නව රැකියා අවස්ථා දහස් ගණනින් බිහිවීමට නියමිතය. එමෙන්ම, නිමි භාණ්ඩ ලෙස අපනයනය කිරීමෙන් මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය දශ ගුණයකින් ඉහළ යනු ඇත. මෙය ණය උගුලක සිරවී ඇති ජාතික ආර්ථිකයට ලැබෙන දැවැන්ත ඔක්සිජන් බිඳකි.
නියාමනයේ අභියෝගය: ප්‍රතිපත්ති පොතෙන් පොළොවට එයිද?
කඩදාසියට සීමා වූ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ලංකාවේ පවතින ලොකුම අභියෝගයයි. මෙම තීරණය ඉතා ප්‍රගතිශීලී වුවත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මීට සමගාමීව දේශීය තාක්ෂණය සහ යටිතල පහසුකම් කඩිනමින් දියුණු කළ යුතු බවයි. අගය එකතු කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය මෙරටට ගෙන ඒමට රජය පහසුකම් සැලසිය යුතුය.
එසේම, නිලධාරීවාදය සහ දූෂණය හරහා මෙම නව නීති රීති යටගැසීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුය. නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සාර්ථක වීමට නම්, රජයේ දැඩි නියාමනය මෙන්ම දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිමත් කරන විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙළක් ද අත්‍යවශ්‍ය වේ.
(සටහන | විපුල ගුණසේකර )




