ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවත්, දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයෝ ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, ඊට අදාළ යෝජනාද ඉදිරිපත් කළහ.
රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක, එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබා දීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන් කළේය.
2026 අයවැය වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ නියෝජිත පිරිස, දූෂණ සහ වංචාවලින් තොර, නීතියේ ආධිපත්‍ය තහවුරු වූ රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන කැපවීමද ඇගයීමට ලක් කළහ.
එමෙන්ම, ඔවුහු මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වූහ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ද, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සහ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





