දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ සමාජීය සංවර්ධනය ශක්තිමත් කළ කොමර්ෂල් බැංකුව, සිය වගකීම තවදුරටත් පුළුල් කරමින් පසුගියදා ‘ForwardTogether 2026’ වැඩසටහන කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
"තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීත්වයන් ගොඩනඟාගැනීම" යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන හරහා, හුදෙක් ලාභය ලැබීමෙන් ඔබ්බට ගිය තිරසාර සහ වගකිවයුතු ව්‍යාපාරික සංස්කෘතියක් උදෙසා තම ගනුදෙනුකරුවන් සන්නද්ධ කිරීමට බැංකුව පියවර ගෙන තිබේ.
ලොව හොඳම බැංකු 1,000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වන කොමර්ෂල් බැංකුව, ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත මෙරට එකම මූල්‍ය ආයතනයයි. බිස්නස් ටුඩේ (Business Today) ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය හොබවන මෙම බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ද විශාලතම ණය දෙන්නා ලෙස ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වී ඇත. මීට අමතරව, ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වෙමින් පරිසරයට කාබන් මුදාහැරීම 100%ක් තුලනය කළ මෙරට ප්‍රථම බැංකුව ලෙස ද ඔවුන් ඉතිහාසයට එක්ව සිටියි.
මෙම අභිමානවත් පුනරුදයේ නියමුවා ලෙස කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග සිදුකරන මෙහෙවර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි ඇගයීමට ලක්ව තිබේ. ඔහුගේ දූරදර්ශී නායකත්වය යටතේ බැංකුව තවදුරටත් ජාත්‍යන්තර මට්ටම කරා ඔසවා තැබීමට හැකි වී ඇති අතර, ‘ForwardTogether’ වැනි වැඩසටහන් හරහා ගනුදෙනුකරුවන් සමඟ ඇති හවුල්කාරීත්වය නව මාවතකට යොමු කිරීමට ඔහු සමත්ව ඇත.
මෙම සමුළුවේදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) විශේෂඥයින් සමඟ එක්ව හරිත ආයෝජන සහ දේශගුණික අවදානම් කළමනාකරණය පිළිබඳව මෙරට ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම මගින්, බැංකුව පෙන්වා දෙන්නේ අනාගත ව්‍යාපාරික තරඟකාරිත්වය රැඳී ඇත්තේ තිරසාරත්වය මත බවයි.
බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය සහ ඩුබායි වැනි රටවල් දක්වා සිය ජාත්‍යන්තර පියසටහන පුළුල් කර ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී සහ ගෞරවනීය මූල්‍ය ආයතනය ලෙස තවදුරටත් සිය නාමය බැබළවීමට සමත්ව සිටියි.
හවුල්කාරීත්වයන්, නව්‍යෝත්පාදනයන් සහ වගකිවයුතු මූල්‍යකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආයතනික පරිවර්තනය වේගවත් කිරීමට සනත් මනතුංග ප්‍රමුඛ එම කණ්ඩායම දක්වන කැපවීම මෙරට මූල්‍ය විශේෂඥයින්ගේ පැසසුමට ලක්ව ඇත.




