X කඩා වැටී ඇති MSME ව්‍යාපාර රුක ගැනීමට මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලයි
X ආර්ථික අර්බුදයෙන් MSME ව්‍යාපාර කඩා වැටෙද්දී බැංකු අධික ලාබ ලැබූ බවට චෝදනා
X CRIB හි ඇති ව්‍යවසායකයන්ගේ නම් සහ පරාටේ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවිය යුතුයි
මෙරට ව්‍යාපාර අතරින් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ක්‍රමවත් ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් අවශ්‍ය බව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ලංකා ෆෙඩරේෂනය (Ceylon Federation of MSME) පවසයි.
විශේෂයෙන්ම පසුගිය වසර පහක කාලය පුරා ඇති වූ පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා වසංගතය, රට බංකොලොත්වීම මෙන්ම ආසන්නතම දිට්වා සුළි කුණාටුව වැනි අර්බුද හේතුවෙන් මෙම ව්‍යවසායන් සහ එම ව්‍යවසායකයන් පත්ව ඇති ගැටලු සහගත තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ආර්ථික යුක්තිය සහ යථා තත්වයට පත්වීම වෙනුවෙන් වන උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් මෙම සංගමය ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු සඳහන් කළේය.

එම සංගමය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) වෙතද පසුගියදා මෙම කරුණු ඉදිරිපත් කළ බවද මෙහිදී අනාවරණය කෙරිණි.
“මෙතැනදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා සම්බන්ධ ආයතන සියල්ලම එකට එක් වුණු කමිටුවක් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව මතුව තිබෙන අර්බුදයෙන් ගොඩ එන්නත්, ඉදිරියේදී ඇති වන ගැටලුවලට මුහුණ දෙන්නත් මේ අංශයට හැකියාවක් නැහැ.” එම සංගමය පවසයි.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතයත් සමගින්ම ලබාදුන් සහන හේතුවෙන් සිය ව්‍යවසායකයන් තව තවත් ණයකරුවන් බවට පත්ව තිබෙන බවත්, 2022 වසරේදී මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීම නිසා අර්බුදය තවදුරටත් දරුණු වී තිබෙන බවත් ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේය.
“අපි විශේෂ කරුණු හතරක් ඉදිරිපත් කරනවා.
* ඉන් පළමු වැන්න තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව, ණය පැහැර හැරීම සහ වසා දමා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම. ඒක අත්‍යවශ්‍යයි.
* දෙවැන්න තමයි මේ ව්‍යවසාය සම්බන්ධ ක්‍රමවත් ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම. මොකද පෝර්ට් සිටියට, ආයෝජන මණ්ඩලයට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් තියෙනවා. ඇයි රටේ ආර්ථිකයේ මර්මස්ථානය වෙන මේ ව්‍යවසායන් වෙනුවෙන් කතා කරන්න මණ්ඩලයක් නැත්තේ.
* තෙවැන්න තමයි මුදල් වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබා දිය යුතුයි. ක්‍රිබ් (CRIB) එකට යනවා කියන්නේ ඒක මරණ සහතිකයක් වෙන්න ඕනේ නෑ.
* සිව්වැන්න තමයි අපිට තියෙන මේ බදු බර අයින් කරන්න කියන එක. පෝර්ට් සිටියට එන ආයෝජකයන්ට අවුරුදු 40 කට බදු සහන දෙනවා. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට අවුරුදු 15 කට බදු සහන දෙනවා. ඒත් අර්බුද හතරකින් බැට කාපු කිසිම ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයකුට බදු සහනයක් ලබා දීලා නෑ. දිට්වා සුළි කුණාටුව නිසා විනාශ වුණු යන්ත්‍ර ආපසු ගේන වෙලාවටත් බදු ගහනවා.” යනුවෙන් එම සංගමයේ උප සභාපති එස්.එන්. රාඝවන් සඳහන් කළේය.
ඒ අනුව ප්‍රතිපත්ති, මූලධර්ම පදනම නිර්මාණය නොකර ක්‍රමවේදය වෙනස් කිරීමට අසීරු බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක් වූ එම සංගමයේ උප සභාපති ගාමිණී කන්නන්ගර, මෙලෙස අර්බුදවලට මුහුණ දී සිය ව්‍යවසායන් කඩා වැටෙද්දී බැංකු ඉතා ඉහළ ලාබ උපයා ගැනීමට කටයුතු කළ බව පවසා සිටියේය. “සියයට 10 පොලියට ලබා ගත්ත ණය සඳහා 2022 වසරේදී බැංකු අංශය මගින් සියයට 30ක පොලියක් අය කරන්න පටන් ගත්තා. 2023/24 කාල සීමාවේ දත්ත බැලුවොත් බැංකු ක්ෂේත්‍රයේ සමස්ත බදු පෙර ලාබය රුපියල් බිලියන 762 කට ආසන්නයි. ඒ අතරින් රුපියල් බිලියන 295ක දැවැන්ත බදු මුදලක් ඔවුන් රජයට ගෙවා තිබෙනවා.
ඊට පෙර වසරවලදී බැංකු බදු ලෙස ගෙවා ඇත්තේ බිලියන 15ත් - 20ත් අතර මුදලක්. මේවාට හේතු සෙවිය යුතුයි. ඒ වගේම පරාටේ නීතිය කල් දැමූ අවස්ථාවේදීවත් මහ බැංකුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා නම් මේ වගේ අර්බුදයක් දැන් මතු වෙන්නේ නෑ.“ යයි ද පවසා සිටියේය.
ඒ අනුව මෙම පොලී අය කිරීම් අඩු කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙන බවත්, CRIB හි ලැයිස්තුගත වී ඇති ව්‍යවසායකයන්ගේ නම් කිරීම් සහ පරාටේ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවිය යුතු බවත් ඔවුන් පෙන්වා දුන්නේය. ඒ හරහා ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ඉදිරියටත් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔවුන් මෙහිදී අවධාරණය කළේය.
( lankadeepa | භානුක අමරසිංහ)




