* රටට ඩොලර් ගෙන ඒමට ශක්තියක්.
සුළු හා මධ්‍ය පරිමාණ ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට ජර්මානු වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය පහසුකම් සහ මගපෙන්වීම් ලබා දෙන නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ජර්මානු සංසදය (SLGF) විසින් ආරම්භ කොට තිබේ.
එම වැඩපිළිවෙළේ සුවිශේෂී අවස්ථාවක් ඉකුත්දා කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එහිදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයින්, දේශීය ශාක සහ සාර යොදා ගනිමින් නිෂ්පාදනය කළ සබන්, ෂැම්පු, අත්සෝදන දියර, දේශීය කුළු බඩු යොදා ගෙන සිදුකරන නිෂ්පාදන, ජර්මනිය වෙත පහසුවෙන් අලෙවි කිරීමට හැකි කොස්, අන්නාසි, අනෝදා වැනි අමුද්‍රව්‍ය යොදාගෙන සැකසූ ආහාර පාන රාශියක් ප්‍රදර්ශනය කෙරිණි.
එම වැඩපිළිවෙළ මෙරටට හඳුන්වා දෙමින් දේශීය අපනයන කරුවන්ට විදෙස් වෙළෙඳ පොළ ජය ගැනීමට මග කියන ශ්‍රී ලංකා ජර්මානු සංසදයේ සභාපති සුනෙත් විජේසිංහ පැවසුවේ, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට ජර්මානු වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය මූලික රාමුව දැන් සකස් කර ඇති බවයි.
ඒ අනුව, මෙරට නිපදනවන උසස් තත්ත්වයේ නිෂ්පාදන සඳහා ඉතා හොඳ වෙළඳපොළක් ජර්මනියේ පවතින බව ඔහු හෙළි කළේය.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් ජර්මානු වෙළඳපොළට පිවිසීමට මාර්ගයක් ඇති බව නොදන්නා බැවින්, ශ්‍රී ලාංකික නිෂ්පාදකයින් ජර්මානු වෙළඳපොළට පිවිසීමට එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. එබැවින්, SLGF විසින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට ජර්මානු වෙළඳපොළට ඇතුළු වී ඉතා ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව නිර්මාණය කර ඇත.
ඒ අනුව, මෙම SLGF සමඟ ලියාපදිංචි වන නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන සමඟ ජර්මානු වෙළඳපොළට පහසුවෙන් ඇතුළු වීමට අවස්ථාව ලබා දෙනු ඇත. සංසදයේ ලියාපදිංචි නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ජර්මනියේ සමහර ප්‍රදර්ශනාගාරවල ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙම නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් හඳුන්වා දීමට ද සංගමය කටයුතු කරනු ඇත.
SLGF නියෝජ්‍ය සභාපති රේමන් හැන්ස්මේයර් පැවසුවේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදන ලද නිෂ්පාදන සඳහා මහා පරිමාණ වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි. ඊට අමතරව, ආයුර්වේද නිෂ්පාදන, ස්වාභාවික ආහාර, රසකාරක හෝ වර්ණ එකතු නොකළ ආහාර සඳහා මහා පරිමාණ වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ද මෙහි පවතී. අඩු බලශක්ති පිරිවැයක් සහිත නිෂ්පාදන, අත්කම් ආදිය සඳහා ද ඉහළ වෙළඳපොළක් පවතී.
ජර්මනියේ සබන්, ශරීර ආලේපන දියර, ස්වාභාවික තෙල් සහ වර්ණක හෝ රසකාරක එකතු නොකළ ආහාර ද්‍රව්‍ය වැනි සෞඛ්‍ය සම්පන්න ආයුර්වේද නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, නිෂ්පාදන සමඟ ජර්මානු වෙළඳපොළට ළඟා වන ලෙස හාන්ස්මේයර් දේශීය නිෂ්පාදකයින්ට ආරාධනා කළේය.
(සටහන | ජේ.මුණසිංහ)





