The Leader News
BREAKING
බ්‍රසීල ඡන්ද පරාජයෙන් පසු ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලායයි●නිදොස් කොට නිදහස් කරන්න - විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලයි●ජීවිත දහසක් බේරාගන්න කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් දීපව්‍යාප්ත මෙහෙයුමක්●ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් 40,000කගේ දත්ත අන්තර්ජාලයට: රහස් ඔත්තුකරුවෝ අනතුරේ●රියදුරු බලපත්‍ර ලක්ෂ 65ක් හිරවෙයි: සාමාන්‍ය තත්ත්වයට 2027 අප්‍රේල් දක්වා කල්●ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම් රජයේ සෘජු මැදිහත්වීමට පමණක් සීමා වෙයි●ගව ඝාතනයට ගුජරාටයේ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්●ප්‍රවීණ රංගධර ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවි රඟමඩලෙන් සමුගනී●ජපන් රැඳවුම් භාරයට පත් ශ්‍රීලන්කන් සේවිකාව මුදාගැනීමේ උත්සාහය●ප්ලාස්ටික් ටී බෑග්වලින් තේ කෝප්පයට විෂ රසායන එක්වන බව හෙළිවේ●
Top Ad
Economy

නව ලිබරල් මුදල් අවභාවිතයෙන් වින්දිත පොදුජන ආර්ථිකය

Awara

Awara

October 30, 2026 • 12:10 AM

නව ලිබරල් මුදල් අවභාවිතයෙන් වින්දිත පොදුජන ආර්ථිකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මින් ගම්‍ය වන්නේ, පුද්ගලයෙකු හෝ ව්‍යාපාරික සමාගමක් මෙන් රජයන් ද අයවැය හිඟයන්ට මුහුණ දෙන බවත්, එම හිඟයන් බාහිර පාර්ශ්වයන්ගෙන් රැස් කර ගන්නා ණය මුදල්වලින් පියවන බවත්, මුදල් අච්චු ගැසීම හරහා මහ බැංකුවෙන් ද ණය ගන්නා බවත්, මහ බැංකු ණය අහිතකර ක්‍රමවේදයක් බවත්ය.
  • මෙම ලිපිය මීට පෙර පළ කරන ලද ලිපි දෙකක අඩංගු වූ කරුණු මත පදනම් වන හෙයින් විෂය කරුණු සාරාංශයක් ලෙස මෙසේ ඉදිරිපත් කෙරේ.
  • ලිපිය 1- ලිපිය -2 නූතන මුදල් ක්‍රමයන්හි පදනම නිල මුදල් යනු රජය විසින් නිකුත් කරන කාසි සහ නෝට්ටු මත පදනම් වූ රාජ්‍ය ගෙවුම් පොරොන්දු වෙයි.
  • නීතියෙන් මුදල්වල කාර්යයන් ඉටු කිරීමට සහ රජයට බදු අය කිරීමේ මාධ්‍යය ලෙස මේවා නියම කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අයවැය හිඟය සහ සමුළුවේ සංවාදය

ශ්‍රී ලංකා ආර්ථික විද්වතුන්ගේ සංගමය විසින් පසුගිය දිනක පැවති වාර්ෂික සමුළුවේදී, ශ්‍රී ලංකා රාජ්‍ය අයවැය හිඟය පිළිබඳවත්, අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර ක්‍රමවේදයන් භාවිතා කිරීමට මහ බැංකුවට අවස්ථාවක් නොමැති බවත් සාකච්ඡා වූ බවට වාර්තා විය.

මින් ගම්‍ය වන්නේ, පුද්ගලයෙකු හෝ ව්‍යාපාරික සමාගමක් මෙන් රජයන් ද අයවැය හිඟයන්ට මුහුණ දෙන බවත්, එම හිඟයන් බාහිර පාර්ශ්වයන්ගෙන් රැස් කර ගන්නා ණය මුදල්වලින් පියවන බවත්, මුදල් අච්චු ගැසීම හරහා මහ බැංකුවෙන් ද ණය ගන්නා බවත්, මහ බැංකු ණය අහිතකර ක්‍රමවේදයක් බවත්ය.

මෙම පුවතින් විදහා දැක්වෙන්නේ, මෙම ආර්ථික විද්වතුන්ට නූතන රාජ්‍ය මුදල් (ෆියට් මුදල්) මත ක්‍රියාත්මක වන මුදල් ක්‍රමයන් සහ රාජ්‍ය අයවැය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවත්, ඔවුන් අතීතයේ පැවති පෞද්ගලික බැංකු නෝට්ටු මුදල් ක්‍රමයන් තුළ රජයන් විසින් අයවැය හිඟය පියවූ ආකාරය දැනුවත් පැරණි ආර්ථික විද්වතුන් බවත්ය. එය නව ලිබරල් ආර්ථික මතවාදයයි.

නූතන රාජ්‍ය මුදල් ක්‍රමයේ පරමාර්ථ

මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ:

* රජයන් විසින් රාජ්‍ය මුදල් මුද්‍රණය මගින් තම වියදම් පියවන බවත්,


* එම මුදල් පෞද්ගලික අංශයට ආදායම ලෙස ලැබෙන බවත්,

* රජය විසින් පෞද්ගලික අංශයේ එම මුදල් ආදායමින් අය කරන ලද බදුවලට වඩා වැඩි වූ රාජ්‍ය වියදම් හෝ මුදල් අතිරික්තය අයවැය හිඟය ලෙස නම් කෙරෙන බවත්,

* එම අයවැය හිඟය යනු හුදෙක් රාජ්‍ය අයවැය හරහා පෞද්ගලික අංශයට ජනිත කෙරෙන මුදල් අතිරික්තය බවත්,

* එම මුදල් අතිරික්තය ආර්ථිකයෙහි මුදල් සංසරණයට එකතු වන බවත්,

* රාජ්‍ය ණය යනු පෞද්ගලික අංශය විසින් එම මුදල් අතිරික්තය වියදම් කිරීම වැළැක්වීම සඳහා රජය විසින් ඔවුන් වෙත ප්‍රදානය කෙරෙන විකල්ප අවදානම් රහිත මුදල් වත්කමක් බවත්,

* වියදම්, බදු සහ රාජ්‍ය ණය යනු නූතන මුදල් ආර්ථිකයන්හි සංවර්ධනය සහ ජීවන මට්ටම් ඉහළ දැමීම සඳහා භාවිතා කෙරෙන පුළුල් ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති මෙවලම් බවත් පෙන්වා දීමයි.

මෙම ලිපිය මීට පෙර පළ කරන ලද ලිපි දෙකක අඩංගු වූ කරුණු මත පදනම් වන හෙයින් විෂය කරුණු සාරාංශයක් ලෙස මෙසේ ඉදිරිපත් කෙරේ.

නූතන මුදල් ක්‍රමයන්හි පදනම

නිල මුදල් යනු රජය විසින් නිකුත් කරන කාසි සහ නෝට්ටු මත පදනම් වූ රාජ්‍ය ගෙවුම් පොරොන්දු වෙයි. මේවා ඉතා විශ්වාසී සහ ගනුදෙනු කළ හැකි පොරොන්දු පත්‍ර වේ. නීතියෙන් මුදල්වල කාර්යයන් ඉටු කිරීමට සහ රජයට බදු අය කිරීමේ මාධ්‍යය ලෙස මේවා නියම කර ඇත. නිල මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරය රජය සතු වන බැවින්, පෞද්ගලික මුදල් නිකුතුව සහ භාවිතය නීතියෙන් තහනම්ය.

පෞද්ගලික අංශයෙන් භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීම සඳහා රාජ්‍ය මුදල් නිකුත් කිරීම මගින් වියදම් කිරීමටත්, ඉන් පෞද්ගලික අංශය ලබන රාජ්‍ය මුදල් ආදායමින් බදු අය කිරීමටත් රජයට හැකියාව ලැබේ.

මහ බැංකුව යනු මෙම රාජ්‍ය මුදල් ගනුදෙනු පියවීම සඳහා බලය ලැබී ඇති රාජ්‍ය මූල්‍ය නියෝජිතයා සහ රාජ්‍ය බැංකු ගිණුම් ලිපිකරු වෙයි. එම පියවුම් සේවය බැංකු සහ රජය විසින් මහ බැංකුවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් (සංචිත ගිණුම්) හරහා සිදු කෙරේ. මහ බැංකුව විසින් කාසි සහ නෝට්ටු නිකුත් කිරීම හුදෙක් රජය වෙනුවෙන් මෙම පියවුම් අවශ්‍යතාවන් සඳහා සිදු කරනු ලබන්නකි.

රජය විසින් බලපත්‍ර ලබා දී ඇති බැංකුවලට ද බැංකු ගෙවුම් පොරොන්දු නිකුත් කිරීම හරහා මුදල් මැවීමේ අධිකාරිය පවතී. එනම්, ද්විත්ව ගිණුම් සටහන් මගින් ණය දීම හරහා තැන්පතු මුදල් මැවීමයි. තැන්පතු යනු බැංකු ගෙවුම් පොරොන්දු වන අතර, ඒවා රාජ්‍ය මුදල්වලට හුවමාරු කළ හැකි බවට මහජන විශ්වාසය පවතින බැවින් යම් යම් අවදානම්වලට යටත්ව මුදල්වල කාර්යයන් ඉටු කිරීමට භාවිතා කෙරේ. ඒ සඳහා බැංකු මුහුණ දෙන රාජ්‍ය මුදල් හිඟයන් අන්තර් බැංකු වෙළෙඳපොළෙන් සහ මහ බැංකුවෙන් රාජ්‍ය මුදලින් ණය ලබා ගැනීම මගින් පියවා ගැනේ.

රාජ්‍ය නීති සහ නියාමනයට යටත්ව බැඳුම්කර සහ කොටස් වැනි ගෙවුම් පොරොන්දු පත්‍ර නිකුත් කිරීමේ හැකියාව ව්‍යාපාරික සමාගම් සතුය. ඒවා මුදල් ලෙස ප්‍රචලිත නොවූව ද, අවදානම්වලට යටත්ව රාජ්‍ය මුදල් සහ බැංකු තැන්පතුවලට හුවමාරු කළ හැකි බැවින් ආයෝජන වෙළෙඳාම සඳහා යොදා ගැනේ. මුදල් ගනුදෙනු ආශ්‍රිත වෙළෙඳපොළවල් යනු දැඩි රාජ්‍ය මුදල් බලය, නියාමනය සහ අනුග්‍රහයට යටත් ක්ෂේත්‍රයන්ය.

නව ලිබරල් ආර්ථික මතවාදයේ අසත්‍යය

ඉහත දැක්වූ නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සැබෑ තොරතුරු IMF සහ නව ලිබරල් ආර්ථික විද්‍යාඥයන් විසින් වසන් කර ඇත. රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු පොදු ආර්ථිකයට සහ සමාජයට අහිතකර රාජ්‍ය මැදිහත්වීම් බවට ගෝලීය මතවාදයක් 1980 දශකය ආරම්භයේ සිට ඔවුන් දියත් කර තිබේ.

ඔවුන්ගේ අරමුණ වනුයේ, ඇමෙරිකානු ඩොලරයට බද්ධ වූ ගෝලීය පෞද්ගලික අංශය සහ වෙළෙඳපොළ ප්‍රවර්ධනය හරහා දේශීය රාජ්‍ය මුදල් ආර්ථිකයන් සහ ස්වාධීනත්වය යටපත් කිරීම තුළින් ඩොලර් ණය මත පදනම් වූ ආනයන ආර්ථිකයන් බිහි කිරීමයි. ඒ පිටුපස ගෝලීය විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා උපාධි විෂය ධාරාවක් ද පවතී.

එම අයවැය මතවාදය අසත්‍ය වන අතර, ඒ පිටුපස පවතින මූලික කරුණු කිහිපයකි:

* රටක මුදල් නිකුතුව සහ පාලනය මහ බැංකුවේ ස්වාධීන කාර්යයක් බව කීම,

* පෞද්ගලික අංශය මෙන් රජය විසින් ද තම අයවැය හිඟය පියවීම සඳහා ආර්ථිකයෙහි සංසරණය වන එම මුදල්වලින් මුදල් වෙළෙඳපොළ හරහා ණය ගත යුතු බව පැවසීම,

* එම ණය මහ බැංකුවෙන්, බැංකුවලින් සහ මහජනතාවගෙන් ලබා ගත හැකි බව දැක්වීම,

* එම ණය සහ ණය පොළිය ගෙවීම මහජනතාවගෙන් අය කෙරෙන බදු මුදලින් කළ යුතු බව ප්‍රකාශ කිරීම,

* අයවැය හිඟය සහ ණය මහජනතාවට බරක් බව ඒත්තු ගැන්වීම,

* රාජ්‍ය මැදිහත් වීමෙන් තොර පෞද්ගලික වෙළෙඳපොළ හරහා මිල ගණන් මත සිදු වන නිෂ්පාදන ක්‍රියාකාරකම් තුළින් ආදායම සහ ධනය නිර්මාණය වී ව්‍යාප්ත වීම හිතකර බව කීම.

නව ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන නායකයන් විසින් මහජනතාව තුළ අයවැය සහ ණය බිල්ලෙකු මවා ඇත්තේ ඒ අනුවය.

රාජ්‍ය වියදම් සීමා කිරීම පිණිස අයවැය හිඟය සහ ණය සඳහා විවිධ උපරිම සීමාවන් පැනවීමේ සමීකරණයන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබේ. පසුගිය දා ශ්‍රී ලංකා ආර්ථික විද්වතුන් ගායනා කළේ ද එම ගීතයයි. එය පොදු මහජන වගකීම් අඩු කිරීම හෝ කප්පාදු කිරීම සඳහා දේශපාලනික නායකයන්ට කෙරෙන අත දීමකි. බදු, අයවැය හිඟය සහ ණය පිළිබඳ අසුභ ඉලක්කම් ඉදිරිපත් කර, මහජන සුබසාධන සේවාවන් කප්පාදු කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නේ මේ හරහාය.

රාජ්‍ය මුදල් සහ සැබෑ අයවැය ක්‍රියාවලිය

රාජ්‍ය මුදල් සහ අයවැය යනු පොදුජන සංවර්ධන ඉලක්කයන් සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීම පිණිස රජය සතු බලගතුම අවියයි. ඒ සඳහා රජය සතු ස්වාභාවික සම්පත් තොගය සහ විවිධාකාර වෙළෙඳපොළ නියාමනයන් මෙන්ම මැදිහත්වීම් ද භාවිතා කෙරේ.

රජය වියදම් කිරීමේදී රාජ්‍ය මුදල් හෝ ගෙවුම් පොරොන්දු නිකුත් කෙරේ. ඒවා අන්තර් බැංකු ගෙවුම් පද්ධතිය හරහා මහ බැංකුව විසින් පියවනු ලබයි. එම ගෙවුම් පියවීමේදී කාසි සහ නෝට්ටු, බැංකු සංචිත සහ රජයෙන් ලැබිය යුතු මුදල් (හෝ අයිරාවන්) ආදී ලෙස පෞද්ගලික අංශයේ ගිණුම්වල රාජ්‍ය මුදල් ජනිත වේ.

පෞද්ගලික අංශයට රාජ්‍ය මුදල් ලැබීමේ මූලය එයයි. ඒ ඒ වර්ෂය තුළ කෙරෙන රාජ්‍ය වියදම් සඳහා නව මුදල් නිකුත් කෙරෙන අතර, එය අඛණ්ඩ මුදල් ප්‍රවාහයකි.

එම රාජ්‍ය මුදල් හරහා පෞද්ගලික අංශයට ලැබෙන ආදායමින් කොටසක් රජයට බදු ලෙස ගෙවනු ලබයි. එය ද රාජ්‍ය මුදල් ප්‍රවාහයකි. බදු යනු රාජ්‍ය වියදම් හරහා පෞද්ගලික අංශය වෙත ලැබී ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් වරින් වර රජය විසින්ම නිෂ්ක්‍රීය කිරීමයි. රජය ඉදිරියේදී වියදම් කිරීම සඳහා රැස් කෙරෙන රාජ්‍ය මුදල් නොවේ. රජය ඒකාධිකාරී රාජ්‍ය මුදල් නිකුතුකරු වීමත්, ගිණුම් සටහන් හරහා නව මුදල් නිකුත් කිරීම මගින් ඕනෑම වියදමක් කළ හැකි වීමත් හේතුවෙන් රාජ්‍ය මුදල් තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් රජයට නැත.

බදු මුදල් ලෙස රාජ්‍ය මුදල් වත්කමක් හෝ තොගයක් කිසිම විටක රාජ්‍ය ගිණුම්වල නොපවතී. බදු හරහා රාජ්‍ය මුදල් අවශෝෂණය කර ගැනීම නිසා ආර්ථිකයට අවශ්‍ය අංශ වෙත නව මුදල් හරහා නව රාජ්‍ය වියදම් කිරීමට රජයට අවකාශ සැලසේ.

ශුද්ධ රාජ්‍ය වියදම සහ විදේශ ණය

ඒ ඒ වියදම් අවස්ථාවේදී බදුවලින් පසු ශුද්ධ වියදම යනු රජය විසින් ආර්ථිකයට නිකුත් කර ඇති නව මුදල් ප්‍රමාණයයි. නව ලිබරල්වාදීන් විසින් අයවැය හිඟය ලෙස ඇස්තමේන්තු කරන්නේ මෙම ශුද්ධ රාජ්‍ය වියදම හෙවත් නව මුදල් නිකුතුවයි. එහි රජය විසින් පෞද්ගලික අංශයෙන් මුදල් ණයට ගෙන පියවීමට දෙයක් නැත. රාජ්‍ය මුදල් මුද්‍රණ බලය රජය සතු වන බැවින් නූතන රජයන්ට පෞද්ගලික මුදල් ණයට ගැනීමක් අවශ්‍ය නොවේ.

රජය විදේශ මුදල් ණය ලබා ගැනීම යනු රජය විසින් විදේශ මුදල් මිල දී ගැනීම සඳහා වියදම් කිරීමකි. ඒ සඳහා මහ බැංකුව විසින් රාජ්‍ය මුදල් නිකුත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් නිකුතුවේ ප්‍රධාන මූලය මෙම විදේශ මුදල් සඳහා කෙරෙන රාජ්‍ය වියදමයි. මෙම විදේශ මුදල් මහ බැංකු විදේශ සංචිතය හරහා සහනදායී විනිමය අනුපාතයන් මත ආනයන ආර්ථිකය මූල්‍යකරණයට භාවිතා කෙරේ. දියුණු වන රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මූලය මෙයයි.

නිකුත් කර ආර්ථිකයෙහි සංසරණය වන රාජ්‍ය මුදල් ප්‍රමාණයෙන් කොටසක්, කලින් කලට රාජ්‍ය සුරැකුම්පත් වැනි රාජ්‍ය ණය වත්කමක් බවට රජය විසින් පරිවර්තනය කරනු ලබයි. එනම්, පෞද්ගලික අංශය සතු රාජ්‍ය මුදල් වත්කම්වලින් කොටසක් ආදායම් ඉපැයෙන රාජ්‍ය මුදල් වත්කම් බවට පත් කිරීමයි. රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි යනු එම අවස්ථාවන්ය. එමගින් පෞද්ගලික අංශය විසින් රාජ්‍ය මුදල් වියදම් කිරීම යම් කාලයකට කල් දැමීම සිදු වේ.

රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීමට රජය බාහිරව ලබා ගත් මුදල් නොව, වියදම් සඳහා නිකුත් කර ඇති රාජ්‍ය මුදල්වලම එක් කොටසකි. රාජ්‍ය ණය යනු අනාගතයේදී ආපසු ගෙවීම සඳහා නිර්මාණය කර ඇති මුදල් වර්ගයක් හෝ ගෙවුම් පොරොන්දුවක් නොවේ. රාජ්‍ය ණය තොගය අඩු කළ හැක්කේ මහ බැංකුව විසින් ඒවා මිල දී ගැනීම, රජය වියදමට වඩා බදු අය කිරීම සහ රජය සංචිත මුදල් නිකුත් කර රාජ්‍ය ණය ආපසු මිල දී ගැනීම මගිනි. එහෙත්, එමගින් ඉතා භයානක සාර්ව ආර්ථික සංකූලතාවයන් හට ගනී.

රාජ්‍ය ප්‍රතිපත්ති මෙවලම් සහ මහ බැංකු ප්‍රතිපත්ති

බදු සහ රාජ්‍ය ණය යනු රජය නිකුත් කර ඇති රාජ්‍ය මුදල්වලින් කොටසක් අවශෝෂණය කර ගැනීම තුළින් පෞද්ගලික අංශයේ වියදම් පාලනය කිරීමේ අයවැය ප්‍රතිපත්ති මෙවලම් දෙකකි. සම්පත් රාශිකරණය, ව්‍යාප්තිය සහ උපයෝජනය තුළින් ආර්ථික වර්ධනය, උද්ධමනය සහ සේවා නියුක්තිය කළමනාකරණය කිරීමට එය යොදා ගැනේ. ඒ සඳහා පිරිවැය හෝ මිල ගණන් ලෙස බදු අනුපාතයන් සහ පොලී අනුපාතයන් භාවිතා කෙරෙන අතර, ඒවා අභිමතානුසාරී රාජ්‍ය ප්‍රතිපත්ති විචල්‍යයන්ය.

රාජ්‍ය මුදල් ක්‍රමය තුළ මහ බැංකුවේ කාර්යය වනුයේ රාජ්‍ය මුදල් ගනුදෙනු පියවීම සහ ගිණුම් පවත්වා ගැනීමයි. මහ බැංකු මුදල් ප්‍රතිපත්ති හෝ විවෘත වෙළෙඳපොළ ක්‍රියාකාරකම් යනු අන්තර් බැංකු ණය වෙළෙඳපොළේ පොලී අනුපාතයන් ඉලක්ක කිරීම සඳහා බැංකු සංචිත සහ රාජ්‍ය සුරැකුම්පත් අතර සංයුතිය කළමනාකරණය කිරීමයි.

බැංකු සංචිත ගිණුම් සහ රාජ්‍ය සුරැකුම්පත් ගිණුම් මහ බැංකුව විසින් පවත්වාගෙන යන බැවින්, එම ගිණුම් සටහන් හරහා මුදල් ක්‍රියාකාරකම් සිදු කෙරේ. එමගින් වෙනස් වන්නේ රාජ්‍ය මුදල් සැපයුමේ සංයුතිය මිස ප්‍රමාණය නොවේ. මුදල් ප්‍රතිපත්තිය යනු රාජ්‍ය මුදල් සහ අයවැය ක්‍රියාකාරකම් කෙරෙහි ඇති කෙරෙන අනවශ්‍ය බාධාවකි. රජයන් සහ මහ බැංකු අතර දැඩි ප්‍රතිපත්ති ගැටුම් හට ගැනීමට එය මග පාදයි. ඇමෙරිකානු රජය සහ එරට මහ බැංකුව අතර පවතින වත්මන් ප්‍රතිපත්ති ගැටුම ඊට නිදසුනකි.

වියදම් කැපීම සහ බදු ඉහළ දැමීම මගින් අයවැය හිඟය සහ ණය සංකෝචනය කිරීමට කෙරෙන නිර්දේශ, පොදුජන ආර්ථික සංවර්ධනයට එරෙහි ද්වේෂ සහගත ආර්ථික නිර්දේශයන්ය.

නූතන මුදල් ඒකාධිකාරය සහ රජයේ ශේෂ පත්‍රය

නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන්හි මුදල් ඒකාධිකාරය රජය සතුය. මෙය සමස්ත නිෂ්පාදන ක්‍රියාකාරකම්, ආර්ථිකය සහ වෙළෙඳපොළවල් පාලනය කිරීමට රජයට බලය සපයයි. බාහිර හෝ පෞද්ගලික මුදල් ණයවලින් පියවෙන අයවැය හිඟයන්ට නූතන රජයන් මුහුණ නොදේ. නව ලිබරල්වාදීන් හුවා දක්වන රාජ්‍ය අයවැය හිඟය සහ ණය යනු නූතන මුදල් බලය හිමි රජයන්ට අදාළ සංකල්ප නොවන අතර, ඒවා පෞද්ගලික සමාගම්වලට සහ පුද්ගලයන්ට අදාළ අයවැය සංකල්පයන්ය.

රාජ්‍ය මුදල් යනු රාජ්‍ය ගෙවුම් පොරොන්දුය. ඒවායේ වටිනාකම කිසිදු බාහිර වත්කමකින් ආවරණය නොවන අතර හුදු විශ්වාසය මත මුදල් ලෙස පිළිගැනේ. ආර්ථිකයට රාජ්‍ය මුදල් සැපයෙන මූලය රාජ්‍ය වියදම්ය. එම මුදල්වලින් කොටසක් රජය බදු හරහා ආර්ථිකයෙන් ඉවත් කරයි. සංසරණයේ පවතින රාජ්‍ය මුදල් සැපයුම යනු කාසි සහ නෝට්ටු, බැංකු සංචිත සහ රාජ්‍ය ණය යන තෙයාකාර මුදල් වර්ගවල එකතුවයි. ඊට බැංකු විසින් පෞද්ගලික අංශයට දී ඇති ණය මුදල් එකතු කිරීමෙන් ආර්ථිකයෙහි සංසරණය වන මුළු අනුමත මුදල් සැපයුම ගණනය කළ හැක.

රජයට ද වත්කම් සහ වගකීම් සහිත ශේෂ පත්‍රයක් පවතී. නිකුත් කර ඇති රාජ්‍ය මුදල් සැපයුම එහි වගකීම් වන අතර, රාජ්‍ය වියදම් හරහා ජනිත කළ වත්කම් සහ ශුද්ධ වත්කම් තොගයක් රජය සතුය. කිසිදු ආර්ථික විද්‍යාඥයෙකු ඒවා ඇස්තමේන්තු නොකර, රාජ්‍ය අයවැය හිඟය සහ ණය තිරසාරභාවය පිළිබඳව පමණක් දොස් නගයි. ආර්ථික යටිතල පහසුකම්, ජාතික සාමය සහ ආරක්ෂාව, සංරක්ෂිත පරිසරය මෙන්ම රටෙහි ශ්‍රම සම්පත ද රාජ්‍ය වියදම් හරහා නිර්මාණය වූ ජාතික වත්කම්ය.

උද්ධමනය සහ ගෙවුම් ශේෂ හිඟය ද පදනමකින් තොරව රාජ්‍ය අයවැය හිඟය සහ ණය මත පටවනු ලැබේ. සියලු ආර්ථික අර්බුදයන්ට පිළියම ලෙස අයවැය හිඟය සහ ණය සීමා කිරීම හරහා රාජ්‍ය වියදම් කැපීමටත්, බදු ඉහළ දැමීමටත් රජයන් යොමු කෙරෙන්නේ මේ හේතුවෙනි. මෙය 'රාජ්‍ය මූල්‍ය විනය' ලෙස නම් කර ඇති අතර, IMF සහ ලෝක බැංකු ණය වැඩසටහන්වල එකම පදනම ද එයයි.

ආර්ථික සංකෝචනය සහ ප්‍රතිපත්ති අසාර්ථකත්වය

නූතන රාජ්‍ය මුදල් ක්‍රමයන් තුළ රාජ්‍ය වියදම් සීමා කිරීම සහ බදු ඉහළ දැමීම හේතුවෙන් හටගන්නා රාජ්‍ය මුදල් හා නිෂ්පාදන සංකෝචනය මගින් දැඩි ආර්ථික සහ සමාජීය පසුබෑමක් ජනිත වේ. එය සමනය කිරීමට පෞද්ගලික වෙළෙඳපොළට හැකියාවක් නැත.

නූතන රජයන් විසින් වියදම් ඇස්තමේන්තු කර, පසුව බදු සහ ණය රැස් කිරීම තුළින් එම වියදම් පියවීමේ අයවැය ක්‍රමවේදයක් නොපවතී. සිදුවන්නේ නව රාජ්‍ය මුදල් හෝ ගෙවුම් පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මගින් රාජ්‍ය වියදම් පියවීමයි. බදු සහ ණය යනු පසුව එම මුදල් නැවත ප්‍රතිව්‍යුහගත කිරීමකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජයේ ඒකාබද්ධ අරමුදල, ඊට අනුබද්ධ පාර්ලිමේන්තු අයවැය ක්‍රියාවලිය සහ රාජ්‍ය ණය කළමනාකරණය යනු හුදෙක් පදනම් විරහිත ක්‍රමවේදයන් වන්නේ එබැවිනි.

ආර්ථික සහ ජීවන සංවර්ධන ඉලක්කයන්ට ගැළපෙන සේ සම්පත් උපයෝජනයට අවශ්‍ය රාජ්‍ය වියදම් සහ අයවැය මෙවලම් රජය ක්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය වියදම් යනු ආර්ථික විෂමතාව පහළ දැමිය හැකි එකම මෙවලමයි. එය නිසි ලෙස සිදු නොවන රටවල ආර්ථිකය පසුගාමී තත්ත්වයක පවතී. සංවර්ධිත සහ වේගයෙන් සංවර්ධනය වන රටවල් එම තත්ත්වය ලබාගෙන ඇත්තේ රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය හරහාය. ඒ සඳහා අවශ්‍ය විද්වත් රාජ්‍ය නිලධාරීන්, දත්ත සහ මෙහෙයුම් ක්‍රමවේදයන් බොහෝ සංවර්ධනය වන රටවල නොමැති බැවින්, නව ලිබරල් අයවැය මතවාදය අනුගමනය කරමින් IMF මත නිරන්තරයෙන් රැඳී සිටීමට ඔවුන්ට සිදුව ඇත.

මහ බැංකු මුදල් ප්‍රතිපත්ති හරහා ළඟා කරගන්නා ආර්ථික ස්ථායිකරණය යනු සැබෑ සාක්ෂි නොමැති මතවාදයක් පමණි. ආර්ථිකයන් සංවර්ධනය සහ ස්ථායිකරණය කිරීමේ සැබෑ මෙවලම රාජ්‍ය අයවැය ක්‍රියාකාරකම්ය.

ආර්ථික විද්‍යාවේ අර්බුදය සහ විසඳුම

ලොව පුරා පවතින ආර්ථික කම්පන, අධික ආදායම් සහ ධන විෂමතාවයන්, දිළිඳුභාවය සහ අවිනිශ්චිතතාවයන් හමුවේ, 'ආර්ථික විද්‍යාවෙන් ඇති පොදුජන යහපත කුමක්ද?' යන්න ප්‍රශ්න කෙරෙන ගෝලීය සංවාදයක් මතුව තිබේ. ඕනෑම රටක ආර්ථිකය කළමනාකරණය කිරීම රජයන්ගේ භූදේශපාලනික ක්‍රියාදාමයක් මිස එහි වෙනම ආර්ථික විද්‍යාවක් නැත. වත්මන් ඇමෙරිකානු රජය අනුගමනය කරන තීරුබදු සහ වෙළෙඳ බාධක මත පදනම් වූ දේශීය ආරක්ෂණ ආර්ථික ප්‍රතිපත්තිය ඊට පැහැදිලි උදාහරණයකි.

ඕනෑම රටක ආර්ථික හා පොදුජන සංවර්ධනයේ පසුබෑම යනු නව ලිබරල් ආර්ථික මිථ්‍යාව මත රාජ්‍ය මුදල් සහ අයවැය අවකළමනාකරණය කිරීමේ සෘජු ප්‍රතිඵලයකි. රාජ්‍ය මුදල් සාධාරණ ලෙස ප්‍රසාරණය සහ ව්‍යාප්ත කිරීමේ නිසි ප්‍රතිපත්ති සැලසුම් නොමැතිව පොදුජන ආර්ථිකය සහ ජීවන තත්ත්වය කිසිසේත් නගාසිටුවිය නොහැක.


(වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය සහ පොදුජන ගැටලු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිදුවන කාලීන විද්වත් කතිකාවතට වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදී. මෙහි ඇතුළත් කරුණු ආර්ථික විද්‍යා විෂය පිළිබඳ මාගේ අධ්‍යයනය සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් වන අතර, කිසිවෙකු පෞද්ගලිකව විවේචනයට ලක් කිරීමේ අරමුණක් නොමැත.)


(උපුටා ගැනීම : economydiscovery)

පී සමරසිරි

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව [ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ

View all stories by පී සමරසිරි
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...