The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මම මේ නගන්නේ සැබෑ බෞද්ධයකුගේ විලාපයක් - මංගල

T

The Leader Desk

August 26, 2021 • 11:22 AM

මම මේ නගන්නේ සැබෑ බෞද්ධයකුගේ විලාපයක් - මංගල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල සමරවීර මේ රටේ ප්‍රබල බෞද්ධ විරෝධීයකු ලෙස හංවඩු ගැසූ සියලු දෙනාට සිය හෘදයසාක්ෂිය නැවත ප්‍රශ්න කරන්න සිදුවන ආකාරයේ කරුණු
  • එහිදී, "මේ රටේ භික්ෂුන් වහන්සේලාට විශාල වශයෙන් ගරු කරන කෙනෙක් වගේම බුදු රජාණන් වහන්සේ කියපු ආකාරයටම කෙනෙක් සිවුරක් පොරවගත්තු පළියට ඔහු භික්ෂුවක් කියලා පිළිගන්නත් තමන් සූදානම් නැති බව" මංගල සමරවීර පවසයි.
  •   එතකොට   කුඩාපොළ   හිමියන්   මිගෙට්ටුවත්තේ   ගුණානන්ද   හිමියන්   කරලා   තියෙන්නේ   වැරැද්දක්ද ?
අකුරු ප්‍රමාණය (Font Size):

පැහැදිලි කිරීමක් මංගල සමරවීර විසින්ම පසුගිය දාක සිදුකොට තිබිණි.

එහිදී, "මේ රටේ භික්ෂුන් වහන්සේලාට විශාල වශයෙන් ගරු කරන කෙනෙක් වගේම බුදු රජාණන් වහන්සේ කියපු ආකාරයටම කෙනෙක් සිවුරක් පොරවගත්තු පළියට ඔහු භික්ෂුවක් කියලා පිළිගන්නත් තමන් සූදානම් නැති බව" මංගල සමරවීර පවසයි. ඔහු ඒ පිළිබඳ අදහස් දක්වා සිටියේ පසුගිය කාලයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.

 

දිගින් දිගටම ඔබතුමාගෙන් දැක්ක දෙයක් තමයි පහුගිය කාලේ පුරාම හම්බෙන හම්බෙන හැම අවස්ථාවකම හාමුදුරුවන්ට ගහනවා. පැසිස්ට්වාදයක් ගැන කතා කරමින් අනවශ්‍ය බිල්ලෙක් මවමින් ඔබ හාමුදුරුවරුන්ට ගහන්නේ අර එදා සුද්දා කරපුකාර්යභාරයේ අලුත් කොටසක් ඔබවැනි නව ලිබරල්වාදීන් රඟපාමින් ඉන්නවද?

 n4

 

මම පරම්පරාගත බෞද්ධයෙක් හැටියට අධිරාජ්‍යවාදී යුගය ගැන කෙසේ වෙතත් මම අද දන්න බෞද්ධ ශාසනේ ගැන දරුණු ලෙස කම්පා වෙනවා. මම භික්ෂුන්ට ගහනවා කියන එක  පිළිගන්නේ නැහැ. මම මේ රටේ භික්ෂුන් වහන්සේලාට විශාල වශයෙන් ගරු කරන කෙනෙක් වගේම බුදු රජාණන් වහන්සේ කියපු ආකාරයටම කෙනෙක් සිවුරක් පොරවගත්තු පළියට ඔහු භික්ෂුවක් කියලා පිළිගන්නත් සූදානම් නැහැ. 

 

මොකද අද ඔය රට ජාතිය වෙනුවෙන් කතා කරන භික්ෂුන් වහන්සේලා ධර්මය නෙවෙයි වපුරන්නේ වෛරය. වෛරය ඉතාම තුච්ඡ කැත විදිහට වපුරමින් මේ රටේ ජාතීන් අතර නැති අසමගියක් ඇති කරන්න නිර්මාණය කරන්න කටයුතු කරනවා එක පිරිසක්. මම හැම වෙලේම කියන්නේ මම මේ කියන දේවල් සැබෑ බෞද්ධයෙකුගේ විලාපය කියලා.  ඒ වගේම තව පිරිසක් ඉන්නවා දේශපාලනික වශයෙන් සිවුරු පොරවගෙන රට ජාතිය කියාගෙන මේ රට තුළ වොයිස් කට් මාෆියාවක් ඇති කරගෙන. මම දන්නවා මේවට ගෙවන්නේ කවුද කියලා. මම මෙතනදී කියන්න යන්නේ නැහැ නමුත් ඒ අය පෙනී හිටින්නේ හුදු මාෆියාවක් වෙනුවෙන්. ඒ විදිහට පෙනී සිටිමින් කුඩු විකුණලා මිනී මරලා හිරේ ඉන්න අයව නිදහස් කරන්න කතා කරනවා මිසක් මේ රටේ ධර්මය පතුරන්නට කටයුතු කරන්නේ නැහැ. 

 

ඒ වගේම මම දන්නේ නැහැ ඉන්ජෙක්ෂන් ගහගෙනද කියලා දැන් ෆෙයා ඇන්ඩ් ලව්ලි හාමුදුරුවරු ඉන්නවා තොල් රතු කරගෙන රුපියල් විසිපන්දාහේ තිස්දාහේ සිවුරු ඇඳගෙන යන යන තැන මල් උඩ වතරයි ඇවිදින්නේ.  රහත් වෙලයි කියලා කියාගෙන, ඒ අයවත් විශ්වාස කරන අය ඉන්නවා. එතකොට බෞද්ධයෙක් හැටියට මම අහන්නේ සැබෑ බෞද්ධයෙකුට මේවා දකිනකොට විලාප තියන්න හිතෙන්නේ නැද්ද? මට නම් හිතෙනවා. 

 

හාමුදුරුවරුන්ට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා කියන්නේ?

නැහැ මම නම් හිතන්නේ නැහැ. හාමුදුරුවරුන්ට විතරක් නෙවෙයි පැවිදි පක්ෂයට. මොකටද දේශපාලනය කරන්නේ. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මට බෞද්ධාගම, බෞද්ධ දර්ශනය උගන්වන්න බැහැ නමුත් බුදුහාමුරුදුරුවෝ කියලා නෑ දේශපාලනය කරන්න කියලා. අනිත් එක බෞද්ධ දර්ශනය කියන්නේ එක රටකට අඩුම ගානේ පෘතුවියට විතරක්වත් සීමා වුණ දෙයක් නෙවෙයි. බෞද්ධ දර්ශනය කියන්නේ කිසිම ආගමක් කතා නොකරපු යුනිවර්ස් එක ගැන විශ්ව වෙලාව ගැනත් බුදුහාමුරුවන්ට අවබෝධයක් තිබුණා. ඒ කියන්නේ එතුමා මේ ඉන්දියාවට ලංකාවට සීමා වුණ බෞද්ධාගමක් ගැන නෙවෙයි මේ ලෝකෙට සීමා වුණ බෞද්ධාගමක් ගැන නෙවෙයි කියන්නේ. ඇත්ත වශයෙන්ම කාලයටත් එහා යන බෞද්ධ දර්ශණයක්.  

 

මම මේ ළඟදි පොතක් කියෙව්වා ඒ පොත ඇමෙරිකන් ජාතිකයෙක් ලියපු එකක් ඒකේ කියනවා ලෝකෙට මනෝ විද්‍යාව හඳුන්වාදුන්නේ සිග්මන් ප්‍රොයිඩ් නෙවෙයි බුදු රජානන් වහන්සේ කියලා. 

 

හාමුදුරුවරු දේශපාලනය කරනවාට ඔබ විරුද්ධයි කියනවා. 

හාමුදුරුවරු රට සංස්කෘතිය සභ්‍යත්වය රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රටේ තීරණාත්මක මොහොතවල් වෙනුවෙන් මැදිහත්වීම් කරලා තියෙනවා.

 

එතකොට කුඩාපොළ හිමියන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කරලා තියෙන්නේ වැරැද්දක්ද?

ඔව් ඇත්තවශයෙන්ම මම නම් හිතනවා බෞද්ධ භික්ෂුන් වහන්සේලා සුමංගල හාමුදුරුවන්ගේ දක්වා ඒ අයගේ රාජකාරිය විය යුත්තේ නිදහස් සටන් දියත් කරන එකවත් මොකවත් නෙවෙයි බෞද්ධ දර්ශනය මේ රට තුළ පෝෂණය කරන එකයි. 

 

බෞද්ධ දර්ශණය පෝෂණය කරන්න රටක් තියෙන්න ඕනනේ. 

 

රටක් තියෙන්න ඕන කියන්නේ මොකක්ද මේ රට තියෙනවා. රටට කිසිම අභියෝගයක් නැහැ. ඔය කියන හතුරෝ මේ රටට නැහැ. රටකට නැති බිල්ලෝ මවන්නේ එක්තරා පාලක පන්තියක බලය ස්ථාපිත කිරීමට මිසක්, නැති බිල්ලෝ මවලා මේ රටේ ජනතාව ගොනාට  අන්දවනවා.  

 මම ඔබතුමාගෙන් එකක් අහන්නම්. දැන් ගිය ජනාධිපතිවරණයේදී කැළණිය පන්සල කියන්නේ සියලු දෙනාම පූජනීයව සලකන පන්සලක්. මට මතකයි 1998 චාල්ස් කුමාරයා අපේ රටට ආවා 50 වැනි නිදහස් සැමරුමේ ආරාධිතියා හැටියට මම තමයි මිනිස්ටර් ඉන් වේටින් එයාපෝටර් එකේ එනකොට එතුමාව හැමතැනටම ගෙනියන්න දාපු ගයිඩ් වුනේ. එයාර්පෝටර් එකේ ඉඳගෙන එනකොට චාල්ස් කුමාරයා මගෙන් ඇහුවේ කොහෙද මේ කැළණි විහාරය තියෙන්නේ මට හරි ආසයි මම ඒ ගැන කියවලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ ටයිම්ටේබල් ෂෙඩියුල් එකේ නැති වුණත් එතනට ගෙනියන්න ලැහැස්ති කරලා එතනට ගියා. විනාඩි 45 එතනට දුන්නේ නමුත් පැය එකහමාරකටත් වඩා එතනට ගත කළා. ඒ තරම් ගරුත්වයක්  ලෝකයා තුළ කැළණි විහාරය ගැන තියෙනවා. 

 nalowadathu5 1

 

එතකොට පහුගිය මැතිවරණයේදී අපි දැක්කා ඒ කැළණියේ ඉන්න විහාරාධිපතිවරයා කියන පුද්ගලයා. තරහා වෙන්න එපා එහෙම කිව්වට මට එහෙම කියන්න වෙනවා. අන්තිමට ඡන්දෙට දවස් දෙකක් තියෙද්දි අර නොනගතයේ දවස තමයි පෝය දවස වැටුනේ. මෙන්න මොකක්දෝ නයෙක් කොහෙන්දෝ ඇවිල්ලා, නයෙක් පෙන්නලා මේ රටේ ජනතාව නොමග යවලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය  දියත් කලේ එතනින්. අපි රූපවාහිනීවලත් දැක්කා එතනින් යන අයට පොහොට්ටුව පෙන්න පෙන්න ඡන්දය දෙන්න කියලා කිව්වා. ඉතින් මේකද බෞද්ධ දර්ශනයේ තියෙන කාර්යභාරය.  මේක කැළණියට සීමා වුණේ නැහැ. ගම්වල අය හොඳට දන්නවා මේක බලාගෙන ඉන්න අය කියයි  මේ මැතිවරණයේදී පොහොට්ටුවේ පක්ෂේ අය ගමේ පන්සල තමයි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මධ්‍යස්ථානය බවට පත් කරගත්තේ. 

 

ඒකද පන්සල් එක්ක ඔච්චර තරහා. 

ඇත්තවශයෙන්ම තරහ වෙන්න ඕන. හැබැයි ඒ තරහ වුණත් මම අනික් පැත්තෙන් මිලින්ද කරුණාකරලා සංඛ්‍යාලේඛන අරන් බලන්න මම තරම් මේ රටේ පන්සල් හදන්න මුදල් ලබා දීපු මුදල් ඇමතිවරයෙක් ඉන්නවද කියලා. මුල් කාලේ. මම ඕනම කෙනෙකුට අභියෝග කරනවා මේක බුද්ධශාසන අමාත්‍යංශයෙන් නෙවෙයි කෙලින්ම මුදල් අමාත්‍යංශයෙන් ලබා දුන්නේ. මොකද මම එතනදිත් කිව්වේ අපි උදව් කරන්න ඕනේ ගම්වල තියෙන පන්සල්වලට මොකද ඒ අය දේශපාලනය කරන්නේ නැහැ බෙන්ස් කාර්වල යන්නේ නැහැ, බීඑම් ඩබ්ලිව්වල යන්නේ කුඩු මුදලාලිලා එහෙම නැත්නම් ඔය කුඩුවලින් දුවන මාධ්‍ය ආයතනකාරයෝ දීපු ..එස්යූවල.. යන්නේ නැහැ. බෞද්ධ දර්ශනය ආරක්ෂාකරගෙන ඉන්නවා ඒ අයට සල්ලි නැහැ ගොඩනැගිල්ලක්වත් හදාගන්න. පංසල හදාගන්න බැහැ හරියට වැසිකිළියක් නැහැ ඒ අයට අපි උදව් කරන්න ඕන. 

 1629805743 mangala samraweera tributes

 

දැන් ඇමතිතුමා ආගම දේශපාලන ආයුධයක් විදියට පාවිච්චි කිරීම වෙපනයිස් කරනවා කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඕක පටන් ගත්තේ මට මතක විදිහට 2004 මහමැතිවරණයත් එක්ක ඊට පස්සේ ඒකම ක්‍රියාත්මක වුණා ජනාධිපතිවරණයටත්2005 ගෞරවනීය සාමයක් කියන එක තමා කැම්පේන් ලෝගෝ එක වුණේ. එතකොට ඔය දේශහිතෛයිශී ජාතික ව්‍යාපාරය හදලා  ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයත් හදලා ඒකත් එක්ක තමයි ඔය සිංහල බෞද්ධ ක්ෂෝත්තමවාදී මතය කේන්ද්‍රීය මතය වෙන්නේ දේශපාලය ඇතුලේ. ඔබතුමා ඒ ක්‍රියාවලියයේ මුල ඉඳන්ම හිටපු කෙනෙක්. අද මේ බබා හම්බවෙලා තිබ්බට මේ වැඩේට වින්නඔුකම කළේ ඔබතුමා නෙවෙයිද. එදා දැනුනේ නැද්ද ඔබතුමාට

නැහැ. මම එක පැත්තකින්, මම එතනිට එන්නම් කවදද මේක ඇතිවුණේ කියලා. මම මේ දේශපාලන ජීවිතයේ සැබෑ බෞද්ධයෙක් හැටියට බෞද්ධාගමේ කටයුතු කරන විදිහේ අඩුපාඩුකම් පෙන්නන්න ඉදිරිපත් වුණේ අද ඊයේ නෙවෙයි. 

මට තාම මතකයි 1997/98 අපි සුදු නෙළුම් ව්‍යාපාරය කරන වෙලේ මේ වගේම අන්තවාදීන් භික්ෂූන් ඇවිල්ලා  ඒකට විරුද්ධව නැගී හිටලා මම සිංහල බෞද්ධ කොමිෂන් වාර්තාව කුණු කූඩෙට දාන්න ඕනේ මොකද මේ වාර්තාවෙන් පෝෂණය වෙන්නේ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විතරයි කියලා කියපු නිසා ඒ අය දෙසීයක් විතර විහාරමහා දේවි උද්‍යානයට ඇවිල්ල සංඝ ආඥාවක් පැනෙව්වා. මට මාතරට ඇවිල්ලා පොල් ගැහුවා වස් කවි කිව්වා. මම 1994 දිත්. එදා ඉඳන්ම මේ සටන මම ගෙනිච්චේ මගේ තියෙන බෞද්ධ කම හින්දා. 

හැබැයි ඔබතුමා කියපු එක වැරදි දෙයක් තමයි මේ  බෞද්ධාගම දේශපාලනයට ගාවගත්තේ 2004 දි නෙවෙයි ඇත්තවශයෙන්ම  මේක ආරම්භ වුණේ 1956. මම මේකත් කියනවා දැන් බොහෝ දෙනා මේකටත් කෑගහවි. මේ  රටේ ඇති වෙච්ච භයානකම වාතාවරණයක් තමයි පනස් හයේ මේ පංච මහා බලවේගය කියන ඒ මහා බහුබූතයක් බණ්ඩාරණයක එළියට දැම්මා. එතනදි අපි කැමතියි මේ රටේ ගොවි වෙද කම්කරු  ජනතාවට ඇත්තවශයෙන්ම ශක්තිය දෙන්න ඕනේ. ඇත්තවශයෙන්ම මේක අපිට දැනෙනකොට අපි කතා කරන්න ඕනේ. භූතයා එළියට දැමීම තුළින් ඒ භූතයාම බණ්ඩාරනායක මහත්තයාගේ ජීවිතයත් අහිමි කරා.

 mangala 1997

 

සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන ප්‍රතිපත්තිය වැරදියි කියලද ඔබතුමා කියන්නේ.

නැහැ  ප්‍රතිපත්තිය නෙවෙයි ඒක බලවේගයක් ඒක අදත් මේ රට ආපස්සට අදින ප්‍රධාන ප්‍රතිගාමී බලවේගයක් බවට පත්වුණා. පත්වුණා පමණක් නෙවෙයි  ඔය කියන අන්තවාදී භූතයාව නැවතත් කුප්පිය ඇතුළට දාන්න ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමා උත්සාහ කරා. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය උත්සාහ කරා නමුත් අද ඒ භූතයාට රාජ්‍ය අනුග්‍රහය ද සීල් ඔෆ් ඇප්රූවල් මේ රාජපක්ෂ ආණ්ඩුවලින් ලැබිලා තියෙන්නේ. නමුත් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් කියන්නේ ඔය ඉතාමත්ම භයානක බලවේගයක් එක්ක මේ අය සෙල්ලම් කරන්නේ. 

 

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හරිද?

හරියටම හරි හැබැයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන ගමන්ම  දෙමළ භාෂාව කතා කිරීමට අවශ්‍ය නීති රීති සකස් කරන්න දුන්නේ නැහැ. ඒකයි මේ පුංචි නියපොත්තකින් කඩා ගන්න තිබුණ ප්‍රශ්නය අන්තිමට මහා යුද්ධයක් බවට පත් වුණේ. ඕක මතක තියාගන්න. හැමදාම එකම වැරැද්ද කරන්න බැහැ මම නැවත නැවතත් කියන්නේ  

 

මේ රටේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු මැලේ බර්ගර් මේ හැම දෙනාම, මේ ශ්‍රී ලාංකික පොළවේ උපන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න බැරි තාක්කල් අපිට මේ රටේ දියුණුවක් නැහැ. අපිට අනාගයේ කොයිතරම් හොඳ නායකයෙක් ආවත්, හරි අපි කියමුකො ගෝඨාභය හොඳ නායකයෙක් කියලා.  වැඩ කරන්න පුළුවන් වැඩ කරන්න කැමැත්තක් තියෙන නායකයෙකුටවත් මේ සංහිඳියාව හා සමානාත්වය  නැතුව මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ   

 

තුනෙන් දෙකේ බලයක් නෙවෙයි හමුදා පාලනයක් නෙවෙයි මොනව කරලා වත් මේක දියුණු කරන්න බැහැ මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව  කියන ප්‍රධාන කුළුණු දෙක ඉදි කරන්නේ නැතුව. ඒක ඉදි කරලා ඒක උඩ තමයි මේ සංවර්ධනය කියන ගමන යන්න පුළුවන් වෙන්නේ.

 


 
THE LEADER TV 
 
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන 
 
 
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...