The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගලගේ නික්මයාම සතුටින් සමරමු - ධනනාත් ප්‍රනාන්දු

T

The Leader Desk

August 29, 2021 • 11:41 AM

මංගලගේ නික්මයාම සතුටින් සමරමු - ධනනාත් ප්‍රනාන්දු 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ධනනාත් ප්‍රනාන්දුගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද පුද්ගලික සටහනකි. ඔහු Advocata Institute හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයයි)
  • අවුරුදු ගානක් ලංකාවෙ ඉන්න Advertising Agency වල ඉන්න මහා ඔස්තාර්ල එක්කෙනෙක් නෑර මංගලට Powerpoint presentation දහස් ගානක් පෙන්නල ඇති.
  • පස්සෙ හිතුවා මංගල ක්‍රියේටිව් මෑන් නිසා Analytics පැත්ත weak ඇති ඒ නිසා ඉලක්කම් වලට බර තියල වැඩේ හරියට පෙන්නල ක්‍රියේටිව් තල්ලු කරනවා කියල.
  • මංගලත් එක්ක ඔය බයිල බැරි බව අපි හැමෝම දැනගෙන හිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
?ලාලිත අයියා දවසක් කතා කරල කිව්වා “මල්ලි බ්‍රීෆ් එකක් ඇවිල්ල තියනවා, Exhibition එකක්. පොඩ්ඩක් brainstorm කරල හොඳ වැඩක් කරමුද.. Presentation එක හොඳට හදාගන්න ඕන කියල.” මං ඇහුව Client කවුද කියල. මුදල් අමාත්‍යංශයේ වැඩක් මංගලට තමයි Present කරන්න තියෙන්නෙ” කියල කිව්ව. 
 
 
?මං හිනාවෙලා කිව්වා තේරුමක් වෙන එකක් නෑ නේද අයියේ නිකං වෙලාව නාස්ති කරල. මංගලෙගෙ මස්සිනාට Advertising agency එකක් තියනවා. UNP එකට support කරන, මංගල දන්න සහ මංගලව දන්න Advertising දන්න agency  ගොඩක් තියනවා අපි නිකං වෙලාව නාස්ති කරල අත පුච්ච ගන්නෙ මොකටද කියල. අපි මංගලව දන්නෙත් නෑනෙ” කියල කිව්වා.  ‍
 
 
?ලාලිත අයියා උත්සහවන්තයා. “එහෙම කියන්න එපා මල්ලි, ට්‍රයි එකක් දාල බලමු” කියල කොහොම හරි Presentation එක හදන වැඩේ මගේ ඇගේ ගැහුවා. 
 
 
?Advertising කරන අය දන්නවා ඉතින් ඊට පස්සේ එක එක ideas එනවා, ඒවට තර්ක කර ගන්නවා, විස්තර හොයනවා, research කරනවා. Strategy දානවා. Creative හදනවා.  එක එක විකාර සති ගානක් කරල Presentation එක හදා ගත්තා. 
 
Exhibition එකට මොකක්ද දාන නම කියන එක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්ණය. නම් ගොඩක් ආවත් එකක්වත් හරියට සෙට් වුනෙත් නෑ. නම් දෙකක් තෝර ගත්තා අමාරුවෙන් . ලාලිත අයියගෙ පුතා ඉසිදු.. හිතුවක්කාරය. ඔය නම් හරියන්නෙ නෑ Dada කියල ඉසිදු නමක් කිව්වා මේකත් අපි suggest කරමු කියල. ඉසිදු කියපු නම මරු. 
 
ඒකත් දාගෙන මට මතක විදියට 2018 අප්‍රේල් මාසෙ සෙනසුරාදා දවසක උදේ බී 20 ගෙදරදි (ඒ කියන්නෙ මංගලගෙ නිල කොළඹ ගෙදර) වැඩේ පෙන්නන්න කියල මංගල කියල තිබ්බා . 
 
 
?Presentation එක හදද්දි මං නිතරම කල්පනා කරපු දෙයක් තිබ්බා. මංගලගෙ නාඩිය අල්ලන එක ලේසි වෙන්නෙ නෑ. අවුරුදු ගානක් ලංකාවෙ ඉන්න Advertising Agency වල ඉන්න මහා ඔස්තාර්ල එක්කෙනෙක් නෑර මංගලට Powerpoint presentation දහස් ගානක් පෙන්නල ඇති. අනික මම Advertising ගැන දන්න කෙහෙල්මලක් නෑ. එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි තමයි ඉතිං මං දන්නේ. ඒකත් ඔය ලාලිත අයිය ඉදල හිටල මට කතා කරන ෆ්‍රී ලාන්ස් වැඩකට. 
 
මුලින් හිතුවා මංගල Creative මෑන් නිසා ක්‍රියේටිව් වලින් තමයි දිනනවනම් දිනන්න පුලුවන් කියල.. පස්සෙ හිතුවා මංගල ක්‍රියේටිව් මෑන් නිසා Analytics පැත්ත weak ඇති ඒ නිසා ඉලක්කම් වලට බර තියල වැඩේ හරියට පෙන්නල ක්‍රියේටිව් තල්ලු කරනවා කියල. ඒත් අන්තිමට ඔක්කොම අමතක කරල අපිටම ආවේනික විදියකට වැඩේ හැදුවා.
 
 
?ගොඩක් දේශපාලකයන්ට presentation එකක් කරාම ඒ අයට concept එකක් big idea එකක් තේරුම් ගන්න අමාරුයි. ගොඩක් දේශපාලකයන් අහන්නෙ මගේ පින්තූරෙ ලොකුවට දාන්නෙ කොතනනින්ද, මේකෙ පාට මාරු කරොත් හොදයි නේද, මම දිස්ත්‍රික් සංවිධායක ඒකත් මේකට දාමු නේද වගේ බොහොම සිල්ලර කතන්දර. මංගලත් එක්ක ඔය බයිල බැරි බව අපි හැමෝම දැනගෙන හිටියා. ඉසිදු කොණ්ඩෙ වවාගෙන කරාබු දෙකක් දාල හිටියෙ. ලාලිත අයියා සොක්‍රටීස් වගේ රැවුල වවගෙන. මං ෆුල් formal විදියට අත් දිග shirt එකක් ඇදල. අපි තුන් දෙනා හරියට තුන්මන් හංදි තුනකින් එකතු කරගත්තු “මචං" ෆිල්ම් එකේ ටීම් එක වගේ. ඒත් වැඩේට ගියේ නොසෑහෙන්න මහන්සි වෙලා. 
 
මංගලත් එක්ක දේශපාලන වැඩ නිසා හිත හොඳ නැතුව හිටියත් ඩිලන්ත අයියා වගේ සෑහෙන පිරිසක් ප්‍රශ්ණ තිබුනත් මංගලගෙ වැඩක් කිව්වම පිටිපස්සෙ ඉඳන් අදහස් වලින් වැඩේට උදව් කලා. අපි අරං ගියේ Advertising වැඩකට එහා ගිය පදාස වැඩක්. වැඩේ පටන් ගත්තා. අපි මුලින්ම කිව්වේ “බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් Exhibition කරන එක බදු ගෙවන මිනිස්සුන්ට සාධාරණයක් නෙවෙයි. මේකට Exhibition එකක් හරියන්නෙ නෑ. අපිට බදු මුදල්වලින් කරනවනං කරන්න ඕන රටටම විහිදෙන “ග්‍රාමීය සංවර්ධන” වැඩ පිළිවෙළක්” කියල.
 
 බ්‍රීෆ් එක Exhibition එක නිසා ඒක හලල යන්න බෑනෙ. ඒක කරන්න ඕන නං  අපි  ඒකටත් පුද්ගලික අංශය සම්භන්ධ කරගෙන ඔවුන්ගේ ආයෝජන වලින් ඉස්සරහට යන model එකක් තමයි අපේ presentation එකේ game plan එක වුණේ.
 
 
 
?ලාලිත අයියා තමයි ඔය ග්‍රාමීය සංවර්ධන කතාවේ සහ අදහසේ මහා මොළකරු. ඒ අදහසට මං මුලින්ම කැමති වුණේ නෑ. මගේ අදහස වුණේ බ්‍රීෆ් එක තියෙන්නෙ Exhibition එක නිසා අපි මොකටද ග්‍රාමීය සංවර්ධන කතාවක් කියන්නෙ කියල. ඒත් අවුරුදු ගානක ඉදන් ලාලිත අයියා ඔය ග්‍රාමීය සංවර්ධන කතාව මට කියල තියනවා. ලාලිත අයිය මහින්ද රාජපක්ෂ මහත්මයා සහ බැසිල් රාජපක්ෂ මහත්මයක් එක්ක වැඩ කර කාලෙ ඉදල ඔය ග්‍රාමීය සංවර්ධන වැඩවලට හදපු strategy සහ විස්තර ගොඩක් මට පෙන්නල තියනව නිකං කතා බහ කරද්දි.  ලාලිත අයියටත් දේශපාලනේ නාඩිය වගේම මිනිස්සුන්ගේ නාඩිය හොදට තේරෙනවා. ඒක නිසා පස්සෙ මං ඒ අදහසට කැමති වූණා. ඇත්තටම ඔය presentation එක මං හදන්නං කියල භාරගත්තෙත් ලාලිත අයියට බැහැ කියන්න බැරි කමට. 
 
 
?ග්‍රාමීය සංවර්ධන කතාව ගැන මංගල සෑහෙන අවධානයෙන් අහං හිටියා. Presentation එක කතන්දරේ වගේ මං විස්තරේ කියාගෙන ගියා. මංගල එහෙන් මෙහෙන් ප්‍රශ්ණ ඇහුවා. අන්තිම slide තුන. ඒ තමයි project එකට යෝජනා කරන නම් තුන. අන්තිමම ස්ලයිඩ් එකේ තමයි ඉසිදු කියපු නම. මට නිකමට හිතුනා ඉසිදු යෝජනා කරපු නම මුලින්ම කියන්න ඕන කියල. මං keyboard එකේ පහලට තියන ඊතලය ලග ලග තුන්පාරක් ඔබල එකපාරම අන්තිම slide  එකට ගිහිල්ල කිව්ව. 
 
“ඇමතිතුමා මේකට අපි එක නමයි යෝජනා කරන්නේ.. ඒ තමයි “ගම්පෙරළිය" කියල.
 
 
 
?ටික වෙලාවක් slide  එක දිහා බලං හිටපු  මංගලට මාර හිනාවක් ගියා. “මේක නියමයි’ කියල පුටුවෙන් ඉස්සරහට ඇවිල්ල ලග හිටපු ටයි පොලු දාගත්තු මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඇහුව “කොහොමද වැඩේ?” කියල. රුවන් අයියගෙනුත් ඇහුවා. වටේ හිටපු අයට හිනා. ඉසිදුව පෙන්නල අපි කිව්වා මෙයා තමයි නම දුන්නෙ කියල. අපි මංගලත් එක්ක කරපු පළමු සහ අවසාන වැඩේ තමයි ඒක. 
 
 එදා ඉදන් තමයි මම මංගලව දන්නේ. එදා ඉදන් අපි මංගලගෙ හොද යාලුවෙක් නොවුනට මංගල අපේ හොද යාලුවෙක් වුණා. මංගලව දන්න ගොඩක් අයට මංගල හොද යාලුවෙක්. ඕන මරාලයක් මංගල ගාවට අරං යන්න පුලුවන්. බැරි නං බෑ කියනවා කෙලිං. පුලුවන්නං පුලුවන් කියනවා.  ඔය වැඩේ අතරෙදි මංගලත් එක්ක රණ්ඩු කරගත්තු සහ එකග නොවුනු අවස්තා දහස් ගානක් තිබ්බා. 
 
 
?පලවෙනි ප්‍රෙසෙන්ටේශන් එකෙන් පසේ මං Everest Base Camp නගින්න ගිහිල්ල ආයෙත් ආවෙ මාසෙකට විතර පස්සෙ. ආපු ගමං මොකක්දෝ මීටිමකට අපිට එන්න කියල තිබ්බ. තව Advertising Agency සහ event management company කීපයකුත් තිබ්බා. එතනදි ආයෙත් අර presentation එක කරන්න කියල මට කියල අන්තිමට මංගල කිව්වා “අපි මේ ප්‍රදර්ශණේට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියල” යමු කියල. 
 
 
 
?ඒක තමයි පළවෙනි රණ්ඩුව. මං ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මගේ ප්‍රධාන තර්කය වුණේ “එන්ටප්‍රයිස්’ කියන නම ඉංග්‍රීසි නමක් ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට කියන්නවත් බෑ” කියන එක. මංගල කිව්වා. “ඔයා මොණවද මේ කියන්නෙ… එළියට බැහැල බලන්න.. ගමට යද්දි හැම තැනම බෝඩ් තියනවා එන්ටප්‍රයිස් කියල.. මං මේ ලගදි දැක්ක හරමානිස් එන්ටප්‍රයිස් කියල එකකුත් තියනවා. අපිට ඕන ගමේ මිනිස්සුන්ට තේරෙණ නමක් නෙවෙයි, ගමේ තියන පොඩි බිස්නස් එන්ටප්‍රයිස් කරන්න. මිනිස්සුන්ට වැඩි මුදලක්  අතට අරං දෙන්න. 
 
“ගම්පෙරළිය’ වැඩිපුර ගැලපෙන්නේ ගම සංවර්ධනය කරන්න. අපි අනිත් වැඩේට ඒක ගමු. මේක පටලව ගන්න එපා” කියල මහ හයියෙන් හිනා වෙලා අයිස් කැට තොගයක් දාගත්තු extra cool කූල් වතුර එකෙන් උගුරක් බිව්වා. 
 
 
 
?ඊට පස්සෙ ඔය සංකල්පය අනිත් අයට තේරුම් කරන්න සහ මේක විස්තර කරන්න අගමති ගාවටයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගාවටයි presentation සීයක් විතර කරන්න මංගල එක එක තැනට ලාලිත අයියගෙ ටීම් එක යැව්වා. අන්තිමට ඉසිදු සහ වෙනම ටීම් එකක් ඒකට හදන්න ලාලිත අයියට සිද්දවුණා. මගේ යාලුව රවී වැඩේට සම්භන්ධ වුණේත් මංගල මේ වැඩේ දුවවපු දිවිල්ලට.  
 
 
?මව් පෙරමුණ, පොතයි ගඩොලයි, සුදු නෙලුම, වගේ අවසානයට ෆ්‍රීඩම් හබ් ප්‍රොජෙක්ට් එකට එන්න කලින් අපි දන්න මංගලගෙ තිබ්බ ලොකුම ප්‍රොජෙක්ක්ට් දෙක තමයි “ගම්පෙරළිය සහ “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා". ඒක තමයි මංගලගෙ නාඩිය. 
 
මම අදුරගත්තු මංගල මිනිස්සුන්ට ගැලපෙන, මිනිස්සු ඉල්ලන දේ විතරක් දෙන මිනිහෙක් නෙවෙයි.. ඒ වගේම මංගලට කැමතිදේ විතරක් මිනිස්සුන්ට තල්ලු කරන කෙනෙකුත් නෙවෙයි. ඒ කොටස් දෙක සමපාත වෙන තැන එක මිටකට අල්ල ගන්න මංගලට පුදුම හැකියාවක් තිබ්බ කියන එකයි මට හිතෙන්නේ. 
 
“මිනිස්සුන්ට දැනෙන්නේ මේකයි අපි ඒක කරමු”  කිව්වත්, “මාර අදහසක් තියනවා අපි ඒකට මිනිස්සුන්ව එකතු කර ගමු” කියල කියන ක්‍රම දෙකටම මංගලව convince කරන්න බැරි ඒකයි කියලයි මංගල ගැන මගේ කියවීම. 
 
 
 
?මංගලත් එක්ක වැඩ කරන එක ලේසි නැත්තෙ මංගලගෙ ඔලුව නිතරම වැඩ කරන නිසා. මංගල කියවන පොත් වල සහ මංගල කතා කරන මිනිස්සුන්ගෙන් මංගලගෙ ඔලුවට එන එක එක අදහස් එක්ක මංගල වඩේට අතගහන විදිය නිතරම වෙනස් කරනවා. මංගලම Approve කරපු එක ආයෙත් වෙනස් කරනවා. හැබැයි ඒ හැම වෙනස්කමකටම මොකක් හරි හේතුවක් තියනවා
 
 
 
?බොහෝ දේශපාලකයන් ඔවුන්ගේ ලේකම්, උපදේශකයන් විදියට තියාගන්නෙ දන්න අදුනන තමං එක්ක ඉස්කෝලෙ ගියපු අය. නැත්තං පවුලෙ අය.  ඒත් මංගලගෙ උපදේශකයො විදියට හිටියෙ දෙශාල් ඩිමෙල් සහ ඩැනියෙල් අල්ෆොන්සුස් (දෙශාල් London School of Economics සහ Harvard විශ්ව විද්‍යාලවලිනුත් ඩැනියෙල් Harvard සහ Oxford සරසවි උපාධි සහ Masters තිබුණා. 
 
දෙශාල් මංගලගේ ආර්තික දැක්ම ගැන  සටහන කොම්න්ට්ස්වල. දෙශාල් සම්පත් බැංකුවේ හිටපු තරුණම අධ්‍යක්ෂක වරයෙක්) වගේ ඉතාම තරුණ අලුත් විදියට හිතන මිනිස්සු. මංගල වයසට වඩා බැලුවෙ අදහස අලුත්ද කියන එකයි. අදහස් අලුත් නැත්තං සහ කියන අදහස් ක්‍රියාත්මක කරගන්න අමාරු නං මංගලත් එක්ක වැඩ කරන්න අත්තටම අමාරුයි. 
 
mr15 minvisit 
මෙරට දුරකථන සන්නිවේදනයේ නිර්මාතෘ  
 
 
 
?ඒ වගේම මංගල කියන්නෙ ටීම් එකක්. තනි මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඔහුගෙ කණ්ඩායම කාලෙන් කාලෙට සහ ප්‍රොජෙක්ට් එක අනුව වෙනස්වෙනවා. මංගලගේ හැම ප්‍රොජෙක්ට් එකේම ඒක විශේෂත්වයක්. ඔහු ශ්‍රී ලංකාවේ තැපැල් හා විදුලි සංදේශ බලපු කාලේ ගත්තේ ඒකට ගැලපෙන ටීම් එක. ඒ වගේම විදේශ කටයුතු කාලේ ගත්තේ ඒකට ගැලපෙන ටීම් එක. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වගේ ගලපෙන අය තමයි ගන්නේ. රුවන් අයියා තමයි මංගලගේ හැම ටීම් එකකම වගේ හිටපු මනුස්සය මං දන්න තරමින්. 
 
 
?මංගලෙගෙ දේශපලනය ගැන නම් මං දන්නේ අනිත් අය කියන දේවල් සහ අහල දැකල දැන ගත්තු දේවල් වලින් තමයි. අපි වගේ දේශපාලනය ගැන නොදන්න පොඩි එවුන් මංගලගෙ දේශපාලනය ගැන කතා නොකර ඉන්න එක හොදයි.
 
 
?හැබැයි හැමෝම දන්න දෙයක් තමයි මංගල දේශපාලන මතවාද අතින් වෙනස් වුණාට දේශපාලනයයි පුද්ගලික සම්භන්ධතායි අතර වෙනස හොදට දන්න මනුස්සයෙක්. හැම පක්ෂයම අය ඔහුගේ බොල්ගොඩ ගෙදරට නිතරම යන්නේ එන්නෙත්, අවසාන යුගයේදී ඔහුගේ ප්‍රභලම දේශපාලන ප්‍රතිවාදියා වුණු මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පුතගේ විවාහයට මංගලට ඇරයුම් කරන්නේත්, මංගලගේ ඛේමාගේ කොලුවා පොත එළි දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන්නේත්, මංගලගේ අන්තර්ජාතික දේශපාළන භාවිතාව පිළිබද වැඩිපුරම විවේචන තිබූ විමල් වීරවංශ මහතා ලොක්ඩ්වුන් නීති අතරින් බොරැල්ල කනත්තේ මංගල දැවී යන අවසාන දුම් රොටු ටික හරි බලන්න පැමිණෙන්නෙත් දේශපාලනයට එහා ගිය මංගලගේ පුද්ගල සබදකම් නිසා බවයි මගේ අදහස. 
 
 
?මා වැනිම බොහෝ අය ඔහු සමඟ ගෙවා දැමූ බොහෝ ආහාර වේල් වල කියවුණු රස කතාවල දේශපාලන විවේචන තිබුනත් පුද්ගල විවේචන මට අසන්නට ලැබුණේ නෑ. දේශපාලයේ සදාකාලික මිත්‍රයන්ද සදාකාලික සතුරන්ද නොමැතිය යන යතාර්තය ෆේස් බුකියේ පක්ෂ වලට මරා ගන්නා බොහෝ දෙනා නොදැන සිටියත් මංගල එය හොදින්ම දැන සිටියා. මමත් මංගලගෙන්ම ඒ පාඩම ජීවිතයට ඉගෙන ගත්තා
 
 
?මගේ මතය අනුව නම් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශාලම ආර්තික සහ සමාජීය ප්‍රතිසංස්කරණ කල පුද්ගලයන් දෙදෙනාගෙන් එක්නෙක් මංගලයි. පළවෙනියා කවුද යන්න අප බලන දේශපාලන කෝණය අනුව වෙනස් වීමට පුලුවන් වුණත්, ඔහු දෙවැනි වුවත් දෙවැනිවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. 
 
 
?බුකියේ දේශපාලන අදහස් දක්වන බොහෝ දෙනා ආර්තික සහ දේශපාළන ප්‍රතිසංස්කරණ යන්නේ තේරුම වැඩිය දන්නේ නෑ. ඇහැට පෙනෙන භෞතික සම්පත්, මුදල් වියදම් කිරීම් තමයි බොහෝ දෙනෙක් ප්‍රතිසංස්කරණ විදියට දකින්නේ. ඒත් ප්‍රතිසංස්කරණ කියන්නේ සැබවින්ම ආකෘතියේ සිදුවන වෙනස් කිරීම්වලටයි. භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවානම් වියදම් කිරීමෙන් ව්‍යාපෘති කිරීම පහසුයි. නමුත් “ප්‍රතිසංස්කරණ” මුදල් තිබූ පමණින් කරන්න බෑ. 
 
මංගල දුරකතන සහ විදුලි සංදේශ සදහා කල ප්‍රතිසංකරණ ඒ අතරින් කැපී පෙනනවා. මා දන්නා තරමට එල්.ටී.ටී.ඊ සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තහනම් කරමින් ඔවුන්ගේ මුදල් ලැබීම විශාල ලෙස අත් හිටුවීමට මහින්ද රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස ඔහු විශාල කාර්යක් කලා. 
 
ඒ වගේම මුදල් අමාත්‍යවරයා ලෙස මිනිසුන් අකමැති වුනත් සහ නිසි පරිදි නොවුනත් හදුන්වාදුන් තෙල් මිල සූත්‍රය ඇතුලු සාධනීය දේවල් ගණනාවක්ම එහි අන්තර්ගතව තිබුණා. ජාතීන් අතර සංහිදියාව වෙනුවෙන් කල කටයුතුත් ඉතාම කැපී පෙනුණා. 
 
ඔහු දේශපාලනයේ කතා කල සංකල්ප ඔහුගේ භාවිතයේ තිබූනා. ඔහුව ඉතා හොදින් දන්නා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මංගල ගැන ප්‍රකාශ කලේ “මංගලගේ දේශපාළන පක්ශයත් එහි වර්යණයත් දෙකම ඔහුගේම හෘද සාක්ෂියම” බවයි. 
 
 
?මංගලව හොදින් දන්නා මාධ්‍ය භාවිතයෙන් මංගලගේ දැඩි විවේචනය ලක්වුණු සහ මංගලව විවේචනය කල දිලිත් ජයවීර මහතා මංගල ගැන කියුවේත් “මංගල !ඔබ, ඔබ විශ්වාස කල දේට අවංක වූවෙකි. ගරු කරමි.” කියලයි. 
 
 
?මංගලට මෑත කාලයේ එල්ල වුණු දරුණුම චෝදනාව වුණේ ජිනීවා මානව හිමිකම් 30/1 එරෙහිව රට පාවා දුන්නා යැයි නැගුනු චෝදනාවයි. අවස්තා කිහිපයකදී මමත් මංගලගෙන් ඔය ගැන අසා තිබෙනවා. “මිනිස්සු සෑහෙන බනිනවා නේද?, මොකද ඇත්තටම වුණේ, මොකක්ද කරන්න හැදුවේ?” කියල ඇහුවම වතාවන් ගණනාවක්ම ඔහුගේ ක්‍රමය ඔහු මටත් වටේ හිටි අයටත් පැහැදිලි කර තිබෙනවා. 
 
ඔහුගේ ක්‍රමය බොහෝ දෙනෙක්ට නොතේරෙන බව අමුතු දෙයක් නොවෙයි. ඔහු එම ප්‍රශ්ණය විසදන්නේ අවධානම් කලාපයේ ක්‍රීඩා කරමිනුයි. ඒවගේම අනෙක් සෑම දෙයකදී වගේම මේ ප්‍රශ්ණයත් ඔහු ස්පර්ශ කලේ ඔහුට අවේනික ක්‍රමයටයි. 
 
රටවල් සමග ගනුදෙනු කලාට රටවල් වෙනුවෙන් තීරණ ගන්නේ අපි වගේම ඇට, ලේ මස් නහර තින මිනිසුන් නිසා We don’t do business with companies, we do business with people කියන සරළ මූලධර්මය අනුව ඔහුගේ PR එකෙන් සහ ඔහුටම අවේනික අවධානම් කලාපයේම ක්‍රීඩා කිරීමට ඔහු වැඩි කැමත්තක් දැක්වූවා කියලයි ඔහුගේ අදහස් වලින් තේරුණේ.. ඔහු නිතරම කිව්වේ මං ජිනීවා වලදි කරපු දේ වැරදිනම් මට වඩා හොදට ඒක කරල ප්‍රශ්ණය විසදල පෙන්නන්න කියන එකයි. 
 
h righ 
 
?ඔහුගේ කතාවලින් මට වැටහුණ දෙයක් තමයි දේශපාලනයේදී අපි කැමති දේ කැමති විදියට කරගැනීමට කවදාවත් ඉඩ ලැබෙන්නේ නෑ. නිතරම වෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක් හරහා අපි කැමතිම දෙයින් පුලුවන් අවම කොටස පුලුවන් ප්‍රමාණයට කර ගැනීමයි. දේශපාලනයේදී අපිට කවදාවත් අපේ ඔලුවේ තියන දෙය 100% ක් ඒ විදියටම කරන්න ලැබෙන්නේ නෑ කියන එකයි. 
 
ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයේදීත් ඔහු අනුගමනය කලේ එම උපක්‍රමයමයි කියන එකයි ඔහුව තරමක් දැනීමෙන් මට තියන අවබෝධය. ඔහුගේ ක්‍රම හරිද වැරදිද යන්න හොදම තීරණය දිය හැක්කේ කාලයටම පමණයි.  
 
 
 
?ජිනීවා ප්‍රශ්නයේදී මංගලව විවේචනය කල බොහෝ අය, මහින්ද රාජපක්ශ මහතා මංගලගේ අභාවය පිළිබද ලියා තිබූ ට්විටර් පණිවිඩය උපුටා ගණිමින් අසා තිබුණේ “මහින්ද මහත්තයා කොහොමද කියන්නේ මංගල රටට ආදරය කල මිනිහෙක් කියල." අහන ප්‍රශ්නයට සරළම පිළිතුර මහින්ද රාජපක්ෂ මහතා මංගල ගැන අපි හැමෝටම වඩා හොදින්ම දැන සිටීමයි. 
 
 
?මංගලගේ පුද්ගලික ජීවිතය සහ ඔහු ලිංගිකත්වය ගැන සටහන් නොකොරොත් ඒක මංගල වගේ ඒ ගැන විවෘත වුණු මනුස්සයෙකුට යුතු නෑ. ඔහුගේ පුද්ගලික ජීවිතය සහ LGBT කදවුරේ ඔහුගේ නියෝජනය පිළිබදව ඔහු කිසි විටෙකත් රහසක් බවට පත් නොකර ගත් බව රහසක් නොවයි.  ඔහු නිතරම කිව්වේ මේක මගේ Choice එක. මා දන්නා LGBT  බොහෝ දෙනාට මංගලගේ විවෘතභාවය ඔවුන් විදිමින් සිටි මානසික පීඩනයෙන් එළියට එන්න විශාල ශක්තියක් වුණා. 
 
 
?බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මංගල මේ ගැන කතා කර තිබුණේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණි කාලයේදිමයි. මංගල ගැන The Island පුවත් පතේ Bravo Mangala, Bravo යනුවෙන් පලවූ කතුවැකියක දක්වා තිබුණේ ශ්‍රී ලංකාව LGBT පිළිබදව අදහසක්වත් නොතිබූ කාලයක මංගල මේ ගැන අදහස් පල කල තිබූ බවයි. 
 
අවසනාවට වගේ The Island පුවත් පතේ වෙබ් අඩවිය වෙනස් කරල හින්ද ඒක හොයා ගන්න බෑ. ඒත් කොහේ හරි ඇති. මංගලගේ “LGBT මිනිසුන්ද මිනිසුන් සහ ඔවුන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි කියන සටනේ ඔහුගේ නිහඩ සහ විවෘත විප්ලවයේ ප්‍රභලබව දැක ගත හැක්කේ වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා මංගල ගැන තබා තිබූ සටහනෙන්.  
 
 
?මංගලගෙ Choice එක ගැන මංගලව දන්නෙ නැති අයට දැන ගන්න පුලුවන් එක දෙයක් තමයි මංගල ගැමුණු වන්නිනායකත් එක්ක ඔහු කැමතිම ගීත පිළිබදව කරන විශ්ලේශණය. යොහානි ගැන අද කතාවෙන්න කලින් මංගල යොහානි ගැනත් කතා කිරීම පුදුමයි.    
 
 
?මංගල සාමාන්‍ය ජීවිතයේ වගේම දේශපාලනයේදීත් තරුණ භාෂාවෙන් කියනවනම් හොදට ආතල් දීපු චරිතයක්. ඔහුගේ නීල හරිත අයවැය, ඒ කියන්නෙ පරිසරය සහ සාගර ආර්තිකයකට රට රැගෙන යා යුතුයි කියන අය වැය ඉදිරිපත් කරන වෙලාවෙදි විපක්ෂයේ මන්ත්‍රීවරු තෙල් මිල වැඩි වෙලා කියල බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි වෙලාවෙදි මංගල පාර්ලිමේන්තු කතාවෙදි කිව්වේ “මගේ නීල හරිත අය වැයට මටත් කලින් සහය පලකරමින් විපක්ෂය බයිසිකලයෙන් පැමිණීම ගැන මං ස්තූතිවන්ත වෙනවා”  කියලයි.
 
 
?ඒ වගේම ෆැෂන් ඩිසය්නර් කෙනෙක් මුදල් ඇමති වුනාම Sunday Times පුවත්පතේ නාමිනී විජයදාස මංගලහෙන් අහල තිබුණම ඇත්තටම මංගල ඔයා මොනවද මුදල් ගැන දන්නේ කියල ඔහු ඒකට ලබාදුන් පිළිතුරෙන් හිතා ගන්න පුලුවන් මංගල කොච්චර ආතල් එකේ හිටපු ඩයල් එකක්ද කියල (කොමෙන්ට්ස් බලන්න)
 
 
 
?දේශපාලනය කියන්නෙ සම්පූර්න චිත්‍රපටියක්නම් මංගල එහි නලුවක්ට වඩා හොද අධ්‍යක්ෂක වරයෙක්. එවගේම ඔහු ඒකෙ නලුවෙකුත් වෙනවා. චන්දිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ, රනිල් වික්‍රමසිංග වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුත් සමහර චරිත රඟපෑවෙ ඔහුගේ අධ්‍යක්ෂණයෙන්. 
 
 
 
?ඒ නිසාම ඔහු රජුන් තනන්නෙකු බව හැමෝම කිව්වා. හැබැයි එහෙම රජුන් තනපු මංගල, තමන් තනපු රජවරුන්ටත් එරෙහි වුණා.  මංගල, තමන් තනපු රජවරුන්ගේම උදසටත් නිතරම ලක්වුණා. 1994 සිට 2019 දක්වාම ශ්‍රී ලංකාව පාලනය කලේ මංගල රැගෙන ආ ජනාධිපතිවරුන් වීමම මංගල ශ්‍රී ලංකා දේශපාලනයේ කොතරම් තීරණාත්මක සාධකයක්ද යන්න හොදින් පැහැදිලි වෙනවා. 
 
ඒ අතරින් 2005දී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමට ඉතා අපහසුව තිබූ මැතිවරණය ජයග්‍රහණය කර වූ ආකාරය දේශපාලනය දන්නා බොහෝ දෙනා මංගල ගැන තක්සේරු කිරීමට නිතරම යොදා ගන්නා මිම්මක්. බොහෝ රජවරුන්ට තිර පිටපතත් අධ්‍යක්ෂණයත් කල මංගල අවසානයේ රජ වුණේ වස්තිගේ වීඩියෝවෙන් වීමෙන්ම මංගල කොතරම් නවීන මනුස්සයෙක්ද කියන එක පැහදිලි වෙනවා කියන එකයි මගේ අදහස. ඔහු නිතරම කාලයට වඩා ඉදිරියෙන් හිටියා. 
 

 
 
?ඒ වගේම මංගල ඔහු සර්ව සම්පූර්ණ මිනිසෙකු බව කිසි විටෙකත් කිව්වෙත් නෑ. එහෙම හිතන් හිටිය බවක් පේන්න තිබුණෙත් නෑ. ඔහු දෙරන 360 ට කරන අවසාන සාකච්චාවෙදිත් කියනවා මාත් මේවට වග කියන්න ඕන කියල. 
 
?මංගල ආතල් එකේ හිටපු පොරක්. ඔහුගේ බොල්ගොඩ ගෙදරට එකවරක් හෝ ගිහින් තියන අය දන්නවා මංගලට තිබ්බ Taste එක මොනවගේද සහ මංගල කොච්චර නිදහස් සහ කළාත්මක මිනිහෙක්ද කියල. ලෝකෙ රටවල් වලින් එකතු කර ගත්තු කළා නිර්මාණ සහ පොත් වට කරගෙන, චිත්‍රපටි වට කරගෙන Rainbow end එකේ (මංගලගෙ බොල්ගොඩ ගෙදරට දාල තියන නම තමයි Rainbow end)  ඉන්න නියම ෆැශන් ඩිසයිනර් කෙනෙක් තමයි මැන්ගි. 
 
ඔහුගේ අවසාන උපන්දිනය සමරපු, මංගලගේ බොල්ගොඩ නිවසට අලුතින් හදපු කෑල්ලෙත් මංගලගේ නිදහසේ ගති ගුණ තවත් වැඩි කරල තිබ්බා. මං බොල්ගොඩ කිරළ දූපතේ ඉදල බෝට්ටු පැදන් එද්දි ගෙයක් පේනවා ලයිට් දාල හරිම ලස්සනයි. මං බෝට්ටුවේ ගියපු එක්කෙනෙක්ගෙන් ඇහුවා කාගෙද අර ඈත පේන  ගෙදර.. “ආ මහත්තය ඔය ගෙදර හැමදාම වගේ පාටි තමයි. ෆුල් ජොලියේ ඉන්න එක්කෙනෙක් ඉන්නේ. මංගල සමරවීරගෙ ගෙදර ඕක තමයි. කියල කිව්වා. 
 
 
 
?මංගලගෙ මරණයෙන් පසුව සමහරු මංගලගේ අභාවය රටට කොච්චර හොදක්ද කියලත් සහ ඒක රික්තයක් විතරයි කියලත් අදහස් ලියල තියනවා මං දැක්ක. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. මංගලව නොදන්න කෙනෙක්ට මංගලගේ භාවිතාව ගැන කේන්ති යන්නම ඕන. ඒත් ප්‍රතිවිරුද්ධ කදවුරක සිටියත් මංගල මොනවගේ චරියක්දැයි මගේ දැනුමේ හැටියට හරියටම ලියා තිබුනේ අනුරුද්ධ ප්‍රදීප් කර්නසුරිය කියන මහත්මයයි. 
 
 
?“ඔබට ප්‍රතිවිරුද්ධ දේශපාලනයෙහි කොතරම් ඈතට ඇවිද ගියත් ඔබව යෝධයකු සේ විශාලවම පෙනෙයි. එහෙත් ඔබේ මිතුරන් කියන්නේ සමීපයේදී ඔබ, මහා පුරුෂයෙකුට වඩා යෞවනයෙකු සේ පෙනෙන බවය. ලංකා දේශපාලනය තුළ පරිච්ඡේදයක් වන ඔබව, වාක්‍යයකට කෙටිකර ගත නොහැකි බැවින් සුබ ගමන් යැයි කියා නිහඩ වෙමි.” 
 
 
 
?මම මංගලව හදුනගත්තේ ඇඩ්වටයිසින් වලින් නිසා මට මංගලව නිතරම පේන්නේ මං කැමතිම ඇපල් සමාගමේ වෙළද දැන්වීමක් හරහායි. මං එය ඇපල් සමාගමේ වෙළඳ දැන්වීම හරහා දැකීමෙන් “මේක මංගලට කරන ගෞරවයක්, ඒක නිසා මංගල ලෝක ප්‍රකට ඇපල් වැනි බ්‍රෑන්ඩ් එකකට තමයි සමාන වෙන්නෙ කියන ගොන් පාට් එකක් නම් නොවෙයි. වචන අනුව, මේ වචන මංගලට ඉතාම සමීපව ගැලපෙනවා කියන එක විතරයි ඒකෙ අදහස. මංගල කියන්නෙම වෙනස් නිදහස් මිනිසෙක් නිසා ඔහු ඇපල් සමග සැසදීම තේරුමක් නැති වැඩක්. 
 
?Here’s to the crazy ones, the misfits, the rebels, the troublemakers, the round pegs in the square holes… the ones who see things differently — they’re not fond of rules… You can quote them, disagree with them, glorify or vilify them, but the only thing you can’t do is ignore them because they change things… they push the human race forward, and while some may see them as the crazy ones, we see genius, because the ones who are crazy enough to think that they can change the world, are the ones who do.
— Steve Jobs, 1997
 
 
?එයිනුත් මංගලට ගලපෙනම කොටස තමයි You can quote them, disagree with them, glorify or vilify them, but the only thing you can’t do is ignore them because they change things” 
 
 
?මංගලගේ මරණයට සතුට දැනෙන අයත්, දුකක් දැනෙන අයත්, රිකතයක් දැනෙන අයත්  හැමෝම උඩ වාක්‍යට අදාල වෙන්නේ මංගලට කැමතිවුනත් අකමැති වුණත් මංගලගේ දායකත්වය ignore කරන්න බැරි මංගල දේවල් වෙනස් කල නිසයි.
 
 
?මගේ නම් අදහස මංගලගේ මරණය අපි ප්‍රීතිමත්ව සැමරිය යුතු මරණයක් බවයි. ආතල් එකේ ජීවිතය ගැන ගැඹුරු අවබෝධයෙන් ගත කල මංගලගේ ජීවිතය සැමරිය යුත්තක් මිස දුක් විය යුත්තක් නොවේ. මංගලගේ නික්මයාම ගැන කිසිවෙකු දුක්වනවානම් මංගල ඒ ගැන සතුටු නොවන බව මට හොදටම විශ්වාසයි.
 
 මංගල වගේ නිදහසේ තමන්ට කැමති දේ කරමින් සුව පහසු ලෙස නිදහසේ ඉතා ලස්සනට ආතල් එකේ ජීවත් වූ මනුස්සයෙකුගේ මරණය වෙනුවෙන් දුක් වන්නේ මංගල ගත කල ආතල් ජීවතයේ ගැබුර නොදන්නා කෙනෙක් විතරයි. එහෙමත් නැත්තං ප්‍රශ්න දාහක පැටලිලා ජීවිතයේ නිදහස සහ හෘද සාක්ෂිය එක්ක ජීවත් වෙන්න බැරිවෙලා තමංම තමංව මායිම් වලට හිරකරගත්තු, තමංගෙම ආතල් තමංම කුඩු කර ගත්තු මිනිස්සු විතරයි.
 
 
 
?මංගල කලාතුරකින් හම්බවෙන මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක්ව හදුන්වල දෙන්නත් පුලුවන් ඒ වගේම කලාතුරකින් හමුවෙන ලාලිත අයියා වගේ කෙනෙකුටම තමයි. මංගලව හදුන්වාදීම ගැන ලාලිත අයියට ලොකු ස්තූතියක් කරන්න ඕන. 
 
 
?ගොඩක් අයට ලොකු ප්‍රෙහේළිකාවක් වෙලා තිබුණා ඉන්නකං මංගලට බැනපු හැමෝම මෙන්න මංගල නැතිවුණාම හොද කියනව කියල. ඒක තේරුම්ගන්න ඉංග්‍රීසි සාහිත්‍යයෙ ලස්සන වාක්‍යක් තියනවා. බොල්ගොඩ ඉදන් ඉර බැහැගෙන යන බොහෝ සන්ද්‍යාවන් වල මං ඒ වාක්‍ය මතක් කරනවා. 
It’s only at the going down of the sun you will realize how beautiful the day was
 
 
?මගේ මේ මතක ටික, ජයන්තිටත්, චංචලාටත්, නිමල්ටත්, රුවන් අයියා, සමීර අයියා සහ ලක්ශ්මී වෙනුවෙනුත්, මංගලගේ මරණයෙන් දුක්වෙන ඔහුගේ සමීපතමයන්ටත්, මංගලගේ මරණයෙන් සතුටු වන ඔහුගේ ප්‍රතිවාදීන්ටත්, ඔහුගේ මරණය රික්තයක් ලෙස දැනුනු හැමෝටමත් මං ඉතාම ආදරයෙන් සහ ප්‍රීතියෙන් මංගලගේ සාර්තක ජීවිතය වෙනුවෙන් සටහන් කරනවා. 
 
 
 
WhatsApp Image 2021 08 29 at 3.03.00 PM
 
+නාත් (Dhananath Fernando)
 
 
 
 
 
 
 

 
The Leader TV
 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?
 
 

ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...