The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

මතක මංගල : දේදුන්නක කෙළවර -(ජයනි අබේසේකර)

T

The Leader Desk

October 31, 2021 • 7:23 AM

මතක මංගල : දේදුන්නක කෙළවර -(ජයනි අබේසේකර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුට මේ තරම් ආදරයක් මේ තරම් ගෞරවයක් ඇති බවක් ජීවත් ව සිටිය දී ඔහු පවා දැන සිටියා දැයි නොදනිමි.
  • ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් ලෙසින් පෙනී සිටින්නට කැමති, සියලු ගැහැනුන්ට මිනිසුන්ට විවෘත නිදහස් අවකාශයක්  (ෆ්‍රීඩම් හබ්) මංගල ගොඩනැගීය.
  • පාර්ලිමේන්තු දේශපාලනයට සමු දුන් මංගල, කොල්ලන් කෙල්ලන් පිරිවරාගෙන ‘සැබෑ දේශප්‍රේමියෝ’ පළමු මාධ්‍ය සාකච්ඡාව පවත්වන විට ඇතැමෙක් කීවේ කොල්ලන් කෙල්ලන් එක්ක මොන දේශපාලනයක් දැයි කියා ය.    ඒ බොහෝ දෙනෙක්ට නොතිබුණේ මංගලට තිබූ ඉව ය.
  •   සර්ලා මිස්ලා මැඩම්ලා නැති ඒ අවකාශයේ කොන්ද නොකැඩුන තරුණ ගැහැනුන් මිනිසුන් අතර ඔහු මංගලම වී පැවතුනි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ආදරයේ, ලිංගිකත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සුළු ජනකොටස්වල අයිතිවාසිකම් දක්වා වන ඔහුගේ කියැවීම්, පිළිගැනීම් සහ පෙනී සිටීම් කෙරෙහි අනුරාගයෙන් යුතු මිනිසුන් ඔහුට මේ තරම් මුණ ගැසී ඇද්දැයි නොදනිමි.
 
මංගල වාමාංශිකයෙකු නොවීය. ඔහු පැහැදිලිවම පෙනී සිටියේ ධනවාදී ආර්ථික රටාවක් යටතේ ලිබරල් දේශපාලන ප්‍රතිපත්තියක් වෙනුවෙනි. එහෙත් තම මතවාදය දරමින්ම වාමාංශික සහ ජාතිකවාදී ස්ථාවරයන් දැරූවන් සමඟ ද සමීප සම්බන්ධයක් පවත්වා ගැනීමට මංගල දැන සිටියේය. 
 
මතවාදීමය වශයෙන් විරුද්ධ පාර්ශ්වයේ සිටියත් මංගලට දේශපාලනයේ මිතුරන් මිස හතුරන් නොවීය. ‘ඛේමාගේ කොලුවා‘ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයා වන්නේත්, මංගලට අවසන් වරට ගෞරව දැක්වීමට විමල් වීරවංශ බොරැල්ල කනත්තට යන්නේත් ඒ නිසාය.
 
Mangala2 
 
පාර්ලිමේන්තු දේශපාලනයට සමු දුන් ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් ගොඩනැගීම වෙනුවෙන් මැද පිළිවෙතක් තෝරා ගත්තේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් ලෙසින් පෙනී සිටින්නට කැමති, සියලු ගැහැනුන්ට මිනිසුන්ට විවෘත නිදහස් අවකාශයක්  (ෆ්‍රීඩම් හබ්) මංගල ගොඩනැගීය. අප හමුවෙන්නේ ඒ අවකාශයේ දී ය.
 
 
“අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි. ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුලයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශප්‍රේමය මුල් කරගත් විකල්පයක් විය යුතුමයි.” ඒ රැඩිකල් මැද මාවත ගැන මංගලගේ පැහැදිලි කිරීම විය.
 
 
ඒ ගමන වෙනුවෙන් මංගලගේ පළමු තේරීම තරුණ තරුණියන් විය. පාර්ලිමේන්තු දේශපාලනයට සමු දුන් මංගල, කොල්ලන් කෙල්ලන් පිරිවරාගෙන ‘සැබෑ දේශප්‍රේමියෝ’ පළමු මාධ්‍ය සාකච්ඡාව පවත්වන විට ඇතැමෙක් කීවේ කොල්ලන් කෙල්ලන් එක්ක මොන දේශපාලනයක් දැයි කියා ය. 
 
ඒ බොහෝ දෙනෙක්ට නොතිබුණේ මංගලට තිබූ ඉව ය. ඒ ගැන හරියටම ලියා තිබුනේ ධනනාත් ය. “මංගලත් එක්ක වැඩ කරන එක ලේසි නැත්තෙ මංගලගෙ ඔලුව නිතරම වැඩ කරන නිසා. මංගල කියවන පොත්වල සහ මංගල කතා කරන මිනිස්සුන්ගෙන් මංගලගෙ ඔලුවට එන එක එක අදහස් එක්ක මංගල වැඩේට අත ගහන විදිය නිතරම වෙනස් කරනවා.” (ධනනාත් ප්‍රනාන්දු)
 
තරුණයන් සමඟ ද මහල්ලන් සමඟ ද වැඩ කළ යුතු කලාව, ඒවා එකට ගැට ගැසිය යුතු තැන මංගල තරම් දැන සිටි වෙනත් දේශපාලකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු මට සිහියට නඟා ගත නොහැකිය. 
 
198174789 10158879438123101 5966055399210590550 n 
 
හෙමින් ඇවිදින, උද්වේගකර ලෙස කතා නොකරන, අවුරුදු 65 ක් වන ඔහු 'ෆ්‍රීඩම් හබ්'  හි පුටුවක වාඩි වී සැහැල්ලු මුහුණින් සහ තියුණු ලෙස සවන් දෙමින් ද විටෙක සිය මහත මෙළොක් අතින් අසල සිටින්නෙකුට තට්ටුවක් දමමින් හඬ නගා සිනහසෙමින් ද තරුණයන්ට ශක්තිය කාන්දු කරනු මා නොයෙක්වර බලා ඉඳ ඇත. එවන් විටෙක ඔහු කුමන අන්දමේ මිනිසෙකු දැයි මම කල්පනා කළෙමි.
 
ඒ අවකාශයෙහි අනෙකාට ඇති නිදහස, සමානාත්මතාවය, ආදරය, උණුසුම මම අන් කිසිදු අවකාශයක අත්විඳ නැත්තෙමි. 
 
තමන් ප්‍රාර්ථනා කරන්නේ කුමන ලෝකයක්දැයි, සටන් කරමින් සිටියේ කුමන සමාජයක් වෙනුවෙන් දැයි ඔහු නිර්භයව කියා සිටියා සේම 'ෆ්‍රීඩම් හබ්' තුළ ඔහු ඒ ලෝකය ගොඩනැගීය.
 
සර්ලා මිස්ලා මැඩම්ලා නැති ඒ අවකාශයේ කොන්ද නොකැඩුන තරුණ ගැහැනුන් මිනිසුන් අතර ඔහු මංගලම වී පැවතුනි.
 
සෑම පුද්ගල හමුවීමක්ම ඔහුට තවත් එක් දේශපාලන ව්‍යාපෘතියක් නොවීය. ඔහු හා කළ සෑම හමුවීමක් මෙන්ම සමුගැනීමක්ම රසවත් විය. එවන් රසවත් දිගු සන්ධ්‍යාවක වයින් වීදුරුවක් තොල ගාමින් ඔහු යොහානිගේ ගීතවලට ඇති කැමැත්ත පැවසූ අයුරු මතකය. ඒ යොහානි ජනප්‍රිය වීමට බොහෝ කලකට ඉහතය.
 
මෝස්තර නිර්මාණ ශිල්පියෙකු ලෙස ඇඟලුමකින් ඔහු බලාපොරොත්තු වූ පරිසමාප්ත බව සිය පෞද්ගලික ජීවිතය තුළ ද දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ ද එලෙසින්ම අපේක්ෂා කළේ යැයි හැඟේ. 
 
WhatsApp Image 2021 10 31 at 10.28.39 AM 
 
ඔහු පිළිබඳ කියැවෙන ලියැවෙන දේ ඊට බොහෝ සාක්ෂි සපයා ඇත. එවන් පරිසමාප්ත බවක් බලාපොරොත්තු වූ ඇසක් ද කනක් ද ඔහු සතු විය. බොල්ගොඩ ඔහුගේ නිවස, දේදුන්නක කෙළවර (රෙන්බොස් එන්ඩ්)   ඒ පරිසමාප්ත බව ද ඔහුගේ රස`ඥතාව ද කැටි කළ තැනකි.
 
ඔහුගේ මිතුරෙකු (චන්ද්‍රි පීරිස්) තැබූ සටහනකින් මම මෙය අවසන් කරමි. 
 
මංගල පෙනී සිටි සියලු දෑ පිළිබඳව සියල්ල සම්පිණ්ඩනය කොට ජෝන් ඩොන් පවසා ඇතැයි මම සිතමි. “කිසිම මිනිසකු මුළුමනින් ගත් විට දූපතක් නොවන්නේය. සෑම මිනිසකුම මහාද්වීපයක කොටසක් හෙවත් සමස්තයේ අංශයකි. ඕනෑම මිනිසකුගේ මරණයකින් මා ක්ෂය වන්නේ මා මානව වර්ගයාට අයත් බැවිනි. එම නිසා කාට මළ සීනු හැඬවූයේ දැයි දැනගන්නට කිසිවකු එවා නොමැත. එය හැඬවූයේ ඔබ වෙනුවෙනි.”
 
 
මංගල, දේදුන්න කෙළවර ඔබ තවමත් සිටින බව පමණක් මම විශ්වාස කරමි.
 
 
Jayaniජයනි අබේසේකර 
සිවිල් සමාජ ක්‍රියාකාරිනි හා 
මාධ්‍යවේදිනී 
 
 
 
 
(සමබිම පුවත්පතින් උපුටා ගන්න ලදී)
 
 
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...