The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

යුද්ධයෙන් දශකයකට පසුව ශ්‍රී ලංකාව - විහඟ පෙරේරා

T

The Leader Desk

November 2, 2021 • 12:16 PM

යුද්ධයෙන් දශකයකට පසුව ශ්‍රී ලංකාව - විහඟ පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මතකයන් සහ ඉතිහාසය අතර: යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව' මැයෙන් වූ සංවාදශීලී කතිකාවතක්, ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’හි සංවිධායකත්වයෙන්
  •    මෙම විනාශකාරී සිදුවීම් පෙළපොත්වල සඳහන් නොකරන්නේ ඇයි?
  •   ඉතිහාසය සහ මතකයන් අතර ඇති ඝට්ටනය පිළිබඳව එළඹිය හැකි නිගමන බොහෝමයකි.
  • නූතන ජාතික රාජ්‍යයේ පරිකල්පනීය රාමුව තුළ පිහිටුවා ඇති අඛණ්ඩ අතීතයක් පිළිබඳ සංකල්පය සහ වෘත්තාන්තයට නොගැළපෙන (මිනිසුන් සහ) මිනිසුන්ගේ මතකයන් යටපත් කිරීමට ගන්නා සියලු ප්‍රයත්නයන් නිදහසෙන් පසුව සමාජය මුහුණ දෙන දෛනික යථාර්ථයක් වශයෙන් දැක්විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):
පසුගියදා Zoom ඔස්සේ පැවැත්විණි. 
 
ආචාර්ය විහඟ පෙරේරා සහ රෝහිත භාෂණ අබේවර්ධන සහභාගි වූ එම සංවාදය මෙහෙයවන ලද්දේ ජයසිරි ජයසේකර විසිනි.
 
ලංකාවේ නිල ඉතිහාසය හා ජන සමාජයෙහි මතකයන් අතර පරතරය විවිධ මානයන් ඔස්සේ එහිදි සාකච්ඡාවට ලක් වූ අතර සහභාගිවූවන්ගේද උද්‍යෝගිමත් දායකත්වයෙන් තියුණු සංවාදයක් ගොඩනැගිණි. 
 
WhatsApp Image 2021 10 13 at 4.25.18 PM 1 
 
මේ, එම සංවාදශීලී කතිකාවතට පදනම් වූ,  ආචාර්ය විහඟ පෙරේරා විසින් ලියන ලද Between Memory and History : Sri Lanka a Decade after the War නැමති ලිපියෙහි සිංහල පරිවර්තනය යි. 
 
vihanga
 
 
මතකයන් සහ ඉතිහාසය අතර: යුද්ධයෙන් දශකයකට පසුව ශ්‍රී ලංකාව
 
''මෑතක දී මා සහභාගී වූ ගැටුම් පිළිබඳ මතකයන් ලේඛනගත කිරීම පිළිබඳ සාකච්ඡාවක  දී, එම සාකච්ඡා මණ්ඩපයෙහි තවත් සාමාජිකාවක වූ සාරා කබීර්, රජය විසින් පාසල්වල ජ්‍යේෂ්ඨ සිසුන් සඳහා නිකුත් කරන ලද ඉතිහාස පෙළපොත්වල, මෑතකාලීන ඉතිහාසය සම්බන්ධයෙන් දක්නට ලැබෙන බරපතළ අඩුලුහුඬුකම් කෙරෙහි අපගේ අවධානය යොමු කළා ය. 
 
නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කිරීමට බලපෑ, වාර්ගික කෝලාහල, තරුණ කැරලි, දේශපාලනික අර්බුද, සහ ජනවාර්ගික ගැටුම් ඉතිහාසයෙන් මුළුමනින්ම අකා මකා දමා ඇති ආකාරය කබීර් සඳහන් කළා ය.
 
 මෙම විනාශකාරී සිදුවීම් පෙළපොත්වල සඳහන් නොකරන්නේ ඇයි? මෙම ගැටුම් අවස්ථාවන්හිදී මියගිය, ආබාධිත වූ හෝ කම්පනයට පත් වූ දහස් ගණන් මිනිසුන්, කාන්තාවන් සහ දරුවන්ගේ මතකයන්ට කුමක් සිදු වේ ද? ඔවුන්ගේ තනි තනි සහ සාමූහික ඉරණම්වලට යම් තැනක යම් ආකාරයකින් කුමන හෝ පිළිගැනීමක්-හඬක් හිමි විය යුතු නොවේ ද? 
 
 
ජාතික දේශපාලනික වැඩ පිළිවෙළෙහි මෙවලමක් වන ඉතිහාසය වනාහි හුදෙක් "අවධානයට ලක් විය යුතු දේ " සහිත ශේෂ පත්‍රයයි. ඉතිහාසය මතකයන් නොඉවසන අතර ඉතිහාසය තුළ මතකයන් වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නොමැත.
 
 
පෙළ පොතේ ඉතිහාසය:
 
 
පාසලේ ජ්‍යේෂ්ඨ පන්තිවල විෂය මාලාව සැලකීමේදී පසක් වන කරුණ වන්නේ රජය විසින්, දශක හතක ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික රාජ්‍යය, අඛණ්ඩ මෙන් ම රේඛීය, සිංහල-බෞද්ධ උරුමයක මුල් බැසගත් එකක් බව මහජනයාගේ පරිකල්පනයන්හි නිදන් කොට ඇති බව යි. 
 
එසේ හෙයින් ම, මෙම පරිකල්පනය, ඔවුන් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන මතවාදය පෝෂණය කරන වෘත්තාන්තයක් ලෙසින් දිගහැරෙයි. නිදර්ශනයක් ලෙස පාසල් පෙළපොත් අපට උගන්වන රාජධානිවල සංක්‍රමණය වීම දැක්විය හැක. 
 
පැරණිතම “සිංහල රාජධානිය” ලෙස ඉගැන්වෙන අනුරාධපුර රාජධානියේ සිට කෝට්ටේ සහ මහනුවර රාජධානි දක්වා තෝරාගත් රජවරු පිරිසකගේ නොයෙක් වික්‍රමයන්, විදේශීය ආක්‍රමණයන්හි දින වකවානු ආදී දෑ අතරින් තෝරාගත් කොටස් පමණක් ලැයිස්තු ලෙස සාරාංශ කොට දක්වා ඇත. 
 
 
මෙම ක්‍රියාවෙහි අරමුණ වන්නේ, රජය විසින් ජනතාව වෙත මවා පෙන්වා දී ඇති ජාතික ප්‍රතිරූපය වෙත යොමු වී ඇති අවධානය ව්‍යතිරේක, අක්‍රමිකතා හෝ විකල්ප අතීත කතා ඔස්සේ වෙනතකට යොමු නොකොට, පුරවැසියාගේ අතීතය පිළිබඳ දැක්ම පටු කොට දැක්වීම යි.
 
 
කෙසේ නමුත්, අතීතය පූර්ණ වශයෙන් සිය ආධිපත්‍යට නතු කරන ප්‍රයත්නය තුළ දක්නට ලැබෙන ඇතැම් නොගැළපීම් රාමුවකට සිර වූ ජාතික ඉතිහාසයේ අර්ථකථනවල සීමාසහිත සහ අප්‍රමාණවත් බව ඉඟි කරයි. 
 
අඛණ්ඩ සිංහල-බෞද්ධ වංශාවලියේ රේඛීය වෘත්තාන්තයට පෙරළා පැමිණෙන්න. මෙහි දී, ඉතිහාසය පෙළපොත, 11 වන සියවසේ පටන්, පොළොන්නරුව සිට දඹදෙණිය දක්වාත්, ඉන්පසුව යාපහුව සහ අනෙකුත් රාජධානි දක්වාත් “සිංහල රාජධානි” දකුණු දෙසට නැඹුරු වූ සංක්‍රමණයක් අනුරූපණය කරයි. 
 
මෙය කූටප්‍රාප්තියට පැමිණෙන්නේ 17 වන සියවසේ දී මහනුවර දී ය.
 
Kandy Sri Lanka 
 
 මෙවන් ඒකීය රාමුවක් තුළ, ඉතිහාසය ගොඩනගන්නා පෝෂණය කරන්නේ මොට වූ පරිකල්පනයක් පමණක් වන අතර, පිරිපුන් සහ සාරවත් වෘත්තාන්ත ජාලය “2500 වසරක අඛණ්ඩ ශ්‍රී ලාංකික සම්ප්‍රදාය” හැඩැති අච්චුවෙන් පිටතට තල්ලු වේ. 
 
නිදර්ශනයක් ලෙස, දිවයිනේ වයඹදිග කොටස කිසියම් ජානපදිකයන් කණ්ඩායමක විසින් ජනපද බවට පත් කරද්දී, නැගෙනහිර වෙරළ තීරයේ පැවතියේ කිනම් ජීවන තත්ත්වයක් ද? රටේ දකුණු ප්‍රදේශවල ස්ථාපිත වූ ජනතාවගේ සම්භවය පිළිබඳ වූ මිථ්‍යාවන් මොනවා ද? අනුරාධපුර රාජධානියේ මහිමය පිළිබඳ දීර්ඝ පරිච්ඡේදයකට පසුව, ඉතිහාසයේ වෙනත් කිසිදු සඳහනක් නොමැති රුහුණු රාජ්‍යයෙන් බිහිවුණු කුමාරයෙකු “ද්‍රවිඩ රජු” පරදවා “රට එක්සේසත්” කිරීමට ඉදිරිපත් වීම පාඨකයා මවිතයට පත් කරන්නේ, ඒ පිළිබඳව එළාර / එල්ලාළන් පුදුමයට පත් වූවාටත් වඩා ඉමහත් අන්දමින් නොවේ ද? 
 
නූතන ඉන්දියාවේ දකුණු සහ නිරිතදිග කොටසේ ද්‍රවිඩ රාජධානි අතර ඇති වූ ගැටුම්වල දී දිවයිනේ කාර්යභාරය කුමක් වී ද? නූතන ඉන්දියාවේ චෝල සහ නූතන සුමාත්‍රාවේ ශ්‍රී විජය, මහා අධිරාජ්‍යයන් දෙක - ඉන්දියන් සාගරයේ වෙළෙඳාමෙහි පාලනය සඳහා ගැටුණු අවස්ථාවේ දී ඒ අතරමැද පිහිටා තිබූ දිවයින අත්පත් කරගත් ස්ථානය කුමක් ද? ප්‍රශ්න අඩුවෙන් අසන තාක් ජාතික ඉතිහාසයේ කීමට තරම් වරදක් නැත.
 
 
සිතියමේ සීමාව- දැක්මේ සීමාව වීම
 
 
මහා ඉන්දියන් සාගරයෙහි ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව අප දරන මානසික සංකල්පනාව පදනම් වී ඇත්තේ ජ්‍යේෂ්ඨ පාසලේ ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය විෂයයන් සඳහා යොදා ගැනුණු, තොග වශයෙන් මුද්‍රණය කළ, ඇට්ලස් සිතියමෙන් සලකුණු කරගත් රටෙහි කටුසටහන මත ය: ඉන්දියානු උප මහද්වීපයේ දක්ෂිණ කොනට දකුණු දෙසින් පිහිටි අඹයක හැඩැති දූපත මතකයේ සටහන් ව ඇත්තේ සදා නොමැකෙන අයුරිනි. 
 
වැඩිහිටියන් වූ පසුව වුවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන සිතන විට ඉන්දියාවට ඇති සමීපත්වය නිතැතින් ම මනැසට නැගෙයි. 
 
එහෙත් යමෙක් පුළුල් පරාසයක් තුළ වෙනත් මානයකින් සමස්ත චිත්‍රය දෙස බැලුවහොත්, නුදුරු ගිණිකොන දෙසෙහි ඉන්දුනීසියානු දූපත් සහ මැලේසියාව ද නිරිතදිගින් මාලදිවයින ද ක්‍රමානුකූලව නිදර්ශිත රාමුව තුළට පැමිණෙන අයුරු නිරීක්ෂණය කරනු ඇත. 
 
එම ස්ථාන සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ බාධාවලින් තොර වූ මුහුදකි. විකල්පීය ඓතිහාසික පරිකල්පනයක් තුළ නම් ඉන්දුනීසියානු සහ මැලේසියානු මුතුන්මිත්තන් නැගෙනහිර සිට බටහිර වෙරළ තීරයට සංක්‍රමණය වීම්, ඔවුන් පිහිටවූ ජනාවාසය, ඔවුන් සිදු කළ ආක්‍රමණ සහ නොයෙකුත් ආගමන සහ අපගමන මුළුමනින්ම නොසලකා හැරීම ඥානාන්විත නොවේ. 
 
cwr 
 
මෙසේ ගත් කල 1966 දී ප්‍රකාශිත සෙනරත් පරණවිතානගේ ලංකාව සහ මැලේසියාව (සිලෝන් ඇන්ඩ් මැලේසියා), මොට වූ පරිකල්පනයට වටිනා නවමු දැක්මක් ලබා දෙයි. ඔහුගේ කෘති අතරින් එතරම් ජනප්‍රිය නොවූ නිර්මාණයක් වන මෙම ග්‍රන්ථය බිහි වන්නේ පරණවිතානට ජාතික ඉතිහාස ව්‍යාපෘතියෙහි නියුතු වූවන්ගේ ප්‍රසාදය අහිමි වෙමින් තිබුණු අවදියෙහි දී ය. (වෙනත් සන්ධිස්ථානවල දී ඔහුගේ යම් යම් සොයාගැනීම් එම ව්‍යාපෘතියට වටිනාකමක් එක් කළ බව ද සඳහන් කළ යුතු ය.‍)
 
 
ඉතිහාසය සහ මතකයන් අතර ගැටුම:
 
 
ශ්‍රී ලංකාවේ අනුස්මරණය හා සම්බන්ධ අරගලය සහ ප්‍රචණ්ඩත්වය; විද්වතුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් විසින් පුළුල් ලෙස ලේඛනගත කොට තිබේ. 
 
යුද්ධය පැවති ප්‍රදේශවල, මියගිය අය සිහි කිරීම වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහන් සඳහා රජය විසින් වරින් වර බාධා කිරීම, නිරන්තරයෙන් අවධානයට ලක් වන කරුණකි. එවැනි අනුස්මරණයන්ට එරෙහිව නගන තර්ක බොහෝ විට “ජාතික ආරක්ෂාව” පිළිබඳ ගැටලු හා බද්ධ වී ඇත. 
 
මියගිය අය සිහි කිරීමටත් පොදු අහිමිවීම් සිහි කිරීම වෙනුවෙන් එක්රැස් වීමටත් ප්‍රජාවකට ඇති අයිතිය වෙනුවෙන් සහාය දෙන විවේචකයන්ට අනුව නම් රාජ්‍යය විසින් පනවා ඇති මෙම තහනම එහි මතවාදී න්‍යායපත්‍රයේ කොටසකි.
 
  
අප සහ ඔවුන්, හොඳ සහ නරක, නිර්භීතකම සහ ද්‍රෝහිකම, සිංහල සහ දෙමළ, යනාදී වශයෙන් තියුණු ලෙස බෙදා වෙන් කර ඇති ජාතික පරිකල්පනයක් සාක්‍ෂාත් කර ගත හැක්කේ අනෙකා තුරන් කිරීමෙන් හෝ මර්දනය කිරීම; ස්මාරක බිඳ හෙළීම, සංවාද නිහඬ කිරීම, වේදනාවන් සහ පීඩාවන් නිරූපණය කිරීම අවහිර කිරීම යනාදිය තුළින් ම පමණි. 
 
 
ජීවමාන තත්ත්වයට වඩා විශාල විජයග්‍රාහී ස්මාරක ඉදි කොට ජයගත් දේශය අත්පත් කර ගැනීමේ ජයග්‍රහණය ලොවට කියාපාන්නා සේම, වින්දිතයන්ගේ මතකයන් මුළුමනින්ම ඉවත හෙළා, සැලසුම් සහගතව විජයග්‍රහණය පිළිබඳ සාඩම්බර කතා පුවත් ඊට ආදේශ කොට ඇත. 
 
මේ අනුව පැහැදිලි වන්නේ අතීතයේදී යුධ ජයග්‍රහණයකින් අනතුරුව ජයග්‍රාහී පිල කවියන්ගේ දෑත් කැපීමෙන්, ගායකයන්ගේ දිව කැපීමෙන් ආඛ්‍යාන නිහඬ කිරීම හුදෙක් සංකේතාත්මක ක්‍රියාවන් නොවන බව යි.
 
ඉතිහාසය සහ මතකයන් අතර ඇති ඝට්ටනය පිළිබඳව එළඹිය හැකි නිගමන බොහෝමයකි. පියෙර් නෝරා, ඔහුගේ ප්‍රකට රචනයක් වන “මතකය සහ ඉතිහාසය අතර: ලෙ ලියු ද මෙමුවා” තුළින් පිළිගන්නේ “ඉතිහාසය සදාකාලිකව ම මතකය ගැන සැක කරන බව” සහ “එහි සැබෑ පරමාර්ථය එය මර්දනය කොට විනාශ කිරීම ය” යන්න යි (නෝරා, 9). 
 
ඉතිහාසයේ අරමුණ සහ අභිලාෂය වනුයේ “සැබැවින් සිදු වී ඇති දේ පැසසීම නොව එය යටපත් කිරීම හා මුලිනුපුටා දැමීම” සහ “අඩුපාඩු හා වැරදි නොමැති අතීතයක් නැවත සකස් කිරීම”යි (නෝරා, 9). නූතන ජාතික රාජ්‍යයේ පරිකල්පනීය රාමුව තුළ පිහිටුවා ඇති අඛණ්ඩ අතීතයක් පිළිබඳ සංකල්පය සහ වෘත්තාන්තයට නොගැළපෙන (මිනිසුන් සහ) මිනිසුන්ගේ මතකයන් යටපත් කිරීමට ගන්නා සියලු ප්‍රයත්නයන් නිදහසෙන් පසුව සමාජය මුහුණ දෙන දෛනික යථාර්ථයක් වශයෙන් දැක්විය හැකි ය.
 
 
“වර්තමානය පාලනය කරන්නා අතීතය පාලනය කරයි”
 
 
ඒකාධිපති රජයක් පිළිබඳ නිරන්තරයෙන් උපුටා දැක්වෙන සමපේක්ෂනාත්මක නිර්මාණයක් වන ජෝර්ජ් ඕර්වෙල්ගේ 1984, මතකය සහ ජාතික ඉතිහාසය අතර ඇති සබඳතාව සාරාංශ කොට දක්වන්නේ “අතීතය පාලනය කරන්නා අනාගතය පාලනය කරයි” සහ “වර්තමානය පාලනය කරන්නා අතීතය පාලනය කරයි” යනුවෙනි.
 
 
එක්තරා මට්ටමකදී, ඕර්වෙල් ජාතියෙහි සහ එහි පූර්වකල්පිත දෛවයෙහි සම-යැපීම පූර්ණ ඉතිහාසය මත රඳා පවතින බව තහවුරු කරයි: එහි සාර්ථකත්වය රඳා පවතින්නේ මතකයන් පාලනය කිරීම මතය. 
 
මෙම ඉතිහාසය/ජාතිය ගොඩනැගීම සාමාන්‍යකරණය කර, සංසරණය කර, මිනිසුන්ගේ රුධිර ධාරාවට කාවැද්දීමේ ක්‍රියාවලිය තුළ පාසල් පන්ති කාමරයට හිමි වන්නේ තීරණාත්මක ස්ථානයකි: අවැසි තැන දී සීරුවෙන් සිටගනිමින් “එක රටක්-එක ජාතියක්” උත්තේජනයට ප්‍රතිචාර දැක්වීමට මගපෙන්වීම සපයන්නේ එය යි. 
 
චෙක් ජාතික නවකතාකරු මිලාන් කුන්දෙරා “බලයට එරෙහි මිනිසාගේ අරගලය”, “අමතක වීමට එරෙහි මතකයේ අරගලය” හා සමාන කොට ඇති බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාවේ මෙම අරගලය දෛනික යථාර්ථයකි - උගතුන් එය නිවැරදිව දකින තරමට විනිවිද පෙනෙන එකකි.
 
 
එසේ නම් අභියෝගය වන්නේ, රාජ්‍යයේ ජාතික ඉතිහාසය ගොඩනැගීමේ වැඩසටහන මඟින් ඉතිහාසය අසුරා ඇති සිර කුටීර පුපුරවා හැරීම සහ සාමූහික අතීතයන් සහ වර්තමානයන් පිළිබඳ පරිකල්පනය කිරීමේ විකල්ප ක්‍රම දිරිගැන්වීමයි: 
 
 
තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, මතකයන් යටපත් කිරීමේ ඉතිහාසයේ භාවිතය අභිභවා යමින් පසුගිය වසර 50 තුළ ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කරන ලද පටු බහුතරවාදී රාමුව බිඳවැටීමට ඉඩ සලසන දොරටු විවෘත කිරීම යි. මතකයන් නොනැසී පැවතීමට නම්, ජාතික ඉතිහාසයෙන් පිටත ස්ථාපනය වූ චින්තනයක් අත්‍යාවශ්‍ය මෙන්ම හිතකර වේ.
 
 
ඉතිහාසය සහ මතකයන් සඳහා විකල්ප රාමු:
 
 
මෙම ලිපිය නිම කිරීමට මත්තෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ගැටුම් පිළිබඳ මතකයන් සිතියම්ගත කර බෙදාහැරිය හැකි විකල්ප රාමුවකි: එය මයිකල් රෝත්බර්ග්ගේ බහුදිශානුගත මතක න්‍යායෙන් ආදර්ශය ලැබූවකි. 
 
කෙටියෙන් කියනවා නම්, බහුදිශානුගත මතකය යනු සමස්ත ඉතිහාසය යන සංකල්පයෙන් ඔබ්බට පරිකල්පනයන් දිරිගන්වමින් විවිධ මතකයන් අතර ඇති සම්මුතිය අනුරූපණය කිරීමේ ක්‍රමයකි (රෝත්බර්ග්, 17). රෝත්බර්ග් කියන පරිදි අවධානය යොමු විය යුත්තේ “විවිධ අතීතයන් සහ විෂම වර්තමානය අතර අන්තර්-සම්බන්ධතාව” වෙත වන අතර මතකයන් අතර ඇති “අතිපිහිතවීම් සහ අතපෙවීම්” උදෙසා විශේෂ සැලකිල්ලක් හිමි විය යුතු ය (රෝත්බර්ග්, 162). 
 
ආකෘතියක් වශයෙන් බහුදිශානුගත මතකය මඟින්, අප පුහුණු කරන ලද සිද්ධි-විශේෂිත රූපණයන් අභිබවා ගැටුම් පිළිබඳ මතකය දෙස බැලීමට සමාජයක් දිරිමත් කිරීමේ හැකියාවක් ඇති අතර, ගැටුම් අතර සමාන්තරයන්, අතිච්ඡාදනයන්, අනුනාදයන් වැනි දේ පවතින බව පෙන්වා දෙයි.
 
 
චැම්පියන්ගේ ‘විකල්ප ඉතිහාස රචනය’
 
aftermath of bombing jaffna 1988 53053 
 
මහනුවර පදනම් කරගත් ඡායාරූප ශිල්පියකු වන ස්ටීවන් චැම්පියන්ගේ (Stephen Champion ) ඡායාරූප එකතුවක් වන 2008 දී ප්‍රකාශිත ‘ශ්‍රී ලංකාවේ යුධමය කතාන්දර’, මගේ මනසේ ඇති සංකල්පික රාමුව නිරූපණය කරයි. 
 
චැම්පියන් 1987-90 කාලයේ දේශපාලනික හදිසි තත්ත්වය සහ උතුරු-නැගෙනහිර ගැටුම වටා ඡායාරූප රැගෙන, ඒවායේ අන්තර් සම්බන්ධතාව ඔස්සේ සාරවත් වන මතකයන් මාලාවකට සම්මිශ්‍රණය කළේ ය. 
 
මෙම ඡායාරූප අතර, බැලූ බැල්මට වර්ගීකරණයක්, අනුපිළිවෙලක් හෝ ධූරාවලියක් දක්නට නොමැත. ඒවා සංකීර්ණ හා රේඛීය නොවන, මතක අන්තර්මුහුණතකට ගෙතී ඇත. ඡායාරූප ශිල්පියාගේ සැලකිල්ල විශේෂිත දේ සිට අතිශයින්ම සාමාන්‍ය දේ දක්වා විහිදේ. 
 
ඇඳිරි නීතිය ඇති විටෙක අහඹු වීදි දසුනක්, පිරිමින් හා ගැහැණුන් රැස්ව සිටීමක්, කැරලිකරුවන් එකිනෙකාගේ සමාගම විඳීම සහ මහ මග දමා ගිය මළ සිරුරක් අසල ශෝක වන ආදරණීයයන්, එහි පෙළගැස්වී ඇත.
 
 
චැම්පියන්ගේ නිර්මාණ, සිදුවීම්-රාමු තුළ සහ ඒවා අතර, පුළුල් චිත්තවේගී හැඟීම්, ආතතීන් සහ කාංසාවන් ආවරණය කිරීමට සමත් වේ. මේවා  ප්‍රජා සහ පෞද්ගලික ශෝකය, සාහසික සිදුවීම් දැකීමෙන් ඇති වූ කම්පනය, බොඳ වූ හැඟීම්, අවිනිශ්චිතභාවය, සහ හුදෙක් භාව ප්‍රකාශනයන් නොමැති අවස්ථා ආදී පරාසයක පවතී. 
 
 
slop
 
ස්ටීවන් චැම්පියන් 1980 අග භාගයේදී ගත් ඡායාරූපයක්.
 
 
පුළුල් ලෙස සංසරණය වී ඇති - චැම්පියන්ගේ හිමිකාරත්වය සඳහන් නොකර බොහෝ විට වෙබ් අඩවි සහ බ්ලොග්වල බහුලව සංසරණය වන - එක් ඡායාරූපයක පිරිමි ළමයෙකු ගමේ මාවතක දිගා කොට තිබෙන මළ සිරුරු දෙකක් අසල හඬමින් සිටියි. 
 
පිරිමි ළමයා තවමත් දරුවෙකු බව පෙන්නුම් කෙරෙන අතර, ඔහු ළඟ තිබෙන ඉණි වැටක් අතින් දැඩිව අල්ලාගෙන, දුර්මුඛ වී සිටියි. එම මළ සිරුරු අලුතින් සොයාගෙන ඇතැයි අනුමාන කළ හැකි ය. ඔවුන් කැරලිකාර තුවක්කුකරුවන්ගේ හෝ රාජ්‍ය භීෂණයේ නියෝජිතයින්ගේ ගොදුරු බවට පත් වී ඇත. 
 
1980 අග භාගයේදී ගත් ඡායාරූපයක, සුදු හුණු ආලේපිත නිවසක බිත්තියේ ප්‍රතිවාදී ජ.වි.පෙ. සහ රාජ්‍ය හමුදාවල වෛරී සහගත කුරුටුගෑම් විසිරී තිබෙනු දක්නට ලැබිණි. 
 
2006 වසරේදී ඡායාරූපගත වූ ලෙස හඳුනා ගැනුණු ඡායාරූපයක, විරු දින සැමරුමකදී තරුණ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් ඇගේ බරැති මෝටාර් අවිය සමඟ සිටගෙන සිටියි. දැරියගේ මුහුණ තේරුම්ගත නොහැකි ලෙස භාව ප්‍රකාශනයන්ගෙන් තොර අතර විනයානුගත හමුදා ඉරියව්වෙන් වෙනස් ව, ඇගේ වම් පාදය මද වශයෙන් ඇතුළට හැරවී ඇත.
 
 1988 ලෙස හඳුනාගැනුණු සිව්වන ඡායාරූපය පෙන්නුම් කරන්නේ, මරා දමන ලද සිය පුතුගේ රාමු කළ රූපයක් අල්ලාගෙන සිටින මඩකලපුවේ පියෙකි.
 
 පස්වන රූපයෙහි දැක්වෙන්නේ, 2008 දී කැබිතිගොල්ලෑවේ පාරක් අසල  සිටගෙන සිටින මවකි. ඇයගේ අතේ සිටින ඇගේ කුඩා පුතු අනුකරණ විලාසිතාවට සැකසූ හමුදා නිල ඇඳුමකින් සැරසී සිටියි.
 
 
ශ්‍රී ලංකාව තුළ ස්මරණය ඒකාධිකාරියට ලක් කරන ප්‍රබල කණ්ඩායම් විසින් දෙන ලද විධානය චැම්පියන්ගේ රාමුවෙන් අභියෝගයට ලක්කරන අතර, මතක-සහයෝගීතාව සහ සාමූහිකව නැවත පරිකල්පනය කිරීමට - පටු නිර්වචන අභිබවා යෑමට අප දිරිගන්වයි. යුධ කතාන්දර තුළ ඇත්තේ යුද්ධය පිළිබඳ කතාව යි. 
 
 
ඡායාරූපගත මතකයන්වලින් පාරගමනය වන තත්ත්වය තුළ, සහයෝගීතාවක් සහ සාමූහික කාංසාව පිළිබඳ හැඟීමක් ඇති අතර, එමඟින් නව චින්තනයක්, කලින් පරීක්ෂා නොකෙරුණු, පෙර අත්හදා නොබැලුණු ප්‍රවේශයන් සහ වර්තමානයේදී අතීත ආරවුල් විසඳා ගැනීමට තැත් කිරීමේදී මුහුණ දීමට සිදු වන අනපේක්ෂිත අභියෝග ඉස්මතු කළ හැකි ය. 
 
 
2005 දී, ශ්‍රී ලංකාවේ බහුතරවාදී ජාතිකවාදී රාමුවට, එහි මැදිවයස් අර්බුදයෙන් මුදවාගෙන උතුරු-නැගෙනහිර යුද්ධය අවසන් කිරීම සඳහා වූ අලුත් ජීවිත වරමක් දෙනු ලැබිණ. එහෙත්, වර්තමානය වන විට එය එහි ගමනාන්තය දක්වා පැමිණ ඇත. 
 
එහි ජයග්‍රාහී අසාර්ථකත්වය  ධ්‍රැවීකරණය වූ සහ තියුණු ලෙස බෙදී ගිය 2019 මැතිවරණ ප්‍රතිඵලයෙනුත්, පසුකාලීන සිදුවීම් තුළිනුත් පිළිබිඹු විය. අපගේ පශ්චාත් යටත් විජිත අනාගතය එම ඉතිහාසය ගලවා ගැනීමට සහ ප්‍රධාන ධාරාවේ ඉතිහාසයේ රාමුවට අභියෝග කිරීමට නව පරිකල්පනයන් ඉල්ලා සිටී.
 
  
උපුටා ගැනීම්:
 
Champion, Stephen. Sri Lanka: War Stories. Hotshoe, 2008.
Kundera, Milan. The Book of Laughter and Forgetting. Harper Perennial, 1999.
 
Orwell, George. 1984. Penguin, 2008.
 
Nora, Pierra. “Between Memory and History: Les Lieux de Mémoire.” Representations 26, 1989, pp. 7-24.
 
Paranavithana, Senarat. Ceylon and Malaysia. Lake House Investments, 1966.
 
Rothberg, Michael. “Between Auschwitz and Algeria: Multidirectional Memory and the Counterpublic Witness.” Critical Inquiry 33, 2006, pp. 158-184.
 
Multidirectional Memory: Remembering the Holocaust in the Age of Decolonization. Stanford University Press, 2009. 
 
 
 
 
සබැඳි පුවත :
 
 

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...