The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

සිරිලාල් කොඩිකාර සම්මුඛ වූ මොහොතක් -ජයසිරි අලවත්ත

T

The Leader Desk

November 19, 2021 • 3:52 PM

 සිරිලාල් කොඩිකාර සම්මුඛ වූ මොහොතක් -ජයසිරි අලවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට විසූ ජ්‍යෙෂ්ඨ මෙන් ම අදීන පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභවප්‍රාප්ත වී ඇත.
  • ඒ, 2008 වසරේ දී පමණ එවකට පැවති Lankascreen වෙබ් අඩවිය සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඔහු විසින් මා සිරිලාල් කොඩිකාර නම් වූ දැවැන්තයා වෙත සම්මුඛ කරවීම හේතුවෙනි.
  • මතු දැක්වෙන්නේ මීට සිවු වසරකට (2017) පමණ ඉහත ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.
  • නමුදු මතු ඔබ කියවන්නට සුදානම් වන සම්මුඛ සාකච්ඡාවේ කථකයා වන මෙරට මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙකු වන සිරිලාල් කොඩිකාර මහතා පැවසුවේ ඔහු බ්‍රහ්ම ලෝකයට යන්න අකමැති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):



මා මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයෙකු නොවුණ ද එකී ක්ෂේත්‍ර යේ රැඳී සිටි සුළු කාල සීමාවේ දී වුව ඔහු සම්මුඛ වී අදහස් හුවමාරු කරගන්නට අවස්ථා කිහිපයක් ම ලැබිණ.

එහි පළමු ගෞරවය හිමි විය යුත්තේ ගුණසිරි සිල්වා සොයුරාට ය. ඒ, 2008 වසරේ දී පමණ එවකට පැවති Lankascreen වෙබ් අඩවිය සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා ඔහු විසින් මා සිරිලාල් කොඩිකාර නම් වූ දැවැන්තයා වෙත සම්මුඛ කරවීම හේතුවෙනි. ඉනික්බිති ද කිහිප වතාවක් ම ඔහු සම්මුඛ වී විවිධ තොරතුරු හුවමාරු කරගන්නටත් සම්මුඛ සාකච්ඡා කිහිපයක් ම පවත්වන්නටත් මට අවස්ථාව ලැබිණ.

මතු දැක්වෙන්නේ මීට සිවු වසරකට (2017) පමණ ඉහත ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි. ඔහු ගැන වෙනත් යමක් නොලියා මෙම සම්මුඛ සාකච්ඡාව ම යළි පළ කරන්නට අදහස් කළේ එතුළ ‘‘සිරිලාල් කොඩිකාර’’ නමැති මාධ්‍යෙව්දියා මතු නොව සමස්ත පුද්ගලයා ම සැඟව සිටින බැවිනි. එය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න මෙම සාකච්ඡාව කියවීමෙන් අනතුරව ඔබට පසක්වනු නොඅනුමාන ය.

 මරණය අපි හැමෝට ම උරුමය; එමෙන් ම මරණය පිළිබඳ බිය ද සියලු සත්වයන්ට ආවේණික ලක්ෂණයකි. වියපත්වන පුද්ගලයින් මරණයටත් වඩා බියපත් වන්නේ මරණයෙන් පසු උප්පත්තිය ලබන්නේ කොතැන ද යන ගැටලුව හේතුවෙනි. හැකිතාක් දුරට පවෙන් වළකින්නන මිනිස්සු උත්සාහ කරන්නේ අපාගත වේය යන බිය හේතුවෙනි.

මරණයෙන් පසු ද යලි ඉපදෙතැයි විශ්වාස කරන සියලු දෙනා ම පාහේ වැඩි රුචිකත්වයක් දක්වන්නේ දිව්‍ය ලෝයේ හෝ බ්‍රහ්ම ලෝකයේ ඉපදිමට ය. නමුදු මතු ඔබ කියවන්නට සුදානම් වන සම්මුඛ සාකච්ඡාවේ කථකයා වන මෙරට මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙකු වන සිරිලාල් කොඩිකාර මහතා පැවසුවේ ඔහු බ්‍රහ්ම ලෝකයට යන්න අකමැති බව යි. ඇත්තට ම එය විශ්වාස කළ හැකි ද? විශ්වාස කළ නොහැකි වුව ද එය සත්‍යයකි. ඒ සත්‍ය ඔහුගේ ම වචනවලින් සඳහන් කිරීම වඩාත් උචිත යැයි හැඟෙන බැවින් නිසා දැන් අපි ඔහුට සවන් දෙමු.


‘‘මම බොහෝම ඉස්සර ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව දැඩි විශ්වාසයක් තිබුණ. මං මේ කියන්නෙ නවසිය හතලිහ පනහ වගේ කාලෙ. නමුත් එක්තරා නිශ්චිත අවස්ථාවක මගේ ඒ විශ්වාසය නැති වුණා. ඒකට හේතුව තමයි 1956 පැවති සූර්‍යග්‍රහණය. එදා ලෝකයේ කිසිම ජ්‍යෝතිෂඥයකුට බැරි වුණා සූර්‍යග්‍රහණය පිළිබඳ අනාවැකි පළ කරන්න. නමුත් තාරකා විද්‍යාඥයෝ ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා කළා.

ඒ කොහොම වුනත් වර්තමානයේ මම ගත කරන ජීවිතය පිළිබඳව එදා මගේ සමීපතමයෙක් වූ ධර්මදේව ගජරූප ජ්‍යෝතිර්වේදියා ප්‍රකාශ කළ එක් අනාවැකියක් මේ වන විට සත්‍යයක් බවට පත්වී තිබෙනවා. ඔහු පැවසුවේ මගේ ජීවිතයේ අවසාන කාලය බොහෝම සුවපහසු ලෙස ජීවත්වෙන්න ලැබෙන බව. ඒ වගේම යම් කෙනෙකුගේ ජීවිතයේ සන්ධ්‍යා සමය සැහැල්ලූවෙන් ගත කළොත් ඒ පුද්ගලයා මරණයෙන් අනතුරුව බ්‍රහ්ම ලෝකයේ උපදින බවත් පැවසුවා. ඔහු පැවසූ අනාවැකිය මේ වන විට සියයට සීයක් සත්‍ය බවට පත්වී තිබෙනවා. මම බොහොම සැහැල්ලූවෙන් ජීවිතය ගත කරනවා. නමුත් මට ලොකු කනගාටුවකුත් තිබෙනවා.’’

මෙතෙක් ඔහුගේ කතාවට සවන් දුන් මම, මේ අවසන් වචන කීපය ඔහුගේ මුවින් ගිලිහෙන විට තරමක් වික්ෂිප්තභාවයට පත්වුනෙමි. ඒ, මෙතරම් සැහැල්ලූවෙන් ජීවත් වන පුද්ගලයා කනගාටුවට පත්වෙන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙනි. මම තව දුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළේ ඊට හේතුව දැනගැනීම සඳහා ය.


මොකක්ද ඔබට තිබෙන කනගාටුව?

සැහැල්ලූ සිනහවක් මුවට නගාගත් ඔහු මෙසේ පිළිවදන් සැපයී ය.

‘‘ඔයා දන්නවද? මනුස්ස ලෝකෙ වගේම දිව්‍ය ලෝකෙ තියෙන අනර්ඝතම වස්තුව බ්‍රහ්ම ලෝකෙ නෑ. ඉතිං මම බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවොත් කොපමණ සැප සම්පත් තිබුණත් මට ඒ සම්පත අහිමි වෙනව. ඒකයි මට තියෙන කනගාටුව.’’

ඔහු තව තවත් මාව අපහසුතාවට පත්කරමින් සිනාසෙන්නට විය. ඒ නිසා මට නැවතත් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට සිදු විය.

ඇත්තට ම මොකක් ද ඔය කියන අනර්ඝත ම සම්පත?

ඔහු මට පිළිතුරු දුන්නේ තරමක් විලියෙන් මෙන් ම මගේ අසලට වඩ වඩාත් සමීප වී රහසක් පවසන ලෙසිනි.

 

‘‍‘ඇයි... ඔයා දන්නෙ නැද්ද... බ්‍රහ්ම ලෝකෙ ගෑනු නැහැ නෙ. දිව්‍ය ලෝකෙ නං දිව්‍යාගනාවො හරි ඉන්නව. ගෑනු නැති ලෝකෙක ඉපදෙනව කියනකොට දුකක් දැනෙන්නෙ නැද්ද...?’’

මේ ආකාරයට කාන්තාව ඉතා අනර්ඝ වස්තුවක් ලෙස වර්ණනා කළේ මේ වන විට (2017) 93වන වියේ පසුවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර ය.

වර්තමානයේ තම දියණියගේ නිවසේ සුවසේ පසුවන ඔහුට කිසිදු හුදෙකලා බවක් නොදැනෙන බව හෙතෙම පැවසී ය. මෙවන් වයසකදි හුදෙකලා බවක් නොදැනෙන්නේ නම් ඊට විශේෂ හේතුවක් හෝ හේතු කීපයක් තිබෙන්නට පිළිවන.

‘‘මට මේවන විට භෞතික සම්පත් සියල්ල නොඅඩුව ලැබෙනවා. මේ භෞතික සම්පත් බෞද්ධාගමේ හැඳින්වෙන්නෙ: චීවර (ඇඳුම් පැලඳුම්), පිණ්ඩපාත (ආහාර පාන), සේනාසන (ඉඳුම් හිටුම්) සහ ගිලානප්‍රත්‍යය (ලෙඩට දුකට සැලකීම) නමින්. අධ්‍යාත්මික ප්‍රබෝධයත් නොඅඩුව ම ලැබෙනව.’’

පුද්ගලයෙකුට ලබාගත හැකි අපහසු ම සම්පත ලෙස අධ්‍යාත්මික සම්පත හැඳින්විය හැකි ය. නමුදු එම සම්පත ළඟා කරගැනීමට තමන්ට නම් එතරම් අපහසුවක් නොමැති බව ඔහු පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි.

‘‘බොහෝ වයස්ගත පුද්ගලයන්ට හුදෙකලා බව දැනීම අරුමයක් නොවෙයි. ඒක තුරන් කරගැනිම සඳහා ඔවුන් අධ්‍යාත්මික වශයෙන් පොහොසත් විය යුතුයි. මට ඉතාමත් අවංකව ම ප්‍රකාශ කරන්න පුළුවන් මට ඒ හුදෙකලා බව දැනෙන්නෙ නැති බව සහ මම අධ්‍යාත්මික වශයෙන් පොහොසත් බව.


මගේ පුද්ගලික පරිහරණය සඳහා ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ ම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනව. නමුත් මට ඒ හැම එකකට ම වඩා වටින්නෙ පොත් පත් ඇසුර. මම මේ වන විටත් ඩී. එෆ්. කාරියකරවන මහත්මයගෙ ‘මතක පොතෙන් තවත් ටිකක්’ පොත කියවමින් ඉන්නව. ඒ පොත කියවද්දි මට අපේ පරණ මතක සිහියට එනව. මට කෙනෙක් කිව්ව මගේ නමත් ඒ පොතේ සඳහන් වෙලා තියෙනව කියල. ඒ නැතත් ඒ පොතෙන් පිළිබිඹු වෙන්නෙ එදා අපේ සමාජෙ. ඒ අතීතය කියවද්දි පාළුවක් තනිකමක් දැනෙන්නෙ නෑ. මට දැනෙන්නෙ ඒ සමාජයෙ ජීවත්වෙනව වගේ. ඒ පොත ඒ තරම්ම ප්‍රබලයි. ජාතක කතා පොත, බයිබලය වගේ ම මහම්මද්තුමාගේ ජීවිත කතාව කියවද්දිත් දැනෙන්නේ ඒ වගේ සැහැල්ලූවක්.’’

ජාතක කතා පොත සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් පළ කරන විවිධ මත අප කොතෙකුත් අසා ඇත.  අපේ කතා නායකයාට ද ජාතක කතා පොත පිළිබඳව කිසියම් මතයක් ඇතැයි සිතු හෙයින් මම ඒ පිළිබඳව ද ඔහුගෙන් විමසුවෙමි.

‘‘මම ජාතක කතා පොත දකින්නෙ ඉස්තරම් ම සාහිත්‍ය නිර්මාණයක් විදියට. එකල සමාජෙ පිළිබඳව හොඳ අවබෝධයක් ජාතක කතා පොත තුළින් අපට ලබාගන්න පුළුවන්. එහි එන නපුරු මිනිසා වගේම යහපත් මිනිසා අද සමාජෙත් ජීවත් වෙනව. බුදුන් වහන්සේ ජාතක කතාවලින් පැහැදිලි කළේ සමාජෙ ජීවත්වෙන හොඳ සහ නරක මිනිස්සු පිළිබඳව සහ සිද්ධි පිළිබඳව යි. උන්වහන්සේ හැම අවස්ථාවක ම ඒ හැම කතාවක ම චරිතයක් ලෙස උන්වහන්සේව ම හඳුන්වා දුන්න. මේක පූර්ව ආත්මය පිළිබඳ කතිකාව ඉක්මවා ගිය ‘අවවාදයට වඩා ආර්ශය උතුම්’ යන සංකල්පයේ නිවැරදිභාවය ඔප්පු කරල ම පෙන්නන අවස්ථාවක්. ඒ අවස්ථාව මතු කිරීම සඳහා උන්වහන්සේ උපමා කර ගත්තෙ තමන්ව ම යි. මමත් ප්‍රබන්ධකරුවෙක් නිසා ජාතක කතාවේ ප්‍රබන්ධනාත්මක ලක්ෂණය හොඳින් ග්‍රහණය වෙනව සහ ඒක මට සමීප වෙනව.’’


''ඔබේ පිළිතුරෙන් ගම්‍ය වෙන්නේ ජාතක කතා පොතෙහි ඇතුළත් කතා ප්‍රබන්ධ බවයි. නමුත් බෞද්ධයො විශ්වාස කරන්නෙ එහි ඇතුළත් කතා උන්වහන්සේගේ පෙර ආත්මභාවවලදි ලබපු අත්දැකීම් විදියට. ඔබ කොහොමද එය ප්‍රබන්ධයක් බවට සනාථ කරන්නෙ?

‘‘මම එක උදාහරණයක් කියන්නං. ජාතකකතා පොතේ අඩංගු වන එක ජාතක කතාවක් මම කියවපු අප්‍රිකානු ජනකතා පොතක තියනව. ජාතක කතාවෙ ගඟ වෙනුවට ජනකතා පොතේ තියෙන්නෙ මුහුද.  කිඹුලා වෙනුවට ඉන්නෙ මකරෙක්. ඉතිං මම හිතන්නෙ ජාතකකතා පොතේ ඇතුළත් කතන්දර පවා වෙළෙන්දන් සහ සංචාරකයින් හරහා රටින් රට පැතිරුණ ප්‍රබන්ධ වෙන්න ඇති. මිනිස්සු ඒ චරිත සහ සිද්ධි බුදුන්වහන්සේගෙ පෙර භවයේ සිදුඋණ සිද්ධි සහ ජීවත් උණ චරිත ලෙස වැරදි විදියට අර්ථකතනය කරා වෙන්න පුළුවන්.’’


මේ වියපත් මාධ්‍යවේදියා ඔහුගේ නිවස ඉදිරිපිට තිබෙන ත්‍රීරෝද නැවතුම්පළෙහි රියදුරන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින ආකාරය මම බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. ඒ සියලු දෙනා ම පාහේ තරුණ වියේ පසුවන්නෝ වෙති. මේ වියපත් පුද්ගලයා සහ ඒ තරුණයින් අතර ඇති සබඳතාව කෙබඳු ද යන්න මම ඔහුගෙන් විමසුවෙමි.

‘‘මම 1947 සේවය කරේ ‘සිංහල ජාතිය’ පත්තරේ. ඒ පත්තර කන්තෝරුව ඉස්සරහ තිබුණ රික්ෂෝ නැවතුම්පළක්. රාජකාරි ඉවර වෙච්ච ගමං මං ඇවිත් ඒ රික්ෂෝකරුවො එක්ක කතාවට එකතු වෙනව. ඔවුන් පවසන ඇතැම් කරුණු පත්තරකාරයෙක් විදියට මට හුඟක් වටිනව. අදත් මට තියෙන්නෙ ඒ පුරුද්ද. ගෙදර ඉන්න කම්මැළි හිතුණ සමහර වෙලාවට මම ඇවිත් ඔවුන් එක්ක අල්ලාප සල්ලාපයෙ යෙදෙනව. නමුත් රික්ෂෝකාරයන් තරමට ම සමීප වෙන්න බැරි ගතියක් දැනෙනව. රික්ෂෝකාරයො මට කොච්චර සමිප වෙලා හිටිය ද කියනවනම්, මම සමහර වෙලාවට ඒ අයගෙන් රික්ෂෝවක් ඉල්ලගෙන ඇදගෙන යනව. හැබැයි මිනිස්සු නග්ගවගෙන නෙවෙයි. දවසක් හරි අපූරු සිද්ධියක් උණා. සුපුරුදු විදියට ම මම හිස් රික්ෂෝවක් ඇදගෙන පාරදිගේ ගියා. එකපාරට ම බෙඩ්ෆෝර්ඞ් කාර් එකක් මගේ ළඟ නතර උණා. කාර් එකේ වීදුරවෙන් එළියට ඔළුව දැම්මේ සිංහල ජාතිය පත්තරේ අධ්‍යක්ෂකගෙ හිතවතෙක්. ඔහු නිතරම වගේ පත්තර කන්තෝරුවට එන යන කෙනෙක්. එයා පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන ඉඳල. ‘මේ මොකද ලාල්? ඇයි තමුසෙ දැන් පත්තරේ නැද්ද?’ කියල ඇහුව. මටත් හිතුණ පුංචි විහිළුවක් කරන්න. ‘නෑ මහත්තය. පත්තර රස්සාව කරල විතරක් ජීවත්වෙන්න බෑ. ඒ නිසා මට හිතුණ මේ වැඩෙත් පුරුදු වෙන්න’ කියල කිව්ව. ඒ මනුස්සයත් වෙන මොනවත් ඇහුවෙ නැතුව ගියා.

පහුවෙනිද මම පුරුදු විදියට ම වැඩට ගියා. මං මගේ පුටුවෙන් වාඩිවෙන්නත් ඉස්සර වෙලා පියන් කිව්ව ‘අන්න ලොකු සර් මහත්තයට එන්න කියනව’ කියල. මං එයාගෙ කාමරයට ගියාම මට වාඩිවෙන්න කියල, ‘මොකක් ද ලාල් මේ කරන පිස්සු වැඩේ. තමුසෙට පඩි මදිකමක් එහෙම තියනවනම් අපි එක්ක සාකච්ඡා කරල මොනව හරි විශේෂත්වයක් කරගන්න පුළුවන්නෙ. තමුසෙට ලැජ්ජ නැද්ද රික්ෂෝ අදින්න.’ කියල දිගට ම කියවන්න පටන් ගත්ත. මට හොඳටම හිනා. පස්සෙ මම කාරණය පැහැදිල කරල දුන්න. ඊට පස්සෙ ඒ මහත්තය මට තව තවත් ස්තූති කරා. මොකද පත්තරකාරයෙක් විදියට ජීවිතයට අත්දැකීම් ලබාගන්න ඕන ඒ විදියට තමයි කියල.’’


සිරිලාල් කොඩිකාර යනු අපේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකි. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත. ඔහු පුවත්පත්වල සේවය කළ කාලයට සාපේක්ෂව අද පුවත් පත්වල සහ අනෙකුත් විද්‍යුත්මාධ්‍යවල භාෂා භාවිතය සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘අද පුවත් පත්වල ව්‍යාකරණ වැරදි ඉතාමත් බහුලයි. මේකට හේතු කීපයක් තියෙනව. ප්‍රධාන ම කාරණය, අද පුවත් පත්වල ලියන අයගේ සිංහල භාෂාව පිළිබඳව ඇති අනවබෝධය සහ පුවත් පත් හිමිකරුවන්ගේ ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම. වර්තමානෙ බොහෝ පුවත් පත් කියවද්දි  මගේ සිතට නැගුන අදහසක් තමයි සිංහල පාසල් ගුරුවරු තමන්ගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල උගන්වද්දි අභ්‍යාස විදියට දෙන්න පුළුවන් හොඳම වැඩේ පුවත් පත්වල ව්‍යාකරණ නිවැරදි කිරීම කියල. ඒ තරමට ම මුද්‍රිත මාධ්‍යයෙ සහ විද්‍යුත් මාධ්‍යයෙ භාෂාව පිරිහිලා. අපේ රටේ විශ්‍රාමික සිංහල ගුරුවර ගුරුවරියො කොච්චර ඉන්නව ද? පුවත් පත්වල හිමිකරුවො සහ පාලනාධිකාරිය සාකච්ඡා කරල නිවැරදි තීරණයක් ගන්නවනම් අපිට පුළුවන් ඒ විශ්‍රාමික ගුරුවර ගුරුවරියන් පුවත් පත්වල ශෝදුපත් කියවන අය විදියට බඳව ගන්න. එවැනි වැඩපිළිවෙළක්වත් නොයෙදුවොත් ලෝකයේ ඇතැම් රටවල තිබුණු භාෂාවලට උණා වගේ අපේ සිංහල භාෂාවත් මළ භාශාවක් වේවි.’’


jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

 

 


 

LEADER TV

මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 



'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...