The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

T

The Leader Desk

November 29, 2021 • 4:08 PM

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෘතුගීසින් දහසය වන සියවසේදී ආරම්භ කොට, ලන්දේසී සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් අත්පත් කරගනු ලැබූ, යුනෙස්කෝ ලෝක උරුමයට අයත්, ඓතිහාසික වටිනා කමින් යුත් ගාලු කොටුව මගේ ජීවිතයේද වැදගත් මංසන්ධියක් විය.
  • මෙතෝදිස්ත මිෂනාරීන් විසින් 1885 දී පිහිටුවන ලද එම පාසැලේ ආදර්ශ පාඨය වූ "ප්‍රේමයෙන්ද සේවයෙන්ද බැඳී සිටිමු" (Knit together in love and service) යන පාඨය ගැන පාසැල් දැරියක් ලෙස එතරම් ගැඹුරින් නොවැටහුනත්, එදා අප කටයුතු කොට ඇත්තේ ඒ අනුව බව මෙදා මට හැඟෙයි.
  •   නිවස සහ පාසැල අතර දුර එතරම් නොවුනත් කුඩා දැරියක වූ මට නේවාසිකාගාරයේ ටික කලක් ලැගුම් ගන්නට සිදුවූයේ මගේ පියා විනය සහ පිළිවෙල ජීවිතයේ ඉතා වැදගත් අංග ලෙස සැළකු අයකු වූ බැවිනි.
  • ගීතිකා ගැයීමෙන් මා බුදු දහමට ද්‍රෝහී හෝ මිත්‍යාදෘෂ්ඨිකයකු වේයැයි යන බියක් එකල ඔවුන් තුල ඇති නොවූවත්, මට සිංදු කියන්නට බැරි බව නම් හොඳින්ම වටහා ගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



කුඩා දැරියක් ලෙස ඇතුළුවී, නව යොවුන් යුවතියක් ලෙස අවසාන කල මගේ පාසැල් දිවිය ගෙවී ගියේ ගාලු කොටුව තුල පිහිටි බාලිකා විදුහලකය.

එකල ගාලු කොටුවේ පදිංචි කරුවන් සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ගේ සම්මිශ්‍රණයක් වූ බැවින්, මාගේ පංති කාමරයද සැමවිටම පාහේ බහු ආගමික සහ බහු වාර්ගික විය.

බොහෝවිට රික්ෂෝ වලින් පැමිණි මුස්ලිම් මිතුරියන්ගේ පාසැල් නිල ඇඳුමට යටින් ඇඳි සුදු කුර්තා පිජාමා කලිසම, ඔවුන් වැඩිවිය පත්වූ පසු පැලඳූ සුදු මොට්ටැක්කිලිය හෝ දමිළ මිතුරියන් වෙතින් උදෑසන නිතරම පාහේ වහනය වූ පිච්ච මල් සුවඳ කිසිවිටෙකත් මට ආගන්තුක නොවීය.

එසේම ප්‍රාථමික පන්ති වලදී ඉංග්‍රීසි, භූගෝලය වැනි විෂයයන් ඉගැන්වූයේ ගවුම් ඇඳ සිටි බර්ගර් සහ බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියන්ය.

මෙතෝදිස්ත මිෂනාරීන් විසින් 1885 දී පිහිටුවන ලද එම පාසැලේ ආදර්ශ පාඨය වූ "ප්‍රේමයෙන්ද සේවයෙන්ද බැඳී සිටිමු" (Knit together in love and service) යන පාඨය ගැන පාසැල් දැරියක් ලෙස එතරම් ගැඹුරින් නොවැටහුනත්, එදා අප කටයුතු කොට ඇත්තේ ඒ අනුව බව මෙදා මට හැඟෙයි.  

නිවස සහ පාසැල අතර දුර එතරම් නොවුනත් කුඩා දැරියක වූ මට නේවාසිකාගාරයේ ටික කලක් ලැගුම් ගන්නට සිදුවූයේ මගේ පියා විනය සහ පිළිවෙල ජීවිතයේ ඉතා වැදගත් අංග ලෙස සැළකු අයකු වූ බැවිනි.

ඒ පාසැල පුර්ණ කාලීනව රජයට පවරා ගනිමින් තිබූ සංක්‍රාන්ති වකවානුවයි. නේවාසිකාගාරයේ සිටි ක්‍රිස්තියානි භක්තික දැරියෝ රාත්‍රී නින්දට පෙර මිහිරි හඬින් ගීතිකා ගැයූහ. බොදු දැරියන් වූ අපි ආසාවෙන් ඒවාට සවන් දුනිමු.

සති අන්තයට ගෙදර ගොස් මහ හඬින් ඒ ගීතිකා ගයනවිට මගේ දෙමාපියන් කිසිවිටෙකත් එය වැලකූයේ නැත. ගීතිකා ගැයීමෙන් මා බුදු දහමට ද්‍රෝහී හෝ මිත්‍යාදෘෂ්ඨිකයකු වේයැයි යන බියක් එකල ඔවුන් තුල ඇති නොවූවත්, මට සිංදු කියන්නට බැරි බව නම් හොඳින්ම වටහා ගන්නට ඇත.


පාසැලෙන් නික්ම යන තුරු ආගම්වාදී හෝ වර්ගවාදී ආකල්ප නොවූයේ කිසිම කෙනෙකු එවැනි අදහස් අප තුල රෝපණය නොකළ නිසා විය හැක. පසු කාලීන යුග වල බොහෝ සිසු දරු දැරියන් ගේ ඔළුගෙඩි තුලට සූක්‍ෂම ලෙස ඇතුල් කල ආගම්වාදී සහ වර්ගවාදී මතිමතාන්තර සමග සසඳන විට, නිදහස් මනසකින් යුතුව පාසැල් ජීවිතය ගතකල අප ඉතාම වාසනාවන්තයයි හැඟෙයි.


එදා මෙදා තුර සිදුවී ඇතිදේ බෙහෙවින්ම ශෝචනීයය. දේශපාලන, සමාජ, ආර්ථික හෝ ආගමික ක්‍ෂේත්‍ර පිළිබඳව මගේ දැණුම ඉතාම සීමා සහිත වුවත් එක් කරුණක් නම් පැහැදිලිය. එනම් රට කරවූ සිංහල, දමිළ සහ මුස්ලිම් දේශපාලකයන්ගෙන් අති බහුතරයක් රටේ අභිවෘධිය ගැන හෝ අනාගත දරු පරපුර ගැන තඹ දොයිතුවකට හෝ මායිම් කොට නැති බවය.

බලය ලබා ගැනීමේ අධික තන්හාව සහ ආත්මාර්ථකාමිත්වය පෙරදැරි කොටගෙන ඔවුන් ජනයාගේ, බෙහෙවින්ම තාරුණ්‍යයේ සිත්සතන් මුලින්ම වර්ගවාදී අදහස් වලිනුත්, ඉන් පසුව ආගම්වාදී අදහස් වලිනුත් දූෂ්‍ය කොට ඇත.

මිනිසුන් මුළා කිරීමට ඇති පහසුම ක්‍රමය, වර්ගවාදී සහ ආගම්වාදී ආකල්ප ජනයාගේ සිත් තුලට කාන්දු කිරීමයි.

සිංහලයන්ගේ හම් වලින් පාවහන් සෑදීමට දමිළ ජනතාවට යෝජණා කල බව කියන එක් දමිළ දේශපාලකයකු මියැදුනේ දමිළ තරුණයන් අතිනි. වෛරය, ද්වේශය සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඇතැම් සිංහල, දමිළ සහ මුස්ලිම් අය ඒවායින්ම විනාශවූ අයුරු අප දැක ඇත.


 92857532 150531165544 jaffna library 512x288 jaffnalibraryයාපනය පුස්තකාලය ගිනිබත් කිරීම -විසිවන සියවසේ සාහසිකම අපරාධයක්


විසිවන සියවසේ සිදුකල සාහසිකම අපරාධයක් ලෙස සැලකිය හැකි, යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීම වැනි මහා අපරාධ පවා සාධාරණීකරණය කිරීමට එවකට රට කරවූ ඇත්තෝ සමත් වූහ. මිල කල නොහැකි ඥාන සම්භාරයක් මෙන්ම, ආසියාවේ තිබූ විශාලතම පුස්තකාල වලින් එකක්වූ, එය ගිනිබත් කිරීමේදී දැවීගිය පොත් අතර නැවත ප්‍රතිස්ථාපනය කල නොහැකි ඉතාම වටිනා අත් පිටපත්ද විය.

1978 සැප්තැම්බර 7 වෙනිදා ප්‍රකාශිත, ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට පමණක් නොහැකි, එක් පුද්ගලයකු වටා අති විශාල බලයක් ඒකරාශීවූ විධායක ජනාධිපති තනතුර සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීමත් සමගම වාර්ගික එකමුතු කමට තදින්ම කණකොකා හැඬීය.

එයින් පසු අද දක්වා අපි රටක් වශයෙන් එයට නොයෙක් අයුරින් වන්දි ගෙවමින් සිටින්නෙමු.



පසුගිය වසර හතලිස් තුනක කාලයක් තුල, නායකයින් ඔවුන්ගේ කැමැත්ත සහ මනඃකල්පිත අදහස් (whims and fancies) අනුව රට පාලනය කරද්දී, ලෝකයේ අපට බොහෝ පසුපසින් සිටි රටවල් විද්‍යාත්මකව සහ ආර්ථිකව අතිශයින් දියුණුවූහ.

 

වරෙක කලාපයේ වැඩිම සාක්ෂරතා අනුපාතයක් (literacy rate)  තිබූ අපි දැන් ගෝත්‍රික වැඩවසම් යුගය කරා ක්‍රමානුකූලව ඇදී යමින් සිටින්නෙමු.

එකල අපි අපේ කොපි පොත්වල "ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දියුණු වෙමින් පවතින දූපතකි" යැයි රචනා ලියූවෙමු. 1972 න් පසු දරු දැරියෝ  "ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දියුණු වෙමින් පවතින දූපතකි" යයි ලිවූහ. මතු පරපුරට ලියන්නට වනු ඇත්තේ "ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති, පාලකයන්ගේ දූෂිත බව නිසා, පරිහානියට පත්වූ දූපතකි" ලෙසදැයි සාධාරණ බියක් ඇතිවෙයි.

දරු දැරියන්ගේ දැණුම, ප්‍රඥාව පෑදීමට සිටින ඇතැමුන්ද වර්ගවාදය පැතිරවීමට දායක වී ඇත. අගනුවර පුද්ගලික පාසැලක් කළමනාකරණය කල, ඉහල පෙලේ දේශපාලකයකුගේ බිරිඳක් වරක් කල ප්‍රකාශයකින් මම මවිත වීමි. එක්තරා වාර්ගික කොට්ඨාශයකට අයත් දැරියන් ඇතුලත්වීමේ සම්මුඛ පරීක්ෂණයට පැමිණිවිට, මොනයම්ම ක්‍රමයකින් හෝ ඔවුන් අසමත් කරවන බව ඇය ආඩම්බරයෙන් පැවසූවේ කිසිම හිරිකිතයකින් තොරවය.

ඇතැම් විශ්ව විද්‍යාල ඇදුරෝද (සෑම වර්ගයකම) මෙම ක්‍රියාවට හවුල් කරුවෝ වූහ. සිසුන්ට හොඳින් වැටහෙන ලෙස දේශන පවත්වන ඇදුරන් කෙරෙහි ඇතිවූ ඊර්ෂ්‍යාව පිටකර ගැනීමට වර්ගවාදය යොදාගත් සමහර ඇදුරන් ගැන මා අසා ඇත.

 

kovoor kaloආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් + මහාචාර්ය කාලෝ ෆොන්සේකා

 

රට අවිද්‍යාවට සහ මිත්‍යා විශ්වාසයන්ට අතිශයින් නැඹුරුව ඇත. හේතුවාදින්වූ (rationalists)  ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අය එකල අපේ ලෝකයේ වීරයෝ වූහ. ආචාර්ය කොවූර්, අවිද්‍යාත්මක මිත්‍යාවන්ගේ ප්‍රයෝගයන් තාර්කිකව සමාජයට පෙන්වා දුනි.

 ඔවුහු පරීක්‍ෂණය, නිරීක්‍ෂණය හා නිගමනය යන විද්‍යාත්මක සංකල්පය ඔස්සේ ගැටළු වලට විසඳුම් සොයා ගැනීම අපට පෙන්වා දුන්හ.


මෙකල සිහිනෙන් දර්ශනය වන නාථ දෙවියන්ගෙන් උපදෙස් ගෙන රටම අනාථ කරන්නන්, කාලි මෑණියන්ගේ රෙසිපියට පැණි පෙරන්නන්, වසංගත රෝග සුව කිරීමට ගංගා වලට මුට්ටි දමන්නන් මෙන්ම විවිධ මෑණිවරුන්, පියවරුන් පසුපස හඹා යන්නන් දකින විට අපේ විචාර බුද්ධියට කුමක්වීදැයි විමතියක් ඇතිවෙයි. මැණික් කටුවේ සිට වැලමිට දක්වා දේදුණු වර්ණ නූල් පටලවා ගත් දේශපාලකයන් සහ ඇතැම් උගත්යැයි කියාගන්නා උදවිය එකල අපට හමු නොවිණි.


බොහෝ දරු දැරියන්ගේ ස්වහැකියාව පිළිබඳ ආත්ම විශ්වාසය පලුදු වන්නේ, පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයට ලියන්නට ආශීර්වාද කල පෑන් ලබා දෙන තැන සිටය. විභාගය සමත්වූ විට එය තමන්ගේ දක්‍ෂතාවය සහ උත්සාහයට වඩා පෑනේ බලය හෝ  නූලේ බලය නිසා සිදුවූ ලෙස සිතන්නට පෙළඹෙයි.

පසුව අධ්‍යාපනයෙන් කෙතරම් ඉහලට ගියත් තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරනවාට වඩා, නොපෙනෙන අද්භූත බලවේග ඒවා ලබාදුන් බව අදහති. සුනිල් එදිරිසිංහයන් කලකට ඉහතදී ගායනා කල "කපා බිමහෙලා ගහ කොළ, තනා මහා විමන් මිහිමත" ගීතයෙන් මෙම සංසිද්ධිය මනාව දක්වා ඇත. 

 

බර්ට්‍රන්ඩ් රසල් වරක් ප්‍රශ්න කලේ  "මිත්‍රශීලී හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරනවාට වඩා වෛරය අවුස්සන විට ප්‍රචාරණය මෙතරම් සාර්ථක වන්නේ ඇයි?" දැයි කියාය.("Why is propaganda so much more successful when it stirs up hatred than when it tries to stir up friendly feeling?")

එය සම්පූර්ණ සත්‍යයකි. අපේ රටේ සෑම වර්ගයකම දේශපාලකයෝ එය මැනවින් දැන සිටියහ. 1990 දශකය වනවිට සුදු කුර්තා පිජාමා කලිසම සහ මොට්ටැක්කිලිය වෙනුවට හිස සිට දෙපතුල දක්වා වසාගත් ගෝනි බිල්ලන් වැනි මුස්ලිම් කාන්තාවන්ගේ දර්ශනය සුලබ විය. සෞදි අරාබියෙන් සංක්‍රමණය වූ මුලධර්මවාදී වහබි දර්ශනය මීට හේතු වූවා විය හැක.

පාසල් වියේදී අප දුටු ශ්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවට සිංහල, දමිළ සහ මුස්ලිම් අනන්‍යතා තුනක් මේ කුඩා රට තුල ඇතිවන්නට එතරම් කල් ගතවූයේ නැත.

වාර්ගික පරතරය සීග්‍රයෙන් පුළුල් වෙද්දී ඇතැම් ආගමික නායකයින් ඇස්, කන් නැත්තවුන් මෙන් හැසිරුනේ එක්කෝ බිය නිසා, නැතහොත් දේශපාලකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විය යුතුය. දේශපාලකයින් මෙන්ම දේශපාලනයට හොට දැමූ ආගමික නායකයින්ද මේ වනවිට රට පරිහානිය කරා ගෙන යාමට අතිශයින් දායක වී ඇත.

රටේ සිවිල් අරගලය අවසන් වී දොළොස් වසරක් ගෙවුනත්, හිඟන්නාගේ තුවාලය මෙන් එය පාරමින් ඒ මතම ජිවත් වීමට ඇතැමුන් කැමතිය. තිස් වසරකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන එයට දායක වූ, දිවි පිදූ සැමට අප බෙහෙවින්ම කෘතඥ විය යුතුය, අමතක නොකල යුතුය. නමුත් අමිහිරි සත්‍යය වන්නේ එයින් මියගිය සැවොම ශ්‍රී ලාංකික පුරවැසියන් බවය. පිට රටකින් පැමිණ ආක්‍රමණයක් සිදුවූයේ නැත.

හේතුව කුමක් වුවත්, වෛරය සහ ද්වේශයෙන් මනස වියවුල් වීම නිසා ත්‍රස්තවාදීන් බවට පත්වූ උතුරේ තරුණ ප්‍රජාව මෙන්ම, හමුදාවට අයත්වූ රටේ අනෙකුත් පලාත් වල තාරුණ්‍යයද රටට අහිමි විය.

 

 
ගැඹුරින් සිතන විට ඇත්තෙන්ම සිදුවූයේ පරාජයක් මිස, එක් වර්ගයකට පමණක් උද්දාම වියහැකි ජයග්‍රහණයක් වන්නේ කෙසේද? සිදුකල යුත්තේ එවැනි භයානක තත්වයක් රටේ අනාගත පරපුරට නැවත ඇති නොවීම සඳහා දේශපාලනිකව පසුබිම සකස් කිරීම නොවෙයිද?

තුවාල වූ සිත්සතන් සුවපත් කිරීමට කටයුතු කරනවා වෙනුවට "යුධ ජයග්‍රහණ" සමරමින් උජ වඩවන විට නැවතත් ඉතිහාසය පුනරාවර්තනය නොවේයයි කෙනෙකුට සහතික විය හැකිද?

වාර්ගික ප්‍රශ්නය පළමුව ඇති කලේ කවුරුන්දැයි යන්න විශ්ලේෂණය කරමින් සිටීමට කාලය ඉතිරිව නැත. මුලින්ම ආවේ කිකිළියද, බිත්තරයද? (Which came first, the chicken or the egg?)  යන ප්‍රශ්නය පසෙක තබා දැන් අප සියල්ලන්ම එකමුතු විය යුතුය.

දේශපාලකයින්ට රැවටී, තව දුරටත් කුළල් කාගනිමින් සිටියොත් සමස්ත රටක් වශයෙන්  සියල්ලන්ම අගාධයට ඇදී යන දවස වැඩි ඈතක නොවනු ඇත. ලොමුදැහැ ගැනෙන මේ අවිනිශ්චිත අනාගතය ගැන සිතන විට මට ඇත්තේ

"ඊශ්වරී, ෆාතිමා ඉස්සර ඉස්කෝලේ හිටියා වගේ අපිවත් ආයෙම එක්ව අත්වැල් බැඳ ගනිමුද?" කියා ඇසීම පමණමය.


(කාන්ති කාරියවසම්)

kariyawasamkek@gmail.com

image

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...