The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

රාජ්‍ය සේවය බරක් වීම ! - (ධම්ම දිසානායක)

T

The Leader Desk

December 2, 2021 • 9:53 AM

රාජ්‍ය සේවය බරක් වීම ! - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සේවය පිලිබඳ අලුත් සංවාදයක් ඇති වී තිබේ. රාජ්‍ය සේවය රට ට බරක් වී ඇතැයි යනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යට පැවසී යැයි
  •   මා සිතන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා කියන්නට ඇත්තේ රාජ්‍ය සේවය නොව රාජ්‍ය සේවයට යැයි කියා බඳවා ගෙන සිටින මහා සෙනඟ රටට බරක් වී ඇත කියා  ය.
  • මගේ මතකය 2013 වැනි කාලයක දියතලාවේ හමුදා කඳවුරු භුමියේ පැවත් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා වූ වැඩමුළුවක් වෙත දිව යයි.
  • 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන සැපයී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කියන ප්‍රකාශයක් මුල් කරගෙන මතු වී ඇති එම සංවාදයට මැදිහත් වීම මෙවර මගේ ‘කිවිදා දැක්මේ’ අරමුණ ය.  

මා සිතන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා කියන්නට ඇත්තේ රාජ්‍ය සේවය නොව රාජ්‍ය සේවයට යැයි කියා බඳවා ගෙන සිටින මහා සෙනඟ රටට බරක් වී ඇත කියා  ය.



මගේ මතකය 2013 වැනි කාලයක දියතලාවේ හමුදා කඳවුරු භුමියේ පැවත් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා වූ වැඩමුළුවක් වෙත දිව යයි.

මා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාලයෙකි. එසේම මෙම වැඩමුළුවේ දේශකයෙකි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දෙදින වැඩමුළුවේ අවසන් දෙසුම මට පැවරිණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සියලුම හෝ අති බහුතරයක් සහභාගි වූ මෙම වැඩමුළුවේ දී මගේ කතාවේ සඳහන් කළ කරුණක් වුයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා අංශයේ සෙනග බඳවා ගැනීමට බලපා ඇත්තේ ආර්ථික-නිෂ්පාදන-වෙළඳ අංශවලට අදාල ජාතික හේතු හෝ ජාතික අවශ්‍යතා නොව බල දේශපාලන හේතු බවය.

එනම් නියෝජිතවරණවල දී තම ඡන්ද පදනම වැඩිකර ගැනීමේ සහ ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මිස ජාතික ආර්ථික සංවර්ධනය හෝ පරිපාලන අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමේ අරමුණින් පිරිස් බඳවා ගැනීම සිදු නොවේ. ඒ සඳහා පිටුබලයක් වුයේ රාජ්‍ය සේවය සඳහා පිරිස් බඳවා ගැනීමේ, උසස්වීම් ලබා දීමේ, මාරු කිරීමේ, විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ, සහ සේවයෙන් පහ කිරීමේ බලය දේශපාලනයට යටත් කිරීමය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන සැපයී ය.

ලංකාවේ පාලක සංස්කෘතිය සහ පාලක හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එවැනි ව්‍යවස්ථා ප්‍රතිපාදන නොමැති වුවත් රාජ්‍ය සේවයට අනිසි ලෙස මැදිහත් වීමට මෙරට පාලකයින් අති දක්ෂයෝ බව ය. එදා මා ඉදිරිපත් කළ එම අදහස ප්‍රකාශිතව අනුමත කරමින් පුද්ගලිකව මා පැසසූ දෙදෙනෙක් විය. ඒ වාසුදේව නානායක්කාර සහ අනුර ප්‍රිය දර්ශන යාපා යන මහතුන් ය.

ඒ වනවිට ලංකාවේ රාජ්‍ය අංශයේ සෙනඟ ලක්ෂ දාහතරක් පමණ විය. දැන් ලක්ෂ දාහතක් පමණ ඇත. මගේ නොපැසුණු තර්කය වුයේ ලක්ෂ හතරකින් ඒ වනවිට පැවති රාජ්‍ය සේවයේ කටයුතු සිදුකරගත හැකි බව ය.

එනම් රාජ්‍ය අංශයේ කටයුතු නිසිලෙස විධිමත් කලොත් ඉන් ලැබෙන කාර්යක්ෂමතාව සහ පලදායීතව වැඩිවන බවත් බොහෝ දෙනෙකු අනිවාර්ය හෝ සිය කැමැත්තෙන් නිවාඩු යවා ඒ වනවිට ගෙවූ වැටුප් ඔවුන් ගෙදර සිටිය දී ලබා දුන්නද පාඩුවක් නැති බවය. ඒ තුලින් පුනරාවර්තන වියදම් අඩු කරගෙන ඒවා ද රටේ සංවර්ධනයට යොදා ගත හැකි බවය.

 

දියුණු රටවල රාජ්‍ය සේවයේ පිරිස් අනුපාතය රටේ ජනගහනයෙන් දෙසිය පනහකට එකෙකි. එහෙත් ලංකාවේ දාහතකට එකෙකි. ඒ තරම් සෙනගක් සිටියද අසන්නට සහ දකින්නට ලැබෙන්නේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතා, අක්‍රමිකතා සහ පීඩාව ගැන මැසිවිලි ය, තොරතුරු ය.

 

ආර්ථිකය වර්ධනය නොවන විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය වර්ධනය නොවන විදේශ ණය මත යැපෙන සහ ණය උගුල්වල පැටලී සිටින රටක් ඉදිරි වර්ධනයක් ගැන සිතන්නේ නම් එරට ආණ්ඩු රාජ්‍ය සේවය සිය බල දේශපාලනයේ කෙළිමඬලක් කර නොගත යුතුම ය.



නමුත් බලයට පත් හැම ආණ්ඩුවක් ම තම බල ව්‍යාපෘති ශක්තිමත් කර ගැනීම සඳහාත්, වැඩි කර ගැනීම සඳහාත්, තමන්ලා ජනතාව ගැන සිතනවා යයි පෙන්නුම් කිරීම සඳහාත් ජනප්‍රිය වීම සඳහාත් ගනු ලබන ලෙහෙසිම ක්‍රියාමාර්ගය වී ඇත්තේ කිසිදු ආර්ථික හෝ පරිපාලන සැලැස්මකින් තොරව රාජ්‍ය අංශයේ ආයතනවලට පිරිස් බඳවා ගැනීම ය. එය අතිශයින් ම ජනප්‍රිය තීරණයකි. එහෙත් රටට මහත් අනතුරකි. සමහර පාලකයින්ගේ අමතර ආදායම් මාර්ගයකි. මේ නිසා දැන් වන විට රාජ්‍ය සේවය නොව රාජ්‍ය අංශයේ වැඩි සෙනග රටට බරකි, රටේ ආර්ථිකයට බරකි, කරදරයකි.



පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභා, නගර සභා, සහ මහ නගර සභා වැනි ප්‍රාදේශීය ආණ්ඩුවල නියෝජිතයින්ගේ ගණන වැඩි වුවාට රටේ නියෝජන සංස්කෘතිය, නියෝජිතයාගේ කාර්ය භාරය,  වගකීම, සහ වගවීම වැඩි දියුණු වී නැත. එසේ වන විට  පාර්ලිමේන්තුවත්, පළාත් සභාත් ප්‍රාදේශීය ආණ්ඩුත් රටට බරක් මිස සැහැල්ලුවක් සහනයක් නොවේ ය.

රටක රාජ්‍ය අංශය සකස් විය යුත්තේ උපයෝගීතා න්‍යායයට අනුව ය. එනම් ආයතන තිබිය යුත්තේ වැඩි දෙනෙකුගේ වැඩිම සතුට යහපත සලසන්නේ නම් පමණය. ජනයා සතුටින් සහ ගෞරවයෙන් තැබිය හැක්කේ එවැනි ප්‍රතිපත්තියක් අනුව යන රාජ්‍යයකට ය. එසේම රටක් දියුණු කළ හැක්කේ එවැනි පිළිවෙත් මත ක්‍රියාකරන රාජ්‍යයකට ය.

 නමුත් මෙරට ආණ්ඩු කටයුතු කරන්නේ ඒ රාජ්‍ය න්‍යායන්ට පටහැනිවය. රටට ගොඩ ඒමක් දියුණුවක් නැත්තේ ඒ නිසා ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු බොහෝ තැන්වල කිරීමට වැඩක් නැති සහ අනවශ්‍ය රැකියා නාම සහිත ලක්ෂ ගණනක් මෙරට රාජ්‍ය අංශයේ හිඳින්නට පුටුවක් මේසයක් වත් නැතිව අවමන් ලබමින් පොදිකන්නේ ආණ්ඩුවල ආර්ථික සමාජ දැක්මක් නැති තීරණ නිසා ය. විධිමත් වැඩපිළිවෙලක් නැති නිසා ය.

ඒ සියල්ල මැද අපි මෙපමණ රැකියා දුන්නා යැයි උදම් අනන අය වෙනත් දෙයක් ගැන සිතිය යුතු ය. එනම් රැකියා දුන්නා නොව අප මෙපමණ ප්‍රමාණයක්, එනම් දහස් ගනනින් රැකියා නිෂ්පාදනය වන ආර්ථිකයක් ගොඩ නැගුවා කියා කියන්නට හැකි, උදම් ඇනිය හැකි, විධිමත් සහ පරිනත, රටගැන හිතන, වැඩපිළිවෙලකට යාමක් ගැන ඔවුන් සිතිය යුතු ය.

 


ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14022 කි. ඍජුවම මේ එක වසමක් භාරව සිටින නිලධාරීන්ගේ සංඛ්‍යාව හයකි. වක්‍රව පනහකට ආසන්නය, හෝ වැඩිය. ප්‍රාදේශීය ආණ්ඩු කොට්ඨාශ සඳහා වූ නියෝජිතයිනුත් ගත් විට තවත් වැඩිය. එහෙත් වසම තවමත් දිළිඳු ය, සමෘද්ධිමත් නැත, අසරණය, ප්‍රජාතන්ත්‍රවාදය ළඟපාතකවත් නැත, අවිධිමත් ය. එකම වසමේ නිලධාරීන් අතරවත් සම්බන්ධීකරණයක් නැත. සෙනග වැඩිකලාට ගමක්, රටක් දියුණු කල නොහැකි බවට මෙය කදිම නිදසුනක් ය.


අනුපාතිකව ගත්විට මෙරට තරම් විශාල මහජන නියෝජිතයින් ප්‍රමාණයක්, මේ තරම් විශාල ඇමති පිරිසක්, මේ තරම් විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් දියුණු යැයි සම්මත කිසිම රටක නැත. එහෙත් මේ රට දියුණු නැත. වැරදුනේ කොතැනකද යන්න පිලිබඳ දැන්වත් සිතා බැලිය යුතු ය.

රාජ්‍යය යන්න නොපෙනෙන දෙයකි. එය පුරවැසියාට දෘශ්‍යමාන වන්නේ රාජ්‍ය සේවය නිසා ය. රාජ්‍ය සේවාවන් රාජ්‍යවල ජාතික අභිලාෂ සහ සාරධර්ම වර්ධනය සහ ආරක්ෂා කරමින් පවත්වාගෙන යන අතර රාජ්‍යය සහ පුරවැසියන් අතර බැඳීම වර්ධනය කිරීම සඳහා දායක වේ. මෙම බැඳීම වර්ධනය කිරීමට රටක ආර්ථික, පරිපාලන, සංවර්ධන, සමාජ ක්ෂේත්‍රවල යහ ආණ්ඩුකරණය පවත්වාගෙන යාම රාජ්‍ය සේවයේ වගකීමකි.

ඒ සඳහා රාජ්‍ය සේවය ආණ්ඩුවලින් ස්වාධීන විය යුතු ය. එහෙත් රාජ්‍යයෙන් ස්වාධීන වීමට කිසිදු අයිතියක් රාජ්‍ය සේවයට නැත. මන්ද රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරන්නේ ජාතික රාජ්‍යයේ අභිලාශ නිසා ය. ඒ අභිලාෂ වනාහි රටේ ජනතාවගේ සම්මුති වන නිසා ය. ඒ ජාතික අභිලාෂ සහ ඒ මත සම්පාදනය කරන ලද රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව තීන්දුතීරණ ගන්නා ආණ්ඩු සමඟ අනන්‍යව ක්‍රියාත්මක වීම රාජ්‍ය සේවයේ වගකීමකි. රාජ්‍ය සේවය බරක් නොවී රටට වැඩදායක වන්නේ එවිට ය.

ඒ සඳහා රටක රාජ්‍ය අංශයේ පිරිස් බලයේ ප්‍රමාණාත්මක භාවය ප්‍රසස්ථ මට්ටමක තබා ගත යුතු ය. එසේම රාජ්‍ය අංශය බල දේශපාලනයේ අතකොළුවක් නොවිය යුතු ය. වඩාත් වැදගත්ම කාරණය වන්නේ රාජ්‍ය සේවය ජනතා සුබ සිද්ධිය සඳහා මිස ඔවුන්ව පෙළන, පීඩාවට සහ අසරණ භාවයට පත් කරන පීඩක යාන්ත්‍රණයක් නොවිය යුතුය යන්න ය.

දේශපාලන වාසි වෙනුවෙන් රාජ්‍ය සේවයේ පිරිස් බලය වැඩි කිරීම ට ගන්නා තීරණ එකතරා ආකාරයකට ඥානාන්විත නැත. දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම සඳහා වැඩියෙන් ම රැකියා දුන් ආණ්ඩු වැඩිම පරතරයකින් පරාජයට පත් වූ අවස්ථා ලංකාවේ දුලබ නැත. නමුත් පිරිස් බලය අනවශ්‍ය ප්‍රමාණයකට වැඩි කිරීම නිසා රාජ්‍ය සේවයට වූ හානිය සුළු පටු නැත. හානි පූරණය ලෙහෙසි නැත. මෑත දශකවල බලයට පත් කිසිදු ආණ්ඩුවක් මේ විනාශය නිසිලෙස සැලකිල්ලට ගෙන කටයුතු කොට නැත.



එවැනි පසුබිමක දැවැන්ත ආර්ථික අර්බුදයක රට ගිලී ඇති නිසා හෝ මුදල් ඇමතිවරයා කළ ප්‍රකාශය වැදගත් වන්නේ මෙරට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ පොදු ජන ජාතික කතිකාවකට එය නිමිත්තක් කරගතහොත් පමණක් ය. පළමුව එවැනි කතිකාවකට ඇති කැමැත්ත සහ අවංක සූදානම ආණ්ඩුව වෙතින් ප්‍රදර්ශනය විය යුතු ය. අනෙක් දේශපාලන කල්ලි කණ්ඩායම් සහ පක්ෂ කළ යුත්තේ රාජ්‍ය කේන්ද්‍රීය විධිමත් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹ එම කතිකාව ජාතික කතිකාවක් කර ගැනීමට අවංකව මැදිහත් වීමය, ආණ්ඩුව පෙලඹ වීමය.

 
 
DhammaD(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
Department of political science & public policy,
University of Colombo.
 
 
 
(උපුටා ගැනීම - කිවි දා දැක්ම/ලංකාදීප)

 

THE  LEADER  TV
 
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය සේවය බරක් වීම ! - (ධම්ම දිසානායක) | The Leader