The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

January 12, 2023 • 5:12 PM

අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ.
  • එය ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කරන්නට තවම බැරිවුණත්, මට හිතෙන දෙයක් වන්නේ ඒ ලංකාව බටහිරට රිසිපියකට අනුව උයා සරසා ඉදිරිපත් කරනු ලබන දීසියක් බවයි.
  • එහි කිසිදු වරදක් නොමැති බව ද කිව යුතුය.
  • එහෙත්, අපට ලාංකික කලාවක් ලෙස ලෝකයට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ බටහිර කොන්ඩිමන්ට් දමා රස කළ ලාංකික අමුද්‍රව්‍ය පමණද?
අකුරු ප්‍රමාණය (Font Size):

 

 අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න.

ඔව් ඉතින්, අරගලය කියන්නෙ එක ආඛ්‍යානයක් නෙමෙයි. ඒ නිසා හසිනි හපුතන්ත්‍රිට හෝ සංජන හත්තොටුවට ඒ ගැන ආඛ්‍යානයක් නිර්මාණය කරන්නට නිදහස තිබෙනවා. ඒ ගැන නිර්ප්‍රභූ කොටස්වලට වෙනත් ආඛ්‍යානයක් තිබෙන්නට පුළුවන්. ඒත්, ඔවුන්ට තිබෙන භාෂාමය හැකියාවන්, ආර්ථික හැකියාවන්, සම්බන්ධතා මත පදනම්ව නිර්මාණය කරනු ලබන ආඛ්‍යානය හරහා ඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන ලෝකය දිනාගත හැකිද?

ඒකට හේතුව ඔවුන් අපේක්ෂා කරන සංස්කෘතික ලෝකයත් අවසානයේදී හසිනිලා, සංජනලා ආධිපත්‍යය දරන ලෝකයම වීමයි.

erytytry

මේ දවස්වල මං වෙලාව තියෙන හැටියට ශෙහාන් කරුණාතිලකගේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා කියන බූකර් සම්මාන දිනූ නවකතාව කියවනවා. එය ගැන පූර්ණ අදහසක් ඉදිරිපත් කරන්නට තවම බැරිවුණත්, මට හිතෙන දෙයක් වන්නේ ඒ ලංකාව බටහිරට රිසිපියකට අනුව උයා සරසා ඉදිරිපත් කරනු ලබන දීසියක් බවයි. එහි තිබෙන්නේ ලාංකික රස නොවේ. එහෙත් ලාංකික නම එහි ඇත. හරියට ලංකාවේ විකුණන චයිනීස් කෑම වගේය. ඒ වනාහි ලාංකීය රසයට සැකසූ චීනයකි. ශෙහාන් කරුණාතිලක බටහිරට අවශ්‍ය විදියට උයන්නට දන්නා කෝකියෙකි. හසිනි හා සංජන වැනි අයත් එවැනිය. එහි කිසිදු වරදක් නොමැති බව ද කිව යුතුය.

කලාවේ අරගලය වැදගත් වෙන්නේ එතැනදීය. කලාවේ අප කරන අරගලය කුමක් විය යුතුද? අප ලාංකීය දූපත් කලාවේ සීමාවන්ගෙන් නික්මිය යුතුය. එහෙත්, අපට ලාංකික කලාවක් ලෙස ලෝකයට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ බටහිර කොන්ඩිමන්ට් දමා රස කළ ලාංකික අමුද්‍රව්‍ය පමණද? අපට අපේම මිරිස්, තුනපහ, ගොරක, සුදුළූනු, රම්පෙ, කරපිංචාවලින් පිස ලෝකයට අපේ දීසියක් පිරිනමන්නට බැරිද? අප එය කළ යුත්තේ බටහිර හයිය තියෙන සංස්කෘතික ප්‍රභූන් අපට නිර්දේශ කරන ඔවුන්ගේ සංස්කෘතික සීමා තුළ රැඳෙමින් විතරද?

fvey5y

මා සිටින්නේ අරගලයකය. මගේ කලාවේ අරගලය තුළ මා මුලින්ම උත්සාහ කරන්නේ කලාවේ ඊනියා ප්‍රභූන්ගේ ආර්ථික ආධිපත්‍යයෙන් ස්වායක්ත වීමටය. එය දුෂ්කර අරගලයකි. ඔබ පරාජය වීමට තිබෙන අවස්ථාව ජයගැනීමට තිබෙන අවස්ථාවට වඩා වැඩිය. එහෙත්, ඔබේ ස්වෛරීත්වය තුළින් මිස ඔබට ඔබ සැබැවින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරිය. ඔබ යම් ආකෘතික හරඹයක් කර අලෙවි කළ හැකි නිෂ්පාදනයක් සිදුකරනු ඇත. එහි කිසිදු වරදක් නැති බව ද කිව යුතුය. ශෙහාන් කරුණාතිලක කර තිබෙන්නේ එය යයි මට සිතේ. එහෙත්, බූකර් සම්මානය දිනාගෙන ජාත්‍යන්තර ලේඛකයකු වන්නට පෙර චයිනමන් තුළින් ඔහු විෂධ කළ සැබෑ තමා ඔහුට අහිමි වී ඇතැයි මට සිතේ. මෙය කලිනරි ආටිස්ට් කෙනෙකු හා කෝකියකු අතර තිබෙන වෙනස වැනිය. චයිනමන්හි සිටියේ කලිනරි ආටිස්ට් කෙනෙකි.

කලාවේ මගේ අරගලය තුළ මා මුලින්ම කරනුයේ මා කලාකරුවකු නොවන බව තහවුරු කරගැනීමේ අන්ලර්න් කිරීම හෙවත් ඉගෙනුම් හරණයයි. කලින් මහත් ආශාවෙන් ගොඩනගාගත් අනන්‍යතාවන් සියල්ල අතහැර දමා පල් මෝඩයකු බවට පත්වීමයි. දේශපාලනය සම්බන්ධයෙන් ද මා කරන්නේ එයයි. මට ගැලපෙන ඇඳුම මගේ අතින්ම සැලසුම් කරගැනීමට මම කැමැත්තෙමි. කලාවට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රකාශන ආයතන ටේලර්ලාට ඕනෑ විදියට මා වෙනස්කර නොගෙන සිටින ශක්තිය ගොඩනගාගැනීමට මම උත්සාහ කරමි.

ඊට පෙර මා මගේ නිරුවත ගවේශනය කළ යුතු යයි සිතමි. මගේ උදරය විශාලය. එහෙත්, මට තවමත් දණහිස නොනමා බිමට නැමී අල්ල පවා බිම ගෑවිය හැකිය. බටහිර ශාරීරික කලාවේ නිර්ණායක අනුව මම බඩ මහත කළු, කැත, කොණ්ඩා රැවුල් සුදු වුණ, නාකි, රෝගී මිනිසෙක්මි. මා දැන් සික්ස් පැක් බොඩිය ඇති, ළා පැහැති සමක් ඇති, කොණ්ඩා රැවුල් කළු මිනිසෙකු විය යුතුද?

සමාජ මාධ්‍යවල බොහෝ අය කරන අන්දමින් මා ද ඇප්වලින් පිරිපහදු කරගෙන මගේ රූපය සමාජ මාධ්‍යවලින් ඉදිරිපත් කළ යුතුද? මම එසේ නොකරමි. මට ඔබ රැවටීම පහසුය. එහෙත්, රැවටීම උස්මුරුත්තා වන තත්වයකි. අවසානයේ මා ද රැවටීම සාමාන්‍ය උරුමයයි. මම අරගලකරුවෙක්මි. මා උත්සාහ කරන්නේ කැත හා ලස්සන ගැන දැක්ම වෙනස් කරන්නටය. මගේ කලාව නැවත ආරම්භ කරන්නට උත්සාහ කරන්නේ එතැනිනි. මට එය නොහැකි වනු ඇත. එහෙත්, මා කලාවේ මගේ අරගලය තුළ සිටිමි. ඒ බව මේ ලිපියෙන් ඔබට කීවෙමි.

gsdfgr5

අරගලයට ආපසු ආවොත්, මට කියන්නට තිබෙන්නේ ඊනියා අරගලය තුළ කලාවේ අරගලය වෙනුවට නැවත වටයකින් පැරණි ආධිපත්‍යයන් නැවත තහවුරු වී තිබෙන බවයි. ‘අරගලය’ තුළ ඇත්තෙන්ම අරගලයක් තිබුණාද? නැතිනම් සිදුවුණේ පැරණි බල සම්බන්ධකම් නැවත ආකෘතිගත වීමද? අරගලය ඇත්තේ ‘අරගලයෙන්’ පිටත යයි මම ‘අරගලය’ මැදදීම සිතුවෙමි. මා නිවැරදි යයි මට විශ්වාසය. වර්තමානයේ මා දකින වැදගත්ම දේශපාලනික අභිමතාර්ථය ‘අරගල’ අනන්‍යතාවෙන් මිදීමය.

Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...