The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කේ.බී. හේරත්: 'පිරවිය නොහැකි හිඩැසක්' තබා නික්ම ගිය නාට්‍ය කලාවේ 'ස්වතන්ත්‍ර නිර්මාණකරුවා'

T

The Leader Desk

January 31, 2023 • 4:57 AM

කේ.බී. හේරත්: 'පිරවිය නොහැකි හිඩැසක්' තබා නික්ම ගිය නාට්‍ය කලාවේ 'ස්වතන්ත්‍ර නිර්මාණකරුවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල වේදිකා නාට්‍ය පමණක් නොව ටෙලිනාට්‍ය කලාවේ ද ඔහු තැබූ සලකුණ මැකී නොයනු ඇතැයි විචාරකයින්ගේ මතයයි.
  • ජනවාරි 29 වන දා ඔහු අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 81ක් විය.
  • පසුව ඔහු 1965 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමි කර ගත්තේය.
  • කලක් ගුරු වෘත්තියෙහි ද නියැළුණු ඔහු 1979 වසරේදී 'සුදු කරල්' නමැති වේදිකා නාට්‍යය රචනා කරමින් සිය නිර්මාණ ජීවිතය ආරම්භ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිංහල වේදිකා නාට්‍ය පමණක් නොව ටෙලිනාට්‍ය කලාවේ ද ඔහු තැබූ සලකුණ මැකී නොයනු ඇතැයි විචාරකයින්ගේ මතයයි.

ජනවාරි 29 වන දා ඔහු අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 81ක් විය.

 

පෞද්ගලික තොරතුරු

 

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගමදී උපත ලැබූ හේරත් මුදියන්සෙලාගේ කපුරු බණ්ඩාර හේරත් හෙවත් කේ.බී. හේරත් කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පසුව ඔහු 1965 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමි කර ගත්තේය.

කලක් ගුරු වෘත්තියෙහි ද නියැළුණු ඔහු 1979 වසරේදී 'සුදු කරල්' නමැති වේදිකා නාට්‍යය රචනා කරමින් සිය නිර්මාණ ජීවිතය ආරම්භ කළේය.

 

පිටපත් රචකයා

 

'සුදු කරල්' නාට්‍යයෙන් පසු ඔහු වේදිකා නාට්‍ය රැසක් රචනා කළ අතර ඉන් බොහෝමයක් සම්මානයට පාත්‍ර විය.

 

mauaමායා දේවී, නාග ගුරුළා, දෝන කතිරිනා, දෙවෙනි මහින්ද, කළු කුමාරි, වාසුදේව, යශෝදරා සහ ජගන්මා යන නාට්‍යවලට රාජ්‍ය නාට්‍ය උළෙලවල හොද ම නාට්‍ය රචනය ඇතුළු සම්මාන රැසක් හිමි විය.

විමලරත්න අදිකාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද පාරමී දම් ටෙලි නාට්‍යය රචනා කරමින් ඔහු ටෙලි නාට්‍ය තිර රචනයට එක්වූ අතර, ගජමන් නෝනා, ඉසිවර අසපුව, ඉති අතු, ගිරි දෙරණ, සදගිරි පව්ව, දෙනුවර මැණිකේ, ටිකිරි නිලමෙ, ‍සසර සෙවණැලි ආදී ටෙලි නාට්‍ය ජනාදරයට පත් විය.

ඉංගම්මාරුව ආදී ඒකාංගික ටෙලි නාට්‍ය මාලා කිහිපයක් ද ඔහු විසින් නිර්මාණය කරන ලදී.

 

gajaman nona

 

ඔහු නාට්‍ය පිටපත් 500කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇතැයි විශ්වාස කෙරේ.

පසු කලෙක සිංහල සිනමාවට ද පිවිසි ඔහු සුදු නෙළුම් සහ අපි මැරෙන්නෙ නෑ යන චිත්‍රපටවල පිටපත් රචනා කළේය.

තවත් විශේෂත්වයක් වන්නේ, මුද්‍රණයෙන් එළි දක්වන ලද ඔහුගේ තිර පිටපත් රැසක් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීමය.

2020 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔහුට නාට්‍යවේදය පිළිබද ආචාර්ය උපාධියක් පිරිනැමුණු අතර ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

 

WhatsApp Image 2023 01 29 at 19.27.17

ජාතික යොවුන් නාට්‍ය පාසලේ අධ්‍යක්ෂ (2004 - 2007), ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2004 - 2007), යොවුන් නාට්‍ය උළෙලේ විනිසුරු මණ්ඩලයේ සභාපති (වසර 30ක්), ජාතික නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති (2015 - 2018) සහ ජාතික නාට්‍ය උළෙලේ සභාපති (2003, 2016, 2017) යන තනතුරු දරමින් ඔහු සිංහල නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු සිය නිර්මාණශීලීත්වයෙන් දායක විය.

 

"සමස්ත කලාවට වූ පාඩුවක්" - බුද්ධදාස ගලප්පත්ති

 

bdssකේ.බී. හේරත්ගේ අභාවය "සමස්ත ශ්‍රී ලාංකික කලාවට සිදුවූ පාඩුවක්" බව ප්‍රවීණ කවියෙකු මෙන් ම කේ.බී. හේරත්ගේ නාට්‍ය රැසක අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කර ඇති බුද්ධදාස ගලප්පත්ති පවසයි.

"අපේ රටේ ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෝ සහ නිෂ්පාදකයෝ අඩුයි. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නාට්‍ය උත්සවවලදී බොහෝවිට සම්මාන ලබන්නේ විදේශීය කෘතියක අනුවර්තනයක් වගේ නිර්මාණයක්. නමුත් කේ.බී. හේරත් අපේ රටේ හිටපු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෝ කිහිප දෙනා අතරින් ඉතා ම ඉහළ තලයක හිටපු නිර්මාණකරුවෙක් හැටියට හදුන්වන්න පුළුවන්. ඔහු එක වතාවක මායා දේවී කියන නාට්‍යය රචනා කරල නිෂ්පාදනය කළා. ඒ නාට්‍යය නරඹපු මහාචාර්ය සරච්චන්ද්‍ර ඉතා ම උද්දාමයට පත් වෙලා කිව්වා මේ වගේ නාට්‍ය නිෂ්පාදකයෝ, රචකයෝ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි, කියලා. ඔහු ඒ නාට්‍යය ගැන පුවත්පත්වලට විචාර පවා ලියලා තිබුණා. ඒකෙන් ම තේරෙනවා මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ විශිෂ්ටයෙක් කේ.බී.ගේ නාට්‍යය අගය කිරීමෙන් ඔහුගේ නාට්‍යවල තිබුණ නාට්‍යමය ගුණය.‍ ඉතින් මේ වගේ බහුවිධ දක්ෂතා තියෙන නිර්මාණකරුවෙකුගේ අභාවය ශ්‍රී ලංකාවේ කලාවට ඉතා ම දැඩි ලෙස බලපානවා. මොක ද ඒකෙ විශාල රික්තයක් වෙලා තියෙනවා කේ.බී.ගේ අභාවය."

"ඔහුගේ නාට්‍ය සියල්ලක ම වගේ අංග රචනා ශිල්පියා ලෙස වැඩ කළේ මම. මට මගේ ජීවිතයේ අංග රචනා ශිල්පියෙකු ලෙස රාජ්‍ය සම්මාන 5ක් ලැබිලා තියෙනවා. ඒ පහෙන් තුනක් ම කේ.බී. හේරත් මිත්‍රයාගේ නාට්‍ය නිෂ්පාදන වීම වැදගත් දෙයක්," බුද්ධදාස ගලප්පත්ති වැඩිදුරටත් පැවසීය.

 
"හිඩැස පුරවන්නට කෙනෙක් පේන තෙක් මානයක නෑ" - ශ්‍රියන්ත මෙන්ඩිස් 

 

9fe248df75284cd67b0bdbb7aa1a260bකේ.බී. හේරත් යනු සිය නාට්‍ය හරහා සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ටයින් හදුන්වා දුන් නිර්මාණකරුවෙකි.

ශ්‍රියන්ත මෙන්ඩිස් යනු එවැනි විශිෂ්ට රංගධරයින් අතරින් එක් අයෙකි.

"මම රගපාපු පළමු වෙනි නාට්‍යයේ පිටපත ලිව්වේ එතුමා. ඒක ඉල්ලීස ජාතක කතාව කියල එකක්. එතකොට මේක සුවිශේෂී වෙනව මට. ඒ වගේ ම දෝන කතිරිනා වේදිකා නාට්‍යයේ මට රගපාන්න අවස්ථාව ලැබුණා සුවිශේෂී චරිතයක්. ඒ වගේ ම ඉංගම්මාරුව ටෙලි මාලා නාට්‍යයේත් ප්‍රධාන චරිතය මට ලැබුණා. එතුමාණන්ගේ අභාවය අපි හැමෝට ම විශාල පාඩුවක්. කේ.බී. හේරත් අපට අතිවිශිෂ්ට නාට්‍යකරුවෙක්, රචකයෙක් සහ ඉතා හොද මිනිසෙක්. ඒ හිඩැස පුරවන්නට කෙනෙක් අපට පේන තෙක් මානෙක නෑ," ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවසීය.



(BBC සිංහල සේවය )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...