The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගස් නැගපු නරි

T

The Leader Desk

March 9, 2025 • 5:08 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගස් නැගපු නරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදාක පාර්ලිමේන්තුවේදී මේ කවිය කියුවේ විපක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයකු වන රෝහිත අබේගුණවර්ධනය.
  • ප්‍රකට ළමා ගීතයක් වන මෙහි තෙවැනි පේළිය ඔහු විසින් වෙනස් කළේ දැන් උද්ගතව ඇති සත්ත්ව සංගණනයට අදාළවය.
  • එසේම පාර්ලිමේන්තුවේදී ජෝකර්ලා බවට පත්වන ‘ටික්ටොක්’ මන්ත්‍රීවරුද සිටිති.
  • එහෙත් මෙය සිරි ලංකාවේදී විහිළුවක් බවට පත්වූයේ ඊට වෙන්කළ විනාඩි පහේ කාලයේ හුටපටය නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගියදාක පාර්ලිමේන්තුවේදී මේ කවිය කියුවේ විපක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයකු වන රෝහිත අබේගුණවර්ධනය. ප්‍රකට ළමා ගීතයක් වන මෙහි තෙවැනි පේළිය ඔහු විසින් වෙනස් කළේ දැන් උද්ගතව ඇති සත්ත්ව සංගණනයට අදාළවය.

 



ආණ්ඩුව ගෙනෙන බොහෝ වැඩ කටයුතු ‘ජෝක්’ එකක් කර ගැනීම අපේ රටේ විපක්ෂයේ සිරිතකි. එසේම පාර්ලිමේන්තුවේදී ජෝකර්ලා බවට පත්වන ‘ටික්ටොක්’ මන්ත්‍රීවරුද සිටිති. මේ නිසා ආණ්ඩුව ඔවුන්ට විහිළු සැපයීමෙන් වැළකී සිටීමට වග බලාගත යුතුය.

සත්ව සංගණනය හොඳ වැඩකි. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නකි. එහෙත් මෙය සිරි ලංකාවේදී විහිළුවක් බවට පත්වූයේ ඊට වෙන්කළ විනාඩි පහේ කාලයේ හුටපටය නිසාය. අනික උදේ අටට වෙලාව නියම කිරීමය. රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන සතුන් එන යන වෙලාවන් නිශ්චිතව කිව නොහැකි බව පොඩි ළමයකු පවා දනී. එසේම පළාතෙන් පළාතට උන්ගේ පැමිණීම වෙනස් වෙයි.

3GfV0GCMgyVwI9Hy Article Cover

 

ග්‍රාමසේවක මහත්වරු කියන හැටියට උන්නැහේලාට වඳුරන්, මොනරුන් ගැන ගැන ඉන්නට වෙලාවක් නැත. අස්වැසුම ආදී රජයේ සහනාධාර ලබන අයටත් ඔවැනි වැඩ කරනවා නම් වෙනම ගෙවීමක් කළ යුතු වෙයි. ඒවාට මුදල් නැත.

තමන්ගෙ වත්තට එන සතුන් ගණන් කිරීම හෝ උන් ගැන රචනයක් ලිවීම කුඩා ළමුන් කළ වැඩකි. සත්ව සංගණනයද ළමුන් ලවා කරවාගත හැකි දෙයක් බව සමහරුන්ගේ අදහසය. එහෙත් කියන තරම් ඔය වැඩේ පහසු නැත. මිනිස්සු දුටු විගස සත්තු පැන දුවති. එසේ නොදුවන්නේ කතරගම, අනුරාධපුර වැනි පූජා නගරවල සිටින වඳුරන්, රිළවුන් පමණි. උන් දැන් මිනිසුන්ට බය නැත.

මෑතකදී මා දුටු අන්දමට එක්තරා පුරාණ විහාරස්ථානයකට කිරි අහර පූජා කිරීමට පැමිණි පිරිසක එම භාජන පිටතට ගත්තා පමණි. එක්වරම කඩා වැදුණු වඳුරු රැළක් ඒවා පැහැරගෙන අසල වනයේ ගස් උඩට නැග ගත්හ.

වඳුරාගේද ජන්ම ගතිය වෙනස් කළ නොහැකිය. උපමා කැඩපතෙහි දැක්වෙන ආකාරයට,

 

රිලා ප්‍රශ්නය: අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්
“වඳුරා මහලු මුත් මිහිපිට ගමන් නැති
සිවලා සිංහ වෙස් ගෙන පසුව රැව ටෙති”

වඳුරන්ට මල්දම් දීමෙන් පලක් නැතැයි පිරුළක් ජනවහරේ එයි. එහි අරුත වඳුරාට මල්දමේ අගයක් නැති බවය. ඌ එය ඒ මේ අත හරවමින් සිට, කඩා විසුරුවා දමයි. නැත්නම් කා දමයි.

බලය ද එසේය. එය දිය යුත්තේ එහි අගය දන්නා කෙනකුටය. එය ඒ මේ අත හරවමින්, බලමින්, වර්ණනා කරමින් සිටින්නකුට නොවේ. බලයෙන් නිසි කල වැඩ නොගතහොත් විරුද්ධවාදියකු එය බලයෙන් උදුරා ගැනීමට ඉඩ ඇත.

සත්ව ලෝකයේද බලයට, නායකත්වයට “රණ්ඩුවීම්” ඇත. බොහෝ විට රැලේ නායකත්වය ලබන්නේ ශක්තිවන්තයාය.

 

image 1 ourendangeredworld.com
සාහිත්‍ය ලෝකයේද ජන කතා, වන කතා, උපමා කතා හා ජාතක කතා ආදියෙහි සත්ව චරිත දක්නට ලැබෙයි. ඒ අතර වඳුරා, වළහා, නරියා, බූරුවා, වෘකයා, අලියා, සිංහයා ආදී සතුන්ට වැඩි තැනක් හිමිව ඇත. පක්ෂීන් අතර ගිරවා, පරවියා, උකුස්සා ආදීහු වෙති.

සිංහයා කැලේ රජාය. සිරි ලංකාවේ නම් කොඩියේ මිස, කැලයේ සිංහයෝ නැත. ඒ නිසා ලොක්කා අලියාය. නරියාට හැමවිටම ලැබී ඇත්තේ කපටියාගේ භූමිකාවය. බූරුවා සහ වඳුරා මෝඩයෝය.

පුදුමයකට මෙන් චාල්ස් ඩාවින්ගේ මතයට අනුව මිනිසා පරිණාමය වී ඇත්තේ වඳුරාගෙනි. එහෙත් නූතන මානවයා ගැන සිතන විට නම් ඔහු පැවත එන්නේ නරියාගෙන් දැයි සැකයක්ද මතු වේ. මිනිසා තරම් නරියා කපටි නැත.

ht pudding the fox 03 mt 140821 16x9 992

 

අතීතයේ මහා බ්‍රිතාන්‍යයේ දඩයක්කරුවෝ නරි දඩයමට ඉතා ප්‍රිය කළහ. එහෙත් තවමත් එරට නරින්ගෙන් අඩුවක් නැත. ලන්ඩනය අසබඩ වන ලැහැබ් තුළ පවා නරියකු දැක ගැනීමට අපහසු නැත. සිරි ලංකාවේ නරි හා ලන්ඩන් නරි අතර පැහැදිලි වෙනසක් ඇත. ලන්ඩන් නරි ‘හූ’ කියන්නේ ඉංග්‍රීසියෙනි. ඉංග්‍රීසි ‘හූ’වට අකුරු තුනකි. WHO, සිංහල හූවට තනි අකුරකි, හූ.

සිරි ලංකාවේ නරි වඳවූයේ කෘෂි රසායන ව්‍යාප්තියත් සමඟය. ඉස්සර ගමක් ගමක් ගාණේ නරි සිටියහ. රාත්‍රියේ තරගෙට හූ කීහ. දැනුදු ඉඳහිට හූ හඬ ඇසේ. ඒ කකුල් දෙකේ නරියන්ගෙනි.

ඉන්දීය ජනකතාවක එන නරියකුට සිදුවූ අකරතැබ්බයක් මම ශ්‍රී ලාංකික කිරීමට උත්සාහ කළෙමි. ඒ වර්තමාන සත්ව සංගණනයට අදාළවය.
නරියාට ගස් නැගීමට බැරිය. ඌ ඒ ගැන ඉන්නේ සිත් තැවුලෙනි.

සංගණනය සඳහා නිලධාරීන් එන බව ආරංචි වූ විට නරියා තවත් කලබලයට පත් වී හිතවත් වඳුරකු හමුවීමට ගියේය.

 

The Fox and the Monkey
“යාළුවා... අපිව සංගණනය කරන්ඩ එනවලු මිනිස්සු. ආරංචි විදිහට උන් අපේ නැට්ටටත් වැට් එකක් ගහන්ඩලු යන්නෙ. ටික දවසකට හැංගිලා ඉන්ඩ ඕනෙ. මට ගස් නගින්ඩ උගන්නනවකො.”

“ඒක නං ටිකක් අමාරු වැඩක්. කෝකටත් මං නරිහාමිව ගහක් උඩට නග්ගන්නංකො.”

නරියා තම පිට මත නංවාගත් වඳුරා ගසක් මුදුනට නැග, ඌ එහි හිඳුවා තබා වෙනත් ගසකට පැන යන්නට ගියේය. ටික වෙලාවක් යද්දී නරියාට දැඩි කුසගින්නක් දැනුණි. එහෙත් දැන් බිමට බසින්නට ක්‍රමයක් නැත. නරියා වටපිට බැලුවේය. හිසට උඩින් අත්තක මී වදයකි. කුසගිනි දරාගත නොහැකි වූ තැන, නරියා පාදයක් දිගු කර මී වදය කඩා ගැනීමට උත්සාහ කළේය. එසැණින්ම මීමැස්සෝ ඌට පහර දෙන්නට ගත්හ. ගසින් වැටුණු නරියා එතැනම මළේය. “නරින්ට මොන මී පැණි”දැයි පිරුළක් සෑදුණේ ඉන් පසුවය.

 

donkeyqe

සත්ව සංගණනයෙහි අරමුණ නොදත් වල් ඌරන්, බූරුවන්, ගවයන් හා කුකුළන් වැනි සත්තු තමන් ඊට අදාළ කර නොගැනීම ගැන පසුවන්නේ කලකිරීමෙනි. ඇත්තෙන්ම ඊට හේතු වූයේ මිනිසුන් සමඟ එකී සතුන් පැටලීම වළක්වා ගැනීමය.


කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : ගස් නැගපු නරි | The Leader