The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත | තිලක් සේනාසිංහ

T

The Leader Desk

August 12, 2025 • 10:17 AM

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත  | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රඟහලේදී මුල් වරට වේදිකා ගත කරන ලද ‘නරි බෑණා’ නාටකයයි.
  • මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1956 වසරේ මුල්වරට වේදිකා ගත කරනු ලැබූ මනමේ නාටකයට හෝ ප්‍රවීණ නාට්‍ය කරු හෙන්රි ජයසේනයන් විසින් 1967 වසරේ මුල්වරට කරලියට ගෙනා හුනුවටයේ කතාවට නොමැති පොදු ජනතා ප්‍රසාදයක් නරි බෑණාට හිමි වූයේ කෙසේද?
  • නරි බෑණා නාට්‍යයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් තම මනමේ නාටකය සඳහා යොදා ගත් වස්තු බීජය වූයේ පන්සිය පනස් ජාතක පොතේ 372 වන ජාතක කතාව වන චුල්ල ධනුද්ධර ජාතකයයි.
  • එමෙන්ම එය ඇසුරින් නිපදවන ලද මනමේ නාඩගම මගින් ද මනමේ නාටකයට සුවිසල් පිටිවහලක් ලැබී ඇති බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම නාට්‍ය කරුවකු වන දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1960 නොවැම්බර් 04 දා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය රඟහලේදී මුල් වරට වේදිකා ගත කරන ලද ‘නරි බෑණා’ නාටකයයි.

සිංහල වේදිකා නාට්‍ය සමුච්චයේ සුවිශේෂත්වයට පත් උත්තුංග කලා නිර්මාණ අතලොස්ස අතුරින් නරි බෑණා පෙර පාසල් විවිධ ප්‍රසංග තෙක් පැතිර ගත් පුළුල් පාරාසයක් තුළ සුවිශේෂත්වයක් හිමිකර ගන්නේ කෙසේද? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදනය කරන ලදුව 1956 වසරේ මුල්වරට වේදිකා ගත කරනු ලැබූ මනමේ නාටකයට හෝ ප්‍රවීණ නාට්‍ය කරු හෙන්රි ජයසේනයන් විසින් 1967 වසරේ මුල්වරට කරලියට ගෙනා හුනුවටයේ කතාවට නොමැති පොදු ජනතා ප්‍රසාදයක් නරි බෑණාට හිමි වූයේ කෙසේද?

nari2

නරි බෑණා නාට්‍යයෙන්

 

මහාචාර්ය සරච්චන්ද්‍රයන් තම මනමේ නාටකය සඳහා යොදා ගත් වස්තු බීජය වූයේ පන්සිය පනස් ජාතක පොතේ 372 වන ජාතක කතාව වන චුල්ල ධනුද්ධර ජාතකයයි. එමෙන්ම එය ඇසුරින් නිපදවන ලද මනමේ නාඩගම මගින් ද මනමේ නාටකයට සුවිසල් පිටිවහලක් ලැබී ඇති බව පෙනේ.

එමෙන්ම එදා මෙදා තුර සිංහල වේදිකා නාට්‍ය කලාව ඒකාලෝක කළ හෙන්රි ජයසේනයන් ගේ හුනුවටයේ කතාව සඳහා පාදක වූයේ ලෝක ප්‍රකට ජර්මානු නූතනවේදී නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ Caucasian chalk circle නම් නාටකයේ දැක්වෙන කතා තේමාව ය.

 

zනරි බෑණා නාට්‍යයෙන්

එහෙත් දයානන්ද ගුණවර්ධන සූරීහු තම නරි බෑණා නාටකය සඳහා තේමාව කොට ඇත්තේ ඉහත සඳහන් තේමාවන් දෙකටම වඩා පොදු ජන හදවත්වලට අතිශය සමීප වූ ජන කතා දෙකකි. එහෙත්, මේ වන විට නරිබෑණා නාට්‍ය පිටපත අප සමාජයේ ප්‍රචලිතව තිබූ එක් ජන කතාවක් මුල් කොට ලියැවුණු එකක් සේ දකින නූතනයේ බොහෝ දෙනෙක් නරි බෑණා නාටකයට පදනම් වූ මේ ‘ජනකතා දෙකේ’ කතාව නොදනිති. නමුත් 1962 වසරේ අගෝස්තු 29 දා ‘නරි බෑණා’ තම නාට්‍ය පිටපතට පෙරවදනක් සපයන දයානන්ද ගුණවර්ධන සූරීහු එහි පසුබිම මෙසේ දක්වති.

FB IMG 1607847275476දයානන්ද ගුණවර්ධන

“සිංහලයට හුරු නාට්‍ය සම්ප්‍රදායක් බිහි කරලීම සඳහා අපේ ජන ශෛලිය හාරා අවුස්සා ඉන් නාට්‍යෝචිත අංග සොයා යොදා ගැනීමට මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා විසින් මුල පුරන ලදී. මනමේ නාටකයෙන් පසු අවුරුදු පහක් හයක් යන තෙක්ම නිෂ්පාදනවල බෙහෙවින් කැපී පෙනුණේ ඒවා ඉදිරිපත් කරන ශෛලියන්ය. හැම කෙනෙක්ම අලුත් අලුත් ශෛලීන් ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මින් සිංහල නාට්‍යයට ඉමහත් සේවයක් සැලසුන බව කිව යුතුය. නරි බෑනා ද එවැනි ප්‍රයත්නයකි.

රබන් පද, බම්බු කෝලම් නරිබෑනා ශෛලියට ආධාර වී ඇත. නරි බෑනා නාටකය රචනාකොට ඇත්තේ ජනප්‍රිය ජනකතා දෙකක් ඇසුරු කොට ගෙන ය. මින් “සිවලා හා ගම දියණිය” නැමති කතාව අනුව, ගම මහගේ දුව නරියෙකුට දෙන බව කියා බණින්නේ ගම ගෙදරදී ය. මේ අතර ගම ගෙදර අසල පඳුරක උන් නරියෙකුට එය ඇසින. ඒ වචන ඇසීමෙන් නරියා ලත් ප්‍රීතිය විඳදරා ගැනීමට තරම් උගේ සිරුර ප්‍රමාණවත් නොවීයැයි ජන කතා කරු පවසයි. නරියා ප්‍රීතියෙන් කළ කෑකෝ ගැසීම් අසා ගම හාමිනේ ද බිය වූවා ය. පසු දිනක ගම දුව විවාහ කරදෙන මංගල උත්සවයක් විය. මනමාලයා පැමිණ මනමාලිය සමඟ පෝරුව මත නැගෙන වේලෙහි නරියා ඔවුන් අතරට විත් ඔහුගේ අයිතිවාසිකම් කියා සිටියේය. කාරණය අවබෝධ කර ගත් ගමරාල, මනමාලයා පෝරුවෙන් බස්සවා එතැන නරියාට දී කටයුතු නිම කළේය. මනමාලයාගේ ඉවසීම ගැන කවුරුත් ප්‍රශංසා කළහ. අග හිඟකම් ඇති වු පසු කලක ගම දෙමහල්ලෝ නරි බෑනා බැලීමට ගියහ. එහිදී නරියා සිතු පැතු කෑම ලැබෙන පෙට්ටියක් නැන්ද මාමාට තෑගි කෙළෙන්, දුව නරියෙකුට පාවාදීම ගැන ඔවුන් කණගාටු නොවූහ.

කැලයේදී නපුරු සතෙකුගේ උගුලකට අසුවුණු ගමරාල කෙනෙක් නරියෙකුගේ උපකාරයෙන් බේරී ඔහුට එළු පැටවුන් දෙදෙනකු තෑගි දීමට පොරොන්දු වෙයි. නමුත් ගමරාල මල්ලක් තුළට දමා නරියාට තෑගි කරන්නේ ගම බල්ලන් දෙදෙනෙකි. මේ දෙවැනි ජනකතාවයි. මේ ජන කතා දෙකේ සම්බන්ධයෙන් නරි බෑනා නාටකය රචනා කොට ඇත.


(උපුටා දැක්වීම අවසන්)
 
35229032375 4e6110e4d0 b
ශ්‍රී ලංකාවේ දී නරියා ලෙස හඳුන්වන හිවලා
 
නමුදු මෙම ජනකතාවේ හා ජනවහරේ එන ‘නරියා’ සහ ලේඛන කටයුතු වලදී අප හිවලා යනුවෙන් හඳුන්වන සතුන් දෙදෙනා අතරේ පරස්පරතා තිබේ. ඒ නරියා සහ හිවලා යනු විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් සත්ව විශේෂ දෙකක් බැවිනි. එමෙන්ම නරි බෑණා නාට්‍යයට පාදක නොවූ ජන කතාවේ එන නරියා තම බිරිඳගේ දෙමව්පියන්ට තෑගි දෙන සිතූ පැතූ කෑම වර්ග ඉබේ පහල වන අරුම පුදුම කෑම පෙට්ටිය පිළිබඳ පුවත ද මෙතෙක් නිසි සමාජ අවධානයට ලක්ව නොමැති බවක් පෙනේ.

හිවලා සිඟාල හෙවත් සිඟාලයා සහ නරියා අතර පවත්නා වෙනස පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අප ඉංග්‍රීසි බසෙහි පිහිට පැතිය යුතු වේ. එහි හිවලා (Jackal) යනුවෙන් හැඳින්වෙන අතර නරියා හැඳින්වෙනුයේ Fox යනුවෙනි.
 
nariya 1
එහි දී පළමුවෙන්ම කිව යුත්තේ අප රටේ හිවලුන් මිස නරින් නොමැති බවකි. ඉන්දීය උප මහාද්වීපයේ දකුණුඅර්ධයේ දක්නට ලැබෙන හිවලුන් ගේ උප විශේෂයක් වන ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන හිවලුන් හැඳින්වෙන “කැනිස් ඕරියස් නරියා” (Canis aureus naria) යන විද්‍යාත්මක නාමය තුළ ද “නරියා” යන වදන ගැබ්ව තිබීම මත නරි බෑණා නාටකයේ පිටපත් රචකයා පහසුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අපට පුළුවන. ඒ පාලි ආදී භාෂාවන් ගෙන් සිඟාල ලෙස ව්‍යවහාර වන හිවල් නාමය ලිඛිත බසට මිස සිංහල ජන වහරට එක්ව නොමැති බැවිනි.
1726730 WhatIsAGoldAureus 1200x630 091923ඔරියස් යනු ක්‍රි. ව. පළමු සියවසේ සිට සිව් වන සිය වස තෙක් රෝමයේ භාවිතා වූ ප්‍රධානතම රන් කාසි වර්ගයයි
 
මෙහිදී හිවලා හැඳින්වීම පිණිස යෙදෙන විද්‍යාත්මක නමේ එන කානිස් (Canis) යන්න සුනඛ කාලය හැඳින්වීමට යෙදෙන අතර එහි එන ඕරියස් (aureus) යන වදනින් රන්වන් පැහැයක් පිළිබඳව හැඟවේ. ඔරියස් යනු ක්‍රි. ව. පළමු සියවසේ සිට සිව් වන සිය වස තෙක් රෝමයේ භාවිතා වූ ප්‍රධානතම රන් කාසි වර්ගයයි. ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ සේම වයඹ දෙසින් බොම්බාය අසල තානා සිට බටහිර ඝාට්ස්, මයිසූර්, නැගෙනහිර ඝාට්ස් සහ මණ්ඩුරා හරහා දකුණට අප නරි නමින් හඳුන්වන මෙම හිවල් විශේෂය දක්නට ලැබේ.

ඉංග්‍රීසි භාෂාවේ Fox යන වදනින් හැඳින්වෙන නරියා රූපකාය සහ හැසිරීම් රටා මගින් හිවලාට යම් සමානත්වයක් පළ කළ ද වර්ණය ශරීර ප්‍රමාණය ආදී බොහෝ කරුණු අතින් හිවලාට වඩා වෙනස්කම් පළ කරයි. නරියා හැඳින්වෙන විද්‍යාත්මක නාමය වනුයේ Vulpes Vulpes යන්න ය. ශරීර ප්‍රමාණය හා ආයු කාලය අතින් ද නරියා හිවලා තරම් ප්‍රබල නොවන අතර හිවලකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 10-12 පමණ වෙද්දී නරියකු ගේ ආයු කාලය වසර 6-7 කට සීමා වීමෙන් ඒ වෙනස තහවුරු වේ.
 
IMG 0152
හිවලාටත් වඩා ඕනෑ කටුක ජීවන රටාවකට අනුවර්තනය වීමේ කදිම හැකියාවක් සහිත නරියා ඇන්ටාටිකාව ඇතුළු ලොව සෑම මහාද්වීපයකම දක්නට ලැබුණ ද අප රටේ ජන වහරේ මිස සතුන් අතරේ එකම නරියකුවත් නොමැති බව සහතිකවම කිව යුතු ය.එ මෙන්ම ආහාර සොයා ගැනීම සම්බන්ධයෙන් මෙම සතුන් දෙවර්ගය තුළම ඇති උපායශීලීත්වය වෙනත් සතුන් දඩයම් කළ සතුන් ගේ මළ සිරුරු අනුභවයට පෙළඹීම ආදී හේතුන් මත හිවලුන් සහ නරි සත්ව ලෝකයේ කපටින් ලෙස ලොව පුරා හඳුන්වනු ලැබෙත්.
nari naide rawatuna 2
අප ජන සංස්කෘතියේ ද ඇතැම් පුද්ගලයන් වෙත පවා ඒ සත්ව නාමය ආදේශ වීමට එම සත්ව චර්යාවන් ඉවහල් වී ඇති බව පෙනේ. අප රටේ ජන ශ්‍රැති අතරේ වැජඹෙන සතුන් අතරේ නරියාට ප්‍රධාන තැනක් හිමි වේ. අප ගේ ජන කතා වල සතුන් ද හාමි, රාල, රාලහාමි යන අතීත මානව තරාතිරම් නාම මුල් කොට හැඳින්වෙන බව අපි දනිමු. ඒ අතුරින් නරින් හැඳින්වීම පිණිස යෙදෙන ප්‍රකට නාමයක් තිබේ. එනම් “නයිදේ” යන්න ය.

නයිදේ යන්න අතීත කෘෂිකාර්මික ජන සමාජයේ කාර්මික ජන කොටස් හෙවත් කුල වල ජනතාව හැඳින්වීම පිණිස යොදන ලද්දකි. එහි දී එම නයිදේලා සමඟ ගනුදෙනු කරන තමන් ඔවුන් ගේ නොයෙක් රැවටීම්වලට ලක් වන බවට එවක ගොවි ජනතාව තුළ හරි හෝ වැරදි යම් විශ්වාසයක් තිබිණ.

මගේ වැටහීම අනුව අප ගේ ජන කතා වල දී කපටි කම්වලට නම් දැරූ බව පැවසෙන නරියාට නයිදෙ නාමයක් ආරෝපණය වීමට හේතුව එයයි. එමෙන්ම මෙම නරින් අතරිනුදු රතු නරියා ( Red fox ) ලොව බොහෝ ජනප්‍රවාදවලට ලක්ව තිබේ.
nari6
රතු නරියා
 
දැන් අපි නරි බෑණා නාටකයේ විස්තර නොවන ජන කතාවේ එන නරි බෑණා තම නැන්දනියට හා මාමණ්ඩියට තිළිණ කළ, ඉබේටම කෑම උනන අරුම පුදුම කෑම පෙට්ටිය පිළිබඳව ද විමසා බලමු. නරියා සහ හිවලා සම්බන්ධයෙන් ලොව පවතින ජන සංස්කෘතීන් තුළ ඔව්හු කපටින් සේම කිසියම් ඉන්ද්‍රජාලික මායාකාරී බලයක් සහිත සත්ව විශේෂ ලෙස ද හුවා දැක්වෙති.

ඒ සම්බන්ධයෙන් සපයා ගත හැකි හොඳම නිදසුනක් වනුයේ ජපානයේ කිට්සුන් (Kitsune) නමින් හැඳින්වෙන නරියා ගේ සංකේතයයි.

කෘෂිකාර්මික සශ්‍රීකත්වය පදනම් කරගත් සෞභාග්‍යයේ සංකේතය වන කිට්සුන් ජපන් ජන සංස්කෘතිය තුළ එක්තරා පූජනීයත්වයක් ද ආරෝපණය කොට තිබේ.
 
kitsune
ජපානයේ කිට්සුන් (Kitsune)
 
කොරියානු ජනප්‍රවාදවලට අනුව කුමිහෝ (Kumiho) යනුවෙන් හැඳින්වෙන නරියා ප්‍රාතිහාර්ය බලයක් සහිත සතෙකි. ඒ බලය කෙතරම් ද යත් ඔහුට එක්වරම අතිශය රූමත් තරුණියක සේ වෙස් මාරු කර ගැනීමට ද පුළුවන.
 
HD wallpaper kumiho fox blue art frumusete luminos chris chan gjschoolart lightwing academy vulpe fantasy
කොරියාවේ කුමිහෝ
 
ඊජිප්තුවේ පවත්නා ජන විශ්වාසවලට අනුව හිවලා පරලොව හා සම්බන්ධ සත්වයෙකි. ඔහු මළවුන්ට අධිපති ඇනුබිස් (Anubis) නම් දේවතාවා සංකේත කරන අතර හිවල් හිසකින් යුතු ඇනුබිස් ගේ රූප ද තිබේ.
 
anubis egyptian god of mummification
ඊජිප්තුවේ ඇනුබිස් (Anubis)
 
මේ සියළු තත්වයන් යටතේ නරි බෑණා වේදිකා නාට්‍යයට පාදක වූ ජන කතා දෙකෙන් නරියා සහ ගම දුව ජන කතාවේ එන නරියා තම සත්‍යවාදී මාමණ්ඩියට සහ නැන්දම්මාට තිළිණ කළ ඉබේ ආහාර පහළ වන අරුම පුදුම ආහාර පෙට්ටිය පිළිබඳ පුවත මානව ශිෂ්ටාචාරයේ කිනම් කාලයක හෝ පැවැති පොදු සංස්කෘතික මූලයකින් අපගේ සාම්ප්‍රදායික ජන මනැසට එක් වූ බව පැහැදිලි ය.

Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත | තිලක් සේනාසිංහ | The Leader