The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි

T

The Leader Desk

March 5, 2026 • 11:59 AM

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ඉහළම අගයක් දුන් යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම්; සිරිල් ක්ලෙමන්ටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇරඹුණු අයහපත් කාලගුණයත් සමඟ රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ සිදුවූ පස් කඩාවැටීම් සහ ගල් පෙරළීම් ඇතුළු බාධාවන් නිසා කොළඹ සිට මහනුවර/බදුල්ල දක්වා සෘජු දුම්රිය ධාවනය තවමත් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විටත් උඩරට දුම්රිය සේවා ප්‍රාදේශීය මට්ටමක් තෙක් පහළ වැටී ඇත.
  • එහි සාධාරණ අසාධාරණ බව කෙසේ වෙතත්, මේ වන විටත් ජාත්‍යන්තරය තුළ පවා ප්‍රකටව පවතින ශ්‍රී ලංකා දුම්රිය සේවය අපගේ ජාතික සම්පත් අතුරින් ප්‍රධාන තැනක් හිමි කර ගන්නා බව ඉවත හෙළිය නොහැකි සත්‍යයකි.
  • මොහු යටත් විජිත කාර්යාලයේ (Colonial Office) ප්‍රධානියා ලෙස, ලංකාව වැනි යටත් විජිතවල පරිපාලන කටයුතු භාරව සිටි ඉහළම නිලධාරියා විය.
  • බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1922 – 1925 අතර ලංකාවේ සේවය කළ ප්‍රමුඛ පෙළේ නිලධාරියකු වූ ඔහු 1922 දී ලංකාවේ යටත් විජිත ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


උඩරට දුම්රිය මාර්ගයේ පවතින බාධාව නිසා “පොඩි මැණිකේ” හෝ “උඩරට මැණිකේ” වැනි සෘජු දුම්රිය කොළඹ සිට ධාවනය නොවීම මෙරට ජන ජීවිතවලට ද සැලකිය යුතු බලපෑම් එල්ල කොට තිබේ. මෙය ආණ්ඩුවේ තබා විපක්ෂයේවත් නිසි අවධානයට ලක් නොවූ ඛේදනීය තත්ත්වයකි.

අප රටේ දුම්රිය සේවයට මල් පොකුරුවලට වඩා ගල් මුල් යොමු වීම අප නිරතුරුව අත්දකින තත්ත්වයකි. එහි සාධාරණ අසාධාරණ බව කෙසේ වෙතත්, මේ වන විටත් ජාත්‍යන්තරය තුළ පවා ප්‍රකටව පවතින ශ්‍රී ලංකා දුම්රිය සේවය අපගේ ජාතික සම්පත් අතුරින් ප්‍රධාන තැනක් හිමි කර ගන්නා බව ඉවත හෙළිය නොහැකි සත්‍යයකි. අප රටේ දුම්රිය සේවය පිළිබඳව අසීමාන්තික ඇල්මක් පළ කළ විජාතිකයෝ ද වෙති. ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි (Sir Cecil Clementi) යනු ඒ අතුරින් එක් අයකු පමණි.

siril2

 

යටත් විජිත සඳහා රාජ්‍ය ලේකම් (Secretary of State for the Colonies) යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත පාලනය කළ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයාය. මොහු යටත් විජිත කාර්යාලයේ (Colonial Office) ප්‍රධානියා ලෙස, ලංකාව වැනි යටත් විජිතවල පරිපාලන කටයුතු භාරව සිටි ඉහළම නිලධාරියා විය.

siril1

සිසිල් ක්ලෙමන්ටි

 

ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ සිටි ඉතාමත් දක්ෂ සහ උගත් පරිපාලන නිලධාරියෙකු වන අතර, ලංකාවේ ඉතිහාසය තුළ ඔහු වඩාත් කැපී පෙනෙන්නේ පාලන තන්ත්‍රය සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙනි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1922 – 1925 අතර ලංකාවේ සේවය කළ ප්‍රමුඛ පෙළේ නිලධාරියකු වූ ඔහු 1922 දී ලංකාවේ යටත් විජිත ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තේය. එම කාලය තුළ ඔහු ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් මැනිං යටතේ දෙවැනි ප්‍රධානතම නිලධාරියා ලෙස කටයුතු කළේය.

1920 සහ 1924 වසරවල සිදුවූ ව්‍යවස්ථාදායක සභා ප්‍රතිසංස්කරණ (Legislative Council Reforms) ක්‍රියාත්මක කිරීමේදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. විශේෂයෙන්ම සභාවේ නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම, ජනවාර්ගික පදනම මත නියෝජනය ලබා දීම වැනි සංකීර්ණ දේශපාලන තීරණ ගැනීමේදී ඔහු පරිපාලනමය සහාය ලබා දුන්නේය. ශ්‍රීමත් විලියම් මැනිං ලංකාවෙන් නික්ම ගිය පසු සහ නව ආණ්ඩුකාර ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ් පැමිණීමට පෙර කාලය තුළ (1925 වසරේ මාස කිහිපයක්) සිසිල් ක්ලෙමන්ටි ලංකාවේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කොට තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි ලංකාවට පැමිණීමට පෙර හොංකොං හි සේවය කර තිබූ බැවින් චීන භාෂාව (Cantonese) පිළිබඳ හසළ දැනුමක් තිබූ අයෙකි. ඔහු චීන සාහිත්‍යය පිළිබඳ කෘති පවා රචනා කර ඇත.

siril6

 

1925 වසරේ ලංකාවෙන් නික්ම ගිය ඔහු හොංකොං හි ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1930 දී සිංගප්පූරුව ඇතුළත් Straits Settlements හි ආණ්ඩුකාරවරයා සහ මැලේයානු ප්‍රාන්තවල මහා කොමසාරිස් ලෙස පත් විය.

අප රටේ දුම්රිය සේවය සම්බන්ධයෙන් ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය පසු තබා ඇති සංවේදී සටහනක මෙසේ දැක්වෙයි:

 

siril3
“පසුගිය අවුරුදු දෙක හමාර ඇතුළත මා ලංකාව තුළ දුම්රියෙන් චාරිකා කළ දුර ප්‍රමාණය කොපමණ දැයි ගණන් බැලුවහොත් සැතපුම් 26,000ක් පමණ වේ. ඒ ගමන් බිමන්වලින් වැඩි කොටසක් රාත්‍රී කාලයේදී යෙදුණු අතර අවුරුද්දේ සෑම සෘතුවකම මම එසේ චාරිකා කළෙමි. ලංකාවට පැමිණීමට ප්‍රථමයෙන් මම එංගලන්තය, යුරෝපය, චීනය, ඉන්දියාව, බුරුමය හා ඇමරිකා එක්සත් ජනපදයේත් දුම්රියෙන් ගමන් කර ඇත්තෙමි. සයිබීරියන් දුම්රිය මාර්ගයේ මුළු දුර ප්‍රමාණය තුළ දෙවරක්ම චාරිකා කර ඇත. කැනේඩියානු පැසිෆික් මාර්ගයන් ද මට හුරුපුරුදු ය. එහෙත් ඒ කිසිදු දුම්රිය සේවාවක් ලංකාවේ දුම්රිය සේවාව තරම් සුවපහසු නොවීය. එතරම්ම එය ප්‍රියජනක ය. අන් කවර රටකවත් මෙතරම් හොඳින් එන්ජින් හා මැදිරි නඩත්තු කර ඇති සෙයක් මම නුදුටිමි. මා 1925 ජනවාරි 18 දින ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රකාශ කර සිටියේ ලංකා දුම්රිය සේවාවෙහි පවත්නා විශිෂ්ට කාර්යක්ෂමතාවය කෙරෙහි මා බෙහෙවින් පැහැදී සිටින බවකි.”

siril4
ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි පිළිබඳව තවදුරටත් කතා කළහොත්, ඔහු හුදෙක් අපේ රටේ පරිපාලකයෙකු ලෙස කටයුතු කළ, හිරු නොබසින අධිරාජ්‍ය උන්මාදයෙන් හිස උදුම්මවා ගත් අහංකාර සුද්දෙක් නොවේ. සැබෑම විද්වතෙකි; ගැඹුරු ශාස්ත්‍රීය දැනුමක් සහිත ලේඛකයෙකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු තැබූ සටහන් සහ වාර්තා ඉතිහාසඥයන්ට ඉතා වැදගත් වේ.

siril5

අප රටේ දුම්රිය සේවය සම්බන්ධයෙන් ශ්‍රීමත් සිසිල් ක්ලෙමන්ටි සිදු කළ ඉහත සඳහන් ප්‍රකාශය හුදු හැඟීම් ආවේග මත පදනම් වූ එකක් නොවන බවත්, එය ඔහුගේ බුද්ධිය, පරිපාලනමය දැනුම, අවබෝධය හා තුලනාත්මක අධ්‍යයනයේත් සුසංයෝගයක් බව අතිශයින් පැහැදිලිය. ඒ අනුව කතාවෙන් ජාතියක් වසඟ කර ගැනීමට සමත් වූ වත්මන් ආණ්ඩුවේ බලධාරීන්, එවන් දීප්තිමත් අතීතයක් හිමි අප රටේ දුම්රිය සේවය යථාවත් කිරීමට වඩා මේ වන විට කිසිවකුගේ අවධානයට ලක් නොවූ එහි සම්පත් නිසි පරිදි යොදා විවිධාංගීකරණයට ලක් කොට එයට ජාත්‍යන්තරය තුළ කීර්තියක් හිමි කර දීමේ පහසු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත යුතුය.

renuka damayanthi(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...