The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති ; ඇමෙරිකානු නව විජිතවාදී සැලැස්ම සහ ඉරානය විරෝධී යුද්ධය : සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

March 6, 2026 • 11:35 AM

සම්මුති විසම්මුති ; ඇමෙරිකානු නව විජිතවාදී සැලැස්ම සහ ඉරානය විරෝධී යුද්ධය : සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1967 සිට ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන සිටින පලස්තීන භූමියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් ඉරාන විරෝධී යුද ප්‍රහාර ගැන මෙසේ කීවේය.
  • ඉරානයෙහි එවැනි සැලසුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ණ සංවිධානය  පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
  • මෙම යුද්ධයෙහි ඇමෙරිකාව සමඟ එක්ව සිටින සවුදි ආරබිය වැනි රටවල ද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම නොවේ.
  • මානව හිමිකම් යනු යුද ආක්‍රමණය සඳහා යොදා ගෙන ඇති කඩතුරාවක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

"ඉරාන පාලන තන්ත්‍රය ලිබරල් නොවන එකකි. එය කුරිරු ය. ඉරාන ජනතාව දිගු කලක් තිස්සේ සටන් කරන නිදහස ලැබිය යුතුය. පලස්තීනයෙහි ලිබරල් නොවන සහ කුරිරු ප්‍රතිපත්ති ක්‍රියාවට නගන එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට ඉරානයට බෝම්බ හෙලීමට හෝ යුරෝපා සංගම් නායකයින්ට කුහකකම සඟවා ගැනීමට ඉරානයේ තත්වය කිසිදු අයිතියක් ලබා දෙන්නේ නැත."

 

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට විරුද්ධව යුද්ධයක් දියත් කර ඇත්තේ එරට න්‍යෂ්ටික අවි නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වී සිටින නිසා නොවේ. ඉරානයෙහි එවැනි සැලසුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ණ සංවිධානය  පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. අනෙත් අතට ඉරානයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගරු කරන පාලනයක් පිහිටුවීමට ද නොවේ. මෙම යුද්ධයෙහි ඇමෙරිකාව සමඟ එක්ව සිටින සවුදි ආරබිය වැනි රටවල ද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම නොවේ. මානව හිමිකම් යනු යුද ආක්‍රමණය සඳහා යොදා ගෙන ඇති කඩතුරාවක් පමණි.

තත්වය මෙසේ තිබියදීත් කොමියුනිස්ට්වාදි යැයි ප්‍රකාශ කරන පක්ෂයක ප්‍රධානියකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉරානයට එරෙහි ඇමෙරිකානු-ඊශ්‍රායල යුද්ධය හෙළා දැකීමට ලැජ්ජා සහගත ලෙස අසමත් වී තිබේ. එපමණක් නොව ඇමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයක් මගින් ඉරාන ආගමික - දේශපාලන නායකයා වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි  ඝාතනය කිරීම ඍජුව හෙළා දැකීමටද ජාතික ජන බලවේග ආණ්ඩුව අසමත් වී තිබේ.

ඉරානයට විරුද්ධව දියත් කර ඇති මෙම යුද්ධය තේරුම් ගැනීමට නම් අප ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රෑබියෝගේ මෙම කතාවට සවන් දිය යුතුය. ඔහු මෙම කතා කළේ පසුගිය පෙබරවාරි 14 දින ජර්මනියේ මියුනික් නගරයේ පැවැති ආරක්ෂක සමුළුවේදීය.

 



“ජනාධිපති ට්‍රම්ප් යටතේ, ඇමරිකා එක්සත් ජනපදය නැවත වරක් ලෝකය අලුත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය භාර ගනු ඇත. අවශ්‍ය නම්, මෙය තනිවම කිරීමට අප සූදානම්ය.

‘යුරෝපය සහ අප එක් ශිෂ්ටාචාරයක කොටසකි. එය බටහිර ශිෂ්ටාචාරයයි. ජාතීන්ට බෙදා ගත  හැකි ගැඹුරුම බැඳීම් මගින් අපි එකිනෙකාට බැඳී සිටිමු. සියවස් ගණනාවක පොදු  ඉතිහාසය, ක්‍රිස්තියානි ඇදහිල්ල, සංස්කෘතිය, උරුමය, භාෂාව, පරම්පරාව සහ අප උරුමක්කාරයන් බවට පත්  පොදු ශිෂ්ටාචාරය සඳහා අපගේ මුතුන් මිත්තන් එක්ව කළ කැපකිරීම් මගින් අපි එකිනෙකාට බැඳී සිටිමු.

‘අනෙකුත් බලවතුන්ගේ කප්පම් ගැනීමට ගොදුරු නොවන තීරණාත්මක ඛනිජ සම්පත් සඳහා බටහිර සැපයුම් දාමයක් නිර්මාණය කිරීම  සහ ගෝලීය දකුණේ ආර්ථිකයන්හි වෙළඳපල කොටස සඳහා තරඟ කිරීමට ඒකාබද්ධ උත්සාහයක් දැරීම අපගේ පොදු උවමනාවයි.

යුරෝපයේ ඔබට අප සමඟ එක්වන ලෙස අපි ඉල්ලා සිටින්නේ එම මාර්ගය කරාය. එය අපි මීට පෙර එකට ගමන් කළ මාර්ගයකි.  දෙවන ලෝක යුද්ධය අවසන් වීමට පෙර සියවස් පහක් තිස්සේ බටහිර රටවල් ප්‍රසාරණය වෙමින් පැවතුනි. එහි මිෂනාරිවරුන්, එහි වන්දනාකරුවන්, එහි සොල්දාදුවන්, එහි ගවේෂකයින් සාගර තරණය කිරීමට, නව මහාද්වීපයන්හි පදිංචි කිරීමට, ලොව පුරා විහිදෙන විශාල අධිරාජ්‍යයන් ගොඩනඟා ගැනීමට  වෙරළ තීරයන්ගෙන් ඔබ්බට ගියේය.

 

55094180772 485fb1469c b
නමුත් 1945 දී, කොලොම්බස් යුගයෙන් පසු පළමු වතාවට, එය හැකිලෙමින් තිබුණි. යුරෝපය නටබුන් විය. එයින් අඩක් යකඩ තිරයක් පිටුපස ජීවත් වූ අතර ඉතිරි අය එය ඉක්මනින් අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබුණි. දෙවියන් නොමැති කොමියුනිස්ට් විප්ලව සහ යටත් විජිත විරෝධී නැගිටීම් මගින් වේගවත් කරන ලද මහා බටහිර අධිරාජ්‍යයන් අවසාන පරිහානියට කරා අවතීර්ණ වී තිබුණි. ඒවා ලෝකය පරිවර්තනය කළ අතර ඉන් පසු  වසරවලදී සිතියමේ විශාල ප්‍රදේශ හරහා රතු මිටිය සහ දෑකැත්ත පෙනේනට විය.

නොදන්නා සාගර කරා නැව් යවා අපගේ ශිෂ්ටාචාරය බිහි කළ, නිදහස නිර්මාණය කිරීමේ ආත්මයක් ඇති යුරෝපයක් සමඟ, තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ දිවි ගලවා ගැනීමට කැමැත්තක් ඇති යුරෝපයක් සමඟ පසුගිය සියවසේ අප එක්ව අත්කර ගත් දේ ගැන අපි ආඩම්බර විය යුතුය. නමුත් දැන් අපි නව  අවස්ථාවන්ට මුහුණ දී ඒවා වැළඳ ගත යුතුය. ’

මෙම ප්‍රකාශය  ඇමෙරිකා එක්සත් ජනපදයේ නව විජිතවාදී අභිලාෂය ඉතා පැහැදිලිව පෙන්වයි.  එම ප්‍රකාශය ඉල්ලා සිටින්නේ දෙවන ලෝක යුද්ධයට පෙර තිබූ යටත් විජිත  ක්‍රමය යළි පිහිටුවීමේ අවශ්‍යතාවයි. මෙතරම් නිරුවත්ව සහ නොබියව  නව විජිතවාදී අභිලාෂයක් බටහිර බලවතකු විසින් ප්‍රකාශ කළ අන් අවස්ථාවක් මෑත ඉතිහාසයේ  නැත. මෙය රෑබියෝගේ නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬය.

 

rubio
ඩෙනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු මෙම යුද දේශපාලන මතවාදය සක්‍රීය ක්‍රියා මාර්ගයක් බවට පත් විය. වෙනිසියුලාවෙහි තෙල් සම්පත උදුරා ගැනීම පිණිස එරට රාජ්‍ය නායකයා බලහත්කාරයෙන් ඇමෙරිකාවට ගෙනැවිත් සිර ගත කරන ලද්දේ මෙම යුද දේශපාලන මූලෝපාය යටතේය. දැන් එරට තෙල්වලින් ඇමෙරිකාව මුදල් අපයා ගනී. කොතරම් සාහසික කොල්ලකෑමක්ද?

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජනපද  ලොව පුරා රටවල් 160 ක හමුදා කඳවුරු 800 ක් පමණ පවත්වා ගෙන යන්නේ මෙම යුද දේශපාලන  අරමුණ උදෙසාය.  ඒ සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 156 කට වැඩි මුදලක්  ඇමෙරිකාව  වැය කරයි .

ඉරානයට විරුද්ධ යුද්ධයේ අරමුණ එරට, ලිබියාව හෝ සිරියාව මෙන් විනාශ වූ අසමත් රාජ්‍යයක් බවට පත් කිරීමය. ඊට හේතුව නම් මැද පෙරදිග කලාපයෙහි ඇමෙරිකාවට යටත් නැති එකම රාජ්‍යය ඉරානය වන නිසාය.

iranaifhmcoef

 

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට විරුද්ධව යුද්ධය දියත් කළේ එරට සතුව න්‍යෂ්ටික ආයුධ තිබූ නිසා නොවේ. එරට තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමටද  නොවේ. මැද පෙරදිග නැගී එමින් පැවැති ස්වාධීන රාජ්‍යය විනාශ කිරීම පිණිසය. අද  දක්වාම ලිබියාවෙහි මධ්‍යම ආණ්ඩුවක් නැත. එරට පාලනය කරන්නේ මිලිටර් කල්ලි කණ්ඩායම් විසිනි.

අනෙක් ඉරාකයයි. ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළේ එහෙම පිටින්ම ගොතන ලද ව්‍යාජ හේතුවක් මතය. එනම් එරට සතුව ජන සමූහ නාශක අවි ඇතයි යන්නයි. එම උපකල්පනය සහමුලින්ම වැරදි බව පසුව සනාථ විය. ඉරාකයට තවමත් එම ප්‍රහාරයන්ගෙන් ගොඩ ඒමට හැකි වී නැත.
සිරියාව තවත් උදාහරණයකි.

මැද පෙරදිග ඇමෙරිකානු පොලිස්කාරයා වන ඊශ්‍රායලයේ පැවැත්ම සහතික කිරීමට නම් ඉරානය විනාශ කළ යුතු බව ඇමෙරිකානු නව විජිතවාදී පාලන තන්ත්‍රය කල්පනා කරන බව පෙනේ. මෙම යුද්ධයේ ප්‍රමුඛ අරමුණ එය වුව ද තවත් තීරණාත්මක ප්‍රශ්නයක්  මහ බලවතුන් හමුවෙහි තිබේ.

2026 03 03 trump netanyahu 2253959925

 

එය නම් උපාය මාර්ගික ඛනිජ සම්පත් සුරක්ෂිත කර ගැනීමයි. වර්තමානයෙහි බලවත් රාජ්‍යයන්ගේ ප්‍රධානතම ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවට එය පත්ව ඇත.  විශේෂයෙන්ම චීනය සමඟ පවතින උපාය මාර්ගික තරඟකාරිත්වය හමුවේ, මෙම ගැටුම උත්සන්න වෙමින් තිබේ.

2025 ඔක්තෝබර් මාසයේ දී, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව  විසින් ඩොලර් බිලියන 1 ක උපාය මාර්ගික ඛනිජ සංචිතයක් ස්ථාපිත කිරීමට සැලසුම් කළ බව නිවේදනය කරන ලදී . මෙම සංචිතය කොබෝල්ට්, ඇන්ටිමනි, ටැන්ටලම් සහ ස්කැන්ඩියම් වැනි දුර්ලභ ඛනිජ ලෝහ ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණි. ලෝකය මහ බලවතුන් අතර බෙදා ගැනීම සිදු වන්නේ මේ අන්දමේ ඛනිජ සම්පත් වටාය.

එක්සත් ජනපදයේ මෙම සම්පත් කේන්ද්‍රීය ප්‍රතිපත්තියේ බලපෑම වඩාත් පැහැදිලිව දක්නට ලැබෙන්නේ අප්‍රිකා මහාද්වීපය තුළ ය. එකසත් ජනපදය  උපායමාර්ගයට අනුව අප්‍රිකාව සැලකෙන්නේ "ඇමරිකානු ආරක්ෂක අවශ්‍යතා සඳහා පරිධිය"කලාපයක් ලෙසය .

උප-සහරා අප්‍රිකාවට ලොව දැනට දන්නා උපාය මාර්ගික ඛනිජ සංචිතයන්ගෙන් 30% ක් පමණ සතු වේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලොව කොබෝල්ට් වලින් 70% ක් නිෂ්පාදනය කරයි .

 

sy hnggjgdjyuk

2025 වසරේ දී, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ රුවන්ඩාව අතර තාවකාලික සාම ගිවිසුමක් ඇති කර දීමට මැදිහත් විය. මෙම ගිවිසුම සමඟම, නැගෙනහිර කොංගෝවේ ඛනිජ සම්පත් සූරාකෑම සඳහා එක්සත් ජනපදයට අවසර ලබා දෙන ගිවිසුමක් ද අත්සන් කරන ලදී . කෙසේ වෙතත්, M23 කැරලිකාර කණ්ඩායමේ ප්‍රහාර හේතුවෙන් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

President Donald Trump and Ukraine's President Volodymyr Zelenskyy shake hands at the start of a joint news conference following a meeting at Trump's Mar-a-Lago club, Sunday, Dec. 28, 2025, in Palm Beach, Fla. (AP Photo/Alex Brandon)

 

යුක්රේනය සම්බන්ධයෙන් ද එවැනිම ආර්ථික බලපෑම් උපක්‍රමයක් භාවිතා විය. යුක්රේනයට ලබා දුන් මිලිටරි ආධාර සඳහා වන්දි වශයෙන්, එරට පුළුල් ඛනිජ සම්පත් වලින් ලැබෙන අනාගත ලාභයෙන් විශාල කොටසක් එක්සත් ජනපදයට හිමි වන පරිදි ගිවිසුමක් අත්සන් කරන ලෙස බල කරන ලදී .

ඉරානය සහ ඕමානය අතර ඇති  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලොව තෙල් සැපයුමෙන් 20%ක් පමණ ගමන් කරයි. ඉරානය දුර්වල කිරීම මගින්  ඇමෙරිකාව ප්‍රමුඛ රාජ්‍ය පද්දතියට හෝමුස් සමුදු සන්ධියේ බලය තමන් අතට ගැනීමට ගන්නා උත්සාහයක් ද මෙම යුද්ධය තුළ තිබේ.

තවමත් යුද්ධය කෙලෙස අවසන් වනු ඇතිදැයි අනුමාන කිරීම දුෂ්කරය ඒ කෙසේ වෙතත් මෙම යුද්ධය මැදපෙරදිග සහ ලෝක දේශපාලනයේ ඉදිරි ගමන් මග තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වනු ඇති බව දැනට සටහන් කළ හැකිය.

අනෙත් අතට මෙම යුද්ධය ඇමෙරිකානු නව විජිතවාදී පිළිවෙතෙහි එකම සහ අවසාන යුද මෙහෙයුම නොවේ. ඉරානයෙන් පසු බැස යන ඇමෙරිකාවේ මීළග ගොදුර වනු ඇත්තේ ද ඛනිජ සම්පත් පිරි රටක් වනු ඇති බවට කැට තැබිය හැකිය.


sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සම්මුති විසම්මුති ; ඇමෙරිකානු නව විජිතවාදී සැලැස්ම සහ ඉරානය විරෝධී යුද්ධය : සුනන්ද දේශප්‍රිය | The Leader