BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විශේෂාංග

රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්

Nethmini

Nethmini

October 2, 2026 • 1:21 PM

රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ පරිශ්‍රයේදී රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය, විපක්ෂයේ අභ්‍යන්තර අර්බුදය සහ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ කළ දේශපාලන විමසුමකි.
  • ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි.
  • ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
  • මෙතෙක් 76 වසරක් චෝදනාව තිබුණේ දේශපාලකයන් පොලිසිය සහ හමුදාව මාධ්‍යයට පහර දෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය:

රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ වූ සිදුවීමක් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කලඹන්නට හේතු විය. ඒ එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධරයකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. අධිකරණයේ සිට රනිල්ට පෙර එළියට පැමිණියේ අදාළ ආරක්ෂක නිලධාරීන්ය. රනිල් ආවේ ඊට පසුවයි. අදාල පුද්ගලයාගේ ඉලක්කය වී තිබුණේ රනිල් ද? ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම එදින ලැබුණු නඩු තීන්දු වලින් රනිල්ගේ නඩුව කල්යාම, නාමල්ට ඇප ලැබීම, ආදී සිදුවීම් නිසා අදාළ මාධ්‍ය ආයතනය කිපී සිටියාදැයි ඊට පසු දින මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපති වජිර පැවසීය. මෙතෙක් 76 වසරක් චෝදනාව තිබුණේ දේශපාලකයන් පොලිසිය සහ හමුදාව මාධ්‍යයට පහර දෙන බවයි. ඉතිහාසයේ පළමුවරට මාධ්‍යවේදීන් පොලිසියට පහරදීමට පටන්ගෙන ඇත. ''මේ පහර දීමේ ඉලක්කය පොලිසිය ද රනිල්ද කියා පැහැදිලි සැකයක් තිබෙනවා''යනුවෙන්ද වජිර එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

පහරදීමට Rata Next විරෝධය සහ සජිත්ගෙන් දුරකථන ඇමතුමක්

අදාල සිද්ධියෙන් පසු Rata Next සංවිධානයද දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කළේය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට ශාරීරිකව පහරදීමක් සිදුවූ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් Rata Next සංවිධානය සිය දැඩි කනස්සල්ල සහ අවධානය පළ කරයි.

මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ සිදුකිරීමට ඇති අයිතිය අපි දැඩිව පිළිගන්නා අතරම, එම අයිතිය සමඟම අනෙකුත් පුද්ගලයන්ගේ ශාරීරික ආරක්ෂාව සහ වෘත්තීය ගෞරවයද ගරු කළ යුතුය.

ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරිය ඉටුකිරීමේදී ඔහුට ශාරීරික බලපෑමක් එල්ල කිරීමක් සිදුවී ඇත්නම්, එවැනි හැසිරීමක් කිසිසේත්ම වෘත්තීයමය හෝ සදාචාරාත්මක මාධ්‍ය භාවිතයකට අනුකූල නොවන බව Rata Next සංවිධානය අවධාරණය කරයි" යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.

 උසාවියේ සිදුවීම ආරංචි වූ විගසම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඇමතුමක් ලබාදුන්නේය. සජිත් විමසා සිටියේ උසාවියේදී සිද්ධියක් ඇතිවුණා නේද යයි කියාය. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයාට කරුණු විස්තර කළේය. සජිත්ගේ පිළිතුර වූයේ පහරදෙන ඔක්කොම කැමරාවල තියනවානේ කියාය.

විපක්ෂ නායකත්වය සහ උද්ඝෝෂණ අර්බුදය

විපක්ෂයේ සියලු පක්ෂ වල ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ සජිත්ගේ නායකත්වය මත ඉදිරි වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. 22ට එරෙහිව පෝල්දූව මංසන්ධියේ සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට සජිත් ඇතුළු සුළුතර කල්ලියක් විසින් අනෙක් පක්ෂ සඳහා එපා වාහෙට හොදි බෙදන්නා වාගේ සලකා තිබිණි. මරික්කාර් කියා තිබුණේ උද්ඝෝෂණයට ආරාධනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි. මේ කතන්දර නිසා පොදු ජන පෙරමුණ ඇතුළු සියලු පක්ෂ එම උද්ඝෝෂණයට යෑමෙන් වැළකී සිටියේය.

"මරික්කාර් එහෙම කතාවක් කිව්වා කමක් නෑ කියමුකෝ. ඒත් නායකයාගේ වගකීම තමයි ඒක නිවැරදි කරන එක. සජිත්ගේ නිහඬ පිළිවෙත නිසා විපක්ෂයේ පක්ෂ හිතන්නේ ඒ කතාවට නායකයාගේ විරුද්ධත්වයක් නැති බවයි" විපක්ෂයේ බොහෝ පක්ෂවල නායකයන් රනිල්ට එසේ තම ස්ථාවරය ප්‍රකාශ කර තිබිණි.

අයවැය, අයි.එම්.එෆ්. සහ විදේශ ප්‍රතිපත්තිය ගැන රනිල්ගේ ප්‍රශ්න

"ලබන නොවැම්බර් 12 බජට් එක ඉදිරිපත් කරනවා. දැන් වෙනකොට අයිඑම්එෆ් එකට යනවාද නැද්ද කියන කාරණය ගැන ආණ්ඩුව තීරණය කරල තියෙන්න ඕන. ඒ ගැන තීරණය නොකර බජට් එක හදන්නේ කොහොමද? අන්තිම මොහොතේ තීරණයක් අරගෙන බැහැනේ. ඒකෙ වගකීම තියෙන්නෙ ජනාධිපතිට. එයා මේක ප්‍රකාශ කරන්න ඕනනේ. ඩීසල් මිල පාලනය කරන්න බිලියන 40 ක් යොදවලා තියෙනවා. අයිඑම්එෆ් එක ඒකට එකඟ වෙනවද? ඒක අයි.එම්.එෆ් ප්‍රතිපත්ති වලට පටහැනියි. හැම රටක්ම කරන්නේ තෙල් මිල වැඩි වුනොත් භාවිතය සීමාකරන එක. ගිවිසුම කඩලා එතෙන්ට යන්නේ කොහොමද? රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රශ්න කළේය.

විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගොස් පලස්තීනය සම්බන්ධයෙන් කතා කිරීම ගැන අදහස් කුමක්දැයි රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්න මෙහිදී රනිල්ගෙන් විමසීමක් කළේය.

"ඔක්කොම බලාගෙන ඉන්නෙ පලස්තීනෙ චන්දෙ මොකක්ද වෙන්නේ කියලා. අනෙක් කණ්ඩායමට බහුතරයක් හම්බ වුනොත් ඒක වඩා වාසි සහගත තත්වයක් කියලයි බොහෝ අය හිතන්නේ. මූලික ප්‍රශ්නය තියෙන්නේ ඉරානය. අවුරුදු දෙකක් තුළ අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා විදේශ ඇමති දැනගන්න ඕනනේ රනිල් පැවසීය.

අනතුරුව රනිල් අතීතය මතක සිහිපත් කළේය.

"2024 ඡන්දෙට යනකොට ගොඩක් අය ඡන්දෙ දෙන එක ගැන තීරණය කරලා තිබුණේ නෑ. කවුරුත් බිමේ තත්ත්වය සංවිධාන කරලා තිබුණේ නෑ අනුරත් ඒක දැනගෙන හිටියේ නෑනේ .මගෙන් ඇහුවා ඡන්දෙ තියෙනවද නැද්ද මොකක්ද කියලා. ඊට පස්සේ මෙම දැනුම් දුන්නා ඡන්දෙ තියෙනවා කියලා" රනිල් එසේ කීය.

කෙසේ වුවද රනිල් සහ අනුර අතර එදා පණිවිඩ හුවමාරුවට මැදිහත්කරුවකු වී සිටියේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි දිනිත් චින්තක කරුණාරත්නයි. ඔහු අනුරගේ සරසවි මිතුරෙකි.

22 වැනි සංශෝධනය සහ වසර දෙකක ආණ්ඩු සමීක්ෂණය

මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පැවසූයේ 22 වන සංශෝධනය දිගුකලක් තියෙන සංශෝධනයක් කියා විශ්වාස කරන්නේ නැති බවයි.


ඒ වගේම අනාගත පාර්ලිමේන්තුවකට සම්පූර්ණ බලය තියෙනවා ඒක අහෝසි කරන්න. බලය තියෙනවා කියන එක නෙවෙයි. ඒක යුතුකමක් මෙන්ම වගකීමක්.

වෙන කිසිම දවසක සිදු නොවෙච්ච විදිහට සමාජයේ මේකට පුදුම විදියේ විරෝධයක් තිබුණා.ඒ කියන්නේ මීට විරුද්ධව පෙත්සම් 67ක් ඉදිරිපත් වුණා.

මහා සංඝරත්නය, කතෝලික රදගුරු සම්මේලනය, ඇංග්ලිකන් සභාව, නීතිඥ සංගමය, වෘත්තීය සමිති 43ක්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සිවිල් සමාජය නියෝජනය කරන ආයතන රාශියක් මේකට දැඩි විරෝධය ප්‍රකාශ කළා. ඒ කියන්නේ සමාජයේ තිබුණේ 22ට ලොකු ප්‍රතික්ෂේප කිරීමක්.

ඒ නිසා මේකට දීර්ඝ ආයුෂයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. 22ට ඉස්සෙල්ලා සංශෝධන 21න් හුඟක් සංශෝධන ක්‍රියාත්මක වුණේ කෙටි කාලයකට. එම නිසා අපි තරයේ විශ්වාස කරනවා මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට ඉතාමත් අහිතකර දෙයක්. ඒ හින්දා ඊළඟ පාර්ලිමේන්තුව මේක අවලංගු කළ යුතුයි.

ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. අපි කරගෙන යනවා සමීක්ෂණයක්. ආර්ථිකයේ කොහොමද? මොකක්ද ප්‍රගතිය. එහෙම නැත්නම් කඩා වැටීමක්ද කියලා එක එක ශීර්ෂ යටතේ. ඒ සමීක්ෂණය කරනවා.

නීති පර්යේෂණ වෙනුවෙන් ජී.එල්.ගෙන් අරමුදලක්

ඒ කියන්නේ කෘෂිකර්මය, මධ්‍යම පන්තිය මුහුණ දෙන ප්‍රශ්න, රෝහල් වල, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් වල ප්‍රශ්න, අධ්‍යාපනය, අපනයන ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ එක එක වෙනම අරගෙන අපි සමීක්ෂණය කරනවා.

පහුගිය අවුරුදු දෙකේ මොකක්ද වුණේ. අපේ ජනතාවට හොඳක් වුණාද, එහෙම නැත්නම් තිබුණට වඩා විශාල දුකක් විඳින්න සිදු වුණාද කියලා අපි හොයනවා. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය ගැන විමසිලිමත් වෙනවා.

ඒ පිළිබඳව අපි සමීක්ෂණයක් කරලා අපි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජී.එල් ගේ සත්කාරක වැඩසටහනක් ඉකුත් සතියේ කොළඹදී පැවැත්විණි.

"මගේ පොත්වලින් එන ඔක්කොම royalty මම භාරකාර අරමුදලට බැර කළා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික මුදල්වලින් මම ලක්ෂ 10ක් විතර ඒ මේ trust එකට යෙදෙවිවා. ඒ කියන්නේ legal research. විශ්වවිද්‍යාලයේ law faculty එක හා law college එකේ ඔය නීති පර්යේෂණ ඒ වගේ කටයුතු සඳහා.

ඒ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, නීති පීඨයේ පීඨාධිපතිතුමා හා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා , මහාචාර්ය සවිත්‍රී ගුණසේකර අදහස් පළ කළා.

මගෙන් නීතිය ඉගෙන ගත්ත මගේ ශිෂ්‍යයන් වෙච්ච ජනාධිපති නීතිඥවරු 10 දෙනෙක් විතර ඒකට ආවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා නීති පර්යේෂණ වගේ කටයුතු වලට සහයෝගයක් ලබාදීමට.ජී.එල් එම කාරණය ගැන විස්තර කළේ එසේය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...