The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
Opinion

'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා

නව තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මිනිසා හුදකලා වී සමාජ සබඳතා බිඳවැටීමේ බරපතල අනතුරකට අපේ සමාජයත් නතු වෙමින් සිටීද? ප්‍රවීණ දේශපාලන විචාරක කුසල් පෙරේරාගේ ගැඹුරු විග්‍රහය

Pasan

Pasan

October 24, 2026 • 10:30 PM

'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ.
  • ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ.
  • වර්තමානයේ දියුණු රටවල ශ්‍රමිකයින් ගේ වැඩ සඳහා යොදා ගන්නා “රොබොට්” (Robot) යැයි හඳුන්වන යන්ත්‍ර ගැන කතාද එදා තිබී ඇත.
  • දෙවන ලෝක යුද්ධයෙන් පසු 1955 දී විද්‍යාඥයින් අතර තිබූ වැඩමුළුවකදී ඇමෙරිකානු පරිඝණක හා ඥාණන විද්‍යාඥයෙකු වූ ජෝන් මැක්කාති පළමු වරට Artificial Intelligence (කෘතිම බුද්ධිය) යන යෙදුම හඳුන්වා දෙනු ලැබූවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

“කෘතිම බුද්ධිය” පිළිබඳ වාද විවාද අද ආරම්භ වූවක් නොවේ. ඇතැමුන් සිතන අයුරු ඇමෙරිකාවේ ආරම්භ වූවක්ද නොවේ. “කෘතිම බුද්ධිය” සම්බන්ධ අදහස අවුරුදු දහසකටත් වඩා පැරණි, නැගෙනහිර යුරෝපීය නගරවල කතා වූ අදහසකි. එය “කෘතිම මිනිසකු” හදන්නට හැකිදැයි වූ අතීත සංවාද තුල නිර්මාණය වූවකි.

වර්තමානයේ දියුණු රටවල ශ්‍රමිකයින් ගේ වැඩ සඳහා යොදා ගන්නා “රොබොට්” (Robot) යැයි හඳුන්වන යන්ත්‍ර ගැන කතාද එදා තිබී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසු 1955 දී විද්‍යාඥයින් අතර තිබූ වැඩමුළුවකදී ඇමෙරිකානු පරිඝණක හා ඥාණන විද්‍යාඥයෙකු වූ ජෝන් මැක්කාති පළමු වරට Artificial Intelligence (කෘතිම බුද්ධිය) යන යෙදුම  හඳුන්වා දෙනු ලැබූවකි. “කෘතිම බුද්ධිය” සංකල්පමය වශයෙන් පමණක් නොව, පරිඝණක මෘදුකාංග භාවිතයෙහිද ජනප්‍රිය වූයේ “ගැඹුරු අධ්‍යනය” (Deep Learning) යැයි තොරතුරු ජාලගත කිරීමේ සංකීර්ණ සංකල්පයක් 2012 දී මෘදුකාංග ගොනුවක් ලෙස තොරතුරු තාක්ෂණයට එකතු කෙරුණු පසුව ය.  

එතැන් සිට ප්‍රධාන වශයෙන් ගූගල් සහ ඇපල් සමාගම් “කෘතිම බුද්ධි” මෙවලම් හා මෘදුකාංග විශාල සංඛ්‍යාවක් අන්තර්ජාල භාවිතයට නොමිලේ මුදා හැර ඇත. ඒවා මූලික වශයෙන් සෞඛ්‍ය, මූල්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල භාවිත කෙරේ. එවගේම, පෞද්ගලික කතා සඳහාද යොදා ගැනේ. චැට්ජීපීටී, ගූගල් ජෙමිනි, ක්ලෝඩ් ඒඅයි, මයික්‍රොසොෆ්ට් කෝපයිලට්, කැරැක්ට ඩොට් ඒඅයි එළෙස භාවිත වන මෘදුකාංග හා මෙවලම් අතුරින් කිහිපයකි.


මානව වර්ගයාගේ අවසානය පිළිබඳ අනතුරු ඇඟවීම

වත්මනෙහි දියුණු බටහිර ලෝකයේ “කෘතිම බුද්ධිය” සම්බන්ධව ඇත්තේ ඇඟ හිරිවැටෙන කතා ය. සමාජයේ පුද්ගල සම්බන්ධතා බිඳ වැටී මිනිසා හුදකලා වීමේ අවදානම සම්බන්ධ කතාව දුර දිග යන කතාවකි. අනෙක මානව වර්ගයාගේ අවසානය සම්බන්ධ අනතුරු ඇඟවීමේ කතාව ය.

වොෂිංටන් විශ්ව විද්‍යාලයයේ සෞඛ්‍ය ප්‍රමිතිගත කිරීමේ හා ඇගයීමේ ආයතනයෙහි අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝෆ මරේ සම සභාපතිත්වය දරණ “21 වන සියවසෙහි සෞඛ්‍යයට එරෙහි ගෝලීය තර්ජන සම්බන්ධ ලාන්සෙට් කොමිසම” ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවට අනුව, මනුෂ්‍ය වර්ගයාට එරෙහි බරපතල තර්ජන 17 ක් අතර ද්වේශසහගත ලෙස “කෘතිම බුද්ධිය” භාවිත කිරීම හා න්‍යෂ්ඨික ගැටුම් සඳහන් වන්නේය. එම තර්ජන සියල්ල එක පොදු වැඩසටහනක් මගින් පාලනය කර කලමනාකරණය කරගත හැකි යැයි මහාචාර්ය මරේ කියන්නකි. එය ගෝලීය ප්‍රභලයින්ගේ වගකීමකි. ඒ වගකීම ඉටු කරන්නට ඔවුන්ට බල කිරීමේ අයිතිය සෙසු රටවලට තිබෙන්නකි. එයද තවමත් සිදු නොවන්නකි.

 

Autonomous Artificial Intelligence in Armed Conflict: Toward a Model of  Strategic Integration, Ethical Authority, and Operational Constraint >  Institute for National Strategic Studies > News


දකුණු ආසියාවේ සහ ලංකාවේ සීමිත භාවිතය

කෘතිම බුද්ධියට අදාල මෙවලම් හා මෘදුකාංග “සරළ” සහ “බැර” මෙවලම් හා මෘදුකාංග යැයි කාණ්ඩ දෙකක් ලෙස භාවිත වේ. “බැර” මෘදුකාංග හා මෙවලම් යොදා ගැනෙන්නේ නිෂ්පාදන හා ජාතික වශයෙන් සැළසුම් කෙරෙන සේවාවන් වෙනුවෙනි. අපගේ දකුණු ආසියානු කලාපයේ නිෂ්පාදනයට, සෞඛ්‍ය හා පොදු මගී සේවයට, අධ්‍යාපනය වැනි ජාතික සේවා සහායට කෘතිම බුද්ධි මෘදුකාංග හා මෙවලම් පොදු වැදගත්කමක් ඇතිව යොදා ගැනීමක් දකින්නට නැත. කලාපීය රටවල් අතර ඉන්දියාවෙහි “බැර” මෙවලම් හා මෘදුකාංග සාපේක්ෂ වැඩි භාවිතයක් ඇතත් කලාපයක් ලෙස “බැර” මෙවලම් හා මෘදුකාංග භාවිතය බෙහෙවින් අඩුය.

මේ දකුණු ආසියානු කලාපයේ වැඩිමනත් භාවිත වන්නේ “සරළ” මෘදුකාංග හා මෙවලම් ය. එවැනි භාවිත විශාල වශයෙන් පුද්ගල භාවිත වීම් වන නිසා මේ කලාපයේ රටවල කෘතිම බුද්ධි භාවිතය බාහිර ලෝකයට විවෘත වන්නේ ඉතා සීමිතව ය. දකුණු ආසියානු කලාපයේ එවැනි විවෘතවීම් වැඩි රටවල් අතුරින් මුලට ඉන්නේ භූතානය සහ ශ්‍රී ලංකාවය. ලෝක බැංකු කණ්ඩායම් බ්ලොග් අඩවියේ වූ ලිපියකට අනුව භූතානයේ සහ ශ්‍රී  ලංකාවේ විවෘතවීම සියයට 22 ක් පමණ ය. එය සැළකිය යුතු සමාජ බලපෑමක් කළ හැකි විවෘත වීමක් නොවේ යැයිද සඳහන් විය.

තරුණ තරුණියන් විසින් අධ්‍යන කටයුතු සඳහා තොරතුරු සොයා ගැනීමට, නිබන්ධන ලිවීමට, පරිවර්තන කර ගැනීමට භාවිත කෙරෙන චැට්ජීපීටී, ගූගල් ජෙමිනි, ක්ලෝඩ් ඒඅයි වැනි මෘදුකාංග හා මෙවලම් ගොනු සඳහා විශාල වශයෙන් ඇත්තේ පුද්ගලවාදී භාවිතයකි. එවගේම වැඩ අතරතුර ඒකාකාරිත්වය, පාළුව තනිකම, ආතතිය මග හැර ගන්නටද මේ මෙවලම් හරහා අතථ්‍ය (Virtual) ප්‍රේමවන්තියන් ප්‍රේමවන්තයින්, මිතුරු මිතුරියන්, හිතවතුන් හිතවතියන් නිර්මාණය කර ගැනීම නාගරික තරුණ සමාජයෙහි දකින්නට තිබෙන්නකි.  


අතථ්‍ය පෙම්වතුන් සහ හුදකලා වූ මනෝ ලෝක

මේ ප්‍රවණතාව අපට සීමා වන්නක් නොවේ. මීට දසකයකට පමණ පෙර ඇමෙරිකාවේ අධිකරණයට යොමු කෙරුණු සිය දිවි නසා ගැනීම් දක්වා එම ප්‍රවනතාව වර්ධනය වී තිබිණ. තම නව යොවුන් පුතා කෘතිම බුද්ධි මෙවලමක් මගින් නිර්මාණය කරගත් “අතථ්‍ය පෙම්වතිය” සැබෑ තරුණියක් යැයි සිතෙන තරමට ඇසුරු කර, ඇයට ඔහුව හමුවීමට එන්නට නොහැකි යැයි කියූ හෙයින් සිය දිවි නසා ගැනීමට, කෘතිම බුද්ධි මෙවලම හිමි පෞද්ගලික සමාගම වගකිව යුතු යැයි මවක් අධිකරණයට ගොස් තිබිණ.

එවැනිවූ ඇතැම් ගැටළු වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදෙස් ගැනීමට සිදුව ඇති තරුණ තරුණියන් ගැනද ඇමෙරිකාවෙන් වාර්තා වන්නේය. එවැනි වූ පුද්ගල චර්යා හැඩ ගැසීම් පාලනය කර ගැනීමට යුරෝපීය රටවල වයස අවුරුදු 13 න් පහළ ළමුන්ට අන්තර්ජාල භාවිතය බරපතල ලෙස සීමා කර ඇත. තවත් රටවල පාසල් ළමුන් දිනකට පරිඝණක තිරය හමුවේ සිටිය යුතු කාලය පැය කිහිපයකට සීමා කර ඇත. මේවා එතරම් ප්‍රායෝගික නොවන බවද දැන් සාකච්ඡා වන්නේය. එයට හේතු ලෙස දැක්වෙන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුවද තරුණ තරුණියන් කෘතිම බුද්ධි මෙවලම් ඔස්සේ ඔවුන්ට සීමා වූ මනෝ ලෝකවල හුදකලා වන්නේ යැයි අධ්‍යයන විසින් දැක්වීම ය.


යුරෝපය සහ තාක්ෂණය ප්‍රශ්න කිරීමේ සම්ප්‍රදාය

How Did Philosophy Help Develop Artificial Intelligence? | TheCollector


බටහිර යුරෝපීය සමාජයන්හි කෘතිම බුද්ධි භාවිතයෙහි ඇබ්බැහිවීම් ඔවුන්ගේ සමාජ සංස්කෘතිය විසින් යම් ආකාරයක ස්වයං පාලනයකට හසුකර ගනු ලැබේ. සියවසකට දෙකකට වැඩි කාලයක සිට විටින් විට දිග හැරුණු සමාජ පෙරැළි අපගේ මෙන් නොව, දාර්ශනික සංවාද සමග සමාජ සම්මුතීන් ලෙස පිළිගනු ලැබීමෙන් හැදුණු සම්මතයන් සම්ප්‍රදායන් ඇත. ඒවා මගින් පදම් කෙරුණු ආකල්ප, සමාජ වටිනාකම් විසින් සමාජයේ පොදු පැවැත්ම තීන්දු කෙරෙන්නේ ය. ආචාර ධර්ම, ආකල්ප, සමාජ වටිනාකම් සම්මතයන් සම්ප්‍රදායන් සියවසකට වැඩි කලක් පුරා පැළපදියම්වූ සමාජයක පැවැත්මට, කෘතිම බුද්ධිය වැනි සමාජයෙන් වියුක්තව තනිපංගලමේ භාවිත කෙරෙන විද්‍යූත් මාධ්‍යයකට දසක කිහිපයකින් කළ හැකි බලපෑම ඉතා අල්පය.

ඇමෙරිකාවට වඩා හොඳින් යුරෝපා රටවල් බොහෝමයකට කෘතිම බුද්ධිය සමග වන සමාජ ප්‍රවනතා කලමනාකරණය කර ගැනීමට හැකිව ඇත්තේ එබැවින්ය. යුරෝපීය සමාජයේ දෙමාපියන් ඇතුළු වැඩිහිටි පරම්පරා ඉන්නේ, නව තාක්ෂණය කියන්නන් වාලේ වැළද නොගන්නා, ඒවායේ ගුණ දොස් හා වැය වීම් විපරම් කිරීමේ මනෝභාවයක ය. ඔවුන්ගේ විශ්ව විද්‍යාලවල ඒවා සම්බන්ධ අධ්‍යනයන් කරති. අධ්‍යයන නිගමන හා අනුමාන සමාජ සංවාද සඳහා තබති. සරළව කිවහොත් ඔවුන්ගේ සමාජ සංස්කෘතියෙහි නව තාක්ෂණ මෙවලම් සමාජයට හඳුන්වා දීමත් ඒවා ප්‍රශ්න කිරීමත් සමගාමී සමාජ භාවිතයන් ය.


අපේ කතාවට මුල පිරුවොත්.....

වර්තමානයේ අපගේ නාගරික සමාජය නතු වෙමින් ඇත්තේ තරුණ තරුණියන් කෘතිම බුද්ධි මෙවලම් භාවිත කිරීමට ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයකට ය. නාගරික මැදපංතික වැඩිහිටියන් කෘතිම බුද්ධි මෙවලම් සම්බන්ධයෙන් තබන්නාවූ විශ්වාසයද එයට උත්ප්‍රේරකයකි. ඔවුහු රෝගාබාධ හඳුනා ගන්නටත් විශේෂඥ වෛද්‍යවරයෙකු තෝරා ගැනීමටත් වෛද්‍ය පරීක්ෂණ හා නියම කෙරුණු ඖෂධ සම්බන්ධ විස්තර දැන ගැනීමටත් කෘතිම බුද්ධිය භාවිත කරති. එවගේම භාණ්ඩයක් මිලට ගැනීමට පෙර එය ලාභයටම ගත හැකි තැන හා හොඳම සන්නාමය තේරීමට කෘතිම බුද්ධිය භාවිත කරති. එවැනි නාගරික මැදපංතික සංස්කෘතියක ළමුන් කෘතිම බුද්ධි භාවිතයට උනන්දු කරවීම සිදු වන්නේ නිවසේදීය. දෙමාපියන්ගෙන් ය. “ගෙදර වැඩ” සඳහා යැයි කෙරෙන පැවරුම් වෙනුවෙන් ළමුන් වැඩි කාලයක් පරිඝණකය හමුවේ ගත කිරීමත් එහිම දිගුවකි. එවගේම තම ගැටළු වෙනුවෙන් උත්තර සොයන්නට පරිඝණකය ඉදිරියේ වාඩිවන දරුවා තොරතුරු විස්තර සොයන්නට දිගු කාලයක් පොළඹවනු ලබන්නේ කෘතිම බුද්ධි මෘදුකාංග හා මෙවලම් මගින්ම ය.

දෙවැන්න, විනෝදාංශ ක්ෂේත්‍රයෙහි කෘතිම බුද්ධිය සතු බලපෑමය. අධ්‍යාපන කටයුතු සඳහා යැයි විවෘත කෙරුණු කෘතිම බුද්ධි මෙවලම් අනතුරුව නෙට්ෆ්ලික්ස්, යූටියුබ්, ස්පොටිෆයි වැනි අන්තර්ජාල වේදිකා වලට මාරු වෙති. ඒවායේ චිත්‍රපට, සංගීත සංදර්ශන, තරග සඳහා අප්‍රමාණ තේරීම් වෙනුවෙන් ලබා දෙන සහායද තරුණ සමාජයෙහි කෘතිම බුද්ධිය භාවිතයට උත්තේජකයක්ව ඇත.


කොල්ලො එක්ක රස්තියාදුවේ යනවට වඩා හොඳයි

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයා ගන්නා යෞවන යෞවනියන්ට සහ උසස් අධ්‍යාපනයට යොමු වන්නන්ට එතැන් සිට තමන්ගේ අවශ්‍යතා අනුව ආර්ථික පහසුකම් හදා ගැනීම නාගරික අවිධිමත් සමාජයෙහි එතරම් අපහසුවක් නොවන බැව්, දකින්නට තිබෙන්නකි. වාර්ෂිකව නගරයට එකතුවන යොවුන් ජනගහනය සහ කෘතිම බුද්ධි භාවිතය සමගාමීව ඉහළ යන්නකි. තරුණ විධිමත් හා අවිධිමත් සමාජයෙහි පරිඝණකය සමග තනිවීමට ඇති නැඹුරුව සමගවන ඇබ්බැහිවීම, නොදැනීම සිදුවන්නකි. කෘතිම බුද්ධිය යුරෝපයේ වාගේම අපේ නාගරික සමාජයේ යෞවනයින්ද හුදකලා චරිත බවට පත් කරන නමුත්, අපි යුරෝපයේ මෙන් ඒ සම්බන්ධව වැදගත් අවධානයක් තවමත් යොමු නොකරන්නෙමු. බොහෝ මැදපංතික දෙමාපියන් සිතන්නේ “කොල්ලො එක්ක රස්තියාදුවේ යනවට වැඩිය ඔහොම හොඳයි” කියා ය. මේ සංසන්දනය සෘණ සාධක දෙකක් අතර වීම, ඛේදවාචකයකි.

ජයවර්ධනගේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දසක සතරක් පුරා පරාර්ථය, එකමුතුව, පොදු බව බිඳිමින් අතිශය ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ගේ සමාජයක් හදමින් ඉන්නා අපි යුරෝපීයන්ට වඩා හුදකලාවට හුරු වූවන් වන්නෙමු. “තමන් හිසට තම අතමය සෙවණැල්ල” යැයි අප කියන්නේ අපගේ වැඩ කටයුතු අප තනිව කර ගැනීම, අපගේ සංස්කෘතික ලක්ෂණයක් වන හෙයිනි. කෘතිම බුද්ධිය විසින් තරුණ මනස ඩැහැ ගනු ලබන්නේ විවෘත වෙළදපල ආර්ථිකයෙහි හැදෙන ආත්මාර්ථකාමී පාරිභෝගිකත්වය පාදක කරගත් තනි තනිව සාර්ථක ගමන් යා හැකි යැයි වන සංස්කෘතියේද පිහිට ඇතිවය. අප කෘතිම බුද්ධිය හමුවේ ලිහා දැමෙන, හුදකලා වන සමාජයක් වීම, යුරෝපයේ මෙන් කලමනාකරණය කර ගැනීමට අසමත් වනු ඇත්තේ එනිසාවෙන් ය.

 

Opinion: Consumerism is to blame for smoking out climate change progress -  The Charlatan, Carleton's independent newspaper


“පරමාණුගත” වූ සමාජයක අවදානම

මගේ භාෂාවෙන් කියන්නේ නම්, අපි දැනටත් අපේ සමාජය “පරමානුගත” කරමින් සිටින්නෙමු. ආත්මාර්ථකාමී ස්වාධීන පාරිභෝගිකයින් වන්නට කලියෙන් ඉදිරි පරම්පරා, "මාර්ග ගත" (On Line) හුදකලා පාරිභෝගිකයින් බවට පත් කෙරෙන්නේ නිවසෙහිදීය. එවැනි මාර්ග ගත හුදකලා පාරිභෝගිකයින්ගේ සමාජයක යම් අත්දැකීමක් අපි කොරෝනා සමයේ අත් දුටුවෙමු. එය “තාක්ෂණිකව” දියුණු අවධියක් විය හැක. එහෙත් නිවසට කොටු කෙරුණු, අවට සමාජය සමග අවම සම්බන්ධයක් හෝ නැති නාගරික තරුණ සමාජයක් කෘතිම බුද්ධිය සමග හුදකලා කර තැබෙන විට, ඉන් නිර්මාණය වන්නේ පොදු ගතිකයක් නොමැති කඩල ඇට මල්ලක් වැනි සමාජයකි.

මානව සමාජය හා ජෛව ආචාර්ධර්ම වෙත කෘතිම බුද්ධිය මගින් ඇති කරන්නාවූ බලපෑම් සම්බන්ධව තායිවානයේ චුන් ශාන් වෛද්‍ය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය සමාජවිද්‍යාව හා සමාජ සේවය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මයිකල් චෙං-ටෙක් ටායි 2020 අගෝස්තුවේදී කළ අධ්‍යයනයකට අනුව, අප ජීවත්වන සමාජ රටාව කෘතිම බුද්ධිය විසින් ඉදිරියේදී බරපතල සමාජ වෙනසකට හසුකර බිඳ දමනු ඇත. සන්නිවේදනය සඳහා හමුවීමේ අවශ්‍යතාව, කෘතිම බුද්ධිය විසින් බාර ගැනීමෙන් සමීප මානව සබඳතා ක්‍රමානුකූලව අහෝසි කෙරෙනු ඇත. ජාතික ආදායමෙන් වැඩි පංගුව කෘතිම බුද්ධි ආයෝජකයින් වෙන් කර ගන්නා හෙයින් දුප්පත්කම වැඩි වනු ඇත. සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍රයෙන් විශාල වනු ඇත. මහාචාර්ය චෙං-ටෙක් ටායි සෘජුව නොකියූ නමුත් පැහැදිලි ඇඟවීමක් වූයේ, කෘතිම බුද්ධි ආයෝජකයින් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් වර්ගවාදී ආගම්වාදී බෙදීම් පාදක වන මෘදුකාංග නිෂ්පාදනය නොකරනු ඇතැයි කිසිදු සහතිකයක් නැතැයි යන්න ය. එසේ වුවහොත් එය අතිශය භයානක ලෝකයකට දොර ජනෙල් විවෘත කෙරෙන්නක් වනු ඇත.

මෙවැනි සමාජ ආර්ථික හැඩ ගැසීම් එකවර අප ඉදිරියේ දිග හැරෙනු දැනෙන්නට දකින්නට ලැබෙන්නේ නැත. ඒ සමග අපද ගමන් යන නිසාම නොවේ. එවැනි හැඩ ගැසීම් අතීතය සමග සසඳා හඳුනා ගන්නටද සැළකිය යුතු කාලයක් ගත වන හෙයිනි. එහෙත් කෘතිම බුද්ධිය විසින් යුරෝපයේ ඇති කරන්නාවූ බලපෑමට වඩා අවදානම් සහගත බලපෑමක් අපට ඉතිරි කිරීමට ඇති ඉඩකඩ හා අවදානම ගැන ආණ්ඩු පාලනයට AI යොදා ගැනීමේ සාඩම්බර කතා කියන දේශපාලකයින් ප්‍රවේසම් විය යුතු යැයි කිව යුතුය.


(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

උපුටා ගැනීම - kusaladahasak.blogspot.com
2026 ඔක්තෝම්බර 24 වන දින

කුසල් පෙරේරා

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

kusal.perera@gmail.com

View all stories by කුසල් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...