සබරගමුවේ සංවර්ධන ව්යාපෘතියක් ක්රියාත්මක වූ භූමියක් ආසන්නයේ පිහිටි, බලගතු යක්ෂයකු අරක්ගත් බව පැවසෙන නවඳ ගසක් පිළිබඳව මට මුල්වරට අසන්නට ලැබුණේ කලක් එම ව්යාපෘතියේ සේවය කළ විදුලි කාර්මික මහතෙකුගෙනි. ඔහු පැවසූ පරිදි එම යක්ෂ කතාව මෙසේ ය.
“අපේ ප්රොජෙක්ට් එකේ වැඩ කරපු අයගෙන් සියයට අනූවක්ම පිට පළාත්වලින් ඇවිත් හිටියේ. ඒ හින්දා ඒ හැමෝටම වගේ කොම්පැනිය ගාණේ ඒ අවටින් කුලියට ගත්තු ගෙවල්වල නවාතැන් පහසුකම් සලසලා තිබුණා. ඒ අතරින් අපි වගේ විදුලි කාර්මිකයන්ටයි, අපේ ගෝලයන්ටයි වැඩබිමට කිට්ටුවෙන්ම තමයි නවාතැන් සපයලා තිබුණේ. ඒ, හදිසි විදුලි නඩත්තු කටයුතුවලට පහසු වෙන්න.
අපිට නවාතැන් ගන්න සූදානම් කරලා තිබුණේ ඒ පැත්තේ පෝසත් මුදලාලි කෙනකුගේ ගොඩනැඟිල්ලක. ඒකේ යට තට්ටුව කඩයක් විදිහට පාවිච්චි කරපු එකක්; උඩ තට්ටුව ගෙයක්. අපේ නවාතැන ඉස්සරහම අඩි පනහක්-හැටක් විතර උස නවඳ ගහක් තිබුණා.”
කිසිවෙකුට රැඳෙන්න නොදුන් අද්භූත ගොඩනැඟිල්ල
“අවුරුදු සිය ගණනක් පරණ ඒ නවඳ ගහේ යක්ෂයෙක් ඉන්නවා කියලා ඉස්සර ඉඳන්ම ඒ පැත්තේ ලොකු කතාවක් පැතිරිලා තිබුණා. ඒ යක්ෂයා ඔය ගොඩනැඟිල්ලේ ඉන්න කාටවත් ඉන්න දෙන්නේ නැතිලු. කොහොමහරි ඒ ගොඩනැඟිල්ල හදපු මිනිස්සු ඒ කාලෙම ඒක විකුණලා ගිහින්. ඊට පස්සේ හත්-අටදෙනෙක්ම ඒ ගොඩනැඟිල්ල මිල දී ගත්තත් මොකක් හරි හේතුවක් නිසා ඒක විකුණන්න වෙලා තිබුණා. අන්තිමට තමයි ඔය මුදලාලි කුණු කොල්ලෙට වගේ ඒක අරගෙන තියෙන්නේ.

ඒත් එයාටත් ඒක එපා වෙලා විකුණන්න මාන බල බලා ඉන්නකොට තමයි අපේ ප්රොජෙක්ට් එක පටන්ගත්තේ. කොහොමහරි අපි බාස් උන්නැහේලායි, ගෝලයෝයි දොළොස්දෙනෙක් ඔය ගොඩනැඟිල්ලේ අවුරුද්දක් විතර නතර වෙලා හිටියා. ඒ කාලේ තමයි ඔය යක්ෂ කතාව සම්පූර්ණ ඇත්තක් කියලා මටත් තේරුණේ.” එම විදුලි කාර්මිකයාගේ කතාවෙන් හැඟුණේ අමනුෂ්යයන් පිළිබඳ විශ්වාස මුළුමනින්ම මිථ්යා මත ලෙස බැහැර කිරීම නුසුදුසු බවක් ඔහු අදහස් කරන බව ය.
“ඒ නවඳ ගහේ අමුතු යක්ෂ බලයක් තියෙනවා කියන එක අපිට වගේම ගෝලයන්ටත් සැරින් සැරේ තේරිලා තියෙනවා. ඔය අතරේ මතක් වෙනකොටත් ඇඟේ හිරිගඩු පිපෙන දෙයක් සිද්ධ වුණා. ඒ තමයි සතියකට-හමාරකට සැරයක් රෑ ජාමෙට අපේ නවාතැන පැත්තෙන් ඇහුණු යක්ෂ හූව.
ඒක කිසිම කෙනකුට අහගෙන ඉන්න බැරි තරම් මහා භයානක හූවක්. කොටින්ම ඒ හූව අහපු අපේ සමහරුන්ට ඇඳේම මුත්රා පහ වෙලා තිබුණා.”
ඔහු පැවසූ දේ මුසාවක් නොවන බවක් මට හැඟුණේ ඔහු එය විස්තර කළ අවංක හා හැඟීම්බර ස්වභාවය නිසා ය. එහෙත් යමෙකු සිදුවීමක් අවංකව විස්තර කිරීමත්, එම සිදුවීම පිළිබඳ ඔහුගේ අර්ථකථනය නිවැරදි වීමත් එකිනෙකට වෙනස් කරුණු දෙකකි.
රොබට් නොක්ස්ගේ දිනපොත සහ ශ්රී පාද අඩවියේ අත්දැකීම
දාහත්වන සියවසේදී අප රටේ කන්ද උඩරට රාජධානියේ සිරකරුවකු ලෙස වසර දහනවයකට ආසන්න කාලයක් ගත කළ ඉංග්රීසි ජාතික රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation of the Island Ceylon කෘතියේද අද්භූත හූ හඬක් පිළිබඳ විස්තරයක් සඳහන් වන බව මට සිහිපත් විය. එය 1681 වසරේදී ප්රකාශයට පත් කළ කෘතියකි.
එවැනි හඬක් කිසියම් සතකුගේ හෝ පක්ෂියකුගේ හඬක් ලෙස හඳුනාගැනීමට නොහැකි වූ බවත්, එය එකිනෙකට ප්රතිවිරුද්ධ දිශාවලින් ඇසුණු බවත් නොක්ස්ගේ විස්තරය සම්බන්ධයෙන් කියැවේ. කෙසේ වෙතත්, එම විස්තරය පමණක් පදනම් කරගෙන හඬේ සැබෑ මූලාශ්රය කුමක්දැයි තීරණය කළ නොහැකිය.
මීට කලකට පෙර අකාලයේ අප අතරින් සදහටම සමුගත් ප්රවීණ මාධ්යවේදී ක්රිෂ්ණ විජයබණ්ඩාර මහතාද ශ්රීපාද අඩවියේදී තමන් ඇතුළු කිහිපදෙනකුට අසන්නට ලැබුණු මෙවැනි අද්භූත හූ හඬක් පිළිබඳව මට පවසා තිබිණි. ඔහුගේ අවසරය ලබාගෙන මම ඒ සිදුවීම එවකට පුවත්පත් විශේෂාංගයකටත්, මා විසින් සම්පාදනය කරන ලද කෘතියකටත් ඇතුළත් කළෙමි.
මැදියම් රැයේ ඇසුණු මහා හඬ
“ඔය හූ සද්දේ ඇහෙන විදිහ මට විස්තර කරලා කියන්න,” යනුවෙන් මම පසුව එම විදුලි කාර්මික මහතාගෙන් ඉල්ලා සිටියෙමි.
“කොහොමත් අපි දොළොස්දෙනාම එක සැරේ ඒ ගොඩනැඟිල්ලේ නතර වෙන්නේ නැහැ. හැම වෙලාවෙම වගේ කට්ටියක් වැඩට යන හින්දා හත්-අටදෙනෙක් විතර තමයි එක සැරේ නතර වෙන්නේ.
ඔන්න එහෙම නතර වුණු සමහර දවස්වල රෑ දොළහට-එකට විතර අර නවඳ ගහ පැත්තෙන් කන් බීරි කරවන තරම් සද්දෙන් ඔය හූව ඇහෙනවා. ඇත්තෙන්ම කියනවා නම් එතකොට අපේ මුළු සරුවාංගෙම සට සට ගාලා වෙව්ලනවා.
ඒත් අපි අතරින් කවුරුහරි ඉක්මනට ලයිට් එකක් දානවා. ඊට පස්සේ අපි කාටවත් එළිවෙනකම් නින්ද යන්නේ නැහැ. තේ, කෝපි බිබී, ඇහැරිලා කතා කර කර ඉන්නවා.”
ඔහු ඒ කතාව කී හැඟීම්බර විලාසය අනුව එය ඔහුගේ අවංක ප්රකාශයක් බව මට සිතිණි.
“එතකොට ඔය වැඩේ කවුරුහරි පිට ඉඳලා සැලසුම්සහගතව කරන එකක් වෙන්න බැරිද?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“මොන පිස්සුද? ඒක නම් කීයටවත්ම වෙන්න බැහැ. ඒ හූ සද්දේ අපේ කන් ළඟින්ම වගේ ඇහෙන්නේ. ඒක මහ අමුතුම හූවක්,” ඔහු කීය.
“ඔය හූව ඇහුණු හැටියේ නිදාගෙන ඉන්න ඔක්කොම එක සැරේ එක විදිහටම බයවෙලා නැඟිටිනවද? එහෙම නැත්නම්…” මම ඊළඟ ප්රශ්නය යොමු කළෙමි.
එවිට ඔහු මහත් උනන්දුවකින් මෙන් මා දෙස බැලීය.
“හැබැයි ඔතන මෙහෙම දෙයක් නම් තියෙනවා. අපේ කණ්ඩායමේ හිටියා නුවර පැත්තේ ගෝලයෙක්. මිනිහා හරිම සෝමාරි, අලසයෙක්. කොටින්ම ඔය හූ සද්දේ ඇහිලත් මිනිහාගේ සෝමාරි ගතිය ගියේ නැහැ කිව්වම. අනික, මිනිහා අනික් අය වගේ ඒ හූ සද්දෙට බය වුණෙත් නැද්ද මන්දා,” විදුලි කාර්මිකයා කීය.
“තමන්ම හූ කියලා තමන්ම බයවෙන්නේ මොකටද කියලා මිනිහා හිතන්න ඇති. ඒකයි හේතුව,” යනුවෙන් මම ද සිනාසෙමින් කීවෙමි.
“ඒ මොකක්ද ඒ කතාවේ තේරුම?” ඔහු මා දෙස ඍජුව බලාගෙන ඇසීය.
“ඒක ඔය සිද්ධියට සියයට සියයක්ම සම්බන්ධයි කියලා කියන්න බැහැ. නමුත් ඔය වගේ විශ්වාසයක් තදින්ම හිතේ තියෙන කෙනකුට තමන් අත්විඳින අසාමාන්ය දෙයක් ඒ විශ්වාසය අනුව තේරුම් ගන්න පුළුවන්. සමහර විට තමන්ටම නොදැනී, තමන්ගේ මනසින් ඇතිවන අත්දැකීමක් බාහිර බලවේගයක ක්රියාවක් විදිහට තේරුම් ගන්නත් පුළුවන්,” මම මගේ අනුමානය පැහැදිලි කළෙමි.
බිය සහ ශ්රවණ මායාවන් පිළිබඳ විද්යාත්මක විග්රහය
මිනිස් මනස හා ශ්රවණය සම්බන්ධයෙන් නූතන විද්යාවෙන් හෙළි වී ඇති කරුණු මෙවැනි අත්දැකීම් විමසා බැලීමට ප්රයෝජනවත් වේ.
පළමුව, බාහිර පරිසරයේ සැබෑ ශබ්දයක් තිබුණත් එය හඳුනාගැනීමේදී පුද්ගලයාගේ අපේක්ෂා, බිය, පෙර අත්දැකීම් සහ පරිසරය පිළිබඳ විශ්වාස බලපායි. රාත්රියේ නිහඬ පරිසරයකදී, විශේෂයෙන්ම යක්ෂයකු සිටින බවට කතාවක් පැතිරී ඇති ස්ථානයකදී, පැහැදිලි නොවන හඬක් වුවද බිය උපදවන අද්භූත හඬක් ලෙස අර්ථකථනය විය හැකිය.

දෙවනුව, සමහර අවස්ථාවල බාහිර ශබ්දයක් නොමැතිවද පුද්ගලයකුට හඬක් ඇසෙන බවක් දැනිය හැකිය. මෙවැනි අත්දැකීම් ශ්රවණ මායාවන් (Auditory hallucinations) ලෙස හඳුන්වනු ලැබේ. ඒවා නින්ද හා අවදිවීම අතර අවස්ථා, දැඩි නින්ද අහිමි වීම, මානසික ආතතිය, ඇතැම් ස්නායු රෝග හෝ වෙනත් සෞඛ්ය තත්ත්වයන් සමඟ සම්බන්ධ විය හැකිය.
තෙවනුව, දීර්ඝ වේලාවක් බියෙන් පසුවීම හා ප්රමාණවත් නින්දක් නොලැබීම පුද්ගලයාගේ අවධානය, ශබ්ද හඳුනාගැනීම සහ අත්දැකීම් අර්ථකථනය කිරීම කෙරෙහි බලපෑ හැකිය. එහෙත් එවැනි තත්ත්වයන් නිසා සෑම අද්භූත අත්දැකීමක්ම ඇති වන බවක් අදහස් නොවේ. නමුත් ඒවා හුදු පෞද්ගලික අත්දැකීම් ය.
එමෙන්ම මනෝවිද්යාත්මක වශයෙන් Dissociative Identity Disorder (විඝටන අනන්යතා ආබාධය) යනුවෙන් හඳුන්වන තත්ත්වය නිර්ණය කිරීම සඳහා එකිනෙකට වෙනස් අනන්යතා තත්ත්වයන්, මතකයේ හිඩැස් සහ එම තත්ත්වය නිසා ජීවිතයට ඇති වන සැලකිය යුතු අපහසුතා වැනි නිර්ණායක ද සලකා බැලිය යුතුය.
නවඳ ගසේ යක්ෂ හූව සැබෑවක්ද?
එසේ නම් නවඳ ගසේ යක්ෂ හූව කුමක්ද?
එම විදුලි කාර්මිකයා ඇතුළු පිරිසට රාත්රියේදී ඇසුණු හඬ කුමක්දැයි නිශ්චිතව තීරණය කිරීමට ප්රමාණවත් තොරතුරු මා සතුව නැත. එය කිසියම් සතකු තමන්ට අත් වීමට යන විපතක් අඟවන හඬක් (Distress call), පරිසරයේ වෙනත් ශබ්දයක්, ශබ්දය පරාවර්තනය වීමෙන් හෝ වෙනත් ආකාරයකින් ඇති වූ ශ්රවණ අත්දැකීමක් විය හැකිය. ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳ විස්තරය පමණක් ඇසුරින් එය මානසික ක්රියාවලියක ප්රතිඵලයක් බවද 100%ක්ම තහවුරු කළ නොහැකිය.
ඒ සඳහා හඬ පටිගත කිරීමක්, සිදු වූ වේලාව පිළිබඳ නිවැරදි වාර්තාවක්, පරිසරයේ සතුන්ගේ හැසිරීම් පිළිබඳ නිරීක්ෂණ සහ ස්වාධීන සාක්ෂිකරුවන්ගේ තොරතුරු වැනි සාක්ෂි ප්රයෝජනවත් වනු ඇත. හඬ එකිනෙකට වෙනස් දිශාවලින් ඇසුණු බවට වූ වාර්තාවක් වුවද එම ශබ්දය පරාවර්තනය වීම, පරිසරයේ ව්යුහය සහ ශ්රවණ දිශාව පිළිබඳ මිනිසාගේ අවබෝධය වැනි කරුණු ද එහිදී සලකා බැලිය යුතුය.
අද්භූත අත්දැකීම් සහ විමර්ශනාත්මක ප්රවේශය
අවසානයේදී අපට පැහැදිලි වන්නේ අද්භූත යැයි සැලකෙන අත්දැකීමක් සහ එයට දෙන අර්ථකථනය අතර වෙනසක් තිබෙන බව ය. යමෙකු බියට පත්වීම සැබෑ අත්දැකීමකි. ඔහුට ඇසුණු හඬ සැබෑ බාහිර ශබ්දයක්ද, වැරදි ලෙස අර්ථකථනය කළ ශබ්දයක්ද, නැතහොත් වෙනත් ආකාරයක ශ්රවණ අත්දැකීමක්ද යන්න වෙනම විමසා බැලිය යුතුය.
ඒ නිසා මෙවැනි කතා මුළුමනින්ම අවඥාවෙන් බැහැර කිරීම මෙන්ම, ඒවායේ සෑම අංගයක්ම අද්භූත බලවේගයකට පැවරීමද විමර්ශනාත්මක ප්රවේශයක් නොවේ. ඒ වෙනුවට අත්දැකීමට ගරු කරමින්, සාක්ෂි විමසා බලා, මිනිස් මනස හා ස්වාභාවික පරිසරය පිළිබඳ අප සතු දැනුම උපයෝගී කරගනිමින් ඒවා තේරුම් ගැනීම වඩාත් යෝග්ය වේ. නමුත් ඒ සඳහා අවශ්ය ප්රමාණවත් තොරතුරු හා දත්ත නොමැති වීම මත සමහරකු “ඕවා මොන බොරුද?” කියා නිහඬ වෙති. එහෙත් එම අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන්ගේ ප්රකාශවල අව්යාජත්වය මත ඒවා පිළිබඳ වැඩිදුර විමසුමක් නොකරන බොහෝ දෙනෙක් “ඕවායෙත් මොකක් හරි ඇත්තක් ඇති” යන මනංකල්පිත යකුන්ට වාසිදායක නිගමන දී නිහඬ වනු මම ඕනෑ තරම් අසා ඇත්තෙමි.
(උපුටා ගැනීම- vinivida.lk)




