අධික ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා වරාය අධිකාරියට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් තහවුරු කෙරේ.
රජයේ ආයතනයකින් තොරතුරක් ඉල්ලා සිටින විට පුරවැසියෙකුට මුහුණදීමට සිදුවන බාධා අතර අදාල රජයේ ආයතනය විසින් සිදුකරන ගාස්තු අයකිරීම ද වැදගත් කරුණකි. තොරතුරු ඉල්ලීමක් කළ පසු, එම තොරතුරු ලබාදීමට අසාධාරණ හෝ අධික ගාස්තුවක් අයකරන්නේ නම් කුමක් කළ හැකිද? රාජ්ය ආයතනයකට තමන්ගේම ගාස්තු ලැයිස්තුවක් පෙන්වා ඕනෑම මුදලක් අයකළ හැකිද
ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණය නොව, අභියාචනාධිකරණය විසින් 2024 මැයි 10 වැනිදා ලබාදුන් රිෆ්ති අලීට එරෙහි ශ්රී ලංකා වරාය අධිකාරිය නඩු තීන්දුව මීට කදිම නීතිමය පැහැදිලි කිරීමක් ලබා දෙනු ඇත. මෙම නඩුවේ අංකය CA/RTI/07/2022 වන අතර, තොරතුරු කොමිෂන් සභා අභියාචනයේ අංකය 647/2022 වේ.
ඔළුවිල් වරායේ තොරතුරු ඉල්ලීමේ පසුබිම

රිෆ්ති අලි විසින් ශ්රී ලංකා වරාය අධිකාරිය වෙත තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේ ඔළුවිල් වරාය ව්යාපෘතිය සම්බන්ධයෙනි. මෙම වරාය ව්යාපෘතිය ආරම්භ කළේ කවදාද, එය ඉදිකිරීමට හේතුව කුමක්ද, එම ව්යාපෘතියෙන් මහජනතාවට හා රජයට ලැබෙන ප්රතිලාභ මොනවාද, පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කළේද, ව්යාපෘතියේ කොන්ත්රාත්කරු කවුද, රජය වැය කළ මුදල කොපමණද, ණය ලබාගෙන ඇත්නම් එහි තත්ත්වය කුමක්ද, ඉඩම් අත්පත් කර ගැනීම හා වන්දි ගෙවීම, වරායේ වත්මන් තත්ත්වය සහ එහි පැමිණි නෞකා පිළිබඳ තොරතුරු ඇතුළු කරුණු ගණනාවක් ඔහු මෙම තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය හරහා ඉල්ලා තිබුණි.
තොරතුරු නිලධාරියා විසින් ඉල්ලූ තොරතුරුවල විශාල කොටසකට පිළිතුරු ලබා දී තිබුණි. උදාහරණයක් ලෙස, ඔළුවිල් වරායේ ප්රධාන පිවිසුම වැලිවලින් වැසී යාම හේතුවෙන් මෙහෙයුම් කටයුතු නතර වී ඇති බවත්, ඉඩම් අත්පත් කර ගැනීම හා ගෙවූ වන්දි පිළිබඳ සංඛ්යාත්මක තොරතුරුත් ලබාදී තිබුණි. තවද, පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවක් සම්බන්ධයෙන්ද තොරතුරු ලබාදී තිබුණි.
එහෙත්, මෙම තොරතුරු ලබාගැනීම සඳහා අයකළ ගාස්තුව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූ බැවින්, ඔහුගේ අදහස වූයේ අයකළ ගාස්තුව ඉතා අධික බවය. ඒ අනුව ඔහු අදාළ රාජ්ය ආයතනයේ නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එයින් සෑහීමකට පත් නොවූ රිෆ්ති අලී පසු තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනය ඉදිරිපත් කළේය.
ගැටලුව තොරතුරු තිබේද නැද්ද යන්න නොවේ
මෙම නඩුවේ විශේෂත්වය වන්නේ, “රාජ්ය ආයතන තොරතුරු ලබා දිය යුතුද?” යන මූලික ප්රශ්නය පමණක්, විභාගයට ලක් නොවීමයි. එහිදී, අධිකරණය පැහැදිලි කළ පරිදි, ප්රධාන ප්රශ්නය වූයේ තොතරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්රතිචාර දක්වන අවස්ථාවේදී තොරතුරු ලබාදීමේදී රාජ්ය ආයතනයට අයකළ හැකි ගාස්තුව කුමක්ද යන්නය.
මෙය පුරවැසියෙකුට ඉතා වැදගත් කරුණකි. තොරතුරු දැනගැනීමේ අයිතිය යනු තොරතුරු ඉල්ලා සිටීමට පමණක් ඇති අයිතියක් නොවේ. එම අයිතිය ක්රියාත්මක කළ හැකි ආකාරය, තොරතුරු ලබාදීමේ ක්රියාවලිය සහ ඒ සඳහා අයකළ හැකි ගාස්තුද එකී නීතියට යටත් වේ.
රාජ්ය ආයතනයකට තමන්ගේම ගාස්තු ලැයිස්තුව ප්රමාණවත්ද?

මෙහිදී ශ්රී ලංකා වරාය අධිකාරිය තමන්ගේ ගාස්තු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මුදල් අයකිරීම සාධාරණ බව පෙන්වීමට උත්සාහ කළේය. වරාය අධිකාරි පනතේ 37(1) වගන්තිය අනුව එහි සේවාවන් සඳහා අයකළ හැකි ගාස්තු නියම කිරීම සහ සංශෝධනය කිරීම සම්බන්ධ ප්රතිපාදන පවතී. නමුත් අභියාචනාධිකරණය ඉදිරියේ මතුවූ වැදගත් කරුණ වූයේ එම ගාස්තු ලැයිස්තුව නීත්යානුකූලව අනුමත කර නිකුත් කර තිබේද යන්නයි.
අධිකරණ තීන්දුව අනුව, අදාළ ගාස්තු ලැයිස්තුව සඳහා විෂය භාර අමාත්යවරයාගේ අනුමැතිය තිබීම වැදගත් විය. තොරතුරු කොමිෂන් සභාව විසින්ද එම අනුමැතිය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අදාල රාජ්ය ආයතනයට නියෝග කර තිබුණි. පසුව ඉදිරිපත් කළ ලිඛිත කරුණු අනුව, වසර ගණනාවක් පුරා ගාස්තු සංශෝධනය සඳහා ලබාගත් සියලුම අනුමැතීන් තමන් සතුව නොමැති බව වරාය අධිකාරිය පිළිගෙන තිබුණි.
RTI පනතේ නීත්යානුකූල ගාස්තු රාමුව
මෙහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත, අංක 12 දරන 2016 පනත යටතේ සකස් කළ පනත වැදගත් වේ.
තොරතුරු කොමිෂන් සභාව විසින් සලකා බැලූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව, සාමාන්යයෙන් තොරතුරු ලබාදීම සඳහා නියම කළ හැකි ගාස්තු පවතී. එමෙන්ම, යම් රාජ්ය ආයතනයක් විසින් මීට පෙර නිසි ලෙස නියම කර හෝ නිකුත් කර තිබූ ගාස්තු ලැයිස්තුවක් තිබේ නම් එයද ක්රියාත්මක විය හැකිය.
ගාස්තුව සැක සහිත නම් අභියාචනා කළ හැකියි
තොරතුරු ඉල්ලා සිටින පුරවැසියෙකුට, අදාල රාජ්ය ආයතනය විසින් අය කරන ගාස්තුව අවශ්ය වන ප්රමාණයට වඩා වැඩි බව ඔහුට හෝ ඇයට හැඟේ නම්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගාස්තු සම්බන්ධයෙන් තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව නම් කළ නිලධාරියා වෙත අභියාචනය කිරීමේ ක්රමයක් ඇත.
සාක්ෂි දැක්වීමේ වගකීම රාජ්ය ආයතනය සතුයි

මෙම නඩු තීන්දුවේ තවත් වැදගත් නීතිමය කරුණක් වන්නේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතේ 32(4) වගන්තිය සම්බන්ධයෙන් අධිකරණය කළ අවධාරණයයි. එම ප්රතිපාදනය අනුව, අභියාචනයකදී තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන් පනතට අනුකූලව කටයුතු කළ බව පෙන්වීමේ වගකීම රාජ්ය ආයතනය මත පවතී. මෙහිදී තොරතුරු කොමිෂන් සභාව විසින් වරාය අධිකාරියට අදාළ ගාස්තු ලැයිස්තුව නිසි අනුමැතියකින් ප්රකාශයට පත් කර ඇති බව පෙන්වන ලෙස නියෝග කර තිබුණි. එහෙත් අදාළ අනුමැතීන් සම්බන්ධයෙන් ප්රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට වරාය අධිකාරියට නොහැකි වීය.
ඒ අනුව, තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් රාජ්ය ආයතනයක් ගන්නා තීරණයක් නීත්යානුකූල බව පෙන්වීමේ වගකීම පුරවැසියා මත සම්පූර්ණයෙන් පැටවෙන්නේ නැති බව මෙම නඩුවෙන් පැහැදිලි වනු ඇත. එය ලංකාව තුළ සිටින සියළුම පුරවැසියන්ට බලාත්මක වන කරුණකි. ඔබ ඔබේ තොරතුරු ඉල්ලීමේදී ඔබ විසින් එකී රාජ්ය ආයතනය ඉල්ලා සිටන ගාස්තුව සම්බන්ධයෙන් පවා අවදානයෙන් සිටිය හැකි බව මෙම නඩු තීන්දුව හරහා පැහැදිලි වීය.
අධිකරණ තීන්දුව සහ එහි නෛතික සීමාව
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ තීරණය නිවැරදි බව අභියාචනාධිකරණය තීරණය කළේය. අධිකරණය සඳහන් කළේ කොමිෂන් සභාවේ තීරණය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන තොරතුරු සඳහා අයකළ හැකි ගාස්තු සම්බන්ධයෙන් සීමාවක් ඇති බවයි.
පුරවැසියාගේ තොරතුරු අයිතියට ඇති වැදගත්කම
මෙම නඩුවෙන් ලැබෙන පණිවුඩය ඉතා සරල ය. නමුත්, රට තුළ සිටින පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ප්රායෝගිකව භාවිත කළ හැකි අයිතියක් විය යුතුය. එම නිසාවෙන් පුන පුනා පසක් වන්නේ එය කඩදාසියකට පමණක් සීමා නොවූ අයිතියක් බවයි.
එමෙන්ම, මෙම නඩුව තොරතුරු දැනගැනීම පිළිබඳ පනතෙහි පූර්ව ක්රියාකාරී හෙළිදරව් කිරීම (proactive disclosure) යන සංකල්පය පිළිබඳවද අවධානය යොමු කර තිබුණි. තොරතුරු දැනගැනීමේ නීතියේ අරමුණ වන්නේ පුරවැසියා රාජ්යය දෙස පමණක් බලා සිටින තත්ත්වයක තබා ගැනීම නොව, රාජ්ය ආයතන තම ක්රියාකාරකම් පිළිබඳව වඩාත් විවෘතව හා වගකීමෙන් කටයුතු කිරීමට දිරිගැන්වීමටය.
අධිකරණය මෙය පැහැදිලි කිරීම සඳහා “නිරීක්ෂණය” පිළිබඳ දාර්ශනික අදහස් භාවිත කළද තොරතුරු දැනගැනීමේ පනත ක්රියාත්මක වන විට පුරවැසියා පමණක් රාජ්යය නිරීක්ෂණය කරන තත්ත්වය වෙනස් වී, රාජ්යයද තම ක්රියා පිළිබඳව මහජන පරීක්ෂාවට ලක්වන තත්ත්වයකට පත්ව ඇත.
තොරතුරු ඉල්ලීමේදී මතක තබාගත යුතු කරුණු
මෙම නඩු තීන්දුවෙන් පුරවැසියෙකු ලෙස ඔබට ප්රායෝගික පාඩම් කිහිපයක් ලබාගත හැකිය.
* පළමුව, තමන්ට අවශ්ය තොරතුරු පැහැදිලිව හඳුනාගෙන ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව,
* දෙවනුව, තොරතුරු ලබාදීම සඳහා රාජ්ය ආයතනය අයකරන ගාස්තුව පිළිබඳ විස්තර ඉල්ලා සිටිය හැකි බව,
* තෙවනුව, අයකළ ගාස්තුව අධික හෝ නීත්යානුකූල පදනමක නොවන බවට හැඟීමක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් අභියාචනා කළ හැකි බව, සහ
* සිව්වනුව, තොරතුරු නිලධාරියාගේ තීරණයෙන් පමණක් ක්රියාවලිය අවසන් නොවන අතර එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ නම් කළ නිලධාරියා සහ තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනා කිරීමේ අවස්ථා පවතින බවත්ය.
අවසානයේ වැදගත්ම කරුණ වන්නේ, තොරතුරු ඉල්ලීම යනු රාජ්ය ආයතනයකින් කරන කාරුණිකව කෙරෙන ඉල්ලීමක් නොවන අතර, එය තොරතුරු දැනගැනීම පිළිබඳ පනතින් පිළිගත් පුරවැසි අයිතියක් භාවිතා කිරීමක් බවයි.
රිෆ්ති අලි සහ ශ්රී ලංකා වරාය අධිකාරිය අතර මෙම නඩුව, එම අයිතියේ තවත් පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේය. රාජ්ය ආයතනයක් තොරතුරු ලබාදීමට කැමැත්ත පළ කළත්, එම ක්රියාවලියට අදාළ ගාස්තු සහ පරිපාලන ක්රියාමාර්ගද පනතට අනුකූල විය යුතුය.
එබැවින් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරන පුරවැසියාට අවශ්ය වන්නේ, තොරතුරු ඉල්ලීමට ඇති ධෛර්යය පමණක් නොව, තමන්ට ඇති නීතිමය අයිතිය, අභියාචනා කිරීමේ හැකියාව සහ රාජ්ය ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටීමට ඇති බලය, පිළිබඳවද දැනුම අවශ්ය වනු ඇත.
“තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් වන්නේ තොරතුරු ලබාදෙන රාජ්ය ආයතන නිසා පමණක් නොව, තම අයිතිය දැනගෙන එය නීත්යානුකූලව භාවිත කරන පුරවැසියන් නිසාය.”




