ඩී. එස්. සේනානායක
සිරිමාවෝ බණ්ඩාරනායකමෙරටේ පුරවැසිකම අහිමි පුද්ගලයන් 975,000 න් 525,000 ක් ඉන්දියාවට භාර ගැනීමට එරට අගමැතිවරයා එකඟ විය. තවත් ලක්ෂ තුනක පිරිසට මේ රටේ පුරවැසිභාවය ලබා දෙන්නට තීරණය වූ අතර තවදුරටත් ඉතිරි වන ඉන්දීය සම්භවයක් ඇති 150,000 ක පිරිස සම්බන්ධයෙන් පසුව සාකච්ඡා පැවැත්වීමට දෙරටේ අගමැතිවරු තීරණය කළහ. මේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම නම් වූ ඓතිහාසික ගිවිසුමයි. මෙය අදටත් ක්‍රියාත්මක ගිවිසුමකි.
සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබයි.
අගමැතිනිය ඉන්දියාවේදී වගන්ති දහයකින් සමන්විත මෙම ගිවිසුමට අනුව ලංකාවේ හෝ ඉන්දියාවේ පුරවැසියන් වශයෙන් පිළිගනු නොලැබ, ලංකාවේ ජීවත් වන ඉන්දියානුවන්ගෙන් පැවත එන්නාවූ සියලුම වැසියන් ලංකාවේ හෝ ඉන්දියාවේ පුරවැසියන් විය යුතුය. මෙරට ඒ වනවිට දිවි ගෙවූ දකුණු ඉන්දියානු දෙමළ ජාතිකයන්ගේ ප්‍රමාණය දළ වශයෙන් 975,000 ක් වුවද, ලංකාවට හොරෙන් ඇතුළු වූ සංක්‍රමණිකයන් සේම ඉන්දියානු ගමන් බලපත්‍ර දරන්නන්ද මීට අයත් වූයේ නැත. එම 975,000 න් ලංකාව විසින් භාර ගනු ලබන ලක්ෂ තුනක පිරිසට සහ ඔවුන්ගෙන් බිහිවන අයට ලංකාවේ පුරවැසිභාවය පිරිනැමේ. ඉන්දියාව විසින් කැඳවා ගනු ලබන 525,000 ක පිරිසට සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ට ඉන්දියාවේ පුරවැසිභාවය හිමිවනු ඇත.
තේ වතුවල කම්කරු කාන්තාවන් මෙම ගිවිසුමට අනුව ලංකාවෙන් ඉන්දියාවට නැවත යා යුතු අය තෝරා ගත් නිසි ක්‍රමවේදයක් තිබුණේ නැත. උදේ හයට සංගුව ගසන විට පෙරෙට්ටුවට පැමිණ පෝලිමේ සිටීම මේ කම්කරුවන්ගේ දෛනික රාජකාරිය ඇරඹෙන ආකාරයයි. එසේ පැමිණි පසු ඔවුන්ගේ එදින පැමිණීම ලියාපදිංචි කරන කංකානි විසින් "මෙන්න මේ අය ඉන්දියාවට යවනවා. යන්න සූදානම් වෙන්න" යනුවෙන් රෙජිස්ටරය බලාගෙන නම් කිහිපයක් කියාගෙන යන්නේ ගහෙන් ගෙඩි එන්නා වගේ ය. තමන්ගේ නම කියනු ඇසෙන විට ළය පැලී යන තරමේ වේදනාවක් ඔවුන්ට දැනීම අතිශයින් ස්වභාවික ය.
එය තනිකරම වහල් සේවයකි.
ඔවුන් රකින්නට කෙනෙක් ද නැත.තමා උපන් රට වූ ඉන්දියාවට ගියත් එහි ජීවත් වන්නේ කොහේද? ජීවත් වීම සඳහා කළ යුතු රැකියාව කුමක්ද? මේ සියල්ල ඔවුන්ට සිහින බඳු ය. ඒ වන විටත් ඔවුන් එම රටින් පැමිණ වසර සියය ඉක්මවා තිබේ . එනම් මෙරටට පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ කලින් පරම්පරාවේ අයයි. ඔවුන් තමන්ගේ මුල් ගම්බිම්වලට ගොස් කෙසේ අයිතිවාසිකම් කියන්නද? කලින් පරම්පරාවල අය දැන් නැත. දැන් ඉන්න අය තමන් ව හඳුනන්නේ නැත.
තවත් විටක අම්මා ව යවයි. නැතිනම් තාත්තා යවයි. මුළු පවුලම යවන අවස්ථා ද තිබේ.
" ප්‍රශ්න අහන්න එන්න එපා. තමුසෙගේ කොහොමත් කට වැඩියි. එහෙම එවුන් අපිට කරදරයි"ඔහු නොකියා කීවේ තමන්ගේ කට වැඩිකම නිසා ආපසු යවන බව ය. "ප්‍රශ්න" යනු තමන් වැනි අයට තහනම් වචන වී ඇති අන්දම සන්දනදේවර් කල්පනා කළේ මහත් සන්තාපයෙන් යුතුව ය.
සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



