1200 x 80 DMirror
 
 

කොරෝනා වසංගත තත්ත්වයෙන් මුළු ලෝකයේම අවධානය මේ කාලයේ යොමුවී තිබෙන්නේ ජීවිතය ආරක්ෂා කර ගන්නේ කෙසේද?
යන ප්‍රශ්නයටය. ලෙඩ නොවී ඉන්නේ කෙසේද? යන ප්‍රශ්නයටය. ලංකාවේ තත්ත්වයත් මෙයටම සමානය. කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් රට පුරා සංවරණ තහනමක් පසුගිය මාසය පුරාවටම පැවතියේ ඒ නිසාය.
 
මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නට යන්නේ කොරෝනා වසංගතය පිළිබඳව  නොවේ. කොරෝනා වසංගතය ඇති වෙන්නට බොහෝ කාලයකට කලින් සිට අපේ රටේ ආර්ථිකයේ මතු වෙමින් පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව සාකච්ඡා  කිරීම මගේ උත්සාහයයි. 
 
වසංගතයෙන් ලෝකයම ‘ලෙඩ’ වෙමින්  තිබෙන මේ කාලයේ අපේ රටේ ආර්ථිකය ලෙඩ නොවී  පවත්වා ගන්නේ කෙසේදැයි යම් අදහසක් දැක්වීම මෙහි අපේක්ෂාවයි.
 
 
මෙහි දී මුලින්ම කිවයුතු කාරණය වන්නේ ආර්ථිකය කියන්නේම දේපාලනයට සම්බන්ධ මාතෘකාවක් බවයි. දේශපාලනමය වශයෙන් ගනු ලබන ප්‍රතිපත්ති සහ තීරණ මත රටක ආර්ථිකය සෘජු ලෙසින්ම සම්බන්ධ බව ඉතාමත් පැහැදිලිය. 
 
 
ඒ නිසා ආර්ථිකය ගැන කතා කරනවා කියන්නේම රටේ දේශපාලනය ගැන කතා කිරීමක් ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. 
 
රාජ්‍යයක දේශපාලන ප්‍රතිසංස්කරණ  කිරීමේ දී  එම රටේ ආර්ථිකයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ප්‍රමුඛ ලෙසින් සැලකිල්ලට ගන්නේ ඒ දෙකේ තිබෙන බරපතළ සම්බන්ධතා නිසාය.
 
J.R. Jayewardene 
ජේ.ආර්. - මෙරට ක්‍රියාත්මක වෙන විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ 
 
 
1977 සිට මෙරට ක්‍රියාත්මක වෙන විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ දේපාලන ප්‍රතිසංස්කරණයේ දී අපේක්ෂා කළ ආර්ථික මොඩලය වූයේ ශක්තිමත් වෙළඳපොළ ක්‍රමයක් සහිත රාජ්‍යයක්ය. 
 
නිදහස් වෙළඳාම සහ පෞද්ගලික ව්‍යවසායකත්වය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් විධායකයක් අවශ්‍ය බව 1978 ව්‍යවස්ථාව ගෙනෙද්දී ඉදිරිපත් වූ තර්කයය.
 
 
1970  ආණ්ඩු සහ 1977 ආණ්ඩුව අතර සිදු වූ බරපතළම දේශපාලන-ආර්ථික වෙනස වන්නේ රාජ්‍යයේ වපසරිය සහ වෙළඳපොළේ වපසරිය පිළිබඳව තිබූ  අදහසේ වෙනස්කමය. 1970 ආණ්ඩුව ශක්තිමත්  රජයක් විශ්වාස කළ අතර 1970 ආණ්ඩුව ශක්තිමත් වෙළඳපොළක් විශ්වාස  කළේය.
 
 
දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක් :
 
දැන් අප පැමිණ සිටින්නේ මේ තර්ක දෙකටත් එහාට යන ශක්තිමත් ව්‍යවසායකයකු සහ ශක්තිමත් පුරවැසියකු වෙනුවෙන් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී ඇති යුගයකටය.
 
රටේ ආර්ථිකය පිළිබඳව අද සිදුකරන බොහෝ සාකච්ඡාවල පෙනී යන කාරණය වන්නේ සමහරුන් තවමත් සිරවී සිටින්නේ එක්කෝ 1970 රාජ්‍යවාදය මත බවය. නැත්නම් 1977 වෙළඳ පොළවාදය මත බවය. 
 
පසුගිය සතියේ ධම්ම දිසානායක මහතාගේ කිවිදා දැක්මේ යටිපෙළ අර්ථය වූයේ මේ කියන 70 රාජ්‍යවාදයට ලකුණු දැමීමය. මේ සතියේ ලංකාදීපයේ නිශාන් ද මැල් මහතා තර්ක කර තිබුණේ 77 වෙළඳපොළවාදය පිළිබඳව බරපතළ විශ්වාසයකින්ය. 
 
මේ මූලධාර්මික අදහස් දෙක අතර දෝලනය වන අපේ රටේ දේශපාලන-ආර්ථිකය තේරුම් ගැනීම මේ අදහස් දෙකේම තිබෙන ධනාත්මක දේවල් එකතු කරගත් නව දිසාවකට තල්ලු කළ යුතු බව මගේ අදහසය. 
 
 
‘‘පංති දේශපාලනය’’ 
 
 
මේ සංවාදයට සම්පූර්ණ වශයෙන් පිටතින් ගමන් කරන සංවාදයක් ද අපේ රටේ පාඨශාලීය මාක්ස්වාදීන් අතර තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මේ දිනවල සමහරුන් ඉදිරිපත් කරන ‘‘පංති දේශපාලනය’’ පිළිබඳ සංවාදය පෙන්නුම් කරන්නේ මේ රටේ දේශපාලන ආර්ථික සාකච්ඡාවේ පිටස්තරයන්ගේ භූමිකාවක් බව මාගේ මතයයි.
 
පැරැණි සම්ප්‍රදායික වාමාංශික නායකයන් මේ රටේ දේශපාලන ආර්ථික සාකච්ඡාවේ පිටස්තරයන් නොවූ බව මෙහි දී සඳහන් කළ යුත්තේ වර්තමානයේ පෙරටුගාමී කණ්ඩායම්වල මහන්සියෙන් කිසිදු ප්‍රයෝජනයක් රටට නොලැබෙන්නට ඉඩ තිබෙන නිසාය.
 
 
image 1
 
කොරෝනා වසංගතයෙන් රටම තැති  ගැන්මක.
 
 
දැන් මාගේ සටහනේ මූලික මාතෘකාවට යා යුතුය. කොරෝනා වසංගත තත්ත්වයෙන් රටම තිබෙන්නේ යම් ආකාරයක තැති  ගැන්මකය. මුළු ලෝකයේම තත්ත්වය මෙයට සමානය. 
 
අනාගතයේ මේ වයිරසයේ බලපෑම කෙසේ විය හැකි ද යන කාරණය බොහෝ අයගේ බියට හේතුවය.
 
 බිය ජනක තත්ත්වය වගේම බියක් සමහරුන් මතු කරන්නේ අපේ රටේ ආර්ථිකය දිසාවටය. රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය කුමක් ද?  රට ගමන් කරවිය යුතු ආර්ථික උපාය මාර්ගය කුමක්ද? යන කාරණය මෙහි දී ඉතාමත් වැදගත් ප්‍රශ්න කීපයක්ය.
 
 
 
විදේශ මුල්‍ය සංචිත සහ ඒ ණය මත සිදුකළ සංවර්ධනය :
 
 
1977 සිට ආරම්භ කළ නව ආර්ථික උපාය මාර්ගයේ එක් ප්‍රධාන ස්ථාවරයක් ලෙසින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් ලෙසින් පවත්වාගෙන යාම වෙනුවෙන් ‘‘ණය මත සිදු කෙරුණු බරපතළ සංවර්ධනයක්’’ සඳහා පසුගිය කාලයේ පත් වූ හැම ආණ්ඩුවක්ම වැඩ කළ බව මෙහි දී මුලින්ම සඳන් කළ යුතුය. 
 
එසේ සඳහන් කළ යුත්තේ මේ වනවිට අපේ ආර්ථිකයේ මතු වී තිබෙන එක් ප්‍රධාන ගැටලුවක් වන විදේශ මුල්‍ය සංචිත සමග ඒ ණය මත සිදුකළ සංවර්ධනය ගැට ගැසී ඇති නිසාය.
 
අද මෙරට ආර්ථිකයේ මතු වී තිබෙන විදේශ මූල්‍ය සංචිත ගැටලුව පැති කීපයකින්ම වර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකයේ පැති කීපයකටම සෘජු ලෙසින්ම බලපාන බව ඉතාමත් පැහැදිලිය.
 
මේ වනවිට රටේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50කට ආසන්නය. ඒ සෘජු ලෙසින් ආණ්ඩු ලබාගත් විදේශ ණයය. ඊට අමතරව තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි විශාල ආයතන තනි තනිව ගත් විදේශීය ණය  ප්‍රමාණයක් ද පවතින බව සත්‍යයක්ය.
 
 
මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ මේ ණය ලබා ගෙන ඇත්තේ 1977 පසු විවිධ ආණ්ඩු විසින් බවය. දැනට බලයේ සිටින ආණ්ඩුවට වගකීමක් ලෙසින් පැවරෙන්නේ පසුගිය ආණ්ඩු ගණනාවක් විසින් ලබාගත් විදේශ ණය ගෙවීමටය.
 
 2020 වර්ෂයේ අපේ රටේ විදේශ ණය ප්‍රමාණය වූ බිලියන 49.2 මුදල් යනු අපේ රටේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 60 පමණ වූ අගයක්ය. 
 
2019 වර්ෂයේ ණය වාරිකය වශයෙන් ගෙවන්නට සිදු වූ මුදල අමරිකානු ඩොලර් බිලියන 5.8ක් වූ අතර එය 2020 වර්ෂයේ ඩොලර් බිලියන 4.4 විය. 
 
මේ ගෙවීමේ චක්‍රය 2030 දක්වාම බරපතළ බලපෑමක් ජාතික ආර්ථිකයට  එකතු කරන්නට නියමිතය.
 
 
මේ ආකාරයෙන් විදේශ සංචිත (ඩොලර්) ලෙසින් ගෙවන්නට තිබෙන අතරම විදේශීය මුදල් රටට ලැබීමේ ක්‍රමවේ ද කොරෝනා වසංගතය නිසා බරපතළ ආකාරයෙන් සීමා වෙමින් තිබෙන බව ද අවධානයට ලක් කිරීම ඉතාමත් අවශ්‍යය. 
 
 
අපනයනය පැත්තෙන් මේ වසංගත තත්ත්වය යම් ආකාරයක බලපෑමක් සිදුකරන අතර සංචාරක ව්‍යාපාරය සහ වරාය සේවා වැනි ක්ෂේත්‍රවල බරපතළ අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් කිරීම ඉතාමත් අවශ්‍යය. 
 
2020 වර්ෂයේ පමණක් අපනයනයේ සීමාකම් (කොරෝනා වසංගතය නිසා) හේතුවෙන් රටට නොලැබී ගිය ආදායම ඩොලර් මිලියන 10,047 යැයි මහ බැංකු වාර්තාවෙන් පෙන්නුම් කරන කරුණුය. 
 
විදේශිය ශ්‍රමිකයන්ගේ මූල්‍ය ගලා ඒම 2019 සාපේක්ෂව යම් වර්ධනයක් 2020 පෙන්නුම් කළත් එය සාමාන්‍ය තත්ත්වයක ඇති මූල්‍ය ගලා ඒමක් ලෙසින් තේරුම් ගැනීම නිවැරදි නැත.
 
 
ආනයනය සීමා කිරීම:
 
 
මේ තත්ත්වයට එක් විසඳුමක් ලෙසින් ආනයනය සීමා කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වූ බව පැහැදිලිය. 
 
යම් ආකාරයකින් ආනයනය කළමනාකරණය කර ගැනීම මෙවැනි තත්ත්වයක ඉතාමත් වැදගත් කාරණයක්ය. 
 
එහෙත් එවැනි සකසුරුවම් තත්ත්වයක වුවත් අපේ රටේ ආනයන සහ අපනයන වෙනස (වෙළඳ ශේෂය) 2020 වර්ෂයේ ඩොලර් මිලියන 6.008 පමණ වූ බව මහ බැංකු වාර්තාවේ පෙන්නුම්  කෙරෙන කාරණයි. එය 2019 වර්ෂයට සාපේක්ෂව යම් අඩුවීමක් (2019 වර්ෂයේ වෙළෙඳ ශේෂය ඩොලර් මිලියන 8.000කි) බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
 
 
විදේශ මුල්‍ය සංචිත යනු ලංකාව වැනි ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් නොමැති රටක සමස්ත ආර්ථික ව්‍යුහයටම බලපාන සාධකයක් බව ඉතාමත් පැහැදිලිය.
 
 
ඒ හේතුව නිසාම විදේශ මූල්‍ය කළමනාකරණය සඳහා රජයේ මැදිහත්වීම පිළිබඳව මධ්‍යස්ථව සිතීම ඉතාමත් අවශ්‍ය බව මාගේ අදහසය. සමහරුන් මේ තත්ත්වය දේශපාලන වශයෙන් වාසියක් ලෙසින් තේරුම් ගන්නට උත්සාහ ගැනීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව කිව යුතුය.
 
ආයෝජනයත් අඩු වූ සහ විදේශ ණය ගැනීමට බලාපොරොත්තු නොවන තත්ත්වයක දී විදේශ මූල්‍ය කළමනාකරණය සඳහා යෙදිය යුතු අනෙකුත් උපාය මාර්ග වෙත ගමන් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය තත්ත්වයක්ය. 
 
 
 
IMF ගැන රජයේ ස්ථාවරය :
 
 
Pc4Zk5OXyUj87NsDpa0uL08GLLR7uhqF 
IMF සමග කතාබහක වැදගත්කම කියන එජාප නායකයා. 
 
 
01) පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් යෝජනා කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් හරහා ඒ අයගේ සහයෝගයෙන් පැරණි ණය පිළිබඳ ගෙවීම්  ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා යා යුතු බවය. 
 
මෙතෙක් කාලයක් විපක්ෂයේ සමහරුන්ගේ හරසුන් ප්‍රකාශ වෙනුවට යම් අදහයක් සහිතව මේ පිළිබඳව  කතා කිරීම පැත්තෙන් වික්‍රමසිංහ මහතාගේ අදහසට යම් පදනමක් ඇති බව සැබෑවක්ය.
 
 එහෙත් රජයේ ස්ථාවරය වන්නේ IMF එකේ කොන්දේසිවලට යටත්වීම අනතුරුදායක බව යැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට පිළිතුරක් ලෙසින්ය.
 
රජයේ උත්සාහය වන්නේ ක්‍රම කීපයක් මත පදනම්ව මේ විදේශ මූල්‍ය සංචිත ගැටලුව කළමනාකරණය කිරීමය. 
 
එක් පැත්තකින් කලාපීය ආර්ථික ශක්තීන් ඇති රාජ්‍ය සමග සෘජු මූල්‍ය සහයෝගයක් ලබා ගැනීමය. (චීනය, ඉන්දියාව වැනි) 
 
 
02)  දෙවනුව ආනයන ක්ෂේත්‍රයේ යම් පාලනයක් හා විනයක් යම් කාලයකට පවත්වාගෙන යාමය. (මෙය ඉතාමත් සංවේදී කලාපයක් බව මෙහිදී සඳන් කළ යුතුය.) 
 
 
වරාය නගර ආර්ථික කලාපය:
 
 
03)  තුන්වෙනුව ආයෝජන අවස්ථා රට තුළ විවෘත කිරීමය. මේ අදහසින් ඉදිරිපත් කළ ප්‍රධානතම යෝජනාවක් වූයේ  වරාය නගර ආර්ථික කලාපය සම්බන්ධ යෝජනාවය.  
 
වරාය නගරය ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මේ වනවිට අනුමත කර ඇති අතර ඒ ව්‍යාපෘතියේ මීළඟ ජයග්‍රහණය තිබෙන්නේ එම කාර්යයට ගැළපෙන කණ්ඩායමක් හරහා එම ව්‍යාපෘතිය නිර්මාණය කිරීමය.
 
මේ වැනි බරපතළ කාර්යයක්  රටේ ව්‍යාපෘති හා ආයෝජන ක්ෂේත්‍රයේ ඉහළම දක්ෂයන් කණ්ඩායමක් වෙතට  භාර දීමත්, නිශ්චිත කාල රාමුවක් තුළ එම කාර්යය ඉටු කරවීමත් මෙහිදී රජය මුහුණ දෙන මූලිකම අභියෝගයක් බව මගේ මතයයි.
 
 
(1970 සිට මේ දක්වාම අපේ රටේ සංවර්ධන යෝජනා ක්‍රම සාර්ථකවීමට සහ අසාර්ථකවීමට ප්‍රධාන හේතුව වූයේ නෛතික පදනම හෝ දේශපාලන අභිලාෂය (Political will) නොව ඒ ව්‍යාපෘති සඳහා පත් කරන පුද්ගල සාධක බව මගේ නිරීක්ෂණයය.)
 
 
04)  හතර වෙනුව රාජ්‍යය සතු සුබ සාධක යාන්ත්‍රණය යම් කළමනාකරණයක් සහ සකසුරුවමක් මත ඉදිරියට ගෙන යාම අවශ්‍යය. 
 
 
05)  පස්වෙනුව රටේ සම්පත් බරපතළ ආකාරයෙන් විනාශ කරන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක්ය. 
 
 
මේ කාරණය පිළිබඳව අලුතින් සිතන්නට හැකියාවක් නැතොත් අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් කිසිදු වටිනාකමක් නොමැති රජයේ ව්‍යාපාර ලෙසින් පවතින සමහර ආයතනවල පැවැත්ම වෙනුවෙන් දියවී යාම නොවැළැක්විය හැකිය. 
 
 
මේ ආකාරයේ රාජ්‍ය ව්‍යවසාය නිසි  ආකෘතියකට දැමීම හෝ එසේත් නැතිනම් යම් ආකාරයක දීමනාවක් ලබා දී සේවක කණ්ඩායමක් රැකබලා ගනිමින් ව්‍යාපාරික කටයුතු නවතා දැමීම රටක් ලෙසින් ඉදිරිගාමි අවස්ථාවක් බව මගේ අදහසය.
 
 මේ විදේශ මුදල් සංචිත තත්ත්වය යනු සම්පූර්ණ රටේ ආර්ථිකය නොවන බව සැබෑවක් වුවත් අපේ වැනි රටක විදේශ මූල්‍ය කළමනාකරණය අනෙක් සෑම ආර්ථික සාධකයකටම වඩා  ප්‍රමුඛත්වයක් ගන්නා බව මාගේ අදහසය. 
 
රටේ ආර්ථිකය පැත්තෙන් වැදගත් වන අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමට මේ ලිපියේ ඉඩක් නැත. එහෙත් කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍යය පැත්තෙන් ලෙඩ නොවී සිටීමට පෞද්ගලිකව අප ගන්නා උත්සාහය, ආර්ථික ක්ෂේත්‍රයේ ලෙඩක් බවට පත් නොවන්නට අප හැමෝම එක් වී උත්සාහ කළ යුතු කාලයකට පැමිණ ඇති බව මගේ යෝජනාවය.
 
 
 
                               (මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති 
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු
ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්,
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ
මහාචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.) 
 
 
(කිවිදා දැක්ම - ලංකාදීප)
 
 
 
##########
THE LEADER TV 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට! 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්