මාගේ නිරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමට බලපා ඇති ප්‍රධානතම සාධකයක් වන්නේ මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූන්ගේ සක්‍රීය දේශපාලන සහභාගීත්වයක් දක්නට නොලැබීමයි.


නිදහසින් පසු දීර්ඝ කාලයක් විශාල මුදල් සහ සම්පත් සම්භාරයක් මෙරට සමාජ, ආර්ථික, දේශපාලන සංවර්ධනය වෙනුවෙන් වැය කළ ද එම සියලුම අංශවල විශාල පසුගාමිත්වයක් තවමත් දක්නට ලැබේ.

මෙරට මානව සංවර්ධනයේ වගකීම “බහුතර ජනතාවගේ කැමැත්තෙන්” විකල්ප දේශපාලන කණ්ඩායම් වෙත මාරුවෙන් මාරුවට ආණ්ඩුකරණය බාර දෙමින් පැවරුණු ද එම ප්‍රධාන පෙළේ තෝරා ගැනීම් සියල්ල අසාර්ථක වී ඇති බව එකිනෙකට පරස්පර ආණ්ඩුකරණ භාවිතාවන් දෙකක් වන “යහපාලනය” සහ “ගෝඨාභය මාදිලිය” එක ළඟ අසාර්ථක වීමෙන් පැහැදිලි වේ.

නිදහසින් පසු මේ දක්වාම මෙරට ආණ්ඩුකරණ කණ්ඩායම මැතිවරණ වලදී තෝරා ගැනීම සඳහා තීරණාත්මක සහ සක්‍රීය මැදිහත්වීම ද ආණ්ඩු පත් කර ගැනීමෙන් පසු එම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය රාමු ගත කිරීම සහ දිසානතිය තීරණය කිරීමට ද සක්‍රීය සහ තීරණාත්මක දේශපාලන සහභාගිත්වය ලබා දෙනු ලැබුවේ මෙරට ප්‍රභූ සහ මධ්‍යම පංතික ජන කණ්ඩායම්ය.

බලයට පත් සෑම ආණ්ඩුවක්ම සවන් දුන්නේ ප්‍රභූ සහ මධ්‍යම පංතික ජන කණ්ඩායම් වල හඬටය. ආණ්ඩු ප්‍රතිපත්ති තීරණය කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දුන්නේ මොවුන්ගේ වුවමනාවන්ට ය.

එහිදී ප්‍රභූ සහ මධ්‍යම පංතික නොවන නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජන කණ්ඩායම්වල උවමනාවන් සහ හඬ බොහෝවිට බැහැර කර තිබිණි.

නිදසුන් වශයෙන් කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන කෘෂි බෝග ප්‍රභූ සහ මධ්‍යම පංතිකයන්ගේ ඉල්ලීමකි.

කාබනික පොහොර යොදා කරනු ලබන මිලාධික නිෂ්පාදන මිලට ගත් හැක්කේ එම ජන කණ්ඩායමට පමණි.

 

WhatsApp Image 2021 07 11 at 12.48.49 PM

 

අනිත් අතට නිර්ප්‍රභූ ජන කණ්ඩායමක් වන ගොවියාට ඉහළ ආදායමක් ලබාගෙන ජීවන තත්ත්වය ඉහළ නංවා ගත හැක්කේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙනි.

ඒ අනුව ආණ්ඩුව ප්‍රභූ සහ මධ්‍යම ජනයාගේ කාබනික පොහොර ඉල්ලීමට ඉඩ දෙමින් නිර්ප්‍රභූ ගොවියාගේ ඉල්ලීම, සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම නොසලකා හැර තිබේ.

අධිවේගී මාර්ග සහ ඉන්ධන මිල පහළ දැමීම, අවශ්‍යවන්නේ ප්‍රභූ සහ මධ්‍යම පන්තික ජනයාටය.

රජයේ ඒ වෙනුවෙන් ආයෝජනය කරන අතර නිර්ප්‍රභූ ගොවියාගේ කෘෂි සහනාධාර, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා පාලන මිලක් නියම කිරීම, නිශ්චිත කම්කරු වැටුප් නියම කිරීම, ස්වයං රැකියා සහ කුඩා ව්‍යවසායකයින්ට නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ප්‍රතිපත්ති, රෙගුලාසි සම්පාදනය සහ ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ආණ්ඩුව සිදු නො නොකරයි. ඊට ප්‍රමුඛත්වය නොදෙයි. ඔවුන්ගේ ගැටලු ගැන සංවේදී නොවේ.

මෙරට සාම්ප්‍රදායික පාරම්පරික ධනවතුන්, ව්‍යාපාරික පවුල්, මහා පරිමාණ ව්‍යවසායකයින්, මහජන නියෝජිතයින්, රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවන්,
රජයේ, පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල විධායක නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවන්, වාස්තු
විද්‍යාඥයන්, තාක්ෂණික විශේෂඥයන්, සහ විනෝද කර්මාන්තයේ වෘත්තිකයන් ප්‍රභූ සහ මධ්‍යම පංතික ජන කණ්ඩායමට අයත් වේ.

වියත්මග නායකයින්, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ නායකයින්, 43 සේනාංකයේ නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන නායකයින්, වෘත්තීයවේදී සංවිධාන නායකයින්, මෙන්ම බිම් මට්ටමේ ප්‍රජා සංවිධාන වලට නායකත්වය දෙනු ලබන්නන් ද ආගමික නායකයින් ද බොහෝවිට මෙම ප්‍රභූ සහ මධ්‍යම පංතිය නියෝජනය කරන්නන්ය.

 

padeniya nalaka channa

කොළඹ කේන්ද්‍රීය ජනමාධ්‍ය ද, තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට එන කම්කරුවෙක් කරපටි පැළඳ හමුවූන වෛද්‍ය පාදෙණිය, වෙරළේදී ධීවරයන් හමුවූන ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය චන්න ජයසුමන මෙන්ම නිල දේශපාලන නිල ඇඳුම් ඇඳගෙන කාබනික පොහොර ගැන කතා කරන්න ගොවි බිම්වලදී ගොවියන් හමුවූන පාඨලී චම්පික රණවක ද නියෝජනය කරන්නේ මෙම ප්‍රභූ සහ මධ්‍යම පංතියයි.

 

ඔවුන් කරපටි පළඳින්නේ එසේ නැතහොත් නිල ඇඳුම් අඳින්නෙ ඔවුන් සහ නිර්ප්‍රභූ ජනයා අතර ධුරාවලියක් පවත්වාගෙන යෑමටය.

එම ධූරාවලිගත සම්බන්ධතාවය නිර්ප්‍රභූ ජනයාගේ යථාර්ථයන් තේරුම් ගැනීම වළක්වන බව ඔවුන් නොදන්නවා නොවේ.

මෙරට මැතිවරණවලදී මහජන රැල්ල එක් දේශපාලන පක්ෂයක් වටා ගොනු කරන්නේ ප්‍රභූ සහ මධ්‍යම පංති කණ්ඩායමේ සිටින එකිනෙකා සමග තරග
කරන කණ්ඩායම් අතරින් ඒ මොහොතේ වඩාත් උපක්‍රමශීලී සහ කාර්යක්ෂම වන කණ්ඩායමය. එහෙත් පොදුවේ ගත් විට ඔවුන්ගේ වුවමනාවන් එක හා සමානය.

මැතිවරණයෙන් පසු බලයට පත්වන ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරීත්වය හා දිශානතිය හසුරුවන්නේ මෙම ප්‍රභූ සහ මධ්‍යම පාන්තික කණ්ඩායම්ය.

නිශ්ශබ්ද බහුතර නිර්ප්‍රභූ ජන කණ්ඩායම්වල භූමිකාව

 

Gramsci

“නිර්ප්‍රභූ”(Subaltern) යෙදුම ප්‍රථම වතාවට බලපෑම් සහගත ලෙස භාවිතා කරනු ලැබුවේ ඉතාලියානු මාක්ස්වාදී න්‍යායාචාර්ය අන්තෝනියෝ ග්‍රාම්ස්චි (Antonio Gramsci-1891-1937) විසිනි.

ධනපති නිෂ්පාදන මාදිලියෙන් බැහැර කරනු ලැබූ ආර්ථික වශයෙන් දුර්වල පන්තියට අයත් ගොවියන්, කම්කරුවන් වැනි ජන කණ්ඩායම් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ආගම් නිසා බල ධුරාවලියේ පහළින් සිටින සමාජයෙන් කොන් කරනු ලැබූ ආන්තික ජන කණ්ඩායම් පොදුවේ නිර්ප්‍රභූ වශයෙන් හඳුනා ගනු ලැබේ.

 

1980 දශකයේ දී එරික් ටෝක්ස් සහ රජිත් ගුහා වැනි ශාස්ත්‍රඥයන් ආසියාවේ සහ ඉන්දියාවේ යටත් විජිත සමාජ අධ්‍යයනයේ දී “නිර්ප්‍රභූ” යෙදුම භාවිතා කරනු ලැබීය. නිර්ප්‍රභූ අධ්‍යනයන් තුළදී ප්‍රභූන්ගේ දේශපාලන සවිඥානිකත්වය ප්‍රශ්න කරන අතර දේශපාලන සහ සමාජ පරිවර්තනයක් ඇති කිරීමෙහිලා නිර්ප්‍රභූ භූමිකාවේ ඇති වැදගත්කම අවධාරණය කරති.

 

MPCS project 2

 

නිර්ප්‍රභූ ජන කණ්ඩායම් වලට ඔවුන්ගේ අත්දැකීම්, අවශ්‍යතා, රුචි අරුචිකම් සහ ගැටලු ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොමැත. තනිව හෝ සාමූහිකව තමන්
සැලකිලිමත් වන කරුණු සහ තම මතය ප්‍රතිපත්ති සම්පාදකයන්ට සන්නිවේදනය කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොමැත.

ප්‍රභූන් සහ මධ්‍යම පන්ති සමග සැසදීමේදී නිර්ප්‍රභූ කණ්ඩායම්වලට සක්‍රීය දේශපාලන සහභාගීත්වය සඳහා සමාන අවස්ථාවක් නොලැබේ. ඔවුන්ගේ හඬට
ඉඩක් ලැබෙන්නේ නම් නිලධාරීන් සහ මහජන නියෝජිතයන් තමන් ගනු ලබන තීරණ සහ කරනු ලබන වැඩසටහන් සඳහා වග වන තත්ත්වයකට පත් කළ
හැකිය.

ඔවුන්ගේ හඬ මාධ්‍යවලින් ඇහෙන්නේ නැත. ඉඳහිට ඇසුනද එය මාධ්‍ය වැඩසටහන්වල සැරසිල්ලක් වශයෙන් පමණි.

නිදසුන් වශයෙන් මෑතකාලීන ගොවි ගොවි, ධීවර, වතු කම්කරු විරෝධතාවල දී ජනමාධ්‍ය එම විරෝධතාවල ගැඹුරු මූලයන් සහ විවිධ මාන පිළිබඳ
ගවේෂණාත්මක අඛණ්ඩ වාර්තා කිරීම් සිදු කරනු වෙනුවට ජනප්‍රිය මාධ්‍ය භාවිතාවන්ට අවශ්‍ය සැරසිල්ලක් ලෙස තෝරාගත් කොටස් නාට්‍යමය ජවනිකා
ලෙස ඉදිරිපත් කර අමතක කර දමනු ලැබීම පෙන්වා දිය හැකිය.

ගොවි, ධීවර, වතු කම්කරු ගැටලුව විසදෙන තෙක් එම සිදුවීම් හඹා යමින් වාර්තා කරමින් ඔවුන්ගේ සැබෑ හඬට අඛණ්ඩව වේදිකාවක් තනා දෙනු වෙනුවට
ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් සිදු කරනු ලබන්නේ තම වාණිජ අරමුණු සඳහා ඔවුන්ගේ හඬ කටගැස්මක් ලෙස භාවිතා කිරීමයි.

 

tea

 

මෙරට ප්‍රභූ සහ මධ්‍යම පාන්තික වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුද ක්‍රියා කරන්නේ ඒ ආකාරයටමය. නිදසුන් වශයෙන් මෑතකාලීනව වර්තමාන
ගෝඨාභය ආණ්ඩුව නිර්ප්‍රභූන්ගේ දිවි පෙවතට සෘජුව බලපානු ලැබූ තීරණ ගණනාවක් ගනු ලැබුවද එම තීරණ ගැනීමේ ක්‍රියාවලියට එම තීරණවල බලපෑමට ලක්වූ ජනයාගේ සහභාගිත්වයක් දක්නට නොලැබීම පෙන්වා දිය හැකිය.

නිදසුන් වශයෙන් රසායනික පොහොර තහනම් කිරීමේදී ඒ පිළිබඳව එහි සෘජු බලපෑම්ට ලක්වන ගොවියන්ගෙන් නොවිමසූ අතර ධීවරයන්ට මුහුදු යාම තහනම් කිරීමේදී ඒ පිළිබඳව ධීවරයන්ගෙන් විමසා සිටීමටත් රට වසා තැබීමේ දී දිනපතා ආදායම් උපයන්නන් ගෙන් ඒ පිළිබඳ විමසා සිටීම ද නොතකා හරිනු ලැබීය.

එමෙන්ම පාසල් වසා දමා ඔන්ලයින් අධ්‍යාපනයට මාරුවීමේදී ඒ පිළිබඳව ගුරුවරුන්ගෙන් සහ ළමයින් ගෙන් විමසීමද නොතකා හරිනු ලැබීය.

කෙසේ නමුත් ගෝඨාභය ආණ්ඩුව විසින් මෙරට නිර්ප්‍රභූ ජනයා ආණ්ඩුකරණ ක්‍රියාවලියට සහභාගි කර ගැනීම සඳහා “ගම සමග පිළිසඳරක්” වැඩසටහන
ක්‍රියාවට නැංවීම් ඉතා ප්‍රශස්ත තීරණයකි.

එම ප්‍රජා උපදේශන ආකෘතිය නිවරදිව භාවිතා කලේ නම් ආණ්ඩුවට මීට වඩා ප්‍රතිඵල ලබාගත හැකිව තිබිණි.

 

නිදසුන් වශයෙන් නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් ලියා දෙන ලද ප්‍රශ්න ඔවුන් විසින්ම තෝරා ගත් කිහිපදෙනෙක් ලවා විශාල ජන සහභාගීත්වයක් සහිතව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් කෘතිම ලෙස සහ මාධ්‍ය සංදර්ශනයක් ලෙස ජනපතිවරයාට ඉදිරිපත් කරනවා වෙනුවට අහඹු ලෙස හමුවන කුඩා කණ්ඩායම් සමග ඔවුන්ගේ ගැටලු පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට ජනාධිපතිවරයා යොමුවේ නම් මීට වඩා ඔහුගේ තීරණ වෙනස්ව වීමට ඉඩ තිබිණි.

 

මේ හා සමාන ආන්ඩුකරනය සඳහා නිර්ප්‍රභූන්ගේ සහභාගීත්වය ලබා ගන්නා ආකෘතියක් සහ මාර්ග සිතියමක් මා විසින් 2017 වසරේදී ආචාර්ය රංග
කලංසූරිය මගින් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ට ලබා දුන්නද ඔවුන් ඒ ගැන ඇහැක් ඇර බැලුවේ නැත.

ඊට හේතුව මෙවැනි නිර්ප්‍රභූන්ගේ හඬට සවන් දීම යහපාලන ආණ්ඩුවේ තීරණ ගත් ප්‍රභූ සහ මධ්‍යම පාන්තික කණ්ඩායම්වල අභිමානයට සහ උවමනාවන්ට
අහිතකර වීමට ඉඩ තිබීමයි.

ප්‍රතිඵලය වූයේ නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයා යහපාලකයින්ටත් වඩා ප්‍රභූ සහ මධ්‍යම පාන්තික උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක
ගොදුරක් බවට ඊළඟ මැතිවරණයේදී පත්වීමයි.


සක්‍රිය දේශපාලන සහභාගීත්වය

සක්‍රීය දේශපාලන සහභාගීත්වය යනු ඡන්දය පාවිච්චි කිරීම නොවේ. යම්කිසි පුද්ගලයෙක් පෞද්ගලිකව සමස්ත සමාජයේ දේශපාලන, සමාජ, ආර්ථික ගැටලු
සහ තොරතුරුවලින් බලාත්මකවී ඡන්දය පිළිබඳ තීරණය ගැනීම, මැතිවරණ සමයේදී මෙන්ම මැතිවරණයක් නොමැති කාලයේදීද සමාජ, දේශපාලන, ආර්ථික ගැටලු වෙනුවෙන් හඬ නැගීම, මැදිහත්වීම, සංවිධානය වීම සහ ක්‍රියාත්මකවීම සක්‍රීය දේශපාලන සහභාගිත්වය වශයෙන් හැඳින්විය හැකිය.

එහෙත් මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඡන්දය භාවිතා කිරීමට පමණක් සීමා වෙයි.

 

MPCS project

එයද ඉහතින් සඳහන් කළ අන්දමේ රටේ සමස්ත දේශපාලන ,ආර්ථික, සමාජ ගැටලු ගැන දැනුවත් පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයෙන් බලාත්මක වී ගනු
ලබන තීරණයක් නොවේ.

 

ඔවුන් ඡන්දය දෙන්නේ කාටද යන තීරණය ප්‍රභූ සහ මධ්‍යම පංතිය විසින් මෙහෙයවන හැඟීම්බර ප්‍රචාරණ උපක්‍රම වලට හසු වී ගනු ලබන අතාර්තික තීරණයකි.

 

සෑම මැතිවරණයක් අවසානයේදීම මෙම නිර්ප්‍රභූ ඔවුන්ගේ සුපුරුදු ජීවන අරගලයට කොටුවේ. ගොවියා කුඹුරටත්, වතුකම්කරුවන් වත්තටත්, කම්මල් සේවිකාවන් කම්මල්වලට ද , දවසේ ආදායම් උපයන්නන් දවසේ ආදායම සොයා ගැනීමේ අරගලයට ද කොටුවෙති.


මෙරට නිර්ප්‍රභූ ජනයා සක්‍රීිය දේශපාලන සහභාගිත්වයෙන් බැහැර කිරීමට බලපා තිබෙන සාධක ගණනාවකි:

  1. නිර්ප්‍රභූ ජනයාගේ හඬට වේදිකාවක් හෝ අවස්ථාවක් නොමැතිබව ඔවුන් තේරුම් ගෙන ඇති නිසා ඔවුන් තුළ පවතින පසුගාමි ආකල්ප
  2. දෛනික ජීවන අරගලය හේතුවෙන් දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත්වීමට, සහභාගිවීමට සහ අවධානය යොමු කිරීම්ට වේලාවක්
    නොමැති වීම
  3. සක්‍රිය දේශපිය දේශපාලන සහභාගීත්වය සඳහා දැනුම සහ කුසලතා නොමැතිකම
  4. සක්‍රීය දේශපාලන සහභාගිත්ව ක්‍රියාකාරකම් ප්‍රභූ සහ මධ්‍යම පන්තිය නියෝජනය කරන්නන්ගේ ආධිපත්‍යයට නතුව පැවතීම නිසා නිර්ප්‍රභූ
    ජනයා ඒවායේදී හුදෙක් නරඹන්නන් හා අත්පොළසන් දෙන්නන් පිරිසක් බවට පත්වීම
  5. මෙම තත්ත්වය පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් නිසා සක්‍රීය දේශපාලන සහභාගිත්ව ක්‍රියාකාරකම් සඳහා නිර්ප්‍රභූ තුළ පවතින උදාසීනත්වය, “ලබා
    උපන් හැටි” “අපේ ලැබීම” “අපිට බෑ” වැනි මානසිකත්වය.
  6. සක්‍රිය දේශපාලන සහභාගීත්වය යනු මුදල් හා හා තාක්ෂණික හැකියාවන් සමඟ සම්බන්ධව පැවතීම. නිදසුන් වශයෙන් ගොවියෙක්, කම්කරුවෙක්
    සක්‍රීයව දේශපාලන ක්‍රියාකාරකම් සහභාගි වන්නේ නම් එදින ඔහුගේ ආදායම් මාර්ගය අහිමි වේ. ඊට අමතරව ගමන් වියදම් සඳහා, අන්තර්ජාලය, දුරකථනය භාවිතය සඳහා අතිරේක මුදලක් වැයවේ. ඇතැම්විට සාමාජික ගාස්තු හෝ ආධාර පත්‍ර සඳහා දායක වීමට ද සිදු වේ.
  7. සක්‍රීය දේශපාලන සහභාගීත්වය තුළදී තමන් පෙනී සිටින මතවාදයට විරුද්ධව මතවාදය දරන කණ්ඩායමේ විරෝධයට සහ හිරිහැර කිරීමට ලක් වීමට තිබෙන බිය සහ එවැනි ක්‍රියාකාරීත්වය තුළින් තම ආදායම් මාර්ගවලට හෝ පෞද්ගලික ජීවිතේට විය හැකි අලාභය ගැන තිබෙන (ඇතැම්විට තමන් දැනට භුක්තිවිදින සමෘද්ධිය අහිමි වේ යැයි තිබෙන බිය)    


මෙවැනි හේතු නිසා නිර්ප්‍රභූ ජනයා තුළ මැතිවරණයක් නොමැති කාලයේ දී සක්‍රීය දේශපාලන සහභාගීත්වයක් නොමැත.

 

shutterstock 548327224

නිදසුන් වශයෙන් රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන විවිධ zoom සාකච්ඡා පෙන්වාදිය හැකිය.

මෙම කතිකා සඳහා රසායනික පොහොර තහනම නිසා සැබෑ බලපෑමට ලක්වූ වූ ගොවියන්ගේ සක්‍රීය සහභාගීත්වයක් නොමැත.

ඒ වෙනුවට එවැනි කතිකා සඳහා සහභාගිවන්නේ දශක ගණනාවක් ගොවියා අද මුහුණ දී සිටින තත්ත්වයට පත්කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කළ, නීති ක්‍රියාත්මක කළ කෘෂි විශේෂඥයන්, ආර්ථික විශේෂඥයන් සහ සිවිල් ක්‍රියාකාරිකයින්ය.

එනම් ගොවියන් මේ තත්ත්වයට පත් කළ ප්‍රභූ සහ මධ්‍යම පංතියේ නියෝජිතයන්ය. එම සංවාද තුළ ප්‍රශ්නයට සැබැවින්ම මුහුණ දී සිටින ගොවියාගේ හඬ ඇසෙන්නෙ නැත.

ඒ වෙනුවට යම්කිසි න්‍යාය පත්‍රයකට අනුව “ගොවියාගේ ප්‍රශ්නය මෙය යැයි” තමන් විසින් අර්ථකථනය කරගත් විශේෂඥයින්ගේ හඬ පමණක් මෙම මහජන කතිකාව තුළ දක්නට ලැබේ,

සැබැවින්ම ඔවුන්ගේ මැදිහත්වීම නිර්ප්‍රභූ ගොවියා වෙනුවෙන් නොව තම මධ්‍යම පාන්තික උවමනාව වෙනුවෙනි.

ඔවුන් මෙම සංවාද සඳහා සහභාගිවීමෙන් සමාජීය ප්‍රාග්ධනයක්(Social Capital) උපයා ගනිති. එම සමාජ ප්‍රාග්ධනය පසු අවස්ථාවකදී ඔවුන් විසින් මුදල් බවට
පත්කර ගනිති.

 

මෙම විශේෂඥ්යන්ගේ සහ සිවිල් ක්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීම් අනියම් ලෙස ගොවියා ගොනාට අන්දවා ආන්ඩුවේ උවමනාවන් ඉටු කිරීමකි.

 

තවත් නිදසුනක් වශයෙන් මෙරට චීන මැදිහත්වීම්වලට ප්‍රභූ සහ මධ්‍යම පංතිය (වියත්මග, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය, 43 සේනාංකය) තුළින්
විරෝධයක් එල්ල නොවන කාරණය සැලකිල්ලට ගනිමු.

ඊට හේතු වන්නේ චීන මැදිහත්වීම් මගින් මෙරට සිදුවන ක්‍රියාකාරකම් වල සෘජු ප්‍රතිලාභීන් වන්නේ ප්‍රභූ සහ මධ්‍යම පාන්තික ජනයා වීමයි.

 

 114966787 mediaitem114966786

 

ව්‍යාපාර අවස්ථා, චීන භාණ්ඩ, අධිවේගී මාර්ග, විදේශ සංචාර, නෙළුම් පොකුණ රඟහල, නෙළුම් කුළුණ, වරාය නගරය, භෝජන ශාලා, විනෝද උද්‍යාන මේ
සියල්ල මෙරට ප්‍රභූ සහ මධ්‍යම පාන්තික ජනයාගේ සිහින මිස නිර්ප්‍රභූ ජනයාගේ සිහින නොවේ.

ඒ අනුව පසුගිය මැතිවරණයේදී මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූ ජනයා සක්‍රිය දේශපාලනය සහභාගිත්වයකින් තොරව ප්‍රභූ සහ මධ්‍යම පන්තියේ
දෘෂ්ටිවාදී හෙජමනිය ට නතුවී ඡන්දය පාවිච්චි කිරීම නිසා ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය සිදුවිය.

මැතිවරණයෙන් පසුව නිර්ප්‍රභූ ජනයා ජීවන අරගලයට මැදිවී දේශපාලන වශයෙන් අක්‍රිය වී, සිටියදී සක්‍රීය දේශපාලන සහභාගිත්වය ප්‍රභූ සහ මධ්‍යම පන්තිය අතට පත්වී ගෝඨාභය ආණ්ඩුව ඔවුන්ගේ වුවමනාවන් ඉටු කිරීමට යාම නිසා අසමත් වෙමින් සිටී.

මතුසම්බන්ධයි...

 

Dr Pradeep N Weerasinghe 255x276 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.

 

 

 

 

 

 

 
THE LEADER TV 
බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක 
 

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්