1988 මහ මැතිවරණය ආසන්න දිනයකි. මහින්ද එවකට සිටියේ දෙහිවල ආසන්නයේ පිහිටි නිවසකය. එදින මහින්දට දුරකථන ඇමතුමක් ආවේ අභිනව මන්ත්‍රීධූරය සඳහා සුබ පැතීමටය.

 සුභ පැතුම් බාරගත් මහින්ද ඇමතුමේ අනෙක් කෙළවරේ තැනැත්තාට පැවසුවේ මෙවැන්නකි. “thanks to PR and JR”.

 ඔහු PR යනුවෙන් අදහස් කළේ proportional representation හෙවත් සමානුපාතික නියෝජන ක්‍රමයයි. JR යනුවෙන් අදහස් කළේ ජේ. ආර්. ජයවර්ධනයි.

මහින්ද දේශපාලඥයෙකු වශයෙන් රටට ඉස්මතු වන්නේ මුල්කිරිගල අතුරු මැතිවරණයෙනි. එම අතුරු මැතිවරණයට කොළඹින් පැමිණි මැර කණ්ඩායම් අතර රනිල්ගේ ප්‍රධානම චක් ගෝලයා වන ගෝනවල සුනිල් ද සිටියේය.

අතුරු මැතිවරණය නිමා වී සතියකට පමණ පසු ගෝනවල සුනිල් ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියේ සුව නොවූ තුවාල කැළැල් ද සහිතවය. මහින්ද ගෝනවල සුනිල්ට හොඳින් සලකා තිබුණේ එලෙසිනි.

 යූ.එන්.පී. යේ බලවත්ම නායකයා වූ ජේ ආර් රට හොල්ලා ගෙන සිටින සමයේ බිය යනු කුමක්දැයි නොහඳුනන මහින්ද යූ.එන්.පී. භීෂණය ට මුහුණ දුන්නේ එලෙසිනි.

 ජ.වි.පෙ. ඡන්ද වර්ජනයකට යෑමත් මරණ තර්ජනත් නිසා 1988 මහ මැතිවරණයට මුහුණ නොදී මහින්ද විජේසේකර ගෙදර ගියේය. තම අතින් රුපියල් 50 ක් ගෙවා ලබාගත් අයදුම්පත ද සමඟ මාතර බලා ගිය මහින්ද “පිස්සු කෙලින්න එපා” යැයි කියමින් මහින්ද විජේසේකරගේ අත්සන ලබා ගත්තේය.

මහින්ද එහෙමය...

 මහින්දට ඒ අවස්ථාවේදී තවත් එක් පුද්ගලයෙකු මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය. ඒ ආරිය බුලේගොඩ යි. එහෙත් ජ.වි.පෙ. පතුරුවා සිටි මරණයේ භීෂණය නිසාම බුලේගොඩ ඡන්දයට ඉදිරිපත් නොවීය. ඔහුගේ ජීවිත ගමන පැවතියත් දේශපාලන ජීවිතය එතැනින් ම නිමාවට පත්විය.

මේ කාලයේ ගමේ තරුණ ගැටවු විසිපහක් තිහක් පමණ මහින්ද දෙහිවල ගෙදර නතර කරගෙන කන්න බොන්න දී තියාගෙන සිටියේ ඔවුන්ගේ ජීවිත ගලවා ගනු පිණිස ය. එක් රැයක මේ තරුණ පිරිස පැහැර ගෙන ගිය රාජ්‍ය මැර කණ්ඩායම් ඔවුන් සියලු දෙනා අතුරුදන් කර දැමූහ.

 මහින්ද ජ.වි.පෙ. ට සම්බන්ධ තරුණ තරුණියන්ට හැකි හැම උපකාරයක් ම කළේය. එහෙත් 1988 මහ මැතිවරණයේදී ජ.වි.පෙ. ඔහුටම එරෙහි විය. ජ.වි.පෙ. නායකයන් එහිදී ගොඩනැඟූ තර්කය මෙය විය.

 “අපේ සියලු තොරතුරු මහින්ද දන්නවා. මහින්දලා බලයට පත් වුවහොත් ඔහුට මොහොතකින් අප විනාශ කළ හැකියි”.

 එපමණක් නොව අර දෙහිවල තරුණයින් ගැන ඔත්තුව දුන්නේ ද මහින්ද යැයි ඔවුහු සාහසික චෝදනාවක්ද ගොණු කළහ. එදා විමල් වීරවංශ ද සිටියේ මෙම ගොඬේය. අවසානයේ ජ.වි.පෙ. නායකත්වය විසින් තම විනාශය සඳහා ප්‍රේමදාස තෝරා ගන්නා ලදී.

 මහින්ද පාද යාත්‍රාව සංවිධානය කළේ මුළු මහත් විපක්ෂය ම පුබුදුවමිනි.

 චන්ද්‍රිකා මහින්ද සමඟ තරහ වන්නේ පාද යාත්‍රාව නිසාය. මහින්ද චන්ද්‍රිකාව පාද යාත්‍රා වේදිකාවෙන් බිමට බස්සවන්නේ තම මිතුරු අනුරගේ බලවත් ඉල්ලීමකට ය. ඒ සඳහා මහින්ද දකුණේ භාෂාව ව්‍යක්ත ලෙස යොදාගත් අතර චන්ද්‍රිකා ජනාධිපතිනිය වූ පසු මහින්දව කම්කරු අමාත්‍ය ධුරයටත්, ඉන් පසු ධීවර අමාත්‍යාංශයටත් දමන්නේ එදා පාදයාත්‍රාවේ සිද්ධියට පළි ගැනීම සඳහාය.

කොතනට දැම්මත් මහින්දව කපා දැමීම ලෙහෙසි නැත. ඔහු යන තැන වැඩ පෙන්වීය. චන්ද්‍රිකා එතෙරට විකුණන්නට බලා සිටී හම්බන්තොට ලුණු ලේවාය ETF  සල්ලි වලින් මහින්ද මිලදී නොගත්තේ නම් අද එය ජාතියට අහිමි වස්තුවකි.

 අයඩීන් මිශ්‍රකොට ලක් ලුණු බ්‍රෑන්ඞ් එකක් ලෙස වෙළඳ පොළට නිකුත් වන්නේ මහින්දගේ කාලයේදී ය.

 2005 දක්වා ලංකාවේ දේශපාලන සිතියම අඳින ලද්දේ එල්ටීටීඊය විසිනි. එහෙත් 2005 න් පසු ලංකාවේ දේශපාලන සිතියම මහින්ද විසින් අඳින ලදී. ඇතැම් විට 2015 ලද පරාජය (විවේකය) එම සැලසුමේ ම කොටසක් වන්නට ඇතැයි සිතෙන්නේ බෙන්තර ගඟෙන් එහා කතාව නිසාය.

 2005 ජනාධිපතිවරණ සමයේ දී රජයේ සංවර්ධන නිලධාරීන් මගින් සමීක්ෂණයක් පවත්වන ලදී. එය 99.9% නිරවද්‍ය එකක් විය.

මහින්ද 1% කින් ජය ගන්නා බව එහි දැක්විණි. ඒ සඳහා උතුරු නැගෙනහිර ඡන්ද ලක්ෂ දාහතකින් ලක්ෂ හතක්වත් මහින්ද ලබා ගත යුතු විය. උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය නිසා එම ප්‍රශ්නය ද විසඳිනි.

 තවත් කරුණක් ඇත. මෙම සංවර්ධනය නිලධාරීන් සමීක්ෂණ ප්‍රතිඵල මහින්දට ඉදිරිපත් කිරීමට කටයුතු සම්බන්ධීකරණය කළේ බැසිල් ගේ නෝනා වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය යි.

ඇය මේ සංවර්ධන නිලධාරීන්ට පැවසුවේ මහින්ද 1% කින් නොව 2% කින් ජය ගන්නා ලෙස වාර්තාව වෙනස් කර ඉදිරිපත් කරන ලෙසයි. ඒ මහින්දගේ සිත රිදේවි යයි යන සිතිවිල්ලෙනි. (මෙම සමීක්ෂණය කළ නිලධාරියා අදටත් සංවර්ධනය නිලධාරියෙකු ලෙස මුදල් අමාත්‍යාංශයේ සේවය කරයි.)

දාම් අදින විට දාම් ලෑල්ලේ ඉත්තන් කපා ගෙන යද්දී නොවැදගත් යැය සිතන ඉත්තන් අපට මග හැරී යයි. මහින්ද ද එසේ මගහැරී ගිය ඉත්තෙකි. එල්ටීටීඊ කරගත් එකම දේශපාලන වරද වූයේ ද එයයි. ඔවුන්ට තබා එක්සත් ජාතික පක්ෂයට වත් ජනතා විමුක්ති පෙරමුණට වත් මහින්දව නිසි පරිදි තක්සේරු කරගත නොහැකි විය.

 එය රටට වාසනාවක් විය.

 එසේ සිතන්නේ වැරදිලාවත් 2005දී රනිල් ජනපති වූවා නම් අදටත් ජනාධිපති රනිල්ය.

 පක්ෂ නායකත්වයෙන් එළවා ගත නොහැකි රනිල් අම්මා මුත්තා කීවත් ජනාධිපතිකමෙන් එළවා ගැනීමට නොහැකි වනු ඇත.

 මහින්දට වරදින්නට පටන් ගත්තේ 2010 සිටය. එහි වැරදීම්වලට හේතු වූයේ ඒ ඒ පුද්ගලයන් නියමිත තැන්වල නොතැබීමේ වරද යි. හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යැයි කතාවක් තිබේ. මහින්දගේ හිත හොඳකම ම ඔහුට පාරාවළල්ලක් විය. මහින්දගේ පරාජයට ප්‍රධානම හේතුවක් වූයේ මර්වින් සිල්වායි.

 කුමන හෝ වැරැද්දක් කර අඩි ගණනක් ඈතින් සිට මර්වින් වැඳගෙන එනවිට මහින්ද සමාව දුන්නේය.

 එහෙත් මංගල සමරවීර සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට මහින්ද සෙසු ඇමතිවරුන් අරඹයා ද කටයුතු කළේ නම් 2015 දී එවැනි ඉරණමකට ගොදුරු වුණේ නැත.

 මහින්ද අතින් මාතර නව පාලම විවෘත වන විට මංගල සමරවීර හිටියේ මහින්දත් සමග ඇරගෙන අනිත් පැත්තේය.

නව පාලම විවෘත කළේ මහින්ද අතිනි. පාලම නම් කොට තිබුණේ “මහානාම සමරවීර” නමිනි. මහින්ද කිසිවිටකත් ඒ නාම පුවරුව වෙනස් කළේ නැත. 2015 බලයට පැමිණ මහින්දගේ නම දකින දකින තැන ගලවමින් ගිය තුට්ටු දෙකේ දේශපාලඥයන්ට මෙය හොඳ ආදර්ශයකි.

 මහින්දට වල කැපුවේ මහින්ද උදවු කළ මිනිසුන්මය.

 එදා මෛත්‍රීපාල සිරිසේන ව පක්ෂයේ මහලේකම්වරයා කරන්නට මහින්ද මහත් වෙහෙසක් ගති. 2015 දී ඒ මෛත්‍රීපාලම මහින්ද පරාජය කරන්නට ඉදිරිපත් විය.

 මෙවර මහ මැතිවරණයේදී මහින්දලාට තැපැල් ඡන්ද යම් ප්‍රමාණයක් අහිමිවූයේ රජයේ ඇතැම් නිලධාරීන්ගෙන් ක්‍රියාකලාපය නිසා බව අමතක කළ යුතු නැත. දැන් දැන් පරිපාලන නිලධාරීන්ගේ මාෆියාවක් හිස ඔසවමින් පවතින බවත් මහින්ද හොඳින් නිරීක්ෂණය කළ යුතුව ඇත.

 මක්නිසාදයත් පහළ මට්ටමේ නිලධාරීන් කළකිරවා සමස්ත රාජ්‍ය සේවයම බිඳ දැමීමට මේ පරිපාලන සේවා මාෆියාවට හැකියාව පවතින බැවිනි. තමන් යටතේ ඇති අමාත්‍යාංශවල නිලධාරීන් නිසි ලෙස පාලනය කරගැනීමට මහින්ද මේ වාරයේ නම් තරයේ ඉටා ගත යුතුව ඇත.

ගාමිණී සෙනරත්ගේ අතීත ක්‍රියාකලාපයන්ද මහින්ද ගේ ජනප්‍රියත්වය බිඳ දැමීමට හේතු සාධක වූ බව අමතක කළ යුතු නැත. තම සරසවි ගජයන්ට පෝලිම් පන්නා දුන් ඇතැම් උසස් වීම් ඊට ප්‍රධානම හේතුවක් විය.

ඒ අතර මහින්ද වෙනුවෙන් හිරේ ගොස් මහින්දව පාවා නොදුන් ලලිත් වීරතුංගලාත්, අනූෂ පැල්පිටලාත් තවමත් උසාවි ගානේ රස්තියාදු වෙමින් සිටින බවද අමතක කළ යුතු නැත.

 මහින්ද යනු වෘත්තාන්තයකි.

 එම වෘත්තාන්තයේ ප්‍රතිරූපයට හානි නොකර රැකගැනීම මහින්ද හමුවේ ඇති දැවැන්තම අභියෝගය යි.

 හරිය...!

(ඇට මැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්