සුනිල් ද යන්න ගියේය.
සුනිල් නියෝජනය කළේ දේශපාලන, ආගමික හා සංස්කෘතික වශයෙන් මේ රටේ බහුතරයක් දරන මතවාදයට එරෙහි මතවාදයකි.
එහෙත් සුනිල් හා එකම මතවාදය දරන වෙනකෙකු නික්ම ගියාට වඩා සුනිල් ගේ නික්ම යෑම රටට දැනේ.
එසේ වූයේ එකම පිළේ එකම මතයක් දරමින් සිටියත් පොදු ජන හදවත්වලට වඩා සමීප මිනිසා සුනිල් පෙරේරා වූ බැවිනි.

සුනිල් පෙරේරා යනු කලෙකින් පහළ වෙන අමුතුම ජාතියේ මිනිසුන් ගෙන් කෙනෙකි.
ඇටමැස්සා අද කියවන්නේ සුනිල් පෙරේරා ගේ චරිතයයි.
සුනිල් තරම් විවෘත මිනිසෙක් අපට හමුවන්නේ ඉතා කලාතුරකිනි.
සුනිල්ට ඔහු වැනිම තවත් මිනිසෙක් ඔහුගේ ජීවිතයේ දී හමුවන්නේ ය.
ඒ සුනිල් පෙරේරා ගේ පියා වූ ඇන්ටන් පෙරේරා යි.
ජිප්සීස් නමින් සංගීත කණ්ඩායමක් අදටත් ඇත්තේ ඇන්ටන් පෙරේරා නිසාය.
සුනිල් ගේ විවාහයත් අපූරු එකකි.
ඔහුට තම බිරිඳ ගීතා හමුවන්නේ ඇය සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි අවධියේය.
ගීතාගේ පියා උප පොලිස් පරීක්ෂකවරයෙකි.
සුනිල් ගේ මේ පෙම් පටලැවිල්ල නිසා ඔහුට හෝමාගම පොලිස් කූඩුවේ ළඟින්න සිදුවන්නේ ය.
මෙතැනදී පොලිස් ස්ථානයට පැමිණි සුනිල් ගේ පියා ඔහුට පවසන්නේ වාක්‍යය දෙකකි.
" උඹට මේක බඳින්න ඕන නං කියපන්...මං උඹත් එක්ක ඉන්නවා...."
" හැබැයි උඹට මේක බඳින්න ඕන නැත්තං කියපන්... ඒත් මං උඹත් එක්ක ඉන්නවා ..."
සුනිල් පසු කලෙක 'තාත්තා මට ඇනපු ටොක්ක' ගීතය ගයන්නේ ඒ තාත්තා වෙනුවෙනි.
සුනිල් මුල් කාලීනව ගායනා කළේ ආදර ගීතයි.
එහෙත් සුනිල් ගේ ගොරෝසු කටහඬට මිල්ටන් මල්වාරච්චි කෙනෙක් විය නොහැකි බව වැඩි කල් නොගොස්ම ඔහුට තේරුම් යනවා.
එතැන් පටන් ඔහු වෙනස් මගක ගමන් කිරීම අරඹනවා.
හාස්‍ය, උපහාසය, අවිචාරය, අශ්ලීලත්වය, නිර්දය විවේචනය පිරි කිසිවෙකුවත් මායිම් නොකරන මාවතක් ඔස්සේයි ඔහු මිය යන තුරුම ගමන් කරනුයේ.
සුනිල් හොඳ ඉදිරිපත් කරන්නෙක්.
ඔහුගේ ගායනාව පරයා මේ ඉදිරිපත් කිරීමේ ගුණාංගය ඉස්මතු වෙනවා.
සුනිල් ගේ ගීත වලට වඩා ඔහුගේ කට කැඩිච්ච කතා නිසා ඔහුට වෙනම මාකට් එකක් හැදෙනවා. 

සුනිල් ගේ සිංදුවලට දැනෙන සමාජ බලපෑමක් කරන්න හැකියාවක් ලැබුනේ නෑ.
සුනිල් ජොලි මිනිහෙක්.
මිනිස්සුත් සුනිල් ගේ සිංදු ජොලියට අහලා ජොලියෙන්ම අමතක කරලා දැම්මා.
සුනිල්ට හොඳ මාකටිං දැනුමක් තිබුනා.
ඔහු ආප්ප බානවා වගේ නිර්මාණ එළියට දාන්න ගියේ නෑ.
සමහර විට ඔහු අලුත් ඇල්බම් එකක් එළි දක්වන්න අවුරුදු 7-8 ක් වුවත් බලාගෙන හිටියා.
සුනිල් ගෙන් වැඩ කරගන්න බොහෝ ප්රචාරක ආයතනවලින් පුද්ගලයින් පැමිණෙනවා.
එසේ පැමිණි විට ඔහු මුළින්ම කරන්නේ මේසේ යටින් ලොකු CR පොතක් එළියට ගන්න එකයි.
ඊට පස්සේ එම පුද්ගලයා පැමිණි ආයතනයට අදාළ පිටුව පෙරළනවා.
" ඔයගොල්ලෝ මට මෙච්චර පොල්ලක් තියලා තියෙනවා "
මේ ණය පොත පෙරළලා බලලා පරණ ණය මතක් කරලා දීලා තමයි සුනිල් අලුත් ජොබ් එකට අතගහන්නේ.
සුනිල් පපුව හොඳ මනුස්සයෙක්.
ඒ පපුවේ හොඳකම නිසාම ඔහු ගොඩක් පිං අතේ වැඩ කළා.
දවසක් සුනිල් හොයාගෙන තරුණයින් පිරිසක් පැමිණියා.
ඒ ආවේ පළාතේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයකට ආධාරයක් බලාපොරොත්තුවෙන්. 

සුනිල් ගෙන් ආධාරයක් ලබාගන්නා ඔවුන් එම ප්‍රසංගය සදහා ඔහුට ආරාධනාවකුත් කරනවා.
සුනිල් කාරුණිකව එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ එදාට කලින් යොදාගත් වෙනත් වැඩක් තිබුනු නිසයි.
නියමිත දිනය පැමිණියා.
සුනිල්ට තිබූ වැඩ සටහන කල් ගියා.
කම්මැලිකම යන්නත් එක්ක සුනිල් අර තරුණයින්ගේ ප්‍රසංගය නරඹන්නට ගියා.
එවැනි ප්රසංගයක්වත්, එවැනි ක්රීඩාංගණයක්වත් ඒ පළාතේ තිබුනේ නෑ.
තමන්ට වූ ඒ රැවටීමෙන් පස්සේ සුනිල් පිං අතේ වැඩ කරන ක්‍රමය වෙනස් කළා.
දුංතෙල් බත් දන්සැල් ආධාරයක් ඉල්ලගෙන ආවොත් ඊට පස්සේ සුනිල් සල්ලි දුන්නේ නෑ.
ලොකු හැලියකට දුංතෙල් බත් උයලා දුන්නා.
බීම දන්සැලක් නම් සන්ක්වික් බෝතල් හතරයි, සීනි කිලෝ හතරයි දාලා බීම හදලා දුන්නා.
පැණි සව් දන්සැලක් නම් පැණි සව් උයලා දුන්නා.
මේ වැඩෙන් පස්සේ සුනිල් හොයාගෙන හොර සම්මාදම්කාරයෝ එන එක නතර වුණා.
වෙළෙඳ දැන්වීම් සදහා සුනිල් තරම් අත්දුටු ප්‍රතිඵල ගෙන දෙන වෙනත් හඬක් ආයෙත් නම් බිහි වෙන්නෙ නෑ.
සූර්යා ගිනි පෙට්ටියේ ඉඳන් මැගී සුප් කැටේ දක්වා පණ දුන්නේ සුනිල් ගේ හඬයි.
තම හඬින් කුණු මාළු කෑල්ලක් වුණාත් විකිණීමට හැකි බව සුනිල් දැනගෙන හිටියා.
සුනිල් එක් වරක් වොලී බැස්ටියන් ගේ ගීත යොදාගෙන ඇල්බමයක් කළා.
ඒ සඳහා වොලී බැස්ටියන් ගේ දියණියට විශාල මුදලක් ගෙවා ගීතවල අයිතිය ලබාගත්තා.
සුනිල් ගායනා කළ වොලී ගේ ගීතයක් වෙළෙඳ දැන්වීමකට ලබා ගැනීමට මීට අවුරුදු 8 කට පමණ පෙර ප්රචාරක ආයතනයකින් පැමිණියා.
එහිදී සුනිල් ඔවුන්ට පැවසුවේ මෙයයි.
" මට මේ ගීතය ගායනා කරන්න මට සම්පූර්ණ අයිතිය තියෙනවා...
මගේ ගානට අමතරව වොලී ගේ දුවට කීයක් හරි දෙන්න බලන්න...
ඒ මිනිස්සු හරි අසරණයි..."
ඒ සුනිල් ගේ හොඳ පපුවට හොඳ උදාහරණයක්.
තදින්ම බීමට ඇබ්බැහිව සිටි දක්ෂ ඩ්‍රම්ස් වාදකයකු වූ ශ්‍රීකාන්ත දසනායකව ගොඩ දාන්න වරක් සුනිල් උත්සාහ කළා.
ඒ ජිප්සීස් ශබ්දාගාරයේ ශ්‍රීකාන්තට ඩ්‍රම්ස් පංතියක් ආරම්භ කර දීමෙනුයි.
ඒත් ඒක සාර්ථක වුණේ නැත්තේ ශ්‍රීකාන්ත පංති සදහා ද බීමතින් පැමිණීම නිසයි.
සුනිල් අයිති වෙන්නෙ යූ. එන්. පී දේශපාලන කඳවුරට.
සුනිල්ට යූ.එන්.පී. ය එපා කරවන්නේ රනිල්.
සුනිල්ට දැඩි රාජපක්ෂ විරෝධයක් තිබුනා.
සුනිල් රාජපක්ෂවරුන්ට බිය වුණා.
ඒත් රාජපක්ෂවරුන් සුනිල්ට බය වුණේ නෑ.
සුනිල් ගේ ගීතවලින් දැනෙන සමාජ බලපෑමක් කළ නොහැකි බව ඔවුන් හොදින් දැනගෙන සිටියා. 

සුනිල් ගේ ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නෙ කුරුමිට්ටෝ ගීතයයි.
ජේ.ආර්. පාලන සමයේදී කුරුමිට්ටෝ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම අත් හිටවනවා.
එහිදී සුනිල්ට ඔරිජිනල් කුරුමිට්ටෝ ගීතයේ පද පේළි වෙනස් කොට ගුවන් විදුලිය වෙනුවෙන් නැවත පටිගත කිරීමක් සිදු කරනවා.
සුනිල් ගේ ගීත වැටෙන්නේ විරෝධාකල්ප ගීත ගණයට.
නන්දා මාලිනි කිව්වෙත් විරෝධාකල්ප ගීත තමයි.
මේ දෙන්නගේ වෙනස සුනිල්ගේ හඬේ හා ඔහු කළ වැඩේ තුල නන්දාට වඩා අවංකකමක් ගැබ්ව තිබීමයි.
කාලෙන් කාලෙට සුනිල් ගේ දේශපාලන ස්ථාවරයන් වෙනස් වුණා.
දිගටම මේ රට සුද්දා පාලනය කළා නම් හොඳයි කියලා සුනිල් හිතුවා.
පස්සේ කාලෙක සුද්දා වෙනුවට සුනිල් අනුර කුමාර තෝරාගත්තා.
කොරෝනා රෝගයෙන් මියයෑමට පෙර අනුර කුමාරලාගේ දේශපාලනයට කරගැසීමට යෑම නිසා සුනිල් මියගොස් තිබුණු බව ඔහු දැනගෙන සිටියාදැයි සැක සහිතයි.
කෙසේ වෙතත් සුනිල් නික්ම යන්නේ වැදගත් පණිවුඩ දෙකක් සමාජය හමුවේ තබමින්.
ඉන් පළමුවැන්න නම් මොන තරම් ජගතෙකු වුවත් දිනේ ආ පසු යන්න සිදුවන බවයි.
දෙවැන්න, කොරෝනා හමුවේ දෙවියන් වහන්සේ තබා මොන වහන්සේ කෙනෙකුට වත් කළ හැකි බම්බුවක් නැති බවයි.
(ඇටමැස්සා)
THE LEADER TV
සැලුන් දොර වෙනුවට ලොංඩරි දොර ඇරෙයි!
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට!