සුදෝ සුදු කාර් රථයේ දිරිපස මධ්‍යයට වන්නට සුදු මල් කලඹකින් ඉතා අලංකාර ලෙස සරසා තිබිණ.

එතැන් සිට ඉදිරිපස වීදුරුවේ දෙපස දක්වා ඉංග්‍රිසි ‘‘V’’ අකුරේ හැඩයට සුදෝ සුදු සාරියක් බඳු සිල්ක් රෙදි සැරසිල්ලකි. ඒ දෙකෙළවර ද සුදෝ සුදු මල්කලඹ යුගලකි. කාර් රථයට ගොඩ වනවා වෙනුවට මා අමෝද්‍ය වෙත නැඹුරු වී ඔහුගේ පපු තුරෙහි හිස සඟවාගත්තේ ය; එසැණින් ම මගේ දෙනෙත් පිරී ගලා ආ අක්දහර අමෝද්‍ය ගේ කමිසය ද කළු කබාය ද තෙත් කළේ ය. එහෙත් කිසිවක් ම නොපැවසූ අමෝද්‍ය මගේ හිසත් පිටත් පිරිමදිනු මට දැනිණ.

‘‘යං පැටියො යං...’’

සිහිනයෙන් මුමුනවා සේ දැනුණ එම වදන් පෙළට මා අවනත වූයේ කුඩා දරුවකු මෙනි. යළි මා පියවි සිහියට පැමිණියේ කාරයට ගොඩවී අසුන්ගත් පසුව ය; මා අසලින් ම අමෝද්‍ය අසුන් ගත් පසුව ය.

 

6a993ada95564a509e3f614fbb26d2f8

 

අප ගමන් ගත් කාර් රථය මිනිත්තු දහයක් හෝ ඉක්ම යන්නට මත්තෙන් මහනුවර නගරාසන්නයේ ම පිහිටි, ඉපැරණි දෙමහල් මන්දිරයක ගෘහාංගනයේ නතර විය. මා රථයෙන් බසින්නට ප්‍රථම රථය තුළ සිට ම, මා අසුන්ගෙන සිටි දකුණුපස විදුරුවෙන් අවට නැරඹී ය. ඒ මාහොතේ මට දිස් වූයේ නිවාසයෙන් අඩක් පමණි. එහෙත් ගෘහාංගනයට මඳක් ඔබ්බෙන් ටික දුරක් දක්වා විහිද තිබූ ගෘහෝද්‍යානය මගේ නෙත් සිත් පැහැරගන්නට සමත් විය. එහි එක් එක් තැනෙක නෙකෙ නෙක වර්ණයෙන් බැබළුණේ ගෘහෝද්‍යානය පුරා පැතිර පැවති සෑම ශාකයක ම මල් පිපී තිබූ බැවිනි.

‘‘බහින්න පැටියො...’’

මගේ වම් පස අමෝද්‍ය සිටින බවත්, මා පැමිණි කාරණය කුමක්ද යන්නත් මට සිහිපත් වූයේ ආමෝද්‍යගේ කටහඬ මගේ වම් සවනෙන් ඇතුළු වූ පසුව ය. මගේ මනස වෙනත් දිශාවකට ගමන් කර තිබූ බව නොහඟවන්නට මා යත්න දැරුව ද එය අසාර්ථක විය. ඒ මා නොදැනුවත්ව ම මගේ මුවෙන් ගිලිහුණ වදන් හේතුවෙනි.

428ljemtdbu5cag.optimized.thumb

‘‘හරිම ලස්සන තැනක් අමෝද්‍ය. ඇත්තට ම මට අපි ආපු වැඩෙත් අමතක වුණා.’’ යැයි මා පැවසුවේ සිතට නැගුණු ලජ්ජාව මගහරවාගැනීමේ අටියෙනි.

‘‘ආ... හරි හරි... ඒකට කමක් නෑ. ඔයා ඉතිං කොහොමත් සොබා සෞන්දර්යයට ආසයි නෙ; අනික මේ වගේ මල් උයනකට ආස නොහිතෙන්නෙ කාටද පැටියො...’’ යැයි ප්‍රහර්ෂණීය ස්මිතයකින් මුව සරසාගත් අමෝද්‍ය මගේ අතින් අල්ලාගත් බැවින් ඔහු අසුන්ගෙන සිටි පැත්තෙන් ම මම ද බැසගත්තෙමි.

 

ඔහු මගේ අතින් අල්ලාගෙන ඍජුවම ගමන් කළේ ඒ ඉපැරණි මන්දිරයේ බරාඳය වෙත ය. අපි එහි ඇතුළුවනවාත් සමග ම සුරූපි කාන්තාවක් මල් කලඹක් රැගෙන අප ඉදිරියට පැමිණියා ය. ඇය ඉතාමත් පියකරු ස්මිතයක් පාමින් මල් කලඹ මා අතට දුන්නා ය. මා ද ඇයට ප්‍රහර්ෂණාත්මක ස්මිතයක් පා මල් කලඹ මගේ අතට ගත් සැණින් ඇය මගේ දකුණතට යටින් ඇගේ වම් අත ද, ගෙලට ඉහළින් දකුණත ද යොමා මා වැලඳ ගත්තා ය. ඇය කාගේ කවුදැයි හෝ නොදන්නා මා ද ඇය වැලදගත්තේ මගේ ම වැඩැමහල් සොයුරියක් වැලඳගන්නා ආකාරයෙනි. මන් ද මේ සියල්ල සැලසුම් කළේ මගේ අමෝද්‍ය යි; ඔහු මට අවැඩක් වන කිසිවක් ම නොකරන බව මට විශ්වාස ය. එමෙන් ම මේ මොහොතේ මට මෙවන් ආශිර්වාදයක් අවැසි ම ය.

marriage

 

මගේ උණුසුමෙන් මිදුණ ඇය අමෝද්‍ය වෙත ද එවන් ප්‍රතිචාරයක් දැක්වූවා ය. ඇය අමෝද්‍යෙගන් මිදුණ සැණින් මා වෙත අවධානය යොමු කළ අමෝද්‍ය ‘‘අහිංසනා... මේ චාරුණී. අද ඔයාගෙ පැත්තට අස්සන් කරන්නෙ මෙයා. මගේ යාළුවෙකුගෙ වයිෆ්. ඒ යාළුව ම තමයි මගේ පැත්තට අස්සන් කරන්නෙ.’’ යැයි පැවසු අමෝද්‍ය චාරුණි දෙසට අවධානය යොමු කර ‘‘කෝ සමන්ත...?’’ යැයි විමසී ය.

‘‘ආ... ඉන්නව ඉන්නව... එයා තමයි කිව්වෙ මට විතරක් ඉස්සරහට ගිහින් වෙල්කම් කරන්න කියල. එන්න... යං ඇතුළට’’ යැයි පැවසූ ඇය මගේ දකුණතින් අල්ලාගෙන මා සමග නිවසේ ආලින්දය වෙත පිය මැන්නා ය; මගේ වමතින් අල්ලාගෙන සිටි අමෝද්‍යය ද ඒ සමගම ඉදිරියට ඇදිණ.

‘‘ආ... මේ ඉන්නෙ...’’ යැයි තරමක් හඬින් පැවසූ අමෝද්‍ය ‘‘අහිංසනා... මේ තමයි සමන්ත.’’ යැයි යැයි පවසා මගේ අත අතහැර ඔහු වෙත පෑ ය. දෙදෙනාට දෙදෙනා සුබ පතාගැනීමෙන් ඉක්බිති සමන්ත ඔහුගේ දකුණත මා වෙත පෑ ය. මා මගේ දකුණතතේ තිබු මල් කලඹ වමතට ගෙන සමන්තට අතට අත දුන්නේ බොහෝ කලක සිට හඳුනන පුද්ගලයෙකු වෙත දක්වන ඇල්මක් සහිතව ය. ඔහු හෝ චාරුණී පළමු වරට දුටුවේ අද නොවේ ද යන්න මොහොතකට හෝ සිහියට නොනැගිණ.

*         *          *          *          *          *          *          *          *

328290274 1271259343737570 1014726855831051148 nඅප පසු කර ඉදිරියට ඇදී ගිය හෝරාව යනු එතෙක් මගේ ජීවිතයේ වඩාත්ම ප්‍රහර්ෂයට පත්වූ නිමේෂය මෙන් ම පරිදේවිත නිමේෂය ද විය. ප්‍රහර්ෂය නම් මගේ පළමු ආදරය ම දිගුකාලින ආදරය බවට පත්කරගැනීමට ලැබීම ය; පරිදේවිතය නම් තරුණියකගේ ජීවිතයේ වටිනා ම මොහොතේ දෙමාපිය නෑ හිතවතුන් කිසිවකුගේ ආශිර්වාදය නොලැබීම ය. ‘අවම වශයෙන් දිවසත් අයියා හෝ මේ නිමේෂයේ මා අසල සිටියා නම්’ යැයි මට සිතිණ. දැන් සියල්ල සිදුවී හමාර ය. අප පසු කර ගිය තත්ත්පරයක් පිළිබඳව හෝ ළතැවීමෙන් ඵලක් නොමැත. සිතිය යුත්තේ ඉදිරියට එන මොහොත පිළිබඳව ය.

 

විවාහ ලියාපදිංචියෙන් අනතුරුව අප සිවු දෙනාම පළමුවෙන් ම පිටත්වූයේ මහනුවර නගරයේ පිහිටි පළමු පන්තියේ ඡායාරූප ශාලාවට ය. එහි දී අප දෙදෙනාගේ මංගල ඡායාරුපය ද, සමන්ත සහ චාරුණි සමග පෙනී සිටි ඡායාරුප කිහිපයක් ද ලබාගත්තේ ය. අනතුරුව නික්ම ගියේ මා හැඩගැන්වූ රුපලාවන්‍යාගාරයට ය. උදෑසන මෙන් ම මා එහි හිමිකාරියට බාර දුන් අමෝද්‍ය සම්පත් සමග පිටව ගියේ චාරුණීට මා සමග ඉන්නැයි පවසමිනි. අනතුරුව මා සැරසී සිටි මංගල ඇඳුම ඉවත් කර උදෑසන මෙහි පැමිණෙන විට ඇදගෙන පැමිණි ඇඳුමෙන් සැරසිණ. හිසකේ මෝස්තරය ද සාමානය පරිදි සැකසිණ. එය මට හැඟුණේ සිනමා නිර්මාණයකට හෝ ටෙලි නිර්මාණයක් වෙනුවෙන් සැරසී නැවත යථා තත්ත්වයට පැමිණියා සේ ය. එක් පසෙකින් එය එසේ ම නොවන්නේ ද...

විනාඩි විස්සක් පමණ ඇතුළත අමෝද්‍ය සහ සම්පත් පැමිණියේ අමෝද්‍යගේ කාර් රථයෙනි. එයින් පැහැදිලි වන්නේ ‘‘මංගල රථය’’ කුලි පදනම මත ලබාගත් රථයක් බවයි. අප සිවු දෙනා ම රුපලාවන්‍යාගාරයෙන් පිටත් වුයේ සාමාන්‍ය පුද්ගලයන් සිවු දෙනෙකු පරිදි ය. අප සිවු දෙනාගේ ඊළඟ නැවතුම වුයේ නුවර රැජින හෝටලය යි. ඒ දිවා ආහාරය සඳහා ය.

අමෝද්‍ය මේ සියල්ල නිසියාකාරව සැලසුම් කර තිබිණ. එසේ කළේ මා සමග අධිකාරිගමට පැමිණීමටත් පෙර ද, එසේත් නැතිනම් පසු ගිය දින දෙක ඇතුළත ද යන්න පවා ගැටලුවකි. එහෙත් ඒ කිසිවක් විමසා දැනගන්නට මේ මොහොත නුසුදුසු ය. ඒ සියල්ල පිළිබඳ විස්තර කතාකිරීමට අපට දැන් අවශ්‍ය තරම් කාලය ඉතිරිව පවතී.

දිවා ආහාරය ලබාගත් මොහොතේ සමන්ත වෙනුවෙන් මත්පැන් ඇනවුම් කර තිබුණ ද අමෝද්‍ය මත්පැන් පානය නොකළේ ඇයිදැයි මා විමසන්නටත් පෙර අමෝද්‍ය පැවසුවේ මේ මොහොතේ මත්පැන් පානය කළ හොත් වාහනය පදවාගෙ යා නොහැකි බවයි. සමන්තගේ පාර්ශ්වයෙන් ඊට ලද පිළිතුර වූයේ ඔවුන් පැමිණි රථය රථගාලේ නවතා ඇති බවත්, අමෝද්‍ය ගේ වාහනයෙන් එහි ගොස් එතැන් සිට චාරුණි රථය පදවාගෙන යන බවයි. එහෙත් අමෝද්‍ය මත්පැන් පානය නොකරනවා යැයි එයින් සහතික නොවුණි; ඔහු ඒ මොහොතේ එයින් වැළකී සිටියා පමණි. ඔහු විහිළුවට මෙන් පැවසුවේ නුදුරු දිනක දී: සමන්ත, චාරුණී, දිවසත් අයියා ප්‍රමුඛ තවත් යළුව යෙහෙළියන් කිහිප දෙනෙකු සඳහා කුඩා හෝ සාදයක් පවත්වන බවයි. එය පවත්වන්නේ කවදා ද, කොතැනක දි ද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් ඒ මොහොතේ නොපැවසී ය. ඇතැම් විට ඔහු මෙතෙක් ක්‍රියා කළ සූක්ෂමාකාරයෙන් ම ඒ කටයුත්ත ද කරනු ඇති බව මා විශ්වාස කළේ ය. මා පමණක් නොව සමන්ත සහ චාරුණි ද එය විශ්වාස කරන්නට ඇත.

*         *          *          *          *          *          *          *          *

Wilson 654 copy masterමගේ සහ අමෝද්‍යගේ විවාහ මංගල්‍යය සිදු වූයේ විවාහ ලියාපදිංචිකාරියගේ නිවසේ දී ම ය; ඒ සඳහා සහභාගි වූයේ සාක්ෂිකාර දෙපළ වන චාරුණී සහ සමන්ත පමණි. දැන් මට අමෝද්‍ය ද, අමෝද්‍යට මා ද නීත්‍යනුකුලව එකිනෙකාට හිමිවී ඇත. එනම් දැන් කිසිවකුට අපට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට ඉඩක් නොමැත; අප දෙදෙනාගේ කැමැත්තෙන් හැර අප දෙදෙනා වෙන් කිරීමට කිසිවකුට නොහැකි ය. ඒ බාධකය ඉවත් වීම පිළිබඳ මට අපමණ සතුටක් දැනේ. ඒ සමගම කුමක්දෝ විෂ සහිත වායු ධාරාවක් ද හදවතට ඇතුළු වේ. එම වායු ධාරාව මගේ පෙණහලු තුළට ඇතුළු වූ සැණින් එය සමස්ත සිරුර පුරා විදාරණය වන්නේ සිරුර ම දවාලමිනි. එය වළක්වාගන්නට මා කෙතරම් යත්න දැරුව ද එහි දී මා ලබන්නේ අන්ත පරාජයකි. නමුදු එළඹ තිබෙන තත්ත්වයට අනුව කළ හැකිව ඇත්තේ ඒ වේදනාව ඉවසා දරා සිටීම පමණි. ගැටලුව වන්නේ ඒ වේදනා කෙතරම් කාලයක් පවතී ද, එසේ පවතින තාක් මට එය ඉවසා දරාගත හැකිවේ ද යන්න ය.

 

*         *          *          *          *          *          *          *          *

දැන් අප පසු කර යන්නේ අප දෙදෙනා විවාහ වීමෙන් ඉක්බිති ගෙවෙන පස්වන දිනය යි. මා දැන් තරුණියක නොව ගැහැනියකි. අප මෙම නිවසට පැමිණ, විවා දිවියට එළඹෙන තෙක් අමෝද්‍ය මා තරුණියක ලෙස ම සුරැකියේ මොනයම් ම හෝ ක්‍රමයකින් මගේ මව, පියා හෝ දෙදෙනා ම පැමිණ, මොනයම්ම හෝ ක්‍රමයකින් මා රැගෙන ගියහොත් මා තරුණියක ලෙස ම ඔවුන්ට බාර දිමේ අටියෙන් බව ඔහු පැවසුවේ අප විවාහ වු දින රාත්‍රියේ ය.

‘‘ඇත්තට ම අමෝද්‍ය මගේ අම්මයි තාත්තයි ඇවිත් මාව ගෙනියන්න හැදුව නං ඔයා ඒකට ඉඩ දෙනව ද...?’’

එදින රාත්‍රියේ මා අමෝද්‍ය ගෙන් එසේ විමසුවේ ඔහුගේ අවංක අදහස දැනගැනීමේ අටියෙනි.

‘‘ම්ම්ම්... මං ඔයාගෙ ප්‍රශ්නෙට දෙන උත්තරය නිසා හිත අමනාප කරගන්නෙ නැත්නම් මං මගේ අවංක අදහස කියන්නං... ඔයා කැමති ද ඒක අහන්න...?’’

මගේ පැනයට පිළිවදන් සපයනවා වෙනුවට අමෝද්‍ය කළේ මගෙන් පෙරළා පැනයක් විමසීම ය. එයට පිළිවදන් නොසපයා අමෝද්‍යගෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි ය.

‘‘නෑ... මං හිත අමනාප කරගන්නෙත් නෑ... ඔයත් එක්ක අමනාප වෙන්නෙත් නෑ... ඔයා ඔයාගෙ අවංක අදහස කියන්න.’’

ඒ මොහොතේ අමෝද්‍ය සැපයූ පිළිතුර ඇසූ මා විස්මයට ද, වික්ෂිප්තභාවයට ද, ප්‍රහර්ෂයට ද, පරිදේවතාවට ද පත්විය. ‘දෙවියනේ...! මිනිහෙකුට එහෙම වෙන්න පුළුවන් ද...?’යැයි මට සිතිණ.

‘‘මෙහෙමයි... ඇත්තට ම මම කරේ බරපතළ වැරැද්දක් නෙ... ඒ නිසා ඔයාගෙ අම්මටයි තාත්තටයි පුළුවන් මට විරුද්ධව නීතිමය පියවර ගන්න.’’

‘‘ඒ කොහොම ද... එහෙනං එදා ඔයා කිව්වෙ මං ආවෙ මගේ කැමැත්තෙං නිසා කාටවත් මොනවත් කරන්න බෑ කියල...’’

මා පෙරළා විමසුවේ පෙර දිනයක ඔහු පැවසු දෙය ඔහුට ම අමතක වී ඇතිදැයි සැක හර දැනගැනීම සඳහා ය.

‘‘ඒ හැම එකක් ම ඇත්ත... හැබැයි ඔයා පිට රට යන්න ගිහින්, එයාපොර්ට් එකටත් බොරු කරල, එළියට ඇවිත් මාත් එක්ක යනව සීසිටීවි කැමරාවල ඇති නෙ... එතනදි ඔයාගෙ අම්මටයි තාත්ටයි පුළුවන් මම ඔයාට තර්ජනය කරල හරි එහෙම නැත්නම් වෙන බියවැද්දීමක් කරල හරි ඔයාගෙ ගමන නැවැත්තුව කියන්න.’’

අමෝද්‍ය පැවසුවේ මා කිසි සේත්ම නොසිතු කතාවකි.

 

salador dal

‘‘ඉතිං එහෙම ප්‍රශ්නයක් උනොත් මං කියනවනෙ මං ආවෙ කැමැත්තෙං කියල.’’

‘‘ඒ එහෙම කිව්වොත් නෙ...’’

අමෝද්‍ය පැවසුවේ සරදම් ස්මිතයක් ද උවනේ සිතුවම් කරගනිමිනි.

‘‘ඒ කියන්නෙ ඔයා හිතනව මං ඔයාට විරුද්ධව වැඩ කරයි කියල... එහෙම නෙහ්...?’’

මා සිතට නැගි වේදනාව ද, කෝපය ද මුසු වාග් ප්‍රහාරයක් අමෝද්‍ය වෙත එල්ල කළේ මා ද නොදැනුවත්ව ම ය.

‘‘නෑ නෑ... මං කියන දේ අහන්නකො... කොහොම වෙතත් හදිසියෙවත් එහෙම උනොත්...’’

මගේ ඉවසීමේ සීමාව ඉක්ම යාමට ආසන්නව පැවතිණ.

‘‘ඒ කියන්නෙ...’’ යැයි මා පවසත් ම මගේ මුව අතින් වැසු අමෝද්‍ය ‘‘මේ අහන්න... අපේ මේ හැම බැඳිමට ම වඩා ලේ බැඳීම බලවත්. දැං ඔයා ඔහොම කිව්වට සමහර විට ඔයාගෙ අම්මයි තාත්තයි ඇවිත් ඔයාට කතා කරානම් ඔයා ආපහු යන්නත් තිබුණ. ඉතිං... ඉතිං... ඒ වෙද්දි මං ඔයාගෙ වටිනාම දේත් අරගෙන තිබුණ නම්...’’

‘‘ඔයා මේ මොනවද කියන්නෙ අමෝද්‍ය... හුගක් වෙලාවට ඔයා මාව ගෑනියෙක් නොකර තිබුණ නම් මං ආපහු යයි කියල හිතුව ද...? නෑ... අමෝද්‍ය නෑ... ඒක කවදාවත් වෙන්නෙ නෑ.’’

මා ඒ මොහොතේ අමෝද්‍ය ගේ ළමැදේ හිස හොවාගත්තේ ඉකිබිඳිමිනි. ඒ, මා පිළිබද වේදනාවෙන් ද, අමෝද්‍ය පිළිබද වේදනාවෙන් ද යන්න පවා මට අපැහැදිලි විය.

‘‘නෑ නෑ... මං අදහස් කරන්නෙ ඊටත් වඩා බරපතළ දෙයක් අහිංසනා... අපි මෙහෙම හිතමුකො... අපි ඒ වෙද්දි කසාද බැදලත් නෑ. හදිසියෙවත් පොලිසියෙන් මාව ඇරෙස්ට් කරා නං... මගේ නමට කැළලක් වෙන්නෙ නැද්ද..., මගේ විතරක් නෙවෙයි... මගෙන් ඉගෙන ගන්න දරුවන්ට කැළලක් වෙන්නෙ නැද්ද..., මං කොහොමද ආපහු මගේ රස්සාව කරන්නෙ...? නමුත් මං ඔයා කසාද බඳිනකං ඔයාගෙ ජීවිතේ වටිනා ම දේ උදුරගත්තෙ නෑ කියල මට ඔප්පු කරන්න පුළුවන්නම් ඒක මගෙයි ඔයාගෙයි දෙන්නගෙම අනාගතේට වටිනවා. ඒකයි මං එහෙම දුර දිග බලල වැඩ කරේ... හැබැයි... හැබැයි... මං දැං නම් ඒ කිසිම දේකට බය නෑ... මොකද මං අද ඔයා නීතියෙන් ම මට අයිති කරගත්ත නෙ...’’

එසේ පැවසූ අමෝද්‍ය දැඩි ප්‍රහර්ෂයෙන් යුතුව තරයේ ම මා වෙළාගත්තේ ය.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/02/03    



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්