ප්‍රතිෂ්ඨ පැවසුවේ වදන් යුගලක් වුව ද ඒ වදන් යුගලේ බොහෝ දෑ අන්තර්ගතව තිබිණ. එය වටහාගත් බැවින්දෝ බසය ආසන්නයට පැමිණ, එයට ගොඩවීමට ප්‍රථම ප්‍රතිෂ්ඨ වෙත වඩාත් ආසන්න වූ සචේතනී ‘‘ඔයාට මාත්
එක්ක බයික් එකේ යන්න ම ඕනෙ නං අපි වෙන දවසක වෙන කොහේ හරි යං.’’ යැයි පවසා පූර්ණ ස්මිතයක් ඇගේ උවනේ සිතුවම් කරගත්තා ය.
එම වදන් කිහිපය සවනත වැටෙත් ම ප්‍රතිෂ්ඨගේ සිරුර පුරා සියුම් විදුලි දහරාවක් විදාරණය වන්නා සේ ඔහුට හැඟිණ. ඒ, ඔහු කිසිදු දිනක එබඳු වදන් වැලක් සචේතනීගේ මුවෙන් ගිලිහෙතැයි විශ්වාස නොකළ බැවිනි. එහෙත් ඔහු, ඔහුගේ සිරුර පුරා විහිද ගිය අපූරු විදුලි දහරාවෙන් ලද ආස්වාදය බිඳක් හෝ පිටතට ප්‍රදර්ශනය නොකරන්නට වගබලාගත්තේ ය; හෙතෙම කිසිවක් ම නොපවසා ඇය වෙත ද පූර්ණ ස්මිතයකින් පිළිවදන් සපයා, ඇයට බසයට ගොඩවන්නට ඉඩ හැර ඔහු දෙවනුව බසයට ගොඩ විය.
* * * * * * * * *
පෙර දිනයේ මෙන් ම අද දින ද දෙදෙනා බස් රථයේ දී සාකච්ඡා කළේ ඔවුන් අද දින පිටත්ව යන අවශ්‍ය්‍යතාව සම්බන්ධයෙනි. ප්‍රතිෂ්ඨ හට ඒ සාකච්ඡාව කෙතරම් නීරස වුව ද ඔහු ඊට සහයෝගය දැක්වූයේ හල් පිට්ටු සකසා අවසන් වන තෙක් ඉවසන්නා මෙනි. මන්ද සකසා ගැනීම කෙතරම් අසීරු වුව ද හල්පිට්ටු යනු රසවත් ආහාරයක් වන බැවිනි. ප්‍රතිෂ්ඨ ද මේ පෙරුම් පුරමින් සිටින්නේ එබඳු කටයුත්තක නියැළීම සඳහා ය. ඉදින් මෙවන් අවස්ථාවල දී ඔහුට, ඔහුගේ ඉලක්කය සපුරා ගන්නා තෙක් මතු නොව ඉන් අනතුරුව වුව ද තව දුරටත් ඉවසීමේ ප්‍රාගුණ්‍ය හෙතෙම මැනවින් පුහුණු කර ඇත.
මඳ දුරක් ඒ ආකාරයට සංවාද කරමින් ගමන්ගන්නා අතරතුර සචේතනී පෙර දා මෙන්න ම නිදි ලොවට පිවිසෙමින් සිටියා ය. ඇයට රිසි පරිදි ප්‍රතිෂ්ඨගේ සිරුර ඇගේ භාවිතයට ගන්නට ඉඩ සැලසූ හෙතෙම එහි පහස විඳිමින් ම අදින් පසු කළ යුත්තේ මොනවා දැයි යන්න පිළිබඳ කල්පනාවේ නිමග්නව කාලය සමග ගමන් කළේ ය.
* * * * * * * * *
ඇල්පිටියේ සිට ම ත්‍රී රෝද රථයක යමු යැයි සචේතනී යෝජනා කළ ද එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ප්‍රතිෂ්ඨ මැටිවිලිය මංසන්ධිය දක්වා පිටිගල බස් රථයේ ම යමු යැයි යෝජනා කළේ ය. ඒ මන්දැයි සචේතනී විමසූ විට ප්‍රතිෂ්ඨ පැවසුවේ නිරපරාදේ මුදල් වියදම් නොකළ යුතු බවත්, අද සෙනසුරාදා දවසක් වන බැවින් බස් රථවල මගීන් එතරම් නොමැති බැවින් අපහසුතාවකින් තොරව ගමන් කළ හැකි බවයි. නමුදු සචේතනී නොදුටු කරුණ වූයේ එකී යෝජනාව ප්‍රතිෂ්ඨ ඉදිරිපත් කළේ ඇය ආසන්නයේ වැඩි කාලයක් රැඳී සිටීමේ අවශ්‍යතාව මත යන්න ය.
මන්ද ඔහු මේ වන විට පසු කරමින් සිටින්නේ අසීරු ම අවධිය යි. අද දින, තවත් පැය කිහිපයකින් ඉක්බිති සචේතනීගේ ඉලක්කය, එසේත් නොමැති නම් ඇගේ අවශ්‍යතාව මල් ඵල ගැන්වේ. ඉනික්බිති තමාට සිදුවන්නේ කුමක් ද, තමා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව අදහසක් මේ වන තෙක් ප්‍රතිෂ්ඨ තුළ නොතිබිණ.
‘‘මොකද අද මේ බිල්ල වගේ බලාගත්තු අත බලාගෙන ඉන්නෙ...?’’ ඇල්පිටියෙන් පිටිගල බස් රථයට නැග මඳ දුරක් ගමන් කළ පසු සචේතනී විමසුවේ ප්‍රතිෂ්ඨගේ හැසිරීමේ කිසියම් වෙනසක් දුටු බැවිණි.
‘අහ්... මෙයාට මගේ වෙනස දැනිල ද...? ම්ම්ම්... බෑ... එහෙම වෙන්න දෙන්න බෑ...’ යැයි අදස් කළ ප්‍රතිෂ්ඨ ‘‘නෑ සචේති... මං මේ කල්පනා කරේ පොත ගලවල ස්කෑන් කරාට පස්සෙ කොහොමටත් පොත බයින්ඩ් කරන්න නෙව නෙ... ඒකට මොකද කරන්නෙ කියල’’
‘‘අම්මෝ... ඔයා හිතන දුර... ඒක ඒ වෙලාවට හාමුදුරුවො ගන්න තීරණේ එක්ක තීරණේ කරමු. කොහොමටත් ඒක බයින්ඩ් කරල දෙන්න ම වෙනව නෙ. එහෙම වුනොත් අපි වීල් එකක ටවුමට ඇවිත් පොත බයින්ඩ් කරල ගෙනිහින් දෙමු.’’ යැයි පැවසුවේ ඇය වෙනුවෙන් ප්‍රතිෂ්ඨ කෙතරම් වෙහෙසනවා ද යන්න පිළිබඳ සිත තුළ පිබිදි හැඟුම් මුදවාලමිනි. ඒ සමග ම ඇය නොදැනුවත්ව ම ඇගේ සිත ද ව්‍යාකුලත්වයකට පත්වෙමින් තිබිණ. ඒ හැඟුම් ද ප්‍රතිෂ්ඨගේ සිතෙහි තෙරපෙන හැඟුම් සමග සාම්‍යයක් පැවතිණ.
දෙදෙනා ම දෙදෙනාගේ සිත්වලට හොරා යම් දෙයක් සොයමින් සිටිති; යම් දෙයක් අහිමි වෙතැයි බියෙන් පසුවෙති; යමක් අත් හැරේවි යැයි පරිදේවනයට පත්වෙමින් සිටිති. නමුදු ඒ සියල්ල එකිනෙකාගෙන් සඟවාගන්නට දෙදෙනා ම යත්න දරති.
ඇතැම් විට මේ දෙදෙනාගේ සිතුවිලි එකිනෙකට පරස්පර විය හැකි ය. එකෙකු සිය සිරුර අභ්‍යත්රයේ නැගී එන රාගාග්නි දහර නිවා සැනහෙන්නට යත්න දරනවා විය හැකි ය. අනෙකා තම දිවිය ම වෙළාගත් පාළුව, කාන්සිය සහ තනිකම පලවා හරින්නට සුදුසු අවස්ථාවක් සොයමින් සිටිනවා විය හැකි ය. කෙසේ වුව ද දෙදෙනාගේ සිතුවිලි කිසියම් මොහොතක එකිනෙකට සම්මුඛ වන මොහොත වැඩි ඈතක නොවන බවට වන කුමක්දෝ චිත්ත ධාරාවක් දෙදෙනාට ම රහසේ දෙදෙනා අතර හුවමාරු වෙමින් පවතී. එහෙත් චිත්ත ධාරාව මධ්‍යයේ: අතින් අල්ලාගත නොහැකි, වදනින් ප්‍රකාශ කළ නොහැකි, දෙනෙතින් දැකිය නොහැකි, දෙසවනින් ඇසිය නොහැකි කුමක්දෝ බැම්මක් පවතිනවා නොවේ ද යන්න දෙදෙනාගෙන් ම දෙදෙනා විමසති. ඒ සිතුවිලි ද එකිනෙකා අතර අදෘශ්‍යමාන බලවේගයක් සේ එකිනෙකාගේ මනස් තුළ විටෙක සංකෝචනය වෙමින් ද විටෙක විදාරණය වෙමින් ද පවතී.
‘ඇත්තට ම අදිං පස්සෙ මට මෙයාව හම්බ වෙන එකක් නැද්ද..., නෑ... මට මෙයාව හම්බ වෙන්න ඕනෙකමක් තියෙයි ද..., එහෙම ඕනෙකමක් නැතත් මට බැරිද ඕනෙකමක් හදාගන්න. ඒ ඕනෙකම මොන වගේ දෙයක් වෙන්න ඕනෙ ද...? එහෙම නැත්නං...?’’
සචේතණීගේ පංචස්කන්ධය ප්‍රතිෂ්ඨගේ සිරුර ආසන්නයේ ම පැවතිය ද ඇගේ මනස සහ එතුළ පිබිදෙන සිතුවිලි තමා අසල නොමැති බව ප්‍රත්‍යක්ෂ කරගන්නට ප්‍රතිෂ්ඨ සමත් විය. එහෙත් ඒ සිතුවිලි ඔහුගේ සිතුවිලි හා සමගාමී සිතුවිලි ද ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ද යන්න දැනගැනීමේ අටියෙන් පෙළුණ ද එය ඍජුව ම විමසිය නොහැකිවාක් මෙන් ම එය සඟවාගෙන සිටීමට නොහැකි තත්ත්වය දක්වා ද ඔහුගේ සිතුවිලි වර්ධනය විය.
‘‘මෙන්න ඒ පාර මෙයා මනෝ ගහල... මොකද මේ...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ සචේතනීගේ සවිධග ඔහුගේ වමතේ මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් ඉතා මෘදු ලෙස අල්ලා ඔහු වෙත හරවාගන්නා අතර ය.
‘‘න්... නැහ්... මොනවත් නෑ... මෙ... මේ නිකං...’’
ඇය පියවි සිහියට එළඹි බව වටහාගත් සැණින් ඇගේ පිළිවදන් සැපයීම මතු නොව උවනතේ ඉරියව් ද කියා පෑවේ තිගැස්මකි. ගැහැනුන්ට මායම් සිවුසැටක් ඇතැයි මතයක් පැවතිය ද, පිරිමින්ට කෙතරම් දැයි ගණනය කර නොතිබුණ ද ඔවුන් ද සතුව පවත්නා කිසියම් මායම් ප්‍රමාණයක් අතුරෙන් එකක් පිටතට දැමූ ප්‍රතිෂ්ඨ එය ප්‍රකට කළේ මෙලෙසිනි.
‘‘නෑ නෑ... ඔයා අකමැති දෙයක් නං අවුලක් ගන්න එපා. කොහොම උනත් ඔයා එදා පුතත් එක්ක ආපු දවසෙත් මං ඔයාගෙ පොඩි වෙනසක් දැක්ක. අදත් එහෙමයි. ඒක මාත්තෙක්ක බෙදාගන්න බැරි තරම් ම පුද්ගලික එකක් නං... සොරි...’’
එම වදන් මුදා හැර අවසන් වනවාත් සමග ම සචේතනීගේ සවිධග සියුම් ලෙස ග්‍රහණයට ගෙන තිබූ ප්‍රතිෂ්ඨගේ දෑඟිලි ස්වයං ක්‍රීයව ම ඉවත් විණ. එතේ ඔහුගේ දෙනෙත් ඇගේ දෙනෙත් තුළින් ඉවතට නොගැනිණ.
‘ඔවු ප්‍රතිෂ්ඨ... මට ඔයාට කියන්න ම ඕන, ඒ උනාට කියාගන්න බැරි දෙයක් තියෙනව. ඒත් ඒක අදිං පස්සෙ දවසක හරි මං ඔයාට කියනව. මං දන්නෑ ඇයි මං ඒක ඔයාට කියන්නෙ කියල... නමුත් මගේ හිත කියනව ඔයා මොන විදියෙ කෙනෙක් උනත් ඒක ඔයාට කියන්න කියල.’
වදනින් මුදා හළ නොහැකි අදහස තම දෙනෙතේ ලියා එය කියවා ගන්නැයි දෙනෙතින් ම ආරාධනා කළ සචේතනී ‘‘න්... නෑ... ඇත්තට ම මං මේ කල්පනා කරේ... ඔයා මට මේ කරන උදව්වට මං කොහොමද ප්‍රති උපකාරයක් කරන්නෙ කියල...’’
ඇය මුසාවක් නොවන එහෙත් ඒ මොහොතේ මුසාවක් ලෙස සැලකූ වදන් කිහිපයක් මුදා හැරියා ය. යළි අවධාරණය කරන්නේ නම් ඇය වෙත ප්‍රතිෂ්ඨ ලබා දෙන සහය වෙනුවෙන් පෙරළා ප්‍රති උපකාරයක් කළ යුතු යැයි ඇය අදහස් කරගෙන සිටින්නී ය; ඒ කුමනාකාරයේ ප්‍රති උපකාරයක් ද යන්න තවමත් අවිනිශ්චිත ය. එහෙත් ඇය මේ නිමේෂයේ මුදාහළ වදන් තුළ ගැබ්ව තිබුණේ ඇගේ සිත් අඩවියේ කෙළවරක හෝ නොතිබූ සිතුවිලි මාත්‍රයකි; ප්‍රතිෂ්ඨගේ පැනයට ක්ෂණික පිළිවදනකි.
‘‘ප්‍රති උපකාරයක්...! ඒ මොකට ද ප්‍රති උපකාරයක්. නෑ මං අහන්නෙ... ඔයා කාට හරි උදව්වක් කරන්නෙ ප්‍රති උපකාර බලාපොරොත්තුවේවෙන් ද...?’’
එම වදන් පිටතට මුදා හැරුණේ සාමාන්‍ය හඬ ඉක්මවන හඬකින් නොවේදැයි ප්‍රතිෂ්ඨ හැඟුණේ සියලු වදන් වා තලයට මුසුවීමෙන් ඉක්බිතිව ය.
ක්ෂණිකව ම සචේතනීගේ දකුණතේ දබරැඟිල්ල එසවී, නතර වූයේ ප්‍රතිෂ්ඨගේ ලවන් තෙරපමිනි.
‘‘‘ස්ස්ස්... මේ බස් එක...’’
එම වදන් තරමක් රළු යැයි හැඟුණ ද සචේතනීගේ උවනතේ ඇඳී තිබුණේ පීත වර්ණයත්, ධවල වර්ණයත් මිශ්‍රිත වලාකුළක් බඳු සිත්තමකි. එමගින් සංකේතවත් වූයේ වදන් තුළ කෙතරම් රළු බවක් රැඳුණ ද එය පවසන්නියගේ හදවතේ රැඳි ආදරණීය භාවය යි.
‘‘සොරි සොරි... මගේ කටහඬත් ටිකක් සද්ද උණා නේ... මේහ්... මට ප්‍රති උපකාර කරන්න කලිං හිතන්න කොච්චර දේවල් තියෙනව ද...?’’
සමාව අයදින ස්වරයෙන් පැවසූ ප්‍රතිෂ්ඨ අවසන පැනයක් ද විමසී ය.
‘‘හිතන්න... මොනවද හිතන්න තියෙන්නෙ...?’’ යැයි සචේතනි විමසුවේ හිස මඳක් පහතට හෙළා දෙනෙත් ද මඳක් පියවාගෙන ය.
‘‘හිතන්නෙ ද...? හිතන්න ඕනෙ දැං අද අද අපි මේ වැඩේ කරගත්තට පස්සෙ...’’
‘‘ඔවු... මං මේ වැඩේ කරගත්තට පස්සෙ ඔයාගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මොකද වෙන්නෙ කියල... ඒක නෙ...
ඔහු තම අදහස ප්‍රකාශ කර අවසන් වන්නටත් පෙර සචේතනීගේ හඬ වා තලයට මුසු විය.
‘‘පිස්සු ද අනේ... නෑ මං කිව්වෙ මේ... හරි... ඒකත් හිතන්න ඕනෙ... මං දැං කියන්නෙ මේ වැඩේ කරගත්තට පස්සෙ අපි හාමුදුරුවන්ට උදවුවක් කරන්න ඕනෙ නේද කියල...?’’
සචේතනීගේ සිතුවිල්ල නිවැරැදි වුව ද තමා එසේ නොසිතන, එය එතරම් නොතකන බව හඟවන්නට යත්න දරමින් ප්‍රතිෂ්ඨ විමසී ය. ඔහු ද හදවත තුළ තෙරෙපෙන සැබෑ සිතුවිලි සහ කිසිදු ආකාරයකින් හදවතේ කෙළවරක හෝ නොරැඳි සිතුවිලි තෝරා බේරා ගැනීමට නොහැකි තරමේ ව්‍යාකුලත්වයකින් පෙළෙමින් එය සඟවාගන්නට යත්න දැරී ය.
ප්‍රතිෂ්ඨගේ සිතුවිලි නිවැරැදිව කියවා ගත්ත ද නොගත්ත ද යන්න පසෙක තැබූ සචේතනී ඔහුගේ පැනයට ප්‍රායෝගික පිළිවදනක් ඉදිරිපත් කළා ය.
‘‘ආ... ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ළඟ ඒකට විසඳුමක් තියෙනව. අපි වැඩ ටික ඉවර කරගෙන ම ඒ විසඳුම ඉදිරිපත් කරමු. මොකද හැමුදුරුවොත් එක විදිහක් නෙ...’’
ඇය සතුව පවත්නා විසඳුම හෝ අදහස කුමක් ද යන්න හෙළි නොකළ බැවින් ඒ පිළිබඳ තව දුරටත් නොවිමසිය යුතු යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ ‘‘හම්ම්ම්... ඔවු... ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනව. ඔයා ඒකට සූදානමක් ඇතුව ආව නං එච්චරයි,’’ යැයි හෙතෙම පැවසුවේ ඇගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය සපුරා ම ඇය වෙත පවරමිනි. එහෙත් ඇය එය වටහාගත්තේ කෙසේ ද...?
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/03/11
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්