ලබන සතියේ තිරගතවීමට නියමිත බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'පඨාන්' පසුගිය සති කිහිපය තිස්සේ ඉන්දියාවේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙමින් තිබේ.

 

ඒ ගැන උනන්දුව පුදුමයට කරුණක් නොවේ - ඉන්දියාවේ දැවැන්තම සහ වඩාත්ම ආදරයට පාත්‍රවන තරු අතර ඛාන් සිටියි. ජනප්‍රියත්වය සිය චිත්‍රපටවලින් ඔබ්බට ගිය ආකර්ෂණීය, හාස්‍යජනක සහ දෙස් විදෙස් මිලියන සංඛ්‍යාත රසිකයින් සිටින මෙම නළුවා නිරන්තරයෙන් බොලිවුඩයේ "වඩාත්ම වැදගත් සංස්කෘතික අපනයනය" ලෙස හඳුන්වා ඇත. ඔහුගේ රසිකයන් ඔහු ආදරණීය ලෙස හඳුන්වන්නේ 'කිංග් ඛාන්' හෝ 'බොලිවුඩයේ රජු' ලෙස ය.

පඨාන්, වසර හතරක විරාමයකින් පසු ඔහු රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය යි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ ව්‍යාජ චෝදනා [අවසානයේ එම චෝදනා ඉවත් කෙරිණි] මත පසුගිය වසරේ ඔහුගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම ඇතුලුව, ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ පසුබෑම් රැසකින් [සාර්ථක නොවූ චිත්‍රපට ගණනාවක්] පසු 57 හැවිරිදි ඔහු පුළුල් තිරයට නැවත පැමිණේ.

මෙම කාරණා නැවත ඛාන් කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට තුඩු දී ඇති අතර, ඉන්දියාවේ ජනප්‍රියම තරුවක් වන දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් ද රංගනයෙන් දායක වන එම චිත්‍රපටය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවීමට හේතු වී තිබේ.

දෙසැම්බර් මාසයේ සිට චිත්‍රපට නිෂ්පාදකයින් පඨාන්හි ගීතවල ප්‍රවර්ධන වීඩියෝ නිකුත් කිරීම ආරම්භ කළ අවස්ථාවේ, එම චිත්‍රපටය සමාජ මාධ්‍යවල තොරක් නැති කතා බහට ලක්විය.

තව ද, එහි පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ නිකුත් කෙරුණු දා සිට රසික උන්මාදය උපරිමයට පැමිණ තිබේ.

 

එය යූටියුබ්හි මිලියන 49කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇත. ට්විටර් පණිවිඩයක් මඟින් ඛාන් නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටය මිලියන 3.9ක් ද, ඊට අමතරව එහි තෙළිඟු සහ දමිළ අනුවාද මිලියන භාගයක් බැගින් ද නරඹා තිබේ.

වාර්තා පවසන්නේ, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පූර්ව ප්‍රවේශපත්‍ර අලෙවිය සඳහා "සුවිශේෂී ප්‍රතිචාරයක්" ලැබී ඇති බව ය.

 

pathaan 1

ජේම්ස් බොන්ඩ් සහ මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටවල එකතුවක් ලෙස රසිකයින් විසින් විස්තර කරන ලද චිත්‍රපටයේ වස්තු බීජය තරමක් පුරෝකථනය කළ හැකි ය.

ත්‍රස්තවාදී කණ්ඩායමක් "[ඉන්දියාවට] සිතාගත නොහැකි අන්දමේ ප්‍රහාරයකින්" ඉන්දියාව විනාශ කිරීමට උත්සහ දරයි. ඔවුන් සමග සටන් කිරීමට බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරන නමුත් වේගයෙන් කාලය ගෙවී යයි. රටේ අනාගතය අනතුරේ ය. එබැවින් ඔවුන්, ඔවුන්ගේ දක්ෂතම පුද්ගලයා ඊට යොදවයි.

"පඨාන්ගේ ගෙදර සාදයක් තියන්න තරම් ඔබ නිර්භීත නම්, මට ඔබව පිළිගන්න එන්න සිද්ධ වෙන්නේ ගිනිකෙළි සංදර්ශන එක්ක," ඛාන් පැමිණෙන විට පැහැදිලි හඬක් බැරෑරුම් ස්වරයකින් අපට කියයි.

කඩා වැටෙන හිසකෙස් සහ හැඩිදැඩි සිරුරක් සහිත සූක්ෂම ඔත්තුකරුවෙකු වන ඛාන් ආයාසයකින් තොරව සතුරන් බිම හෙළයි, ධාවනය වන වාහන මතට පනියි, අහසට උසට නැගි ගොඩනැගිලි දිගේ පහළට ගමන් කරමින්, ඒබ්‍රහම් මෙහෙයවන නපුරු බලවේගයන්ගෙන් තම රට බේරා ගැනීමට උත්සහ කරන අතරතුර කාන්තාවන් වසඟයට පත්කර ගනියි. එම රූපරාමුවලට අනුරූපී ලෙස උද්වේගකර සංගීතයක් නැගෙයි.

මිනිත්තු දෙකහමාරක පූර්ව ප්‍රචාරක පටය ව්‍යාපෘතියේ පරිමාණය ගැන දැඩි උනන්දුවෙන් කතා කරන රසිකයින් සහ විචාරකයින් එකසේ උද්යෝගයට පත්කර ඇත. රසිකයෙක් එය "පයිසා වසූල් [වැය කරන මුදලට වටිනාකමක් ඇති] අත්දැකීමක්" ලෙස හැඳින්වූ අතර, චිත්‍රපටය නිකුත් වූ වහාම එය නැරඹීමට උත්සහ කරනබව පැවසීය.

නමුත් ආරම්භයේ සිටම පඨාන් මතභේදවල තුඩු දී තිබේ.

ඛාන්ට පසුගිය කාලයේ දී මාධ්‍ය සහ විවේචකයින් සමග බොහෝ ගැටලු තිබිණි. එහෙත් ඉන්දියාවේ වර්ධනය වන ආගමික නොඉවසීම ගැන වසර කිහිපයකට පෙර ඔහු කළ ප්‍රකාශයේ සිට, හින්දු දක්ෂිණාංශික කණ්ඩායම්වලින් දිගින් දිගටම එල්ල වන ප්‍රහාර වඩාත් පෞද්ගලික හා දරුණු වී ඇත.

"ඒ අය නළුවාගේ ප්‍රතිරූපය ඔහුගේ ආගමික අනන්‍යතාව වටා ගොඩනගන්න උත්සහ කිරීමත් එක්ක එය පැහැදිලිවම වාර්ගික ගැටලුවක් ඇතිකරලා තියෙන්නේ," කතුවරයෙකු සහ චිත්‍රපට විචාරකයෙකු වන සයිබාල් චැටර්ජි පවසයි.

 

pathaan 2

 

මීට වසර කිහිපයකට පෙර තෙක් බොලිවුඩය ආගමික හා දේශපාලන භේදවලට ඔබ්බෙන් පැවති ස්ථානයක් ලෙස සැලකූ බවත්, "වැදගත් වූ එකම දෙය විනෝදාස්වාදය පමණක් වූ" බවත් ඔහු පවසයි. එහෙත්, කර්මාන්තය දැන් වඩ වඩාත් බෙදීම්වලට ලක්වී ඇති බව ඔහු සඳහන් කරයි.

"ඛාන්, සම්පූර්ණයෙන් මකා දැමිය යුතු එම අතීතයේ ඇතැම් කොටස් නියෝජනය කරන නළුවන් කීපදෙනාගෙන් කෙනෙක්. ඒ නිසයි ඔවුන්ට ඔහුව දරාගන්න බැරි."

චිත්‍රපටයේ නම වන පඨාන් [මුස්ලිම් නමක්] නිසා දැනටමත් කුපිත වී ඇති දැඩි මතධාරී හින්දු කණ්ඩායම්, එහි එක් ගීතයක් සම්බන්ධයෙන් මතභේදයක් ඇතිකර ගත්තේ පදුකෝන්, හින්දි භාෂාවෙන් 'නිර්ලජ්ජිත වර්ණය' නම් තේරුම ඇති 'බේශරම් රන්ග්' ගීතයේ කුංකුම පාට බිකිනියකින් සැරසී සිටීමෙන් පසුව ය.

 

 

ගීතය අතරතුරදී පදුකෝන් කිහිප වරක් ඇය ඇඳ සිටින ඇඳුම් පැළඳුම් මාරු කළ ද, කුංකුම ඔවුන්ගේ ආගමට සම්බන්ධ වර්ණයක් බැවින් ඛාන් හින්දු භක්තිකයන්ට අපහාස කළබවට ඔවුහු චෝදනා කළහ.

ගීතය ඉවත් නොකළහොත් චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලීම් සිදු කිරීම, විරෝධතාකරුවන් දැන්වීම් ඉරා දමා ඛාන්ගේ අනුරූ පුළුස්සා දැමීම, හින්දු ප්‍රජාවගේ හැඟීම් රිදවන බවට නළු නිළියන්ට චෝදනා කරමින් අධිකරණයට පෙත්සමක් ගොනු කිරීම සහ චිත්‍රපටය නිරුවත සහ අසභ්‍ය බව ප්‍රවර්ධනය කරන්නේයැ යි චෝදනා කිරීම සිදුවී ඇත.

පාඨාන් වර්ජනය කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති අතර සමාජ මාධ්‍යවල අපවාදාත්මක හැෂ්ටැග්ස් ප්‍රචලිත වී තිබේ.

පඨාන් චිත්‍රපටය නිකුත් කිරීමට ඇත්තේ දින කිහිපයක් නමුත් ඛාන් සහ චිත්‍රපට නිෂ්පාදකයින් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට මතභේද මගහරිමින් සිට ඇත.

ෆිෆා ලෝක කුසලානය අතරතුර, පාපන්දු ක්‍රීඩක වේන් රූනි, නළුවා [ඛාන්] සමග කෙටි ප්‍රවර්ධන වීඩියෝවක පෙනීසිට හින්දි භාෂාවෙන් ඛාන්ට පසුව මෙසේ පුනරුච්චාරණය කළේ ය: "අප්නි කුර්සි කී පේටී බාන්ධ් ලෝ, මෝසම් බිගඩ්නේ වාලා හේ [ඔබේ ආසන පටි තද කරන්න, කාලගුණය කැළඹීමට ආසන්න යි.]"

 

burj

 

එසේම, බුර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස මත ප්‍රක්ෂේපණය කරන ලද පාඨාන්හි පූර්ව ප්‍රචාර පටය විශාල රසික පිරිසක් ප්‍රීති ඝෝෂා නගමින් නැරඹූ ඩුබායි වෙත මෙම සතිය මුලදී ඛාන් ගියේ ය.

 

pathaan 3

නළුවාගේ [ඛාන්ගේ] කීර්ති නාමයේ සිට චිත්‍රපටයේ රුපියල් බිලියන 2.5ක (ඩොලර් මිලියන 30; පවුම් මිලියන 25) අයවැය දක්වා බොහෝ දේ අවදානමට ලක්ව ඇති අතර, ඇතැමුන් ඔවුන්ගෙන්ම ප්‍රශ්න කරන්නේ, සෘණාත්මක ප්‍රකටත්වය චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපෑ හැකි ද යන්න ය.

එය චැටර්ජි එකඟ නොවන තක්සේරුවකි.

"ඛාන් නිකම්ම නළුවෙක් නෙවෙයි, බොහෝ විට අපිට රටේ හිටපු දැවැන්තම, සහ නිසැකයෙන්ම බොලිවුඩයේ සන්නාමයක්," ඔහු පවසයි.

'Desperately Seeking Shah Rukh Khan' නම් ග්‍රන්ථයේ කතුවරිය වන ශ්‍රයනා භට්ටාචාර්ය පවසන්නේ, ඔහුගේ රසිකයන් "ඔහු කිසි විටෙකත් ආගම හෝ දේශපාලන ගණනය කිරීම් වලින් පහත්කොට නොසලකන බව" ය. "ඔවුන් ඔහුව කාලයකින් තිරයේ දකින නිසා ඔවුන් පාඨාන් පළමු දිනයේ පළමු දර්ශනය නරඹාවි," ඇය සඳහන් කළා ය.

නමුත් වසර හතරක විරාමයකින් පසු පුළුල් තිරයට නැවත පැමිණීම සඳහා ඛාන්ට 'spy-thriller' ශානරය සුදුසුදැ යි ඇතැම්හු විමසති.

ආදරය, එහි භාෂාව, චපල බව සහ ඒ සමග ඇති වන කාංසාවන් මුළු පරම්පරාවකට ම නිර්වචනය කළ නළුවෙකු ආකාරයෙන් ඛාන්ගේ නම ප්‍රේමණීය වීරයෙකු ලෙස ජනප්‍රිය විය. එමෙන්ම, ඔහුගේ රසික පිරිසේ වැඩි කොටසක් වන කාන්තාවන්, ඔහු ක්‍රියාදාම වීරයෙකු ලෙස දැකීමට උනන්දු නොවනු ඇත.

දින කිහිපයකට පෙර, නළුවා [ඛාන්] පැවසුවේ තමාට සෑම විට ම ක්‍රියාදාම වීරයෙකුවීමට අවශ්‍යවූ බවත්, ඒ නිසා පාඨාන් "මට සැබෑ වූ සිහිනයක්" බවත් ය.

චැටර්ජි පවසන්නේ, ඔහුට චිත්‍රපටය ගැන "යම් සැකසහිත හැඟීම්" ඇති නමුත් එය "සාහසික අදහසක්" බව ය.

වසර ගණනාවක් පුරා නළුවා [ඛාන්] 'මයි නේම් ඉස් ඛාන්', 'චක් දේ ඉන්ඩියා' සහ 'ලව් යූ සින්දගී' වැනි විවිධ ආකාරයේ චරිත රඟපාමින් පිටපත් අත්හදා බැලීම්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ, පාඨාන් සමග ඛාන් පැහැදිලිවම "රාමුව බිඳ දමන" බව ය.

"ඒත් ඔහුගේ වෘත්තීය ජීවිතයේ මේ අවස්ථාවේ දී ඔහුට එය කිරීමට හැකියාවක් තියෙනවා. ඔහු නිර්භීතයි වගේම, ඔහු අත්හදා බැලීම් කරමින් ඉන්නේ. ඔහුට නැතිවෙන්න දෙයක් නැහැ."

එසේම, අවදානම ජයගත්තත් නැතත්, එක් දෙයක් නම් ස්ථිර ය: "ඔබ ෂාරුක් ඛාන් චිත්‍රපටයක් මඟහරින්නේ නැහැ," ඔහු පවසයි.

 

(BBC සිංහල)


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්