බොහෝ අඹු-සැමියෝ ඔවුන්ගෙන් එක් අයෙකු දරාගත නොහැකි ශබ්දයකින් ගොරවන අවස්ථාවලදී වෙන ම කාමරවල නිදා ගැනීමට තීරණය කරති


ඒ සියල්ල ආරම්භ වූයේ කොවිඩ්-19 වසංගතයෙන් පසුව ය.

ගොරවන ශබ්දය දරාගත නොහැකි වූ සිසිලියාට* නින්දට වැටීමට නොහැකි විය.

ඇය තම සහකරු තල්ලු කරමින් ඔහුව පෙරළීමට උත්සහ කළේ, ඔහුගේ ගෙරවීම නවත්වන අභිප්‍රායෙනි.

නමුත් එය නිෂ්ඵල විය.

35 හැවිරිදි ඇයට තවදුරටත් එය දරාගත නොහැකි විය. ඔවුන් ඔවුන්ගේ තීරණයට පැමිණියේ එලෙස ය: ඔවුන් එතැන් සිට එක ම කාමරයක එකට නිදා ගත්තේ නැත.

"මට මගේ වැඩවලට අවධානය දීලා වැඩ කරගන්නත් බැරි වුණා; දවස ම මට හරි මහන්සියි. දවසක් දෙකක් ඒක දරා ගන්න පුළුවන්. හැබැයි දිගට ම ඒක කරන්න බැහැ," සිසිලියා බීබීසීයට පවසන්නේ ඇය වසර කිහිපයක් ජීවත් වූ ලන්ඩනයේ පිහිටි ඇගේ නිවසේ සිට ය.

"ඒක පහසු විකල්පයක් වුණේ නැහැ. ඒකෙන් තරමක් අපේ හදවත් බිඳුණා. හැබැයි අපිට නිදාගන්න පුළුවන් කියන එක අවබෝධ වුණාට පස්සේ, මට දැනුණේ සතුටක්," ඇය සඳහන් කරයි.

සිසිලියා සහ ඇගේ 43 සහකරු, "සයනයේ දික්කසාදය" නම් සිරිතකට අනුගත වී තිබේ.

"සයනයේ දික්කසාදය කියලා කියන්නේ, මුලින් ම තාවකාලිකව කරන දෙයක්. හැබැයි ඒ ජෝඩුව පස්සේ තේරුම් ගන්නවා එයාලා තනියම ඉන්නකොට හොඳට නිදාගන්න පුළුවන් කියලා," එක්සත් ජනපදයේ මැක්ලීන් රෝහලේ මනෝ වෛද්‍යවරියක වන ස්ටෙෆනි කොලියර් පවසයි.

"සාමාන්‍යයෙන්, මේකට හේතු සෞඛ්‍යයට සම්බන්ධයි... ඒවා ඇති වන්නේ පුද්ගලයෙකු ගොරවන, කකුල් පද්දන, නින්දෙන් ඇවිදීම හෝ වෛද්‍ය හේතු මත බොහෝ විට නිතර මුත්‍රා කිරීමට යන නිසා. ඒ නිසා එයාලා දඟලනවා, පෙරළෙනවා සහ ඒක අනෙක් කෙනාට කරදරයක්," ඇය බීබීසීය හා පවසයි.

fam 1
සහස්‍රකයන් අතර ජනප්‍රිය වන ප්‍රවණතාවක්

පසුගිය වසර අවසානයේදී, සුප්‍රසිද්ධ ඇමෙරිකානු නිළියක වන කැමරන් ඩයස් 'ලිප්ස්ටික් ඔන් ද රිම්' පොඩ්කාස්ට් වැඩසටහන වෙත පැවසුවේ, ඇය සහ ඇගේ සැමියා එක ම කාමරයේ නොනිදන බව ය.

"ඒ වගේ ම මම හිතන්නේ අපි වෙන ම නිදන කාමර පාවිච්චි කරන එක සාමාන්‍යකරණය කළ යුතු යි," ඇය තවදුරටත් පැවසුවා ය.

මෙම හෙළිදරව්ව සමාජ මාධ්‍යවල දහස් ගණනක ප්‍රතිචාර දැක්වීම්වලට ලක් වුව ද මාධ්‍යවල විවිධාකරයේ ලිපි පළ වීමට තුඩු දුන්න ද එම සිරිත අනුගමනය කරන්නේ මෙම හොලිවුඩ් තරුව පමණක් නොවෙයි.

American Academy of Sleep Medicine (AASM) විසින් 2023 වසරේදී කරන ලද අධ්‍යයනයකට අනුව, එක්සත් ජනපදයේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගැනීම සඳහා තම සහකරුවන්ගෙන් වෙන්ව ඉඳහිට හෝ නිතිපතා වෙන ම කාමරවල නිදා ගන්නා බව වාර්තා කළහ.

මෙම ප්‍රවණතාව “සහස්‍රකයින්” (දැනට ආසන්න වශයෙන් අවුරුදු 28ත් 42ත් අතර වයසේ පසුවන පරම්පරාව) අතර ඉහළ ගොස් ඇති බව එම අධ්‍යයනයෙන් හෙළි වේ. එහිදී අඩක් (43%ක්) ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් තම සහකරුගෙන් වෙන්ව නිදා ගන්නා බව ය.

අනෙකුත් වයස් කාණ්ඩ, එනම් X පරම්පරාවේ (1965 සහ 1980 අතර උපත ලැබූ) 33%ක්; ඉන් පසුව Z පරම්පරාවේ (1997 සහ 2012 අතර උපත ලැබූ) 28%; සහ අවසාන වශයෙන් ඉහළ උපත් අනුපාතිකයක් තිබුණු පරම්පරාවේ (1946 සහ 1964 අතර උපත ලැබූ) 22%ක් වෙන්ව නිදා ගන්නා බව සඳහන් කළහ.

"තරුණ පරම්පරාවන් එසේ කිරීමට වැඩි නැඹුරුවක් තියෙන්නේ ඇයි ද කියලා දන්නේ නැති වුණාට උපකල්පන කිහිපයක් තියෙනවා. එකක් තමයි, වෙන ම නිදාගැනීමේ අදහස වටා ඇති ඍණාත්මක සමාජ ආකල්ප අඩු වීම. ඒක සංස්කෘතිකමය වෙනසක්. එයාලා හිතන්නේ: 'මට හොඳ නින්දක් ලැබුණොත්, මට හරි සනීපයක් දැනෙනවා. ඉතින් ඇයි එහෙම නොකර ඉන්නේ,'" වෛද්‍ය කොලියර් පවසයි.

fam 2
ඉතිහාසය පුරා ම මෙම අදහස වෙනස් වී ඇත.

ඇතැම් ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ, යුගල ඇඳ (matrimonial bed / double bed) යනු, නවීන සංකල්පයක් වන අතර කාර්මික විප්ලවයත් සමග මිනිසුන් ජනාකීර්ණ ප්‍රදේශවල පදිංචියට ගිය අවස්ථාවේ එහි භාවිතය වැඩි වූ බව ය.

නමුත් 19 වන සියවසට පෙර විවාහක යුවළ වෙන්ව නිදාගැනීම සාමාන්‍ය දෙයක් විය.

"සමාජ ආර්ථික මට්ටම ඉහළ යාමත් සමග ඒක හැම තැනක ම වගේ දකින්න පුළුවන් වුණා. රාජකීය පවුල්වල සාමාජිකයින් නිදාගත්ත විධිය ඔබට දකින්න පුළුවන්," චිලීහි කතෝලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ ස්වප්න විද්‍යාව පිළිබඳ විශේෂඥවරයෙකු (somnologist) වන පැබ්ලෝ බ්‍රොක්මන් පවසයි.

එහි ඇති වාසි මොනවා ද?

වෙන ම කාමරවල නිදා ගැනීමට තීරණය කරන අඹු-සැමියන් සඳහා වාසි කිහිපයක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

"ප්‍රධාන වාසිය තමයි ඔවුන්ට නිතිපතා වගේ ම ගැඹුරු නින්දක් ලබා ගැනීමට හැකි වීම. හොඳ නින්දක් ලබා ගැනීම සමස්ත යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්," වෛද්‍ය කොලියර් පවසයි.

"පුද්ගලයෙකුට නින්ද යන්නේ නැත්නම්, ඒක ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණයේ සිට ශාරීරික ක්‍රියාකාරිත්වය දක්වා සෑම දෙයකට ම බලපානවා. ඊට අමතරව, ඔබ ඉක්මනින් කෝපයට පත් වෙනවා සහ ඉවසීමේ හැකියාව නැති වෙනවා. යම් ආකාරයක විෂාදය තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්," ඇය සඳහන් කළා ය.

මනෝ වෛද්‍යවරිය විශ්වාස කරන්නේ, "සයනයේ දික්කසාදය" "සෞඛ්‍ය සම්පන්න" සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ද උපකාරී වන බව ය.

"අපි දන්නවා අඹු-සැමි යුවළ, ඔවුන් හොඳින් විවේකයක් නැතිව ඉන්න අවස්ථාවලදී බහින්බස් වීම් නිතර ඇති ඇති වෙනවා, ඒ වගේ ම නිතර කෝපයට පත් වෙනවා සහ සහකම්පනය නැති වෙලා යනවා," ඇය පවසයි.

fam 3
පෙනහළු පිළිබඳ විශේෂඥවරියක සහ AASMහි ප්‍රකාශිකාවක වන සීමා ඛොස්ලා මෙම කරුණට සමග එකඟ වේ.

"දුර්වල නින්දක් ලැබීම ඔබේ මනෝභාවය නරක අතට හැරිය හැකි බව අපි දන්නවා. නින්ද මදිකමින් පීඩා විඳින අය තමන්ගේ සහකරුවන් සමග නිතර බහින්බස්වීම් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම, නින්ද කඩාකප්පල් කරන පුද්ගලයා කෙරෙහි යම් අමනාපයක් ඇති වෙන්න පුළුවන් වගේ ම ඒක සබඳතාවලට අහිතකර ලෙස බලපාන්න පුළුවන්, "AASM විසින් "සයනයේ දික්කසාදය" පිළිබඳ අධ්‍යයනය ආරම්භ කරන අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ය.

"සෞඛ්‍යය සහ සතුට යන දෙකට ම හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා සමහර අඹු-සැමි යුවළ ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම සඳහා වෙන්ව නිදා ගැනීමට තෝරා ගැනීම පුදුමයක් නොවේ," ඇය තවදුරටත් පැවසුවා ය.

තම වර්තමාන සහකරු නොමැතිව වෙනත් කාමරයක නිදා ගැනීමට ගත් තීරණය, "සිසිලියාගේ ජීවිතය වෙනස් කළේ ය."

"ඒක හරි ම සුවපහසුයි. වඩා හොඳින් නිදා ගැනීමට හැකි වීම හරි ඇඳේ වැඩි ඉඩක් තිබීම, අන් අයට කරදරයක් නොවන විදිහට හැරීමට හැකි වීම යන කාරණය…" ඇය පවසයි.

"ඒ වගේ ම, ඔබ ඔබේ සහකරුත් එක්ක ම අවදි වෙන්න ඕනේ නැහැ. ඔබට අවශ්‍ය වෙලාවට ඔබට අවදි වෙන්න පුළුවන්."

අවාසි මොනවා ද?

වඩාත් ම පැහැදිලි අවාසිය නම්, මේ සඳහා අමතර ඇඳක් සහ බොහෝ විට අමතර කාමරයක් අවශ්‍ය වීම ය. එබැවින් බොහෝ අඹු-සැමියන් සඳහා එය විකල්පයක් නොවේ.

නමුත් එය සිදු කළ හැකි වුව ද, මෙම තීරණය ද යම් ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි ය. විශේෂඥයන් පවසන පරිදි, බොහෝ අඹු-සැමියෝ සමීපත්වය අහිමි වීම ගැන කනස්සල්ලට පත්ව සිටිති.

"මගේ සහකරුවත් එක්ක තියෙන සම්බන්ධයේ කිසියම් වෙනසක් වෙලා කියලා මට හිතෙනවා," සිසිලියා පිළිගනී.

"සම්බන්ධතාව, සමීපභාවය ඒකෙන් බලපෑමට ලක් වෙනවා. ඒත් ඒක ඒ තරම් බරපතළ දෙයක් නෙවෙයි. මම හිතන්නේ, ඒකෙන් ලැබෙන වාසිය ඊට වඩා ඉහළයි," ඇය සඳහන් කළා ය.

වෛද්‍ය කොලියර් පැහැදිලි කරන්නේ, පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරතවන බොහෝ පුද්ගලයින් තම සහකරු හෝ සහකාරිය සමග සම්බන්ධ වන මොහොත හරියට ම ඔවුන් නින්දට යන මොහොත බව ය.

"ඒ නිසා, එක් විසඳුමක් තමයි ඔවුන් එකට ගත කරන කාලය ප්‍රශස්තව ගත කිරීම," ඇය පවසයි.

fam 5
මේ අතර, ආචාර්ය බ්‍රොක්මන් පවසන්නේ මෙම "සයනයේ දික්කසාදය" සෑම අඹු-සැමි යුවළකට ම ප්‍රායෝගික නොවන බව ය.

"යුවළක් විදිහට නිදාගැනීමේ යම් යම් ජීව විද්‍යාත්මක ප්‍රතිලාභ තියෙනවා. බොහෝ දෙනෙකු ඒ සම්බන්ධතාව ඇති ක‍ර ගන්නේ මනෝමය වශයෙන්. මේක මානව වර්ගයා තුළ තියෙන ප්‍රාථමික දෙයක්. උදාහරණයක් විදිහට, අම්මා කෙනෙක් සහ දරුවෙක් ගත්තොත්, ඒ දෙන්නගේ බැඳීම හැදෙන්නේ මව් කිරි දීමේ ක්‍රියාවලියේදී. ඒකත් එක්ක අම්මට ත් දරුවටත් ම විවේක ගන්න ඉඩ හැදෙන, සමාන නිදි චක්‍ර ඇති වෙනවා."

"සමහර අධ්‍යයන තියෙනවා, අවුරුදු ගාණක් එකට නිදාගන්න අඹු-සැමි යුවළ ඒ අය එකිනෙකා සමග සම්බන්ධ වීමත් එක්ක නින්දේ එක එක අවධිවලට ගැඹුරින් සමවදින්න පුළුවන් වීම ගැන පෙන්වලා දෙන. මේකත් එක්ක ඔබ ඔබේ නින්දේ ගුණාත්මක බව වැඩි කර ගන්නවා," ස්වප්න විද්‍යාව පිළිබඳ විශේෂඥවරයා පවසයි.

කෙසේ වෙතත්, යුවළක් "සයනයේ දික්කසාදය" උත්සහ කිරීමට තීරණය කළහොත්, අනුගමනය කළ යුතු නිර්දේශ කිහිපයක් ඇතැයි විශේෂඥයෝ පවසති.

"මේක එක්කෙනෙකුට ඕනේ වෙලා අනිත් කෙනාට එපා වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොක ද එහෙම වුණොත් හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන් නිසා," වෛද්‍ය කොලියර් පවසයි.

ආචාර්ය බ්‍රොක්මන් ඊට එකඟ වේ.

"ගෙරවීම, නින්දෙන් ඇවිදීම හෝ කකුල් පැද්දීම වගේ ගැටලු තියෙන අයට මේක අමාරු වෙන්න පුළුවන්. මොක ද [වෙන ම ඇඳක නිදාගන්න] අකමැති අයත් ඉන්නවනේ... සාමාන්‍යයෙන් පිරිමි ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ," ඔහු පවසයි.

ඇතැම් අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ, අවම වශයෙන් සමහර රටවල මෙම ප්‍රවණතාව ජනප්‍රිය වෙමින් පවතින බව ය.

එක්සත් රාජධානියේ, National Bed Federation විසින් එකට ජීවත් වන (live together) බ්‍රිතාන්‍ය යුවළ අතරින් හයෙන් එකක් (15%) පමණ දැන් වෙන්ව නිදා ගන්නා බව 2020 වසරේදී සොයා ගනු ලැබ ඇත. ඔවුන් අතරින් 10 දෙනෙකුගෙන් නව දෙනෙක් (89%) වෙන ම කාමරවල නිදති.

2009 වසරේදී The Sleep Council විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, 10 දෙනෙකුගෙන් (7%) එක් යුවළකටත් වඩා අඩු ගණනක සඳහා වෙන් වෙන්ව ඇඳන් පැවති බව ය. "පසුගිය දශකය තුළ වෙන ම නිදාගැනීමේ අනුපාතය දළ වශයෙන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව මෙයින් ඇඟවෙයි," යනුවෙන් The Sleep Council සොයා ගත්තේ ය.

කවුරුන් කොහේ නිදා ගන්නේ ද යන කාරණා අතින්ගත් කල, ප්‍රේම සබඳතා ඇති බොහෝ දෙනෙකු වැඩි වශයෙන් හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව පෙනේ.

*සිසිලියා යන අන්වර්ථ නාමය භාවිත කර ඇත්තේ, ඇය ඇයගේ අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ බැවිනි.

(ෆර්නෑන්ඩා පෝල්)
Role, බීබීසී ලෝක සේවය
24 පෙබරවාරි 2024

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්