සෞඛ්ය අමාත්යාංශයට ප්රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන සිද්ධියේ විමර්ශන නිලධාරියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතා හරස් ප්රශ්නයකට පිළිතුරු දෙමින් සිටියදී නීතිඥවරයා මේ බව ප්රකාශ කළේය.
හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි එම නඩුවට අදාළව පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා වැඩිදුරටත් හරස් ප්රශ්න සාක්ෂිකරුට යොමු කළේය.

"10v53 සහ10v63 යන මිනිට් සටහන්වල තියෙන දින හා වේලාවේදී 8වන චූදිත සෞඛ්ය අමාත්යාංශයේ නොසිටි බවට යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්රතික්ෂේප කරන බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගී වූ අය සහ මිනිට් සටහන් සකස් කළ අයගේ සාක්ෂි ලබාගත් අතර ලබාගත් බව සාක්ෂිකරු ප්රකාශ කළේය.
එහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය අදාළ ප්රශ්නය අනීතික ප්රශ්නයක් බවට ප්රකාශ කරමින් විරෝධය පළ කළාය
පැ 401 ලෙස ලකුණු කර ඇති ලිපියේ හත්වන චූදිත විසින් කළ සදහනක් ඇතුළත්ව තිබෙන බවද එහිදී අටවන චූදිත විසින් පැවති රැස්වීමකදී ලබාදුන් උපදෙස් පිළිබඳව සඳහන් වන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී නීතිඥවරයා "මෙම ලේඛනය හැර වෙනත් සටහනක් 2023 /03/27 දින රැස්වීමක් පැවැති බවට අනාවරණයක් වුණාද ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම ලිපිය හත් වන චූදිත විසින් යවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.
එහිදී ගොනු හතරක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා "එම සියලුම ගොනු දහවන චූදිත ගෙන් ලබා ගත් බවට ඔබ සඳහන් කළා.?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 2023/12/19 ඒ අතරින් ගොනු දෙකක් ලබාගත් අතර අනික් ගොනු මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයක් අනුව ලබා ගත් බවය.
'මේ එක ගොනුවක්වත් අටවන චූදිතට යොමු වූ බව අනාවරණය වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ කැබිනට් සංදේශයට අදාළ ඇමුණුම් යොමු වූ බව අනාවරණය වූ බවය.
"මෙම ගොනු 8 වන චූදිතට යොමු වූ බවක් අනාවරණය වුණාද ?"යනුවෙන් නීතිඥවරයා නැවත වරක් විමසා සිටි අවස්ථාවේදී මෙම ගොනු යොමු වූ බව අනාවරණය නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය. එහෙත් කැබිනට් සංදේශය හා ඊට අදාළ ඇමුණුම් යොමු වූ බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
නීතිඥවරයා: 2024/02/02 දින රාත්රි 8ට අටවන චූදිත අත්අඩංගුවට ගත් බව ඔබ ප්රකාශ කළා.
සාක්ෂිකරු: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකළා.
නීතිඥවරයා: ඊට පෙර පැය 11ක් ඔහුගෙන් ප්රකාශ ගත් බව සඳහන් කළා
සාක්ෂිකරු : අත්අඩංගුවට ගැනීමට පෙර ප්රකාශයන් ලබාගත්තා.
නීතිඥවරයා: ඒ අවස්ථාවේදී ඔබ කිව්ව ද ඔහු සැකකරුවෙකු බව?
සාක්ෂිකරු: විමර්ශනයට අදාළව ප්රශ්න කළා. එහිදී ඒ බව කිව්වේ නෑ. 2023/10/10 ලේඛන පෙන්වා සටහන් කළා. කැබිනට් සංදේශය සහ විමර්ශනයේදී අනාවරණය කර ගත් කරුණු පෙන්වා ප්රකාශය සටහන් කර ගත්තා.
නීතිඥවරයා: ඒ වන විට ඔහු අත් අඩංගුවේ නෙමෙයිනෙ හිටියේ? ප්රකාශ ගන්නා විට සැකකරුවෙක් නොවෙයි?
සාක්ෂිකරු: විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව අත්අඩංගුවට ගැනීමක් කළා.
නීතිඥවරයා: ලේඛන පෙන්වා ප්රශ්න කළාද?
සාක්ෂිකරු: ඒ ලේඛන සම්බන්ධයෙන් ඔහු ක්රියා කළ ආකාරය සම්බන්ධයෙන් තමයි ප්රකාශය සටහන් කරගත්තේ .එම කරුණු පසුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පැය 20 ට ඔහු අත්අඩංගුවට ගත්තා.
"එදින විවේකයන් දෙකක් ලබා දුන් බව කිව්වා. අනතුරුව ඔහුව උප සේවයට භාර දුන්නා ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමෙන් පසු උප සේවයට භාර දීමක් සිදුකළ බවය.
ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකයේ දෛනික සටහන් පොතේ පිටු අංක 96-100 දක්වා සඳහන් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
අටවන චූදිත දියවැඩියාව සහ ග්රැස්ටයිටිස් රෝගයට ප්රතිකාර ලබා ගන්නා බව සඳහන් කිරීමෙන් අනතුරුව ඔහුට ඖෂධ ලබා දුන් බව සාක්ෂිකරු කියා සිටියේය.
"අත්අඩංගුවට ගන්නා සටහනේ 2024 /01/30 දිනැති නීතිපති දුන්න උපදෙස් ප්රකාරව පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි වලට අදාළව අටවන චූදිත අත්අඩංගුවට ගන්නා බව සඳහන් වෙනවා?යනුවෙන් නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු" ස්වාමීනී, මෙම ප්රකාශ ගැනීමෙන් අනතුරුව සෞඛ්ය අමාත්යාංශයට ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ රිටොප්සිමැබ් ඖෂධ ලබා ගැනීමට ආධාර අනුබල ලබා දීම සහ මුදල් සාවද්ය පරිහරණය කිරීමට කුමන්ත්රණයක් කළ බවට අනාවරණය වුණා. විමර්ශනයේදී අනාවරණය වූ කරුණු ගැන තමයි එහිදී සඳහන් කළේ" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.

'ඒ ලිපිය අත්සන් කර තිබුණේ කවුද?" යනුවෙන් නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී " එවකට නීතිපති සංජය රාජරත්නම් මහතාගේ නම එහි සඳහන්ව තිබූ බව මතකයි. අත්සන සම්බන්ධයෙන් මතකයක් නෑ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"එහි තබා තිබූ අත්සන කාගේද?" යනුවෙන් නීඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්රශ්නයට විරුද්ධත්වය පළ කරන බව ප්රකාශ කළාය.
නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීමෙන් අනතුරුව අත්සන් යෙදීමක් පිළිබඳව ප්රශ්න කළ නොහැකි බව ඇය සඳහන් කළාය.
නීතිඥවරයා :ප්රකාශය සටහන් කර ගැනීමට හා වෙලාවේදී 8 වන චූදිත අත්අඩංගුවට ගන්නා බව කිව්වේ නෑ?
සාක්ෂිකරු: ප්රකාශයේදී ඔහු වරදක් කර ඇති බව අනාවරණය කර ගත්තා. ඒ වරද කියවා දී අත්අඩංගුවට ගැනීම කළා.
නීතිඥවරයා: 2024.04.05 දින මින්දුලී ජයමාන්නගේ ප්රකාශය සටහන් කර තිබෙනවා?
සාක්ෂිකරු එහෙමයි ස්වාමීනි
එම හරස් ප්රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වන වෛද්ය තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත අරියරත්න මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න විමසීමක් සිදු කළේය.
එහිදී නීතිඥවරයා "දීර්ඝ කාලයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළා . ඔබ කිව්වා මෙම විමර්ශනවලට අදාළ සමහර ලේඛන ඔබේ භාරයට ගත්තේ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ නියෝග මත බව" යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා 75 ගොනුවේ 79 පිටුවේ ඇතුලත් ලේඛණය ලබා ගත්තේ කොහෙන්දැ"යි ප්රශ්න කර සිටියේය.
එය මාලිගාකන්ද අධිකරණයේ නියෝගයකට අනුව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයාගෙන් ලබාගත් ලිපියක් බවට සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේ දී "අධිකරණ නියෝග ප්රකාරව රාජකාරී මට්ටමින් පෞද්ගලිකව ලබාගත් ලිපියක්ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළේය.
"මෙම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කළේ කවුද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කළ බවය.
"එය ඉදිරිපත් කළේ විත්තියෙන්ද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මාලිගාකන්ද අධිකරණයේ නියෝගය මත එම ලේඛනය ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය. එය විත්තියේ ලේඛනයක් නොවන බවද අධිකරණ නියෝග ප්රකාරව පැමිණිල්ල විසින් ලබාගත් ලේඛනයක් බවද සාක්ෂිකරු කියා සිටියේය.
පශ්චාත් උපාධි හැදෑරීම සඳහා එකොළොස් වැනි චූදිතට වසර දෙකක කාලයක් සඳහා රාජකාරී නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් එම ලේඛනය නිකුත් කර ඇති බවත්, 2023 මැයි මාසයේදී ඔහු එක්සත් රාජධානිය බලා විදේශගත වූ බවත් අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එම පශ්චාත් උපාධිය සඳහා අවසර ලැබෙන අවස්ථාව වන විට එකොළොස්වන විත්තිකරු ජාතික වකුගඩු රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ ලෙස පත්වී සිටි බව දැන සිටියා" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවය.
"2023 වන විට ඔහු රජය විසින් ජාතික වකුගඩු රෝහලේ නියෝජ්ය අධ්යක්ෂක ලෙස පත්කර තිබූ බව මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට අනාවරණයක් නොවූ බවය
මෙම නඩුවට අදාළව 2023/20/13 මාළිගා කන්ද අධිකරණයට මුලින්ම කරුණු වාර්තා කළ අතර ඒ වන විට එකොළොස්වන චූදිත මෙරට නොසිටි බවද හරස් ප්රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැන්වීමක් සිදු නොකළ බවද 2024/03/07 දින එකොළොස්වන චූදිත ලංකාවට පැමිණි බව අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔහුගේ වියදමින් ඔහු ලංකාවට ආවා. ඒ වන විට ඔහුගේ අධ්යයනය කාලය අවසන් වීමට මාස දාහතරක් ඉතිරිව තිබුණා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අධ්යයනය කාලය අවසන් වී නොතිබූ බවට කරුණු අනාවරණය වූ බවය.
"ඔහුට ලැබීමට නියමිතව තිබූ උසස් වීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ බවට අනාවරණය වුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඒ බව අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය
"ඔහුට යම් අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට කීවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව දැනුම් දීමක් කළ බවය.
නීතිඥවරයා: ඔහු පැමිණියාද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි ඔහු පැමිණියා.
නීතිඥවරයා: පැය කීයක් ප්රකාශය සටහන් කරගත්තාද?
සාක්ෂිකරු: පැය එකයි තිහේ සිට රාත්රී හතයි තිහ දක්වා ප්රකාශ සටහන් කරා.
නීතිඥවරයා: එයින් පසුව ඔහු අත්අඩංගුවට ගත්තා?
සාක්ෂිකරු: ඔව්, අත්අඩංගුවට ගැනීමක් සිදුකළා
නීතිඥවරයා :එදින උදේ ශම්මි කුමාරි දෙනාවන්ත විසින් ප්රකාශයක් ලබා දුන් බවට මතකද?
සාක්ෂිකරු එම ප්රකාශය ලබා දුන්නේ ඊට පෙර දින.
නීතිඥවරයා: ඇය තමයි ඇගයීම් කමිටුවේ සභාපතිවරිය?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී .ඖෂධ ඇගයීම් සඳහා පත්කර තිබූ කමිටුවේ සභාපතිනිය ලෙස ඇය කටයුතු කළ බව අනාවරණය වුණා.
ඇය විසින් 2020/11/14 දින දෙන ලද ප්රකාශයේ සංක්ෂිප්ත වාර්තාවක් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ බවත්, අවස්ථානුකූලව විමර්ශන වලදී අනාවරණය වන කරුණුවල සංක්ෂිප්ත වාර්තාවක් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය
"මෙම විමර්ශනයේදී නන්දන බණ්ඩාර ගැන කරුණු අනාවරණය කර ගත්තා ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඔහු ඖෂධ සම්බන්ධයෙන් ප්රධාන තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ බව අනාවරණය වූ බවය.
යම්කිසි නිලධාරියෙකු නිවැරදිව රාජකාරිය කර ඇද්ද යන්න පිළිබඳව රාජකාරිය ලැයිස්තුව මගින් අනාවරණය කරගත හැකි බව සඳහන් කළ නීතිඥවරයා "රාජකාරියක් පවරනවා නම් රාජකාරී ලැයිස්තුවේ තිබෙනවා නේද" යන්න විමසා සිටි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය ස්වාමීනි, ඒකට මා විරුද්ධයි මොහු වෛද්ය සැපයුම් ඒකකයේ සේවය කරන්නේ නෑ .මොහු ඒ ගැන දන්නේ කෙසේද ?"යනුවෙන් විමසීමක් කළේය.
"ඒකට කලබල වන බව දන්නවා. සෑම අවස්ථාවකම සාක්ෂිකරු "විමර්ශනයෙන් අනාවරණය වූ බව" කියනවා. විමර්ශනය වෙන්න ඕනේ සාධක මත" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී සෙසු විනිසුරුවරුන් දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ප්රශ්නයට අවසර ලබා දෙන බව සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.
ඒ අනුව නීතිඥවරයා" රජයේ නිලධාරීන්ට රාජකාරී ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා බව දන්නවාද? යනුවෙන් නැවත වරක් සාක්ෂිකරුගෙන් ප්රශ්න කළේය.
ස්වාමීනි ,එකොළොස්වන චූදිත සම්බන්ධයෙන් රාජකාරී ලැයිස්තුවක් අනාවරණය වූයේ නැහැ. වෛද්ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂක ලෙසද කටයුතු කළ බවට කරුණු අනාවරණය කරගත්තා. ඒ අනුව අධ්යක්ෂකගේ රාජකාරිය ලැයිස්තුව මාලිගාකන්ද අධිකරණයේ නියෝගයකට අනුව ලබා ගත්තා. එය අධිකරණයට 75 ගොනුව යටතේ ඉදිරිපත් කර තිබෙනවා." යැයි ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
"රාජකාරී ලැයිස්තුවක් එම නිලධාරියාට භාර දිය යුතුයි නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එය භාර දිය යුතු බව සඳහන් කළේය.
"එම රාජකාරි ලැයිස්තුව භාර ගැනීමෙන් අනතුරුව අත්සන් තැබිය යුතුයි නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටිය අවස්ථාවේදී එවැනි කරුණක් අනාවරණය නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය. අධ්යක්ෂවරයාගේ රාජකාරී ලයිස්තුව ආවරණය කිරීම එහිදී පැවරී තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම රාජකාරිය ලැයිස්තුව කුමන කාලයේදී නිකුත් කළ රාජකාරී ලැයිස්තුවක්දැයි නීතිඥවරයා ප්රශ්න කළ අවස්ථාවේදී එය 2007 නිකුත් කර ඇති බවද ඉන් අනතුරුව රාජකාරී ලැයිස්තුවක් නිකුත් කර නැති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැ. 310 සහ පැල. 334 ලේඛන වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා එම ලේඛන පරිගණකයෙන් උත්පාද කළ ලේඛන බව සඳහන් කරමින් එහි "user ලෙස සඳහන්ව ඇත්තේ සතිශ් කුමාර නමැත්තාගේ නම ද?" යන්න පිළිබඳව විමසීමක් කළේය.
එම නම සතිශ් කුමාර බවට විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔහු තමයි එම ලේඛන upload කර තිබෙන්නේ ඔහුගෙන් ප්රකාශයක් ගන්න බැරිවුණා?". යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහු විදේශගතව සිටි බවය. ඔහු විදේශගත වූ දිනය හෝ දිනය පිළිබඳව විමර්ශනය නොකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
ඔබ අධිකරණයේදී කිව්වා නේද අනුමැතියකින් පස්සේ තමයි අප්ලෝඩ් කරන්නේ කියලා යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය එය නොමග සුළු යවන සුළු ප්රශ්නයක් බවට ප්රකාශ කරමින් විරෝධය පළ කළාය

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිඥවරයා "ස්වාමීනි මම විශ්වාසයකින් මේ කියන්නේ, වචනයකින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. මේ මනුස්ස ජීවිත පිළිබඳ සම්බන්ධයෙන් ප්රශ්නයක්. අප විමසන ප්රශ්නය එලෙසම සටහන් විය යුතුයි. මීට පෙර මා සිදු කළ ප්රශ්න කිහිපයක් සටහන් වන නොමැති බවට දැනගන්නට ලැබුණා "යනුවෙන් ප්රකාශ කළේය.
එහිදී සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා අදාළ සටහන්වල වැරදි තිබෙනවා නම් දැනුම් දෙන ලෙසත් ඒවා නිවැරදි කිරීමට සූදානම් බවත් සඳහන් කර සිටියේය.
නීතිඥවරයා :තොරතුරු ඇතුලත් කරා අප්ලෝඩ් කරන බවට ඔබ කිව්වා.
සාක්ෂිකරු: තොරතුරු ඇතුළත් කරන්නේ අනුමැතිය ලබාගන්න තමයි.
නීතිඥවරයා: ඔබ ස්ථාවරය වරින් වර වෙනස් කරන බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු :නෑ ස්වාමීනි අනුමැතිය ලබා දීමෙන් පසු print out ගන්න බව තමයි කිව්වේ.
නීතිඥවරයා: මෙම අධිකරණයේදී PO සම්බන්ධයෙන් නිලධාරීන් සාක්ෂි දුන්නා දුන් බව දන්නවාද?
සාක්ෂිකරු: ඒ ගැන අවබෝධයක් නෑ
රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයූ දේශීය නියෝජිතයා ලෙස අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒජී ලිමිටඩ් ආයතනය කටයුතු කර ඇති බවට හරස් ප්රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
එම ඖෂධ අතුරින් රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් ලතිකා චාන්දනී නමැත්තිය සාක්ෂි ලබාදුන් අතර ඇය ඖෂධ භාර ගැනීමේ රාජකාරිය කර තිබූ බවට සාක්ෂිකරු සඳහන් කළේ ය.
නීතිඥවරයා: පසුගිය දවස්වල පිළිකා රෝහලට ඖෂධ නෑ කියලා ප්රධාන ධාරාවේ නිවුස්වල ගියා ඔබ ඒ බව දන්නවාද?
සාක්ෂි කරු: news බලන්න වෙලාවක් නෑ.
නීතිඥවරයා:ඔබ සේවය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි,
නීතිඥවරයා: ඔබ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිව්ස් බලන්නේ නෑ කියලද? පිළිකා රෝහලට අවශ්ය ඖෂධ 125ක් ශුන්යයි හැට පහක් අතිශයින්ම හිඟයි කියා ඔබ දන්නේ නැද්ද?
සාක්ෂිකරු: දන්නෙ නෑ ස්වාමීනී
නීතිඥවරයා :පුළුවන්කමක් තිබෙනවා නම් එම ඖෂධ පෞද්ගලිකව හෝ පිළිකා රෝහලට ලබා ලෙස ඉල්ලීම් කර ඇති බව ඔබ දන්නේ නෑ?
සාක්ෂිකරු : දැනුමක් නෑ ස්වාමීනි
නීතිඥවරයා: ප්රසම්පාදනය සඳහා නිලධාරීන් නොමැති බවට ඔබ දන්නවාද?
සාක්ෂිකරු: දන්නේ නෑ ස්වාමීනි, නිවුස් බලන්න වෙලාවක් නෑ.
නීතිඥවරයා ඔබ විමර්ශනයක්නේ කළේ. විමර්ශනයකදී සෑම කරුණක් ගැනම අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළොත් අසාධාරණයක් වෙන්න පුළුවන්.
සාක්ෂිකරු: එසේය ස්වාමීනි
නීතිඥවරයා :ඒ නිසා ඔබ දුරකථන සංවාද ගැන විමර්ශනයක් කළා. ඇයි ඒ?
සාක්ෂිකරු: චූදිතයන් අතර ඇති සම්බන්ධතාවයන් පිළිබඳව අනාවරණය කරගන්න සහ චූදිතයන් අත්අඩංගුවට ගැනීමට. විමර්ශනයකදී අනාවරණය කරුණු වූ තහවුරු කරගැනීමට සහ අවශ්ය වුනහොත් වැඩිපුර කරුණු සොයා බලන්නටත් පුළුවන්
නීතිඥවරයා: ඒ බව තීරණය කරන්නේ ඔබ?
මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති දුරකථන සම්බන්ධතාවයන් ඇතුළත් CD පට සම්බන්ධයෙන් විමසීමක් කළ නීතිඥවරයා එහි ඇතුළත් දත්ත පිළිබඳ විමසීමක් කළේය.
වෛද්ය සැපයුම් ඒකකයේ සේවය කර දර්ශන බණ්ඩාර සහ පළමුවන චූදිත අතර පැවති දුරකථන සම්බන්ධතාව පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ප්රකාශයක් ලබාදීමේදී දර්ශන බණ්ඩාර විසින් ලබා දී තිබූ දුරකථන අංකයට අදාළව එවැනි සංවාද පිළිබඳව අනාවරණය නොවූ බවය.
"සැපයුම් ගණකාධිකාරි අංශයේ සේවය කළ කෝරාධිපතිගේ නිහාල් රංජිත් නමැත්තා සහ පළමුවන චූදිත අතර දුරකථන සංවාද එකසිය පනස් එකක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය වුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂි කරු සඳහන් කළේ ඔහු by back ක්රමය යටතේ කටයුතු කළ නිලධාරියකු වන අතර ඊට අදාළව එම ඇමතුම් ලබාගෙන ඇති බවක් විමර්ශනයේදී අනාවරණය වූ බවය.
එම by back" ක්රමය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදුන් එකම තැනැත්තා නිහාරංජිත් නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම ප්රශ්නගත ප්රසම්පාදනයට අදාළ ඖෂධ වලට මුදල් ගෙවීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ සහභාගිත්වයක් වී නොතිබූ බවය. එම දුරකථන සම්බන්ධ සංවාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවශ්යතාවයක් ඇති නොවූ බවත්ය.
වෛද්ය සැපයුම් ඒකකයේ ප්රධාන ගණකාධිකාරී සවින්ද කුරේ සහ පළමුවන චූදිත අතර පැවති දුරකථන සංවාදය පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අනුමත ගෙවීම් කිරීමේ කටයුත්ත පමණක් ඔහු විසින් සිදුකර ඇති බවය. ඔහු අවසන් ගෙවීම් කළ නිලධාරියා වුවත් ඔහු වෙත සම්පූර්ණ ගොණුව ඉදිරිපත් නොවන බවද ඉදිරිපත් වන ලේඛන පමණක් පරීක්ෂා කර බලා අදාළ ගෙවීම් කර ඇති බවට අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ චේතනාන්විතව යම් යම් පුද්ගලයන් වැරදිකරුවන් බවට පත්කිරීමට තීරණය කර ඇති නිසා එලෙස කියන්නේ?" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්රකාශයක් කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ විමර්ශනයේදී අනාවරණය කරුණු වූ අනුව තමන් අදාළ කරුණු ප්රකාශ කරන බවය.
"විමර්ශනයේදී අනාවරණය වූ බව කියන කාරණා සියල්ලම නිවැරදි නොවන බවට මා යෝජනා කරනව" යනුවෙන් නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඒ බව ප්රතික්ෂේප කළේය.
"විමර්ශනය වලදී අනාවරණය වුණා බව කියන්නේ ඔබ? විමර්ශනය නිලධාරියා ඔබ?" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්රකාශ කළේය.
ප්රියන්ත කස්තුරි සිංහ යන නිලධාරියා කවුද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඔහු අංක හත ගබඩාවේ තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔහු සහ පළමු වන විත්තිකරු අතර දුරකථන සංවාදය 163 වාර්තා වී ඇති බවට අනාවරණය වුණා ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් අනාවරණය නොවූ බවය.
ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමේ අවශ්යතාවයක් මතු නොවූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
ප්රියන්ත කස්තුරි සිංහ නමැති නිලධාරියා ද විදේශගතවී සිටින බව අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"මුදල් රෙගුලාසි අනුව ගෙවීම් සිදු කරන අවසන් නිලධාරියා කවුරුන්ද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ගණකාධිකාරීවරයා විසින් අදාළ ගෙවීම් කරන බවට සඳහන් කළේය.
ඔබ විමර්ශනය කළේ අති විශාල රාජකාරී සිදු කරන ඉහළ නිලධාරීන් පිළිබඳව විමර්ශනයක්. එයට මහා විශාල දැනුම් සම්භාරයක් අවශ්යයි. බොහොමයක් බර ඉංග්රීසි භාවිතා කළ ලේඛන තමයි තිබෙන්නේ ?"යනුවෙන් නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ලේඛන පිළිබඳව පැහැදිලි කර ගැනීමක් සිදුකළ බවය. අදාළ ලේඛන සකස් කළ නිලධාරීන්ගේ ප්රකාශ සටහන් කර ගැනීමක් සිදුකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔබ ප්රවාදක කරුණු මත මෙම සාක්ෂි ගොඩනගා ඇති බවට මා යෝජනා කරනවා?" යනුවෙන් නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්රතික්ෂේප කළේය
"මෙය ඉතා දුර්වල නොමග යවන සුළු තොරතුරු බහුල , අසම්පූර්ණ විමර්ශනයක් බවට යෝජනා කරනවා "යනුවෙන් නීතිඥවරයා ප්රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්රතික්ෂේප කළේය විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත වැඩිදුරටත් කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමක් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔබගේ නොමග යවන සුළු විමර්ශනය නිසා මේ විත්තිකරුවන් බරපතළ අගතියකට පත්කර තිබෙනවා යනුවෙන් නීතිඥවරයා යෝජනාවක් කළ අතර සාක්ෂිකරු ඒ බව ප්රතික්ෂේප කළේය.
ඒ සමගම විත්තිකරුවන් වෙනුවෙන් සිදුකළ හරස් ප්රශ්න කිරීම් අවසන් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය සිය හරස් ප්රශ්නය විමසීම සිදු කළාය
"එම ප්රශ්නගත ඖෂධ දෙකට අදාළව මතුවූ සංකූලතා පිළිබඳව වෛද්ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂවරයාට වාර්තා වූ බවට අනාවරණය වුණාද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තොරතුරු වෛද්ය සැපයීම අංශයේ අධ්යක්ෂ වරයාට ලැබුණු බවට අනාවරණය වූ බවය.
සංකූලතා වාර්තා වී තිබියදීත් අදාළ සැපයුම්කරුට මුදල් ගෙවීමට කටයුතු කර තිබූ බව මෙහිදී අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
2023 /09/02 වන විට මිලියන 44ක මුදලක් එම සැපයුම්කරුට ගෙවා ඇති බවට අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම ඖෂධ දෙකට අදාළව ශීත දාමයන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සිදුකළ ප්රශ්න කිරීම් පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ඖෂධවල ශීත දාමය ආරක්ෂා වන පරිදි පවත්වාගෙන ගිය බව විමර්ශනයේදී අනාවරණය වූ බවය.
අදාළ සාම්පල ජර්මනියේ රසානාගාරයට ගෙනයෑම සඳහා තමන් සහභාගී වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ රිටොප්සිමැබ් ඖෂධය හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීම සඳහා වූ අවශ්යතාවයක් තිබුණාදැයි නියෝජ්ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එලෙස හදිසි මිලදී ගැනීමක අවශ්යතාවයක් තිබූ බවක් අනාවරණය නොවූ බවය.
2022 09.26 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අදාළව ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන අංශය පවත්වාගෙන ගිය ගොනු අධිකරණ නියෝග මත ලබා ගැනීමට කටයුතු කළ බවද ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්රව්ය කුප්පි 6,195ක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයට සපයා ශ්රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්රණය කිරීම සහ එම ගමුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක,එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධගනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් අංශයෙන් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්රසම්පාදන ක්රියාවලියේ ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, හිටපු අමාත්යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්ය ආනන්ද විජේවික්රම ඇතුළු වෛද්යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



