The Leader News
BREAKING
විමර්ශනය කියන එක පළිහක් විදියට පාවිච්චි කරන්න එපා - ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන බෙහෙත් නඩුවේදී කියයි●තෙල් අර්බුදය හමුවේ ලංකාවට IMF වෙතින් අනතුරු ඇඟවීමක්●ඉන්දීය අරගලයේ සිංහ ධේනුව: කවුද මේ 'නේහා බෝරා'?●ඇමරිකාවේ ණය කන්ද ගැන IMF ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්●ග්‍රන්ථ සංස්කාරක (Editor) ගේ භූමිකාව යනු…●අයිසීසීයෙන් ලංකාවට නිහඬ තහනමක්ද? දයාසිරිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්●ඔබ, අප සැම ගේ ජීවිත කියවන 'ජීවිතේ චිත්‍රයක් මිස්'●පෝර්ට් සිටියේ ‘දෙබිඩි තනතුර’ ගැන මුදල් කාරක සභාවෙන් ප්‍රශ්න●බදු දැල ඩිජිටල් වෙයි: ඊ-ඉන්වොයිස් එන හැටි●ක්‍රිප්ටෝ නියාමනයෙන් ලංකාවට එන අලුත් අභියෝගය●
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

විමර්ශනයට පෙර පොතපත අධ්‍යයනය කළේ නෑ - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි

Nethmini

Nethmini

October 13, 2026 • 4:30 PM

විමර්ශනයට පෙර පොතපත අධ්‍යයනය කළේ නෑ - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නඩුවට අදාළව පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
  • ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.
  • එහිදී 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය සාක්ෂි කරු වැඩි දුර හරස් ප්‍රශ්න යොමු කළාය.
  • "මෙම ප්‍රසම්පාදනයට අදාළව අභිලාෂ කීයක් ලැබී තිබුණාද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඖෂධ 285 කට අදාළ අභිලාෂ කැඳවා තිබූ අතර ලන්සු අට සිය හැත්තෑ ගණනක ප්‍රමාණයක් ලැබී තිබූ බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම නඩුවට අදාළව පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.


ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.


එහිදී 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය සාක්ෂි කරු වැඩි දුර හරස් ප්‍රශ්න යොමු කළාය. 


"මෙම ප්‍රසම්පාදනයට අදාළව අභිලාෂ කීයක් ලැබී තිබුණාද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඖෂධ 285 කට අදාළ අභිලාෂ කැඳවා තිබූ අතර ලන්සු අට සිය හැත්තෑ ගණනක ප්‍රමාණයක් ලැබී තිබූ බවය.  ඖෂධ එකසිය හැත්තෑවකට අදාළව ප්‍රසම්පාදන කමිටුව මගින් ප්‍රදානයන් කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.


"වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ කීයක් ලබා දී තිබූ බව අනාවරණය වුණාද?" යනුවෙන් නීතිඥවරිය විමසා සිටිය අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ, 2023 නමවෙනි මාසය වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙත ඖෂධ 45 සඳහා ලන්සු ලැබී තිබූ බවය 


"එම ඖෂධ හතළිස් පහෙන් දෙකක් සඳහා මේ අධිකරණයේ නඩු කරය ගොනුකර තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති බවය. 


මෙම නඩුවේ නවවන චූදිත ප්‍රසම්පාදන නිලධාරියකු බවට සාක්ෂිකරු විසින් මීට පෙර ලබාදුන් සාක්ෂියක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරිය ඔහුගේ තනතුර වෛද්‍ය නිලධාරී ( ප්‍රසම්පාදන )ලෙස සඳහන්ව තිබීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහු ප්‍රසම්පාදන නිලධාරියා ලෙස කටයුතු කළ බවය.


සාක්ෂිකරු විසින් භාරයට ගත් ලේඛනවල නව වන විත්තිකරු I Recommend ලෙස සඳහන් කරමින් තබා තිබෙනවා දැයි නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේ දී සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රසම්පාදන නිලධාරියා ලෙස eoi ලේඛන  සඳහා අතිරේක ලේකම්  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අංශය වෙත යොමු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය. අදාළ කමිටු පත්කිරීමේදී ඊට අදාළ නිර්දේශය ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන අංශයේ ලේකම් වෙත යොමු කළ බවද අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය. 


නිර්දේශයන් කිරීමේ බලයක් නව වන විත්තිකරුට නොතිබූ බවට නීතිඥවරිය යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. නවවන විත්තිකරු විසින්  නිර්දේශයන් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය. 


නවවන විත්තිකරු ඉහළ නිළධාරීන්ගේ උපදෙස් මත ලේඛන සකස් කර ඉහළ නිලධාරීන්ට යොමු කිරීමක් කර ඇති බවට තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂි කරු සඳහන් කළේ එම විත්තිකරු විසින් නිර්දේශයන් කර තිබූ බවය.


Recommend ලෙස සඳහන් කර තිබූ ස්ථානවල ඔහුගේ අත්සන ද යොද තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය . එවැනි සටහනක් පැ. 231 දරන ලේඛනයේ එලෙස සඳහන්ව ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. 


අධිකරණයට ඉදිරිපත් කර ඇති 236A ලේඛනයේ නව වන විත්තිකරු විසින් අත්සන පමණක් යොදා ඇති අතර I Recommend ලෙස සඳහනක් එහි සිදු කර නැති බවට නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කළාය .මෙම ලේඛනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විමසීමක් මෙම සාක්ෂිකරුගෙන් කිරීමට නොහැකි බව  ඇය සඳහන් කළාය. 


අදාළ ලේඛනය තමන් වෙත ලැබුණු බවට නම වන විත්තිකරු විසින් එම අත්සන තබා ඇති බවට යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී " ස්වාමීනී මෙම ලේඛන ඔහුගේ උපදෙස් මත සකස් කළ බවට විමර්ශනවලදී අනාවරණය වුණා. අභ්‍යන්තර memo එකක ඔහුගේ අත්සන තිබෙනවා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 


පෙර දින සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමන්ට වැඩි අවබෝධයක් නොමැති බවට සාක්ෂිකරු සඳහන් කළ සඳහන සම්බන්ධයෙන් සිහිපත් කළ නීතිඥවරිය ලේඛනය සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදනය කමිටුවේ අභ්‍යන්තර memo පතක් බවත්, එය තේරුම් ගැනීමේ හැකියාවක් සාක්ෂිකරුට නැති බවටත් යෝජනා ඉදිරිපත් කළාය. 


එහිදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ එම කරුණ ප්‍රතික්ෂේප කරන බවය.


ලේඛන සකස් කළ නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් සිදුකළ අතර එහිදී අදාළ ලේඛනය නවවන චූදිතගේ උපදෙස් මත සකස් කළ බවට අනාවරණය වූ බව ද "නිර්දේශ කරමි" යනුවෙන් නවවෙනි චූදිත සටහන් කර නොතිබූ නමුත් නිර්දේශ ලබාදීමට අදාළව ඔහු අත්සන් යොදා ඇති බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 


නම වන විත්තිකරුගේ රාජකාරිය වෛද්‍ය නිලධාරී වරයෙක් ලෙස කටයුතු කිරීම බවට නීතිඥවරිය යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා" ඔහු වෛද්‍ය නිලධාරියෙක් ද ?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.


එම විත්තිකරු වෛද්‍ය නිලධාරියෙක් බවට සාක්ෂිකරු ප්‍රකාශයක් සිදු කළ අතර  "ඔහු ප්‍රසම්පාදන නිලධාරියෙක් ද?"යි සභාපති විනිසුරුවරයා විමසීමක් කළේය. 


ඔහු ප්‍රසම්පාදන අංශයේ සේවය කළ වෛද්‍ය නිලධාරීවරයා ලෙස සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.
 

"නව වන විත්තිකරු ප්‍රසම්පාදන නිලධාරියකු යන්න ඔබගේ අර්ථකථනය බවට මා යෝජනා කරනවා". යනුවෙන් නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය.


 අදාළ කරුණු විමර්ශනවලදී සාක්ෂි මඟින් අනාවරණය වූ බව සඳහන් කළ සාක්ෂිකරු "වෛද්‍ය නිලධාරී ( ප්‍රසම්පාදන ) ලෙස ඔහුගේ තනතුර සඳහන් කර ඇති බව කියා සිටියේය. 


ඔහු විසින් ප්‍රසම්පාදන රාජකාරී සම්බන්ධීකරණය කිරීමක් කළ බවට නීතිඥවරිය යෝජනා කළ අතර  නව වන චූදිත විසින් උපදෙස් ලබාදුන් බවට අනාවරණය වූ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය 


2023/10/18  දින නව වන විත්තිකරුගෙන් මුල් ප්‍රකාශයක් සටහන් කර ගත් අතර විමර්ශනයට අදාළ මූලික තොරතුරු එහිදී ලබාගත් බව සාක්ෂිකරු කියා සිටියේය.


ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් ලද මුල් පැමිණිල්ලට අදාළව කළ විමර්ශනවලට අදාළව එම ප්‍රකාශය සටහන් කරගත් අතර එහිදී ලේඛන භාර ගැනීමක් ඖෂධයට අදාළව සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 

අනතුරුව 2023-11-13 දින මෙම විමර්ශනයට අදාළව නමවන විත්තිකරු ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ අතර නොවැම්බර් 12 වන දින ඔහු විදේශ ගතවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළ සාක්ෂිකරු ඒ බවට ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන අංශයට  මෙම විමර්ශනයට අදාළව පිටව යන බවට හා පැමිණි බවට සටහනට ඇතුළත් කළ බව ද සාක්ෂිකරු සඳහන් කළේය.

එහිදී නීතිඥවරිය " නවවන විත්තිකරුට 2023/11/ 13 දින ප්‍රකාශයක් ලබා ගැනීමට එන බව දැනුම් දී තිබුණාද?" යනුවෙන් විමසීමක් කළාය.


ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තමාගේ ජංගම දුරකථනයෙන් සාක්ෂිකරුට ඒ පිළිබඳව දැනුම් දීමක් කළ බවය .2023/11/10  දින අදාළ ඇමතුම ලබාගත් බවද සාක්‍ෂිකරු සඳහන් කළේය. 


ඔහු විදේශ ගත වූ බව දැන ගැනීමෙන් අනතුරුව කරුණු වාර්තා කළ කර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෙසු විත්තිකරුවන්ටද අදාළව විදෙස් ගමන් තහනමක් ලබා ගත් බව සාක්ෂිකරු කියා සිටියේය. 


"නවවන විත්තිකරු රාජ්‍ය සේවක නිවාඩු ලබාගෙන විදේශගත වූ බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ඒ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය. ඔහු මාස තුනකට නිවාඩු ලබාගෙන විදෙස් ගතවී ඇති නමුත් මේ වනතෙක් ඔහු දිවයිනට පැමිණ නැති බව සාක්ෂිකරු සඳහන් කළේය. 


ඔහු විදේශගත වූයේ රාජ්‍ය සේවක නිවාඩු ලබාගත් බවට නීතිඥවරිය යෝජනාවක් ඉදිරිපත් කළ අතර  සාක්ෂිකරු නැවත වරක් කියා සිටියේ ඔහු මාස තුනකට නිවාඩු ලබාගෙන විදෙස් ගතවී ඇති බව අනාවරණය වූ බවය. 


එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ "මෙම නඩු විභාගයේදී අපරාධ නඩු විධාන සංග්‍රහය 241 වන වගන්ති යටතේ නමවන විත්තිකරුට එරෙහිව නඩුව විභාග කරන බවය. ඔහු අධිකරණය මගහැර සිටින විත්තිකරුවකු බවට අධිකරණය විසින් දැනටමත් පිළිගෙන ඇති බව" සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. 


"අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් මීට පෙර කරුණු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම රාජකාරී නිවාඩු ලබා ගැනීමේ කරුණු ඉදිරිපත් කළ යුතු නමුත් එම අවස්ථාවේදී එසේ නොකර දැන් එම කරුණු ඉදිරිපත් කිරීම වැදගත් නොවන බව" සභාපති විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය .


"නවවන විත්තිකරුට අදාළව ලේඛන ලබා ගත්තේ අධිකරණ නියෝගය කින්ද?" යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ මාලිගා කන්ද අධිකරණයට කරුණු වාර්තාකර අදාල ලේඛන ලබා ගත් බවය. 


නම වන විත්තිකරු විදේශගතවන විට මෙම නඩුවේ සැකකරුවකු නොවන බවට නීතිඥවරිය යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහුගෙන් එක් ප්‍රකාශයක් ලබාගත් බවය. 


 තවත් කට උත්තරයක් ගැනීමට ඇති බවට ඔහුට යෝජනා කළ අතර ඒ වන විට ඔහු විදේශගත වී සිටි අතර විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව ඔහු සැකකරුවකු ලෙස නම් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 


එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 


මෙම ප්‍රශ්නගත  ඖෂධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පෙර වෙනත් ලේඛන ගත අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකර තිබේදැයි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  එවැනි විමසීම් කර ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ පළමු විමර්ශනය මෙය බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 


ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මෙවැනි විමර්ශනයක් කිරීමේදී අදාළ ලේඛන සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් බව පෙන්වා දුන් කර ජනාධිපති නීතිඥවරයා එම ලේඛන වල අන්තර්ගත කරුණු අවබෝධ කර ගැනීමක් සිදු කළා දැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 


ඔහු සඳහන් කළේ අදාළ ලේඛන සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත් බවය. මෙම විමර්ශනය ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතාගේ උපදෙස් මත තමන් විසින් සිදුකළ බව සාක්ෂිකරු සඳහන් කළේය.


 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත අදාළ පැමිණිල්ල යොමු කිරීමෙන් අනතුරුව එය විශේෂ විමර්ශන අංශයට යොමු කිරීමක් සිදු කළ අතර එම අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන නිලධාරියා ලෙස තමන් පත්කළ බව ඔහු කියා සිටියේය. 


"2023 ඔක්තෝබර් මස සිට 2026 ඔක්තෝම්බර් මස දක්වා ඔබ මෙම විමර්ශනය සිදුකර තිබෙනවා. ප්‍රසම්පාදනය කර තිබිය යුතු ප්‍රධාන කාරණා මොනවාද කියලා අවබෝධ කර ගත්තාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් " ස්වාමීනී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අදාලව ඖෂධ හෝ භාණ්ඩ මිලදී ගැනීම් සිදු කළාද යන්න පිළිබඳව විමර්ශනය කළා". යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළේය 


එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා " එම විමර්ශනය ආරම්භ කිරීමට ප්‍රථම ප්‍රසම්පාදනය යන විෂය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සිදුකළාද ?"යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය 


" ඒ වන විට භාවිතා කළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව අවබෝධයක් ලබාගත් බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 


ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වන පොත පතට අවධානයක් යොමු කළා දැයි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධ පොතපත කියවීමක් සිදු නොකළ බව  ඔහු ප්‍රකාශ කළේය. 

"ඔබ පොත පත කියවීමකින් තොරව විමර්ශනය සිදු කළේ ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී
 නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ ප්‍රශ්නයට විරෝධය පළ කරමින් "ස්වාමීනි පොතපත කියන්නේ පුළුල් විෂයක් . ඔහු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව කියවා අවබෝධයක් ලබාගෙන තිබුණා මේ අහන ප්‍රශ්නය වැරදියි" යනුවෙන් සඳහන් කළාය.

"මාර්ගෝපදේශ පිළිබඳව තිබුණු අවබෝධය පමණද විමර්ශනයේදී අවශ්‍ය වුණේ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු එහිදී සඳහන් කළේ ප්‍රසම්පාදන අස්ථිතියන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකළ බවය. සම්පාදනය කිරීම ට පෙර ප්‍රසම්පාදනයට අදාළ අවශ්‍යතාවයක් හඳුනාගත යුතු අතර  නිශ්චිතව ඖෂධය, එහි පිරිවිතර ප්‍රමාණය සහ ඇගයීමක් කල යුතු බවද අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය. 


ප්‍රසම්පාදන පියවර සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරුට පිළිතුරු දෙමින්  ක්‍රමවේදය පිළිබඳව විමර්ශනයේදී අනාවරණය වූ බව සඳහන් කළේය.


ලන්සු කරුවන් සහ තරග කාරී ලන්සු පිළිබඳව ඇගයීමක් කළ යුතු බවට අනාවරණය වූ අතර  අනතුරුව ප්‍රසම්පාදන කමිටුව විසින් තීන්දු ලබාදී තීරණ ලබාදිය යුතු බවද අනාවරණය කරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.


ප්‍රසම්පාදනයකදී අදාළ භාණ්ඩ ලබා ගැනීමට පිරිනැමීමේ ලිපියක් ලබාදිය යුතු බවද ඉන් අනතුරුව ගැනුම් ඇනවුමක් නිකුත් කළ යුතු බවද සඳහන් කළ සාක්ෂිකරු ප්‍රදානය ලබාදුන් ආයතනයට ගැනුම් ඇනවුමක් නිකුත් කර ඇති බව අනාවරණය වූ බවත් එහි කොන්දේසි වලට අදාළව අදාළ භාණ්ඩ ලබාදිය යුතු බවට  අනාවරණය කරගත් බවත් සඳහන් කළේය.


මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබීමෙන් පසුව  ප්‍රසම්පාදනයට අදාළ හැදෑරීමක් කළ අතර  විෂය ගත ලේඛන සහ මාර්ගෝපදේශ අනුව කරුණු අනාවරණය කර ගැනීමක් සිදු කළ බවද ඒ අනුව දැනුම ලබා ගැනීමක් සිදුකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 


"මෙම විමර්ශනයට අදාළව පයාගල මහතාට අමතරව යම් රාජ්‍ය නිලධාරියෙක් කටයුතු කළාද"යනුවෙන් නීතිඥ ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කරේ සහකාර පොලිස් අධිකාරී විකුම් විජේසේකර මහතා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවය. 


"ඔහු අධිකරණයට ආවේ නෑනේ "යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අධිකරණයට කරුණු වාර්තා කිරීම් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ බවය.


'මීට පෙර සිදු කළ ඖෂධ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් සංසන්දනාත්මකව හැදෑරීමක් කළාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් " ස්වාමීනි  මීට පෙර කළ ප්‍රසම්පාදන වල අස්ථිතිය ලෙස කටයුතු කළ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන භාරව සිටි නවාවි මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකළා." යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය 


"එක් එක් ඖෂධයට අදාළ ලේඛන පරිශීලනය කරාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එම ලේඛන පරීක්ෂා කළ බවත් ඇතැම් ලේඛන භාරයට ගැනීමට කටයුතු කළ බවත් සඳහන් කළාය කළේය. 


"අධිකරණයට ඉදිරිපත් කර ඇති හයවන ගොනුව සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි ලන්සුකරුවන් අටසීයයක් පමණ තිබූ බවට ඔබ මීට පෙර ප්‍රකාශ කළ". යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී "ඒ ඖෂධ 285කට අදාළව"යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබා දුන්නේය. 


එහිදී ජනාධිපති නීතිඥවරයා කී දෙනෙකු සිටියේදැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  අටසීයයකට වැඩි ප්‍රමාණයක් සිටි බව ලියාපදිංචි සමාගම් මෙන්ම ලියාපදිංචි නොමැති සමාගම් ද ඒ අතර තිබූ බවද සමාගම් ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් ප්‍රදානයන් සමාගම් 26 කට කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 


අනතුරුව අදාළ පිරිනැමීමේ ලිපි සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එම පිරිනැමීම් කිහිපයකට අදාළව කරුණු විමසීමක් කළේය 


එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රදානය කිරීමේ ලිපියේ සැපයුම් කොන්දේසි ඇතුළත් වන අතර  භාණ්ඩ භාර ගන්නා ආයතනය විසින් එම කොන්දේසි සම්පූර්ණ කර තිබෙනවාද යන්න පරීක්ෂා කොට භාණ්ඩ භාරගත යුතු බව විමර්ශනයේදී හෙළි වූ බවය.


"මෙම ප්‍රදානය කිරීමේ ලිපිය සැපයුම්කරු ට යොමු කරන අවසන් ලිපිය නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා   විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හත් වන චූදිතට දැනුම් දීමක් කර ලිපියක් නිකුත් කර තිබූ බවය. 


ජනාධිපති නීතිඥවරයා :නිලධාරීන් අතර හුවමාරු වන ලිපි සම්බන්ධව නෙවෙයි. සැපයුම්කරුවකු වෙත නිකුත් කරන අවසාන ලේඛනය ද මෙය?


සාක්ෂිකරු :පිරිනැමීමක ට අදාළව නිකුත් කරන ලිපිය ස්වාමීනී.


ජනාධිපති නීතිඥවරයා :සාක්ෂිකරු මෙහි 'අවසාන "කියන වචනය මගහරිනවා අධිකරණය එය අවධානයට යොමු කරනු ඇති. මේ ලිපියේ සඳහන් කොන්දේසි වලට අදාළව සැපයම්කරු විසින් ඖෂධ සැපයිය යුතුයි නේද?


සාක්ෂිකරු :එසේය ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා: මෙම පිරිනැමීමේ ලිපි පිටපත් හා තැනැත්තන් හය දෙනෙකට යොමු කර තිබෙනවා ඒකා හටද?


සාක්ෂිකරු:  ස්වාමීනි ,අතිරේක ලේකම් ඖෂධ නිෂ්පාදන සැපයම් හා නියාමන අංශය , සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ, ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී,යන අයට එම ලිපි නිකුත් කර තිබෙනවා 


ජනාධිපති නීතිඥවරයා: එම පිටපත් යොමු කර තියෙන්නේ ඒ නිලධාරීන්ට ඒ බව දැනුම් දීමටද?


සාක්ෂිකරු: එසේය ස්වාමීනී. මෙම ලිපි මෙම ප්‍රසම්පාදනයෙදී පමණක් නිකුත් කළ බව තමයි අනාවරණය වුණේ .


අදාළ පිරිනැමීමේ ලිපි සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා "එම ලිපිවලට අනුව අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනයට ඖෂධ සැපයීමට පිරිනැමීමක් කර තිබෙනවාදැ"?යි සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී රිටොප්සිමැබ් ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ කොන්දේසි වලට යටත්ව සැපයීමට පිරිනමා ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. 


අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් විසි දෙදහස් පන්සියයක් (22500) සැපයීමට සහ රිටොප්සිමැබ් ඖෂධ 2250ක් සැපයීමට අදාළ ප්‍රදානයන් කර ඇති බව සාක්ෂිකරු සඳහන් කළේ ය.


"ඒ සමගම අදාළ අනෙකුත් ආයතන 24 වෙත පිරිනැමේ මේ ලිපි නිකුත් කර තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එලෙස ලිපි යොමු කිරීමක් කර ඇති බවය.


"වෛද්‍ය සැපයුම් ඒකකය විසින් ගැනුම් ඇනවුම් නිකුත් කර ඇති බව අනාවරණය වූවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  " ස්වාමීනි ,ගැනුම් ඇනවුම් නිකුත් කළ බවට අනාවරණය වුණා. ඒ සමගම ඇනවුම් ලැයිස්තුවක් නිකුත් කළ යුතු බවටද අනාවරණය වුණා. මේ ප්‍රදානයට අදාළව ඇනවුම් ලැයිස්තු නිකුත් නොවූ බව තමයි අනාවරණය වුණේ ප්‍රසම්පාදනය තීරණයෙන් පසුව ඇනවුම් ලැයිස්තු ඇතුළත් කළ බව තමයි පසුව අනාවරණය වුණේ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 


"ප්‍රදානයන් කර තිබූ ආයතන විසින් එම ගැනුම් ඇනවුම් වලට අදාළව ඖෂධ නිකුත් කිරීමක් කර තිබී තිබෙනවාද?" යන්න පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සමාගම් බහුතරයක් එසේ ඖෂධ සැපයීමක් සිදුකර නොතිබූ බවය. ලැබී තිබු ආයතන වලින් බහුතරයක ලියාපදිංචි ආයතන වන බව ය.


"මෙම ඖෂධ දෙකට අමතරව වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් බාල වීම හෝ ගුණත්වය බාල වීමක් ගැන පැමිණිලි ලැබුණාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව විමර්ශනයක් සිදු නොකළ බවය.


ඖෂධ හතළිස් පහක් ඇතුළත් ලැයිස්තුවෙන් එකේ සිට 43 දක්වා ඖෂධ සම්බන්ධයෙන් ගුණාත්මක භාවය හෝ තත්ත්වයෙන් බාල වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේය.


එම ලැයිස්තුවේ 44 සහ 45 යන ඖෂධ දෙක සැපයීම සම්බන්ධයෙන් වූ කාරණා යටතේ ඖෂධ භාර ගැනීම් ක්‍රියාවලිය පිළිබඳව විමර්ශනයක් කළ බවද ඊට අමතරව සමස්ත ප්‍රසම්පාදනය තුළ ඇති ගැටලුව සහගත තත්ත්වයන් ගැන අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය. මෙම ප්‍රසම්පාදනය e.o.l යටතේ සිදුකර ඇති බව අනාවරණය වූ බව සඳහන් කළ සාක්ෂිකරු ඖෂධ ප්‍රසම්පාදනය සඳහා එම ප්‍රසම්පාදන ක්‍රමය භාවිතා කළ නොහැකි බවට අනාවරණය කරගත් බව සඳහන් කළේය.


ජනාධිපති නීතිඥවරයා: ඔබ මේ විමර්ශනය ගැන අවධානයෙන් නේද සිටියේ? 


සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා:මෙම චෝදනා පත්‍රය සකස් කරන විට සාකච්ඡාවට සහභාගි වුණාද?


සාක්ෂිකරු: විමර්ශනයට අදාළ යම් යම් සාකච්ඡා වලට සහභාගි වුණා 


ජනාධිපති නීතිඥවරයා :මේකට අදාළව ඖෂධ කීයක් තිබෙනවාද? 


සාක්ෂිකරු: ඖෂධ වර්ග දෙකක් තිබෙනවා ස්වාමීනි, ඔබ ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ නොකළ යුතු බවටත් එසේ හදිසි මිලදී ගැනීමක් නොකලානම් මේ ඖෂධ දෙක වෛද්‍ය සැපයුම් ඒකකයට ඇතුළත් නොවන බවටත් කරුණු අනාවරණය කරගත්තා.


ජනාධිපති නීතිඥවරයා: මේ ප්‍රසම්පාදනයේදී මිලදී ගත් අනෙකුත් ඖෂධ ගැන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කළාද?


සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තවත් ඖෂධ හතළිස් තුනක් ලබාගෙන තිබුණා. ඒවා ආනයනය කර ලබාගෙන තිබුණාද wor තියෙනවද යන්න පරීක්ෂා කර බැලීමට නියෝග ලබාගෙන කරුණු වාර්තා කරා. 


ජනාධිපති නීතිඥවරයා: එසේ කිරීමෙන් පසුවත් මෙහි සඳහන් වන්නේ ඖෂධ දෙකක් ගැන පමණයි.?


සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී ඖෂධ දෙකක් ගැන පමණයි. 


"අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ 233 දරන ලේඛනයේ කමිටු සාමාජිකයන් විසින් අත්සන් කර තිබෙනවාද?"
 යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ කමිටු සාමාජිකයන් ඊට අත්සන් තබා ඇති බවය.  


ජනාධිපති නීතිඥවරයා: මෙම ප්‍රසම්පාදනය වැරදියි කියලා අත්හිටුවන නියෝගයක් අධිකරණයෙන් ගත්තද?


සාක්ෂිකරු: ප්‍රශ්නගත ඖෂධ දෙකට අදාළව ප්‍රසම්පාදනය කළ ආකාරය පිළිබඳව අධිකරණ නියෝගය අරගෙන විමර්ශනය කළා 


ජනාධිපති නීතිඥවරයා: ඔබට හොඳට සිංහල තේරෙනවා නේද? ප්‍රසම්පාදනය වැරදි නම් එය නවත්වන්න ක්‍රියාමාර්ග ගත්තද?


සාක්ෂිකරු :ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් අරගෙන තිබුණා.


ජනාධිපති නීතිඥවරයා: අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ගත්තද?


සාක්ෂිකරු: එහෙම නියෝගයක් ගත්තේ නෑ ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා: එහෙම නියෝගයක් ගන්න කියලා නීතිපතිවරයාට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කළාද?


සාක්ෂිකරු: නැත ස්වාමීනි 


ජනාධිපති නීතිඥවරයා: තමනුත් රාජකාරිය පැහැර හැර තිබෙන්නේ. තමනුත් හරියට වැඩ කරලා නෑ. තමුන්ටත් හරි නම් නඩු දාන්න ඕනේ. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙම ප්‍රශ්න කිරීමට විරෝධය පළ කරනවා 


සාක්ෂිකරු මේ නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා උපදෙස් ලැබුණා ඒ අනුව විමර්ශනය කළා 


ජනාධිපති නීතිඥවරයා :මේ නඩුව එකම ඖෂධ එකම නිෂ්පාදකයකුගේ ඖෂධයකට අදාළව පමණයි?


සාක්ෂිකරු :අයිසොලස් බයෝ ටෙක් ඒ ජී ලිමිටඩ් ආයතනයේ විසින් සැපයිය යුතු අයිසොලස් බයෝ ටෙක් ඒ ජී  ආයතනය විසින් සපයා තිබූ ඖෂධ දෙකක් සම්බන්ධයෙන් තමයි විමර්ශනය කළේ.


වෛද්‍ය සැපයුම් ඒකකයේ තාක්ෂණික තොරතුරු ඒකකයේ සේවය කරන හිජාස් නමැති නිලධාරියා ගෙන් 2025/04/25 දින ලබා ගත් වාර්තාවක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර 
"මෙම ලේඛනය බාරගන්නා අවස්ථාව වන විට මෙම සියලු චූදිතයන් අත්අඩංගුවට ගෙන මාස දා හතරක කාලයක් ගතවී තිබුණා නේද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය. 


ඒ පිළිබඳව එකින් එක විමසමින් විමසීම් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ දොළහ සහ දහවන විත්තිකරුවන් මාස අවුරුදු එකයි මාස යුග කාලයකුත් දෙවන චූදිත සහ පස්වෙන චූදිත ය අවුරුදු එකහමාරකට ආසන්න කාලයකුත් හය හත යි විත්තිකරුවන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයකුත් අට වන විත්තිකරුවන් අවිත්තිකරු අවුරුදු දෙකයි මාස දෙකක් දින විසි ගණනක් ගත වී ඇති බවය. 


හිජාස් මහතාගෙන් ලබාගත් ලේඛනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් කළා දැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු 'එවැනි වාර්තා කිරීමක් සිදු නොකළ බව"සඳහන් කළේය. 


එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ මෙම නඩුව සම්බන්ධයෙන්ව ඒ න විටත් මාලිගාකන්ද අධිකරණයට සති දෙකෙන් දෙකට කරුණු වාර්තා වූ කර තිබූ බවය .ඒ අනුව මෙම වාර්තාව පිළිබඳව කරුණු දැක්වීමට හොඳින්ම අවස්ථාව තිබූ නමුත් එය සිදු කරන නොමැති බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට අවසන් වලට කරුණු වාර්තා කිරීම 2025/06/12 දින සිදුකළ අතර විමර්ශනයට අදාළ උදෘත කරුණු නීතිපතිවරයා වෙත යොමු කළ බවට වාර්තා කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.


"මේ ලේඛනය ඔබ අතට පත්වෙලා මාස දෙකහමාරක් යනකන් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කළේ නෑ ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී " එසේ කළේ නෑ ස්වාමීනි, ලබාගත් ලේඛන මත  විමර්ශනය කරුණු වාර්තා කිරීම් කළා යැයි කියා සිටියේය 


වෛද්‍ය සැපයුම් මේකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දර බණ්ඩාර මහතාගෙන් කට උත්තර ලබා ගැනීම් සිදුකළේ කවදාදයි ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේ දී සාක්ෂිකරු සඳහන් කළේ 2024/05/28,2024/08/07,2024/08/27 යන දිනවලදී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමක් සිදුකර බව ය.


"හිජාස් මහතාගෙන් ලබාගත් ලේඛනයේ සඳහන් දත්ත අනුව 2018 වසරේ සිට  ඖෂධ ලැබීමට ඇති තොගයන් තිබෙනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කරේ එම ලේඛනය අනුව එවැන්නක් සඳහන් වන බවය. එහෙත් තොග ලැබීම් සිදුවන අවස්ථාවලදී පරිගණක පද්ධතියේ දත්ත වෙනස්වීමක් සිදු නොවන බවත් තොග පිළිබඳව සොයා බලා අලුතෙන් හදිසි ප්‍රසම්පාදන කළ යුතු බවත් සාක්ෂිකරු සඳහන් කළේය. 


ජනාධිපති නීතිඥවරයා: ඔබෙන් අහන අහන ගැටලුවට හදිසි ප්‍රසම්පාදනය ගැන කතා කරන්නේ ඒ පිළිබඳව ඔබ හිතේ යමක් තියාගෙන ඉන්නවා.


සාක්ෂිකරු: මේ නඩුව තියෙන්නේ හදිසි ප්‍රසම්පාදනයට අදාළ වේ.


වෛද්‍ය සැපයුම් අංශයේ පැවති තොග සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා වෙත  කරුණු  දැන්වීමක් කර තිබුණාද යන්න පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී  ප්‍රධාන තොග පාලක ධනේෂ් නන්දන බණ්ඩාර විසින් එවැන්නක් සිදුකර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.


"මෙම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය මත සකස් කරන ලද වාර්තාවක්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයිය යුතු තොග සපයා ඇති බවට spc ආයතන මගින් කරුණු ඉදිරිපත් කර තිබූ බවය  ඒ පිළිබඳව නිවැරදි තත්වය දැන ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවූ බව සාක්ෂිකරු කියා සිටියේය.


මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම අදාළ ඖෂධ දෙක හදිසි ප්‍රසම්පාදනයකින් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් නොතිබූ බව යයිද සාක්ෂිකරු සඳහන් කළේය. 


"හිජාස් මහතාගෙන් ලබාගත් මෙම වාර්තාව ප්‍රධාන තොග පාලක නන්දන බණ්ඩාර ගෙන් ලබා ගැනීමට කටයුතු නොකළේ කුමන හේතුවක් මතද?" යන්න පිළිබඳව ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ pronto පද්ධතියට එක් එක් නිලධාරීන්ට පිවිසීමට ඇති ආකාරයන් එකිනෙකට වෙනස් බවය .නන්දන බණ්ඩාර ට එදා දවසේ පවතින තොගය පිළිබඳව  දත්ත ලබාගත හැකි නමුත් පෙර පවතින තොග පිළිබඳව දත්ත ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු ඒ සඳහා හැකියාව තිබූ තාක්ෂණික අංශයේ හිජාස් මහතාගෙන් ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කළ බව සඳහන් කළේය.


"ප්‍රධාන තොග පාලක නන්දන බණ්ඩාර මහතාට එවැනි ලේඛනයක් සකස් කළ නොහැකි බවට දැනගත්තේ කවදාදැයි"
 ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ විමර්ශන අතරතුර ඒ බව දැනගත් බවය. 


"එම දිනය කවදාදැයි" ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී නන්දන බණ්ඩාර මහතාගෙන් ප්‍රකාශ ලබාගත් 2024.5.28 දින අදාළ කරුණ අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.


 සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...