ලොව පුරා කාන්තාවන් වැඩිම පිරිසක් මියයන්නේ හෘදයාබාධ ඇතුළු හෘද වාහිනී රෝග හේතුවෙනි. එහෙත්, තම දිවි තොරකරන ප්‍රධානතම සතුරා හෘද රෝග බව දන්නේ කාන්තාවන්ගෙන් අඩකටත් අඩු පිරිසක් බව ඇමරිකානු හෘද සංගමයේ (AHA) දත්ත පෙන්වා දෙයි.
බොහෝ දෙනෙකු කාන්තා සෞඛ්‍යය දකින්නේ ප්‍රසව හා ප්‍රජනක සත්කාරයට පමණක් සීමා වූවක් ලෙසයි. එහෙත් කාන්තාවකගේ මුල් ළමාවියේ සිට වියපත් විය දක්වා හෝමෝන වෙනස්කම් ඇගේ හදවතේ ක්‍රියාකාරිත්වයට ඍජුවම බැඳී පවතින බව නූතන වෛද්‍ය විද්‍යාව අවධාරණය කරයි.
හදවත දෙන පූර්ව අනතුරු ඇඟවීම්

කාන්තාවකගේ පළමු ඔසප් වීම වයස අවුරුදු දහයට පෙර සිදුවීම, අක්‍රමවත් ඔසප් චක්‍රය මෙන්ම මානසික අවපීඩනය සහ නින්ද අඩාල කරන පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (PMS) නොසලකා හැරිය යුතු නොවේ.
විශේෂයෙන්ම වයස අවුරුදු හතළිහට පෙර ස්වාභාවිකව ආර්තවහරණයට පත්වන කාන්තාවන්ට පසුකාලීනව හෘදයාබාධ වැළඳීමේ අවදානම 40%කින් පමණ ඉහළ යයි. එලෙසම ගර්භණී සමයේ මතුවන අධික රුධිර පීඩනය (Preeclampsia) පසුකාලීන හෘද අවදානම කල්තියා හෙළිදරව් කරන ස්වභාවික 'ස්ට්‍රෙස් ටෙස්ට්' එකක් බඳුය.
ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන හතරක්

ඇමරිකානු හෘද සංගමය ඇතුළු ප්රමුඛ වෛද්‍ය සංවිධාන එකමුතුව ‘Circulation’ වෛද්‍ය සඟරාව හරහා හඳුන්වා දුන් නව රාමුව මගින් කාන්තා ජීවිතය ප්‍රධාන අදියර හතරකට බෙදා දක්වයි:
* පළමු ඔසප් වීම සිදුවන අවධිය (Early Transition)
* ප්‍රජනන හා ගර්භණී කාලසීමාව (Ovarian Cycling & Pregnancy)
* ආර්තවහරණයට පෙර සංක්‍රාන්ති අවධිය (Perimenopause)
* පශ්චාත් ආර්තවහරණ අවධිය (Postmenopause)
කාන්තාවක් තම ජීවිතයෙන් 40%කට ආසන්න කාලයක් ගත කරන්නේ ආර්තවහරණයෙන් පසුවයි. එබැවින් ඔසප් වීම නැවතුණු පමණින් හෝමෝන සාකච්ඡාව අවසන් නොකර, කොලෙස්ටරෝල් සහ හෘද සෞඛ්‍ය පරීක්ෂණ අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය සාධකයකි.
වෙනම කොටස් නොව එකම සෞඛ්‍ය ජාලයක්

කාන්තාවන් නාරිවේද ගැටලුවලට එක් වෛද්‍යවරයෙකුද, මානසික පීඩනයට වෙනත් උපදේශකයෙකුද, අධික රුධිර පීඩනයට හෘද රෝග විශේෂඥයෙකුද හමුවීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී සිදුවන්නේ එකම ශරීරයේ අන්තර් සම්බන්ධිත ලක්ෂණ එකිනෙකින් වෙන්ව විමර්ශනය වීමයි.
වෛද්‍ය පර්යේෂණවලදී කාන්තාවන්ගේ සහභාගීත්වය තවමත් අඩු මට්ටමක පැවතීම මෙම හිඩැස තවත් පුළුල් කරයි. මීට විසඳුම වන්නේ සියලුම විශේෂඥ වෛද්‍ය අංශ එක්ව කාන්තාවකගේ සම්පූර්ණ ජීවන චක්‍රය දෙස එකම පද්ධතියක් ලෙස බැලීමයි.
විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි:
Time Magazine Analysis: A New Way to Think About Women’s Heart Health
Video: Understanding Women's Heart Attack Symptoms and Unique Risks -American Heart Association



