පහසු මාවත වෙනුවට තෝරාගත් අසීරු ගමන
රංගන ක්ෂේත්රයේ රැඳී සිටීම මලින් පිරුණු මාවතක් නොවන බව ක්ෂේත්රයේ අත්දැකීම් ඇත්තෝ මනාව දනිති. කලාවට සම්බන්ධ කිසිදු පවුල් පසුබිමක් නොමැතිව පැමිණි තමන්ට කෙටි මඟින් ජනප්රිය වීමේ අවස්ථාව තිබුණද තෝරාගත්තේ අභියෝගාත්මක දුෂ්කර මාවත බව රංගන ශිල්පිනි රශිප්රභා සන්දීපනි පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ප්රවීණ මාධ්යවේදිනියක හා සාහිත්යවේදිනියක වන මනෝහාරී හේවාවසම් සමඟ 'Mirror Arts' නාලිකාව වෙනුවෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ 'සිංහබාහු' නාට්යයේ සිංහසීවලී චරිතයෙන් පන්නරය ලබා, මේ වන විට 'අහස තරම්' සිනමාපටය ඔස්සේ රිදී තිරය දක්වා පැමිණි ඇගේ වසර 14ක කලා ගමන අහම්බයක් නොවේ. එදිනෙදා සාමාන්ය ජීවිතය සහ වෘත්තීය විනය අතර පැහැදිලි සීමාවක් පවත්වා ගැනීම තම පැවැත්මේ මූලික රහස බව ඇය පෙන්වා දෙයි.
ආදරය, බැඳීම් සහ අභ්යන්තර සුවය
ප්රේමය සම්බන්ධයෙන් සමාජයේ ගොඩනැඟී ඇති සාම්ප්රදායික ආකල්ප පිළිබඳව රශිප්රභා දරන්නේ විවේචනාත්මක දෘෂ්ටියකි. බාහිර පුද්ගලයෙකුගෙන් පමණක් පූර්ණත්වය අපේක්ෂා කරන තුරු කිසිදු මිනිසෙකුට ආදරය තුළින් නියම සැනසීමක් අත්පත් කරගත නොහැකි බව ඇගේ අදහසයි.

අන්යයන් පාලනය කිරීම හෝ සැකයෙන් බැඳ තැබීම සැබෑ ප්රේමය නොවන බව ඇය අවධාරණය කරයි. පළමුව තමන් තමන්ටම ආදරය කිරීමට පටන් ගැනීමෙන් සිතේ හිස්තැන් පිරී යන බවත්, සහකරුවෙකු යනු අනෙකාට නිදහස සහ උපරිම ගරුත්වය ලබා දෙන අයෙකු විය යුතු බවත් ඇය සිහිපත් කරයි.
කාන්තාවකට ඕනෑම සමාජීය හෝ පවුල් පරිසරයක හිස කෙළින් තබාගෙන ජීවත් වීමට නම් මූලිකවම ආර්ථික සහ මානසික ස්වාධීනත්වය අත්යවශ්ය සාධකයක් බවද ඇය අවධාරණය කරයි.
අඳුරු අගාධය සහ යළි නැගිටීම
ජීවිතයේ එක්තරා අර්බුදකාරී කාල පරිච්ඡේදයකදී ඇති වූ දැඩි මානසික අවපීඩනය (Depression) හමුවේ සියදිවි නසාගැනීමේ සිතුවිලි පවා තමන්ට පහළ වූ බව ඇය නොපැකිළව හෙළි කරයි.
අනෙකෙකුට තම වටිනාකම ඔප්පු කිරීමට ගොස් ජීවිතය අත්හැර දැමීමෙන් කිසිදු ඵලක් නොවන බව වැටහීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය විය. අර්බුදවලින් මිදී තනිවම නැගී සිටි ආකාරය සිහිපත් කරන ඇය, තරුණ පරපුරට පවසන්නේ කිසිදු හේතුවක් මත ජීවිතය අත්නොහරින ලෙසයි.
"ජීවිතය හරියට ටෙලිනාට්යයක් වගේ. තුන්වැනි කොටස අඳුරු දුක්බර එකක් වුණත්, අටවැනි කොටසේ සුන්දර වසන්තයක් උදාවෙන්න පුළුවන්. ඒ සුන්දර කොටස එනතුරු ඉවසීමෙන් ඉන්න ඕනෙ," යනුවෙන් ඇය ජීවිතයේ ගැඹුරු යථාර්ථය සරලව පැහැදිලි කරයි.
සමාජ වෛරයට එරෙහි අධ්යාත්මික පලිහ
සමාජ මාධ්ය හරහා එල්ල වන ද්වේෂසහගත ප්රචාර, මඩ ප්රහාර සහ ඕපාදූප හමුවේ නොසැලී සිටීමට තමන් බෞද්ධ දර්ශනය ප්රායෝගිකව භාවිත කරන බව ඇය කියා සිටියි.
බුදුරජාණන් වහන්සේ අක්කෝස භාරද්වාජ බමුණාට දේශනා කළ සූත්ර ධර්මය නිදසුනක් ලෙස දක්වන ඇය, අනුන් එල්ල කරන අපහාස අප භාර නොගන්නා තාක්කල් ඒවා ඔවුන් සතුවම ඉතිරි වන බව පෙන්වා දෙයි.

වෛරය හිතේ තබා ගැනීමෙන් විනාශ වන්නේ තමන්ගේම මනසේ සැනසීමයි. එබැවින් වෛරයෙන් තොරව සමාව දීම තම පුරුද්දක් කරගත් බව ඇය පවසයි. කලාකරුවෙකුගේ සැබෑ සුන්දරත්වය රඳා පවතින්නේ තාවකාලික බාහිර රූපය මත නොව, සමාජයට යහපත් පණිවිඩයක් දිය හැකි ආකල්ප සහ බුද්ධිමය පරිණතභාවය මත බව රශිප්රභා සන්දීපනි අවසාන වශයෙන් සනාථ කරයි.
Mirror Arts වීඩියෝව නරඹන්න :
මම හිතලා තියෙනවා ඇයි මට මේ තරම් මගේ දෛවය දුක් දෙන්නේ කියලා | Rashiprabha sandeepani | Mirror Arts



