The Leader News
BREAKING
මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් ගැන වාර්තාවක් කැඳවයි; නඩු භාණ්ඩයකටත් කොන්දේසි●යුරෝපීය ශෘංගාර ආදර කතා රැල්ලේ ලාංකීය නිර්මාණය 'පෙම්බර මධු'●BOI විගණනයෙන් ඩොලර් බිලියන 7.4ක හිඟයක්; ගෑස් මිල නවතන්න බැරි බව CAA කියයි●චීන කුඩා ව්‍යාපාර රැල්ල මැද ආහාර ප්‍රමිති පරීක්ෂාවට ලක්වෙයි●රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් ව්‍යාපෘතියක්; තානාපති දනු●මත්තල අලාභය කෝටි 7,000ට නගී: නව ආයෝජකයින් සෙවීම ඇරඹේ●මහජන බැංකුව මාස නවයකදී බිලියන 52.1ක වාර්තාගත ලාභයක් ලබයි●ලොව පුරා ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් එකම ජාලයකට ගෙන එන GLEC ඇරඹේ●‘සෑන්ඩ්පේපර්’ අර්බුදය යළි ඇවිළෙයි: කමින්ස්ගේ ප්‍රකාශයට තෙවැනි ක්‍රීඩකයෙකුගෙන් අභියෝග●
Top Ad
සාහිත්‍ය - කලා

මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'

Awara

Awara

November 16, 2026 • 12:11 PM

මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'කැලණි පාලම' කියපු ගමන් ම අපිට මතක් වෙන්නෙ ආර්.
  • ඔවු… ඒ ගැන ලියන්න හිතුණෙ අපි මෙතෙක් කාලයක්: සංගීතවේදියෙක්, දක්ෂ හඬ කවන්නෙක් සහ රංගන ශිල්පියෙක් විදියට හඳුනාගෙන හිටපු කෙනෙක් කැලණි පාලම සහ ඒ ආශ්‍රිත ගොඩනැගී තිබෙන: සමාජ, ආර්ථක, දේශපාලන සහ සංස්කෘතික වටපිටාව අලළා ගයන ගීතයක් සම්බන්ධයෙන් මගේ අදහස ප්‍රකාශ කරන්න.
  • මේ ගීතය නම් කරල තියෙන්නෙ 'එල්ලෙමු ද කැළණි පාලමේ?' යන මැයෙන් ; මෙහි පද රචනය වසන්ත දුක්ගන්නාරාල; සංගීතය, තනුව සහ ගායනය මම ය‌ට සඳහන් කළ දක්ෂතා සහිත කලාකරුවකු වෙන හර්ෂ ආරියසිංහ.
  • මගේ කියවීමට අනුව නම් ගීතයේ විශාලතම ජයග්‍රහණය වන්නේ 'කැලණිය' භූගෝලීය ස්ථානයකින් සමාජ-දේශපාලන සංකේතයක් බවට පත් කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

'කැලණි පාලම' කියපු ගමන් ම අපිට මතක් වෙන්නෙ ආර්. ආර්. සමරකෝන් ගෙ 'කැලණි පාලම' වේදිකා නාට්‍ය. ඒ වගේ ම 'පාලම යට' කියපු ගමන් අපිට මතක් වෙන්නෙ කුලසේන ෆොන්සේකා ගේ නවකතාවක් ඇසුරෙන් එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරපු 'පාලම යට' සිනමා නිර්මාණය. කැලණි පාලම අලළා යමුනා මාලනී කිවිඳිය ලියපු ''කලින් නොදන්වා – ලියුමක් වත් නොඑවා'' කවියත් මතකයට නැගෙනවා.

දැන් ඔයාලට ප්‍රශ්නයක් පැන නගිනවා ඇයි මම මේ කැලණි පාලම ගැන මේ තරම් ලියන්නෙ කියල.

ඔවු… කැලණි පාළම හෝ කැලණි ගඟ අවසානය ආසන්න ප්‍රදේශයේ පසුබිම; එහෙමත් නැතිනම් කැලණි පාලම අලළා ලියවුණු තවත් සාහිත්‍ය රචනයක්; ඒ කියන්නෙ ගීතයක් ශ්‍රවණය කරන්න ලැබුණ නිසා තමයි මෙහෙම ලියන්න හිතුණෙ.

ඔවු… ඒ ගැන ලියන්න හිතුණෙ අපි මෙතෙක් කාලයක්: සංගීතවේදියෙක්, දක්ෂ හඬ කවන්නෙක් සහ රංගන ශිල්පියෙක් විදියට හඳුනාගෙන හිටපු කෙනෙක් කැලණි පාලම සහ ඒ ආශ්‍රිත ගොඩනැගී තිබෙන: සමාජ, ආර්ථක, දේශපාලන සහ සංස්කෘතික වටපිටාව අලළා ගයන ගීතයක් සම්බන්ධයෙන් මගේ අදහස ප්‍රකාශ කරන්න.

මේ ගීතය නම් කරල තියෙන්නෙ 'එල්ලෙමු ද කැළණි පාලමේ?' යන මැයෙන්; මෙහි පද රචනය වසන්ත දුක්ගන්නාරාල; සංගීතය, තනුව සහ ගායනය මම ය‌ට සඳහන් කළ දක්ෂතා සහිත කලාකරුවකු වෙන හර්ෂ ආරියසිංහ.

අපි පළමුවෙන් ම ගීතය කියවා ගමු.   

 

පහත් බිම්වල ඉන්න

අපි එහෙම අපතයො ද

කැලණි මිටියාවතේ

වරක් නොව සිය වරක් වැන්දත්

පවු ඉවර නෑ සාගරේ

අඩු කුලෙ ද අපි තාම හාමතේ

එල්ලෙමු ද කැලණි පාලමේ

 

පපඩමක් හප හපා

ගල් බාගයක් බොන්න

පඩි දාට වෙන්නෙ නෑ හාමිනේ

බෝධි පූජාවට එන්න

තෙල් පහන් අරගන්න

ඇගෙ අතේ සතේ නෑ සාමිනේ

 

අවුරුදු ම හතළිහක්

රෙදි ගැලවිලා යන්න

ගංවතුර ගලනා කැලණියේ

වරක් වැන්දා ම

පවු හේදිලා යන්නේ

යට ඇඳුම් එක්කම ද කැලණියේ

 

කැලණි මිටියාවතේ

වරක් නොව සිය වරක් වැන්දත්

පවු ඉවර නෑ ශාසනේ

අඩු කුලෙ ද අප තාම හාමතේ

එල්ලෙමු ද කැලණි පාලමේ

 

පදරචනයේ/ගීතයේ දේශපාලන හදවත

මේ පද රචනයේ/ගීතයේ පද පෙළ සම්පූර්ණයෙන් කියවා බැලුවම මට දැනුණ දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් දුප්පත්කම ගැන කියන ගීතයක් හෝ කැලණිය ගැන කියන ගීතයක් ලෙස පමණක් නොවන බව; එහෙම කියවනවා නම් ඒක ගීතය ගැන අඩු කියවීමක් බව. මොකද මේ පද රචනයේ මතුපිට කතාවට යටින් කුලය, පන්තිය, ආගම, දේශපාලනය, රාජ්‍යය, දරිද්‍රතාව, ලිංගික/ශරීර දේශපාලනය සහ ආගමික ව්‍යාජ සදාචාරය යනාදි සියල්ල එකිනෙක ගැටෙන සංකීර්ණ සමාජ විවේචනයක් තිබෙනවා.

මම කැමතියි මේ ගීතයේ වචන සහ වචන ඉක්මවා යන අරුත් පිළිබඳ යමක් පැහැදිලි කරන්න.

පළමුවෙන් ම අපි ගමු මෙහි 'කැලණිය' කියන රූපකය. මගේ කියවීමට අනුව නම් ගීතයේ විශාලතම ජයග්‍රහණය වන්නේ 'කැලණිය' භූගෝලීය ස්ථානයකින් සමාජ-දේශපාලන සංකේතයක් බවට පත් කිරීම. ඒ සඳහා මෙන්න මේ වචන ටික හොඳ ම උදාහරණයක්.

'කැලණි මිටියාවතේ
වරක් නොව සිය වරක් වැන්දත්
පවු ඉවර නෑ සාගරේ'

මගේ කියවීම අනුව පද රචකයාට 'කැලණිය' කියනනෙ පූජනීය ස්ථානයක් පමණක් නොවේ. ඒ නාමය: පුණ්‍යය, ශාසනය, ආගමික බලය සහ සමාජ සදාචාරය නියෝජනය කරන සංකේත අවකාශයක් බවට පත්කරල තියෙනවා. නමුත් ඒ පුණ්‍ය භූමිය තුළ ම කතා කරන මිනිසාගේ 'පවු' අවසන් නොවන බව රචකයා සඳහන් කරනවා. ගීතයේ/ පද රචනයේ ප්‍රබල ම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නෙ එතන කියලයි මගේ අදහස. මොකද කිසියම් මිනිසකු ගෙ (මෙහි 'මිනිසා' යනු පොදු මානවයා) පව හෝ පින තීරණය කරන්නේ ආගමද? නැත්නම් ඔහුගේ කුලය සහ සමාජ තත්ත්වය ද කියන ප්‍රශ්නය පැන නැගෙනවා. ඒ නිසා 'අඩු කුලෙ ද අපි තාම හාමතේ' යන පේළිය ගීතයේ/පද රචනයේ දේශපාලන හදවත විදියටයි මම දකින්නෙ.

ප්‍රහාරාත්මක වචනයක්

මේ පද පෙළ ඉතා කල්පනාකාරිව කියවා ගන්න පුළුවන් නම් ඔයාලට දැනෙනව ඇති ගීතය ආරම්භ වෙන්නෙ ම දැඩි වගේ ම දරුණු ස්වයං-ප්‍රශ්න කිරීමකින්.

'පහත් බිම්වල ඉන්න
අපි එහෙම අපතයො ද'

මෙතන දි 'අපතයෝ' කියන්නෙ කථකයා තමන් ගැන කරන ස්වයං විනිශ්චයක් වගේ පෙනුණට ඇත්ත වශයෙන්ම එය සමාජය විසින් පහළ පන්තියට/පහළ කුලයට පවරන ලද නාමය ආපසු සමාජයටම එල්ල කිරීමක් විදියටයි මම කියවා ගත්තෙ.

එතනදිත් මේ 'පහත් බිම්' කියන්නේ භූගෝලීය පහත් බිමක් කියන එක විතරක් නොවෙයි. එය: ආර්ථික පහළ තත්ත්වය, සමාජයේ පහළ ස්ථානය, කුල ධුරාවලියේ පහළ ස්ථානය සහ බලය නැතිකම යනාදි  හැම එකක් ම එක පොකුරට ඉදිරිපත් කරන බහුඅර්ථක රූපකයක්. ඒනිසා 'පහත් බිම්' සහ 'අඩු කුල' එකිනෙකට සම්බන්ධ කර තිබීම අහම්බයක් විදියට හිතන්න බැහැ.

පද රචනයෙහි දේශපාලන මානය

මේ පද රචනයේ ඉතා විශිෂ්ට පේළියක් විදියට 'අඩු කුලෙ ද අපි හාමතේ' පේළිය හඳුන්වන්න පුළුවන්. එතනදි: “අඩු කුලේ” කියන්නෙ ඉතිහාසයෙන් එන සමාජ වර්ගීකරණයක් විදියටත්, “හාමතේ” කියන්නෙ වර්තමාන ආර්ථික යථාර්ථයත් විදියට ගන්න පුළුවන්. මේ වදන් ත්‍රිත්වය එකම පේළියක කැටි කිරීමෙන් පද රචකයා කියන්නෙ මොකක්ද…? මගේ කියවීමට අනුව නම් පද රචකයා කියන්නෙ: කුල පීඩනය අවසන් වෙලා කිව්වට මේ නූතන සමාජය තුළත්, එහි ආර්ථික ප්‍රතිවිපාක තවම ජීවමානයි කියල. ඒ නිසා මේ පද රචනය කුලය පිළිබඳ පද රචනයක් විතරක් ම පමණක් නෙවෙයි; ඒක: කුලය, දරිද්‍රතාව, සමාජ බැහැරකිරීම යනාදි සම්බන්ධතාව ප්‍රශ්න කරන පද රචනයක්.

සමාජ, ආර්ථික ප්‍රවාහයේ අමු ඇත්ත

මෙතන දි තවත් වැදගත් කරුණක් සිහිපත් කරන්න ම වෙනවා. ඒ තමයි සමහර විට ආගමික අන්තවාදියො මේ පද රචනය ආගම් විරෝධී පද රචනයක් විදියටත් ගන්න පුළුවන්. ඔවු… ඒ අය එහෙම ගන්නවා නම් මේ පද රචනය ඒ අය හිතන ආකාරයේ සරල ආගම් විරෝධී පද රචනයක් නෙවෙයි. රචකයාගේ ප්‍රහාරය වඩාත් තියුණු විදියට යොමු වෙන්නේ ආගමික භක්තිය සහ සමාජ අසාධාරණය අතර ඇති පරස්පරතාවට.

'පපඩමක් හප හපා
ගල් බාගයක් බොන්න
පඩි දාට වෙන්නෙ නෑ හාමිනේ'

මෙතනදි ඉදිරියට එන්නෙ ජීවිතයේ සැබෑ අවශ්‍යතා. ඊළඟට පද රචකයා කියන්නෙ මොකක් ද…?:

'බෝධි පූජාවට එන්න
තෙල් පහන් අරගන්න
ඇගෙ අතේ සතේ නෑ සාමිනේ'

මෙතනදි 'බෝධි පූජාව' සහ 'සතේ නෑ' කියන යෙදුම් දෙක අතර ඉතා බලවත් ගැටුමක් පවතිනවා. ආගමික පූජාවකට සඳහා තෙල් සහ පහන් අවශ්‍යයි කියල අපි හැමෝ ම දන්නව නෙ. නමුත් ඒ තෙල් සහ පහන් මිලදී ගන්න හෝ වත්කමක් නැහැ. එතනදි රචකයා නගන ප්‍රශ්නය තමයි කුසගින්නෙ ඉන්න මිනිසකුට ආගමික පිළිවෙත කොතරම් ප්‍රායෝගික ද යන්න. ඇත්තට ම ඒක ආගම ප්‍රතික්ෂේප කිරීමක් විදියට ගන්න බැහැ. ඒක ආගමික සමාජයේ සදාචාරාත්මක වගකීම ප්‍රශ්න කිරීමක්.

මට මෙතනදි මතක් වෙන්නෙ ඇල්බෙයා කැමු අපිට හඳුන්වල දීපු මර්සෝ. එයා අම්ම ගෙ මළ ගෙදරට නොයන්න තීරණය කරන්නෙ අම්මට ආදරය නැතුව නෙවෙයි; මළ ගෙදරට යන්න තරම් ආර්ථික තත්ත්වයක් නැති නිසා. පද රචකයා මෙතනදි ඉදිරිපත් කරන්නෙ මේ සමාජ, ආර්ථික ප්‍රවාහයේ අමු ඇත්ත.

පද රචකයා ගේ භාෂා තේරීමේ ශක්‍යතාව

මෙහි දී පද රචකයා ගේ භාෂා තේරීම පිළිබදවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

'හාමිනේ', 'සාමිනේ'

පද රචකයා මේ වචන යොදාගැනීමෙන් ගීතය පොතේ භාෂාවෙන් පහළට බැහැලා ජන ජීවිතයේ කටහඬට බවට පත්කරනවා. ඒ නිසා ම මේ පද රචනය උගත් පුද්ගලයෙක් දුප්පතුන් පිළිබඳ ව ලියපු කවියක් නොවී, එය ජනතාව ගේ ම කටහඬින් කියන විලාපයක්/ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මෙතන මම සලකන්නෙ පද රචනයේ විශාල ශක්තියක් ගැබ් වෙලා තියෙන තැනක් විදියට.

භාෂා තල මාරු කිරීම

මේ පද රචනය එක් එක් අවස්ථාවල දි එක් එක් තලවලට ගමන් කරනවා. ගංවතුර කියන්නේ ස්වභාවික (මම පුද්ගලිකව නම් හඳුන්වන්නෙ විද්‍යාත්මක විපතක් කිය) විපතක් විදියට නෙ හඳුන්වන්නෙ. නමුත් 'රෙදි ගැලවිලා යන්න' කියද්දි ම එතනට මිනිස් සිරුරේ සහ මනසේ ලජ්ජාව සහ නිරුවත එක් කරනවා. (යමුනා මාලනීගෙ කවියෙ 'රෙද්ද ලිහාගෙන – ගෙදරට රිංගුවා දවසක්' කොටසට සමපාතයි)  

ඊළඟට පද රචකයා 'යට ඇඳුම් එක්කම ද කැලණියේ' යනුවෙන් යොදනවා. මෙන්න මෙතනදි තමයි පද රචනයේ භාෂාව ක්ෂණිකව ම ඉතා දෛනික, ශරීරගත, අපහසු සහ විකාරාත්මක බවට පත්කරනවා. නමුත් එහෙමයි කියල මෙය පද රචනයේ විහිළු පේළියක් විදියට ගන්න එක වැරැදිය යන්නයි මගේ අදහස. මෙතනදි යට ඇඳුම සමාජයේ 'ලජ්ජාව' සහ 'සදාචාරය' පිළිබඳ සංකේතයක් විදියටත් කියවිය හැකියි. තවත් පැහැදිලි කරනවා නම්: ගංවතුර සමාජයේ ආවරණ හැම එකක් ම ගලවා දමනවා. ඒ කියන්නෙ පුද්ගලයකුගේ: කුලය, ධනවත් බව, දුප්පත්කම, ශරීරය, ලජ්ජාව, සදාචාරය, යන සියල්ල ම නිරාවරණය කරනවා.

ආගමට පමණක් සීමා නොවන උපහාසය

මේ ගීතයේ වඩාත්ම උපහාසාත්මක කොටස විදියට මම දකින්නෙ 'වරක් වැන්දා ම පවු හේදිලා යන්නේ යට ඇඳුම් එක්කම ද කැලණියේ' යන කොටස යි. මොකද 'පව් සේදීම' යන ආගමික සංකල්පය අරගෙන ඒක 'යට ඇඳුම්' එක්ක ඝට්ටනය කිරීමෙන් රචකයා පූජනීයත්වය සහ දෛනික ජීවිතයේ අශුද්ධ/ශාරීරික යථාර්ථය එකම රාමුවකට අගෙන එනවා. ඒ නිසා මේ උපහාසය ආගමට පමණක් සිමා වෙන්නෙ නැහැ. ඒක පවිත්‍ර යැයි සැලකෙන සමාජය තුළ හැංගිලා තියෙන අපවිත්‍ර, දුගඳ යථාර්ථය අසන්නට/ කියවන්නාට දනවනවා.

මාතෘකාවේ දේශපාලනය

ඊළගට මම කැමතියි මේ පද රචනය ගීතයක් විදියට රසික/ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ඉදිරිපත් කරපු මාතෘකාව ('එල්ලෙමු ද කැලණි පාලමේ?') වෙත යොමු වෙන්න. මට දැනෙන විදියට නම් මේක තමයි ගීතයේ වඩාත්ම බරපතළ සංකේතය.

අපි දන්නවා කැලණි පාලම ස්ථාන දෙකක් සම්බන්ධ කරනවා. එකක් තමයි එක පැත්තකින් තවත් පැත්තකට යන මාර්ගයක් කියන භෞතික ස්ථානය. නමුත් පද රචකයාට ඒක ජීවිතයෙන් ගැලවීමේ අවසාන සීමාවක් බවට පත්වෙනවා. ඒ නිසා ම තමයි ඔහු 'එල්ලෙමු ද කැලණි පාලමේ' යනුවෙන් යොදන්නෙ. මෙන්න මෙතන දි පද රචනය විරෝධතාවෙන් අසරණත්වයට පොළාපනිනවා. ඒක 'අපි සමාජය වෙනස් කරමු' කියන ජයග්‍රාහී විප්ලවීය හඬක් විදියට සලකන්න බැහැ. එතනින් හැඟවෙන්නෙ 'මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනව ද…?' වගේ අරුතක් නෙ… ඒක අතිශය වේදනාකාරී ප්‍රශ්නයක්. ඒ නිසා කැලණි පාලම” මට පේන්නේ සමාජ පරතරය සහ ජීවිත-මරණ සීමාව යන දෙකම එකවර නියෝජනය කරන සංකේතයක් විදියට.

පද රචනයේ කාව්‍යමය විදුලි කෙටීම

මේ පද රචනයේ භාෂා ලෝක දෙකක් එකිනෙකට ගැටෙන බවක් හැඟෙනවා. එකක් තමයි පූජනීය ලෝකය. එතනදි: කැලණිය, වැඳීම, පවු, බෝධි පූජාව, තෙල් පහන් සහ ශාසනය යනාදිය සලකන්න පුළුවන්.

අනික තමයි දෛනික දුප්පත් ලෝකය. එතනදි: පපඩම්, ගල් බාගය, පඩි, අතේ සතේ නැතිකම, ගංවතුර සහ යට ඇඳුම් යනාදිය සලකන්න පුළුවන්. මම මේක ලෝක දෙක එකට ගැටීමක් විදියට වගේ ම 'පද රචනයේ කාව්‍යමය විදුලි කෙටීම' විදියටත් හඳුන්වන්න කැමතියි.

අර්ථ පොළා පැනීමේ දෙවන අවස්ථාව

මම කලින් සඳහන් කරා නෙ පද රචනයේ පොළා පැනීමක් පිළිබදව. ඒ ලක්ෂණය පද රචනයේ තවත් තැනක හමුවෙනවා. එක තැනක සඳහන් වෙනවා 'පවු ඉවර නෑ සාගරේ' යනුවෙන්. තවත් තැනක සඳහන් වෙනවා 'පවු ඉවර නෑ ශාසනේ' යනුවෙන්. මේ වෙනස ඉතාම අසාමාන්‍ය යි සහ ගැඹුරුයි.

මෙතන දි 'සාගරේ' යනුවෙන් සඳහන් වෙන්නෙ අසීමිත බව; 'ශාසනේ' යනුවෙන් සඳහන් වෙන්නෙ ආගමික සහ සදාචාරාත්මක පද්ධතිය. ඒ නිසා අවසානයේ 'පවු' තීරණය වන්නේ පුද්ගලයා ගේ ක්‍රියාවෙන් පමණක් නෙවෙයි. ඒක තීරණය කරන්නෙ අදාළ පුද්ගලයා ගේ සමාජ-ආගමික පද්ධතිය තුළ ඔහුට/ඇයට හිමි ස්ථානයෙන් ද යන අදහසකුත් ඉස්මතු වෙනවා.

'ගීතයේ' පද සහ තනු සම්බන්ධය

මම මෙතෙක් සැලකිල්ලට ගත්තෙ පද රචනය සම්බන්ධයෙන් නෙ. නමුත් මේ පද රචනය ගීතයක් බවට පරිවර්තනය වුණාට පස්සෙ එහි තනුවේ ස්වර, chord progression, instrumentation යනාදි සංගීත තාක්ෂණික කරුණු audio track එක පිළිබඳ ව සෘජුව විශ්ලේෂණයක් කරන්න තරම් සංගීත ඥානයක් මට නැහැ. නමුත් 'ගීතයේ' පද සහ තනු සම්බන්ධය විචාරාත්මකව බලද්දි මට දැනෙන වැදගත්ම කරුණ තමයි තනුව පදවල උපහාසය හා වේදනාව අතර සමබරතාව පවත්වා ගත යුතු වීම. මොකද මේ වගේ ගීයකට අතිශය ශෝකී, අඳුරු තනුවක් විතරක් තිබුණොත් පදවල උපහාසාත්මක දේශපාලන දෂ්ටිය අඩු වෙන්න පුළුවන්. තවත් පැත්තකින් බැලුවම අතිශය විනෝදජනක තනුවක් වුනොත් පද රචනයේ අන්තර්ගත මානව ඛේදවාචකය සැහැල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා මේ පද රචනයට සංගීතය භාවිත කරද්දි ප්‍රධාන වශයෙන් කලාත්මක අභියෝගය පවතිනවා. ඒ තමයි අසන්නාට (නරඹන්නාට නොවේ) පළමුව ගීතයක් විදියට රස විදින්න ඉඩ දීල, පසුව ඒ ගීතය තුළ සැඟවිලා තියෙන වේදනාව ඔහුට දැනෙන්නට සැලැස්වීම.

පද රචනය දේශපාලනය ප්‍රකාශිත ගීතයක් ලෙස…

මෙබඳු පද රචනයකට සංගීත සංකලනයෙන් කරන්න පුළුවන්ව විශාලතම සේවය තමයි අර්ථය පැහැදිලි නොකර, අර්ථයට අවකාශය නිර්මාණය කිරීම. විශේෂයෙන් 'එල්ලෙමු ද...' වැළකී සිටින්න බඳු ස්වභාවයක් නැවත නැවත පැමිණෙද්දි ඒක සංගීතමය වශයෙන් මනසට ඇලෙන කොක්කක් බවට පත්වෙන එක වැදගත්. ඒක ගීතයේ දේශපාලන පණිවිඩය ජනප්‍රිය සංගීතයේ මට්ටමට අරගෙන එනවා. ඒ නිසා මේ පද රචනය දේශපාලනය ප්‍රකාශිත ගීතයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයක් විදියට කියවා ගන්න පුළුවන්.

ගායනයේ පිළිබිඹුව

මෙතනදි ගායකයා ගේ භූමිකාවත් සැලකිල්ලට ගත යුතුම යි. විශේෂයෙන් ම හර්ෂ ආරියසිංහ බඳු ගායකයකු ගේ ගායනය මෙබඳු පද රචනයක දි වැදගත් වෙන්නේ ඔහු පදවල කටහඬ කාගෙ ද යන්න තීරණය කරන්න දක්ෂ සංගීතවේදියෙක් නිසා. තවත් සරලව ම කියනවා නම් මේක වේදිකාවක දේශනයක් කරන දේශපාලනඥයකු ගේ හඬක් නොවිය යුතුයි. ඒ වගේ ම අතිශය නාට්‍යමය විලාපයක් වීමත් සුදුසු නැහැ. මෙතනදි අවශ්‍ය වන්නේ 'අපි' යනුවෙන් වර නගන බහුජන කටහඬක්. 'අපි එහෙම අපතයො ද?' කියන ප්‍රශ්නය ඒ නිසා තනි මිනිසකු ගේ ප්‍රශ්නයක් නොවී සමාජයේ පීඩිත පිරිසක ගේ සාමූහික ප්‍රශ්නයක් බවට පත්වෙනවා. අන්න ඒ හැඟීම හර්ෂ තමන් ගෙ ගායනය තුළින් පිළිබිඹු කරනවා.

මගේ සාහිත්‍යමය තක්සේරුවෙදි නම් 'එල්ලෙමුද කැළණි පාලමේ?' කියන්නෙ මතුපිටින් ජනප්‍රිය ගීතයක් විදියට ඇහෙන, නමුත් ඇතුළතින් සමාජ විවේචනාත්මක ගීතයක් විදියට ගොඩනැගුණු නිර්මාණයක්. එහි විශේෂත්වය තමයි විශාල දේශපාලන සංකල්ප පොත්පත් භාෂාවෙන් නොව, සාමාන්‍ය මිනිසකුගේ කටහඬින් ඉදිරිපත් කිරීම.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...