The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
සාහිත්‍ය - කලා

රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'

විවාහය තුළ සතුට සීමා වෙනවාද? ප්‍රචණ්ඩත්වය සහ සමාජ මාධ්‍ය අතර සබඳතාව කුමක්ද? 'අපේ ගෙදර ගිනි තියයිද' වසරක් සපිරෙන මොහොතේ ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක සිය නිර්මාණ දැක්ම විවරණය කරයි.

Pasan

Pasan

October 19, 2026 • 10:30 PM

රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ රාජිත දිසානායකගේ “අපේ ගෙදර ගිනි තියයිද” නාට්‍යයේ වර්ෂ පූර්ණ දැක්ම 2026 ඔක්තෝබර් 31 වන දින සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දක්වන්නට නියමිතයි.
  • ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’, ‘ආපහු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදි බසී’, ‘ආදර වස්තුව’, ‘නැතුව බැරි මිනිහෙක්’, ‘2019 ජූලි මාසේ දවසක්’ ඇතුළු නාට්‍ය රැසක් නිර්මාණය කළ රාජිත සමඟ ඔහුගේ නවතම නාට්‍යය වන අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යය පාදක කරගෙන පවත්වන ලද සාකච්ඡාවකි.
  • ඔක්තෝබර් 31 වසරක සැමරුම කලාවේ කාර්යභාරය සහ සමාජ පීඩනය ප්‍රශ්නය: නාට්‍යකරුවෙකු ලෙස කලාවේ කාර්යභාරය ඔබ දකින්නේ කොහොමද?
  • රාජිත: කලාවෙන් සිද්ධ වෙන එක ප්‍රධාන දෙයක් තමයි මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් කලාත්මකව ප්‍රකාශ කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ රාජිත දිසානායකගේ “අපේ ගෙදර ගිනි තියයිද” නාට්‍යයේ වර්ෂ පූර්ණ දැක්ම 2026 ඔක්තෝබර් 31 වන දින සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දක්වන්නට නියමිතයි. ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’, ‘ආපහු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදි බසී’, ‘ආදර වස්තුව’, ‘නැතුව බැරි මිනිහෙක්’, ‘2019 ජූලි මාසේ දවසක්’ ඇතුළු නාට්‍ය රැසක් නිර්මාණය කළ රාජිත සමඟ ඔහුගේ නවතම නාට්‍යය වන අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යය පාදක කරගෙන පවත්වන ලද සාකච්ඡාවකි.

img-20261019-222924-mceclip0-eqCyJE.jpg

ඔක්තෝබර් 31 වසරක සැමරුම


කලාවේ කාර්යභාරය සහ සමාජ පීඩනය


ප්‍රශ්නය:
නාට්‍යකරුවෙකු ලෙස කලාවේ කාර්යභාරය ඔබ දකින්නේ කොහොමද?

රාජිත:
කලාවෙන් සිද්ධ වෙන එක ප්‍රධාන දෙයක් තමයි මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් කලාත්මකව ප්‍රකාශ කරන එක. මනුෂ්‍ය ස්වභාවයට මනුෂ්‍ය සබඳතා සහ සමාජය පිළිබඳව සිතීමක්, අවබෝධයක් ඇති කරන්න කලාවට පුළුවන්.

මිනිස්සු හිතන විදිය ගොඩනැගෙන්න අධ්‍යාපනය, ආගම, පවුල වගේම ඒ ඔස්සේ එන ආචාර ධර්ම සහ සම්ප්‍රදායන් බලපානවනේ. මේ විදියට ගොඩනැඟුණු සංස්කෘතිය සහ සදාචාරාත්මක අගයන් සමහර වෙලාවට මිනිස්සුන්ට පීඩාකාරී වෙනවා.

ඒ පීඩාව පවුල ඇතුළත සිදු වෙන්නත් පුළුවන්; ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම් ඇතුළත වෙන්නත් පුළුවන්. කුලය, ආගම, ජාතිය, භාෂාව, ආර්ථික මට්ටම නිසා මිනිසුන් පත්වන පීඩාව නිරූපණය කරන්නත්, ප්‍රශ්න කරන්නත් කලාවට පුළුවන්. මනුෂ්‍යන්ට විතරක් නෙවෙයි සත්වයන්ට සහ පරිසරයට හිතකර සමාජයක් ගැන හිතන්න මිනිසුන්ව පොළඹවන්න කලාවට පුළුවන්. ඒකට මැදිහත් වෙන එක කලාවේ නිරත වන අයගේ කාර්යභාරය විදියට මම හිතනවා.

img-20261019-223137-mceclip1-S0Uwcp.jpg


සැලසුම් සහගත ප්‍රචණ්ඩත්වය හා ගිනිගත් ගෙවල්

ප්‍රශ්නය:
‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍යයෙන් ඔබ මතු කරන්න උත්සාහ කරන්නේ සමකාලීන සමාජයේ කෙබඳු ස්වරූපයක් ද?

රාජිත:
සතුට සහ ආශාවන් අත්පත් කර ගැනීම තමයි සමකාලීන සමාජයේ බොහෝ දෙනෙකුගේ ජීවන අපේක්ෂාව. මේ නාට්‍යයේ අපට හමුවන චරිතවලත් එම අපේක්ෂාවන් අනපේක්ෂිත සිද්ධියක් නිසා බිඳ වැටුණට පස්සේ දිග හැරෙන තත්ත්වයන් සමුදායක් තමයි නිරූපණය වෙන්නේ.

අපේ සමාජයේ ක්‍රියාත්මක වෙන සැලසුම් සහගත ප්‍රචණ්ඩත්වය සමඟ සමාජ මාධ්‍යයට කොයි තරම් සමීප සම්බන්ධයක් පවත්වන්නට හැකියාවක් තියෙනවද කියන දේත් මේ නාට්‍යය මඟින් නිරූපණය වෙනවා.

මේ නාට්‍යය ගැන කෙටියෙන්ම කිව්වොත් අපේ සමාජයේ සමහර අයගේ ගෙවල් සමහරු ගිනි තියනව අපි දැකල තියෙනවා. ඒ වගේම බිත්තියි වහලෙයි හොඳට තියෙද්දීත් සමහර ගෙවල් ගිනි ගන්නව අපි දකිනවා. ඔය දෙවිදියටම ගිනි ගත්තු ගෙවල් දෙකක අය මේ නාට්‍යයේදී අපිට හමුවෙනවා.

img-20261019-223212-mceclip2-KANKPm.jpg


ප්‍රේමය, විවාහය සහ ස්ත්‍රී අනන්‍යතාව

ප්‍රශ්නය:
ඔබේ ‘නැතුව බැරි මිනිහෙක්’, ‘සිහින හොරු අරන්’, ‘හිතලා ගත්තු තීරණයක්’ වැනි නාට්‍යවලට වඩා ‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍යයේ ස්ත්‍රී චරිත සමූහයකට ප්‍රධාන තැනක් ලැබෙනවා. ඔබ ස්ත්‍රියගේ භූමිකාව ඔබේ නිර්මාණය තුළ ස්පර්ශ කරන්නේ කොහොමද?

රාජිත:
හිතලා ගත්තු තීරණයක් නාට්‍යයෙත් මම කාන්තා චරිත වලට ප්‍රබල ඉඩක් ලබා දුන්නා. අපේ ගෙදර ගිනි තියයිද නාට්‍යයේදීත් මම තව දුරටත් ඒකට උත්සාහ කළා. මේ නාට්‍යයේදී අපට හමුවන එක් කාන්තාවක් දික්කසාද වෙලා ඉන්න කෙනෙක්. තව කෙනෙක් විවාහ වෙච්ච නැති කෙනෙක්, තව කෙනෙක් විවාහයෙන් පිට ප්‍රේමයක් පවත්වාගන්න උත්සාහ කරපු කෙනෙක්, අනිත් කෙනා විවාහය බිඳ ගන්නේ නැතුව පවුලත් සමඟ පවුල වෙනුවෙන් ජීවිතය ගත කරන කෙනෙක්. මේ අයගෙ ජීවිත අත්දැකීම් ඔස්සේ සමකාලීන සමාජය තුළ කාන්තාවන් අත්විඳින අත්දැකීම් මේ නාට්‍යයේදී දිග හැරෙන්නට ඉඩක් හැදෙනවා.

ප්‍රේමය කියන විෂයේදී වර්තමාන ස්ත්‍රිය පෙන්නුම් කරන සහ ඉල්ලා සිටින නව තත්ත්වයන්ට සාපේක්ෂව බොහෝ පිරිමින්ගේ හැසිරීම මීට අවුරුදු තිහකට කලින් තිබුණට වඩා විශාල විදියට වෙනස් වෙලා නෑ කියල මට හිතෙනවා.

අප ජීවත් වන සමාජය කොයිතරම් නවීනයි කියල කිව්වත් විවාහය තුළ සහ ප්‍රේමය තුළ සීමාවන් සහ ගැටුම් පෙර පරිදිම තවමත් පවතිනවා. මම කාන්තා පිරිමි ප්‍රේමයට හරිම කැමති කෙනෙක්. එය ලෝකයේ තිබෙන සුන්දරම දෙයක්. නමුත් විවාහය සහ ප්‍රේමය අතර සම්බන්ධය පෙර කාලවලටත් වඩා මේ වෙනකොට සංකීර්ණ වෙලා කියල මම හිතනවා.

විවාහයෙන් පසු පවුලක් වුණාම සතුට කියන කාරණාව සීමා වීමකට ලක් වෙනවද කියන කාරණය ගැන මම මේ කාලයේදී ගොඩක් හිතනවා. කාන්තාවට පවුල තුළ මෙන්ම සමාජය තුළ ආරක්ෂාව, තීරණ ගැනීමේ අයිතිය සහ නිදහස මීට වඩා සැකසෙන්න ඕන කියන දේ ගැන මම වැඩියෙන්ම හිතන්න ගත්තේ මගේ දියණියගේ අනාගතය ගැන හිතන්න ගත්තාම.

කාන්තාවකට වගේම පිරිමියෙකුටත් සතුටින් සහ නිදහස් විදියට ජීවත් වෙන්න ලැබෙන එක තමයි වැදගත්. ඒ වගේම පවුල් ඒකකය මේ සමාජය තුළ දුර්වල නොවී පැවතිය යුතු දෙයක් විදියටත් මම හිතනවා. ඒ නිසා විවාහ වෙලා සතුටින් ඉන්න පුළුවන් විදිය වගේම විවාහ වෙන්නේ නැතුව ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන් විදියත් සොයා ගැනීම තමයි අප කළ යුත්තේ. මේ කාරණාවලට මුහුණ දෙන ස්ත්‍රීන් හතර දෙනෙක් සහ පිරිමින් තුන්දෙනෙක් අපට මේ නාට්‍යයේදි හමුවෙනවා.

img-20261019-223248-mceclip3-z5nakA.jpg


දාර්ශනික ආස්ථානය සහ විෂය ක්ෂේත්‍ර

ප්‍රශ්නය:
ඔබ කිසියම් විශේෂිත දාර්ශනික හෝ ආගමික ආස්ථානයක සිටින නිර්මාණකරුවෙක්ද? එසේත් නැත්නම් සමාජ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් පවතින දෘෂ්ටිවාදයක් වෙනුවෙන් පෙනී සිටින නිර්මාණකරුවෙක්ද?

රාජිත:
මම එක දර්ශනවාදයකට හෝ ආගමකට කොටු වී ඒ වෙනුවෙන් සේවය කරන කෙනෙක් නෙවෙයි. බුදු දහම සහ ක්‍රිස්තියානි ධර්මයේ එන මනුෂ්‍ය ජීවිතය යහපත්ව ගත කරන්න උදව් වෙන අදහස්වලින් වගේම විවිධ දාර්ශනිකයන්ගේ අදහස්වලින් මම පෝෂණය ලබනවා. ඒ වගේම මිනිසුන් සමඟ ජීවත් වෙමින් ලබන අත්දැකීම්වලින් පෝෂණය වෙමින් ඇතැම් වියතුන්ගේ සහ කලා කෘතිවලින් ලැබෙන දැනුමෙන් ලෝකය දෙස බැලීම තමයි මම කරන්නේ.


ප්‍රශ්නය:
වර්තමාන සමාජයේ ලිංගික අනන්‍යතාව (Transgender), ශරීරය පිළිබඳව විවේචන (Body shaming) වැනි මාතෘකා දැඩි ලෙස කතා බහට ලක්වන ප්‍රවණතාවයන් බවට පත්ව තිබෙනවා. නාට්‍ය කලාව තුළ මේවා නිරූපණය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

රාජිත:
ඇත්තටම ඒ වගේ කරුණු පිළිබඳව ගැඹුරින් තේරුම් ගැනීමට අවශ්‍ය දැනුවත්භාවය මා තුළ තවමත් සීමිතයි. ඒ පිළිබඳව මගේ ඇති සීමිත අත්දැකීම් සහ දැනුම මත පදනම් වෙමින් අදහස් කියන්න මට පුළුවන්කමක් නෑ.

img-20261019-223325-mceclip4-Njpe3u.jpg


වර්ණ සංකලනය සහ 90 දශකයේ සංගීතය

ප්‍රශ්නය:
‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍යයේ වර්ණ භාවිතය සහ සංගීතය නිර්මාණය කිරීමේදි ඔබ විශේෂ අවධානයක් යොමු කළේ මොන වගේ කරුණු කෙරෙහිද?

රාජිත:
මේ නාට්‍යයේ ආරම්භයේ තියෙන්නේ මිතුරියන් පිරිසකගේ සුහද හමුවක්. ඔවුන් ගී ගයමින් නටමින්, කමින් බොමින් ප්‍රීතියෙන් ගත කරන්න සූදානම් වෙන මොහොතක්. නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කරනකොට වර්ණවත් ඇඳුම් නාට්‍යයේ මුල් භාගයේදී භාවිත වෙනවා. මේ නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළ අමා විජේසේකර සහ සුරේනි ලෙනෝරා ඉදිරිපත් කළ වර්ණ සංකලනයන්ට මං ගොඩක් කැමති වුණා.

සංගීතය ගැන කතා කළොත් මේකෙ සංගීතය නිර්මාණය කල මහීර දිසානායකට මම කිව්ව දේ තමයි නාට්‍යයේ අපට හමුවන මැදි වියේ සහ ඊට ආසන්න අය ඒගොල්ලන්ගේ යොවුන් වියේදී අහපු සංගීතයක් තමයි ඕනෙ කියලා. 90 දශකයේ ජනප්‍රිය ගීතවල ස්වභාවය සිහිපත් වන අතරම අලුත් පරම්පරාවට සමීප වෙන විදියටත් ගීත නිර්මාණය කිරීමට මහීර ගත්ත උත්සාහය සාර්ථකයි කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.

img-20261019-223348-mceclip5-BHjqWV.jpg


“තටු පිටින් බිම වැටීම” සහ සමකාලීන දේශපාලනය

ප්‍රශ්නය:
‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍යය පුරාවටම මනුෂ්‍ය බැඳීම්, ආදරය සහ නිදහස ගැන ගැඹුරින් කතා කෙරෙනවා. එහි එන සුජීවාගේ චරිතය එක් අවස්ථාවක පවසනවා “නිදහසේ ඉගිලිලා හිතට රිසි සේ පියාඹනකොට වෙඩි තිබ්බොත් තටු පිටින් බිම” කියලා. මෙහි ප්‍රබල රූපකය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?

රාජිත:
මෙම නාට්‍යයේ බොහෝමයක් දෙනාගේ ඇතුළත සිහිනය තමයි නිදහසේ ඉගිලිලා හිතට රිසි සේ පියාඹන එක. ඒ වුණාට නිදහසේ පියාඹන්න හිතන ඕනම මොහොතක අපේ සමාජයේ තටු සිඳී යාමේ අනතුරක් තියෙනවා. අපේ සමාජයේ ඇතැම් කෙනෙක් අපේක්ෂා කරන නිදහස අහිමි වෙන්නට ඕනම මොහොතක ඉඩ තිබෙනවා කියන එක ඒ දෙබසින් ප්‍රකාශ වෙනවා. ඒ දෙබස අවස්ථා කිහිපයකදීම අපිට නාට්‍යයේදී ඇහෙනවා.


ප්‍රශ්නය:
‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍යයේදී කඳුළු ගෑස්, අරගලය, කොවිඩ් වසංගතය, මැතිවරණ සහ යුද්ධය වගේ වචන සමහර චරිත මඟින් කියවෙනවා. ඒ වුණාට නාට්‍ය අරගලය, මැතිවරණය හෝ යුද්ධය ගැන නෙවෙයි. මේ භාවිතය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

රාජිත:
නාට්‍යයේ අපට හමුවන චරිත ගත කරන කාලය මතු කරන්න තමයි එහෙම භාවිත කරන්නේ. ඒ වගේම ඒ ඒ චරිත සිතන විදිය, දකින විදිය එමඟින් ඉඟි කෙරෙනවා. නාට්‍යය ගලාගෙන යන කතා පුවතට සම්බන්ධ චරිත අරගලයට පසු සහ ජනාධිපතිවරණයට පෙර කාල සමය තුළ මුහුණ දෙන සිද්ධියක් තමයි අපි නාට්‍යයෙන් දකින්නේ. මේ නාට්‍යයට පසුබිම් වන නිශ්චිත කාලය මතු කරන්න චරිත කතා වෙන දේවල් උදව් වෙනවා.

img-20261019-223420-mceclip6-mrbnFm.jpg


මිනීමරුවා සමඟ ජීවත් වීමේ සමාජ ඛේදවාචකය

ප්‍රශ්නය:
“You have to kill the killer or live with the killer” (ඔබට මිනීමරුවා මරා දැමීමට හෝ මිනීමරුවා සමඟ ජීවත් වීමට සිදු වේ) යන දෙබස මේ නාට්‍යයේදි මට බොහෝ තදබල ලෙස දැනුණා. එම දෙබස ඒ මොහොතේ ඒ චරිතයට විතරක් නෙවෙයි අපේ සමාජයටත් අදාළ වෙනවා නේද?

රාජිත:
අපේ සමාජය තුළ අපි මිනීමරුවන් කියා දන්නා ඇතැම් පිරිස් කිසිදු දඬුවමකට ලක් නොවී නිදහසේ සැරිසරනවා. අපි එවැනි පිරිසක් සමඟ මේ සමාජය තුළ හිත හදාගෙන ජීවත් විය යුතුද යන ප්‍රශ්නය මට තිබෙනවා.

මේ නාට්‍යයේදී මම මතු කරන්නේ තමන් ආදරය කරපු කෙනෙකුව මරා දැමූ කෙනා සමඟ තව දුරටත් ජීවත් විය හැකිද යන ප්‍රශ්නය. මෙම නාට්‍යයේදී තරුෂි මුහුණ දෙන තත්ත්වය අපිට සමාජය තුළත් මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා.

 

img-20261019-223444-mceclip7-NFL5U9.jpg


ඉදිරි ගමන: දශක තුනක නාට්‍ය නැවත වේදිකාවට

ප්‍රශ්නය:
නාට්‍යකරුවෙකු ලෙස ඔබගේ ඉදිරි සැලසුම් මොනවාද?

රාජිත:
අපි හිතුවා දශක තුනකට වැඩි කාලයක් පුරාවට අපි කරපු නාට්‍ය ආපහු බලමු කියලා. ඒ නාට්‍ය බලපු නැති පිරිසක් වගේම ආපහු බලන්න කැමති පිරිසකුත් ඉන්නව කියලා අපි හිතනවා. මේක එක දිගට අවුරුද්දකදී සිද්ධ වෙන දෙයක් නෙවෙයි. 2027 ජනවාරියේ සිට ඉදිරි අවුරුදු හතරක කාලය තුළ අපි උත්සාහ කරනවා අඩුම වශයෙනුත් අපි කරපු නාට්‍ය අටක්වත් නැවත රඟ දක්වන්න.

මේ වැඩේට මාත් එක්ක අලුත්ම පිරිසක් වගේම දීර්ඝ කාලයක් මාත් එක්ක අපේ නාට්‍යවලට සම්බන්ධ වුණ පිරිසකුත් එකතු වෙනවා.

90 දශකයේ අපි මුලින්ම රඟ දක්වපු අපේ නාට්‍ය ඒ දශකවල දැනුණ අපූර්වත්වය අද දවසේදී අපිට කොහොමද දැනෙන්නේ කියලා අපි බලමු. ඒ වගේම ඒ ඒ දශකවල ඒ නාට්‍ය නිර්මාණය වන්නට පාදක වූ අපේ ජීවිත අත්දැකීම්, සමාජ, දේශපාලන, සංස්කෘතික පසුබිම ගැනත් නැවත හිතා බැලීමක් කරන්නත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් කියලත් මට හිතෙනවා.

මෙම නාට්‍ය මාලාවේ මුල්ම නාට්‍ය විදියට ‘ආදර වස්තුව’ නාට්‍යය 2027 ජනවාරි 23 සවස 07.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දක්වනවා.

(සංවාද සටහන | දිමුත්මා සන්දීපනි රණබාහු
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

dimuthma20rms@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...