තාක්ෂණික දෝෂයක වගකීම සමාව ලැබූ පාර්ශ්වයට පැටවිය නොහැකියි
පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් සමාව ලබාදෙනු ලැබුවේ මහානායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ ලිඛිත ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කරයි.
එම තීරණයේ පටිපාටිගත තාක්ෂණික දෝෂයක් මතු වූයේ නම් එහි වගකීම අදාළ රාජ්ය නිලධාරී යාන්ත්රණය සතු මිස සමාව ලබන තැනැත්තා සතු නොවන බව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (19) පැවති මාධ්ය හමුවේදී ඔහු පෙන්වා දුන්නේය.
මහානායක හිමිවරුන්ගේ එම ස්ථාවරය අදටත් නොවෙනස්ව පවතින හෙයින්, ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සතු විධායක බලතල භාවිත කර එම අඩුපාඩු නිරවුල් කොට උන්වහන්සේට යළි පූර්ණ සමාවක් ලබාදීමේ නීතිමය ඉඩකඩ පවතින බව ඔහු සඳහන් කළේය.
අල්ලස් කොමිසමේ කැඳවීම සහ දේශපාලන පසුබිම
2009 යුද ජයග්රහණයෙන් පසු විදේශ කටයුතු අමාත්යාංශයේ පැවති සාකච්ඡාවක තොරතුරු ලබාගැනීම වෙනුවෙන් හෙට දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින බව මහාචාර්යවරයා මෙහිදී හෙළි කළේය.
විදේශ අමාත්යවරයා ලෙස එවක පැවති නිල හමුවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ප්රකාශ කළ ඔහු, විමර්ශන කටයුතු සඳහා නීතිගරුකව පෙනී සිටින බව කියා සිටියේය.
නීතිමය ප්රතිපාදන සහ ජාත්යන්තර සම්ප්රදායන්
අධිකරණ පද්ධතිය තුළ අවසාන සහන සැලසීමේ ව්යවස්ථාපිත පුරුකක් ලෙස ජනාධිපති සමාව ක්රියාත්මක වන ආකාරය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මෙහිදී විස්තර කළේය.
එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි රටවල පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලදී පූර්ණ විධායක සමාව පිරිනැමූ අවස්ථා රැසක් පවතින බව ඔහු සිහිපත් කළේය.
විපක්ෂයේ අනෙකුත් නියෝජිතයින් නැගූ කරුණු
විරෝධතා දැක්වීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය සුරැකීම, මෑතකාලීන ආන්දෝලනාත්මක සිදුවීම් සහ විගණන වාර්තාවල කරුණු පිළිබඳව පාඨලී චම්පික රණවක මහතා අවධානය යොමු කළේය.
රටේ ඓතිහාසික ආගමික උරුමයන් සහ සාමාජික සංහිඳියාව රැකගැනීමේ අවශ්යතාව පිළිබඳව ආචාර්ය සුරේන් රාඝවන් මහතා සිය අදහස් පළ කළ අතර නව ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශිරාස් යූනුස් මහතාද අදහස් දැක්වීය.
මාධ්ය හමුවේ අදහස් දැක්වීම් නරඹන්න



