සාහිත්‍යය යනු මිනිස් සිත පහන් කරන, ඔවුන්ගේ සිතුම් පැතුම් පුළුල් කරන කණ්ණාඩියකි. අපේ රටේ විවිධ ලේඛකයින් විවිධ අත්දැකීම් පාදක කරගනිමින් නවකතා ලියා ඇත. ජයසිරි අලවත්ත ලියූ “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” කියන්නේ ඒ අතර අලුත් ම මෙන්ම වෙනස් ම අත්දැකීමක් ගෙන එන කෘතියකි. නම ඇසූ පමණින් අපට මතක් වන්නේ පැරණි කතාවක් වුණත්, මේ පොතේ ඇත්තේ මුළුමනින් ම වෙනස්, අපේ වර්තමාන සමාජයේ දැකිය හැකි සැබෑ ජීවිත අරගලයක කතාවකි. එක්තරා ආකාරයකට යම් පුද්ගලයකුගේ ජීවන අත්දැකීමක්ද විය හැකි ය.
ළගන්නාසුලු බස්වහර
මෙම කෘතිය ලියා ඇත්තේ සරල භාෂාවකිනි. පාඨකයාට කිසිදු වෙහෙසක් නොමැතිව පහසුවෙන් කියවාගෙන යෑමට හැකි වන පරිදි කතුවරයා වචන හසුරුවා ඇත. මෙහි පිටු 304ක් පමණ අඩංගු වන අතර, එය "බිසෝ ප්‍රකාශන" ආයතනය විසින් මුද්‍රණය කර එළිදක්වා ඇත. පොත දිගට ම කියවාගෙන යන විට අපට පෙනී යන්නේ, මෙහි කතුවරයා අප වටා සිටින සාමාන්‍ය මිනිසුන්ගේ සබඳතා සහ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ඉතා අපූරුවට මතු කර දක්වා ඇති බවයි.
කතාවේ මධ්‍යයේ සිටින්නේ තරුණයන් දෙදෙනෙකි. එක් අයෙක් යසසිරි නමින් යුත් කතානායකයා වන අතර අනෙක් තැනැත්තා සුසන්ත නම් වේ. මොවුන් දෙදෙනා ජීවිතයේ විවිධ අභියෝග හමුවේ එකට ජීවත් වන, එකිනෙකාට උදව් කරගන්නා මිතුරන් පිරිසකි. (මිතුරන් සහ අනෙකුත් චරිත ඔහු ගොඩනගා ඇත්තේ උත්තම පුරුෂ බස් වහර ගොඩනගමිනි. එය ඇත්තෙන් ම ඉතාමත් ළගන්නාසුලු ආකාරයකින් ගලා යෑමට සලස්සවා ඇත. කතුවරයා පෙර ලියූ අනෙකුත් නවකතාවල බස් වහරෙන් මෙය සපුරාම වෙනස් ආකාරයක ශෛලියකි. ඔහුගේ මා දක්නා තවත් එක් විශේෂත්වයක් වන්නේ කතාවෙන් කතාවට ඔහුට වෙනස් කරන භාෂා ශෛලිය යි.)
සාම්ප්‍රදායික රාමුවලින් බැහැර ව

ඔවුන් රැකියා කරන අතරතුර විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙයි. නගරයේ හෝ ගමේ රැකියාවක් කරමින් ජීවත් වීමට උත්සාහ කරන මේ තරුණයින්ගේ ජීවිත අරගලය ඉතා යථාර්ථවාදී ය. ඔවුන් අතර ඇති වන බැඳීම සාමාන්‍ය මිත්‍රත්වයකට වඩා ගැඹුරු ය. එකිනෙකාගේ දුකේ දී, සැපේ දී ළඟින් සිටීම, අත්වැල් බැඳගෙන ඉදිරියට යෑම සහ එකිනෙකා මත යැපීම මේ චරිත හරහා ඉතා සංවේදීව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම යසසිරි සහ සුසන්ත අතර ඇති බැඳීම ඉතාමත් කිට්ටු ළබැඳි සෙනෙහසින් යුත් බැඳීමක් බවට පොතෙහි යටි පෙළින් අපට පෙනී යයි.
අපේ සමාජයේ යම්කිසි රාමුවක් ඇත. “මිනිසුන් මෙසේ ජීවත් විය යුතුය”, “සමාජය අපෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ දේය” ආදී වශයෙන් නීති රීති පද්ධතියක් සමාජය විසින් සාදා තිබේ. නමුත් මේ පොතෙන් කතුවරයා උත්සාහ කරන්නේ ඒ සාම්ප්‍රදායික රාමුවලින් එපිටට ගොස් සිතීමටය.
සමාජ මනෝවිද්‍යාව සහ මානව සබඳතාවල ගැඹුර
මිනිසුන් අතර ඇති වන හැඟීම් සෑම විට ම එකම අච්චුවකට වැටෙන්නේ නැත. සමහර සබඳතා කිසිදු බාහිර ලාභයක් අපේක්ෂා නොකර, හුදෙක් ආත්මීය බැඳීමක් මත පමණක් පදනම් වේ. සමාජයේ විවිධ ඇනුම්පද, ගැරහුම් සහ විවේචන හමුවේ වුව ද, මේ තරුණයින් තම ජීවන ගමන ඉදිරියට ගෙන යන ආකාරය පාඨකයාගේ සිතට තදින් කාවදී.
බොහෝ දෙනකුට පොතේ නම ඇසූ විට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ පැරණි "හිඟන කොල්ලා" නම් ප්‍රසිද්ධ කතාව මතක් විය හැකි ය. නමුත් ජයසිරි අලවත්ත ලියූ මෙම "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා" ඊට මුළුමනින් ම වෙනස්ය. නමට අදාළ ලෙසින් කතාව ගොඩ නැගී ඇත්තේ ගාල්ලේ සරසවි සහ කුවීන්ස් චිත්‍රපට ශාලා දෙකෙහි එකවර ප්‍රදර්ශණය වෙමින් පැවති චිත්‍රපට දෙකක් අතරට මැදිවන තරුණයකුගේ ජීවිත අත්දැකීම් ගලා යෑම පිළිබඳව ය. මෙය නාමිකව සමාන වුවද, අන්තර්ගතයෙන් අතිශයින්ම ස්වාධීන වූ, වර්තමාන සමාජ මනෝවිද්‍යාව සහ මානව සබඳතාවල ගැඹුරු බව පෙන්වා දෙන නවකතාවකි.
කෘතියෙහි විදාරණය
මෙම කෘතිය කියවන විට අපට වැටහී යන්නේ 'හිඟනකම' යනු ශරීරයේ දුප්පත්කම පමණක්ම නොවන බවයි. සමහර විට සමාජයේ සම්මත ඉදිරියේ ආත්මය විකුණා කන මිනිසුන්ට වඩා, කිසිවක් නැතත් අවංක හැඟීම් ඇති මිනිසුන් කොතරම් පොහොසත්ද යන්න මෙමඟින් ඉස්මතු කරයි.

සාරාංශයක් ලෙස කිවහොත්, “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” යනු අපේ කාලයේ කියවිය යුතුම අපූරු නවකතාවකි. එය අපට උගන්වන්නේ මිනිස්කම යනු කුමක්ද යන්නයි. තරුණ ජීවිතවල ඇති වන නොසන්සුන්බව, බලාපොරොත්තු, බලාපොරොත්තු කඩවීම් සහ අවසානයේ සියලු දුක් උහුලාගෙන ඉදිරියට යෑමේ ශක්තිය මෙම කෘතිය පුරා ම විසිරී ඇත.
සාහිත්‍යයට ප්‍රිය කරන, වෙනස් ආකාරයේ ගැඹුරු කතාවක් කියවීමට කැමති ඕනෑම අයෙකුට මෙම පොත ඉතා අගනා කියැවීමක් වනු ඇත. එය අපගේ හදවත් ස්පර්ශ කරන, අප සමාජය දෙස වෙනස් ඇසකින් බැලීමට පුරුදු කරන අපූරු නිර්මාණයකි.

සටහන - ඒ. චානක තිලකරත්න
උපුටා ගත්තේ Chanaka Thilakarathna ගේ face book පිටුවෙන්



