අත්තිකාරම් මුදල් ලංකාවට ඇවිත් ඇත්තේ උණ්ඩියල් ක්‍රමයට - සැකකරුවන් 3 දෙනාම එකම යානයකින් ඩුබායි ගිහින්
"අනිවාර්යෙන්ම පක්ෂයෙන් ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා" - විපක්ෂ නායකයාගෙන් විනය පරීක්ෂණයක්
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' ට එරෙහිව පවතින විමර්ශන ලිහිල් කරදීම සඳහා රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) පස්වරුවේ නියෝග කළේය.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිවාසවලදී අත්අඩංගුවට ගෙන පැය 8කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
රාජ්‍ය ආරක්ෂක සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තලයේ දේශපාලන හා නිල සබඳතා භාවිත කරමින්, මෙරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියෙන් නිදහස් කරගැනීම සඳහා සිදුකර ඇති බරපතළ මූල්‍ය ගනුදෙනුවක් අල්ලස් කොමිසම විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇත. මෙම සිදුවීම වත්මන් දේශපාලන ව්‍යුහය තුළ ද දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර තිබේ.
අල්ලස් කොමිසම අධිකරණයට අනාවරණය කළ ප්‍රධාන කරුණු
ඩුබායි මෙහෙයුම සහ කෝටි 50ක ඉල්ලීම:
'හරක් කටා' මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් නියෝග මත සිටි 2023 මාර්තු මාසයේදී, සැකකරුවන් තිදෙනා එකම ගුවන් යානයකින් ඩුබායි බලා ගොස් ඇත. එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ 'මිදිගම රුවන්' නමැති අපරාධකරු හමුවී, හරක් කටා ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත් කිරීම සහ බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් ස්ථානයකට මාරු කරදීම වෙනුවෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඇත.
කෝටි 12ක් උණ්ඩියල් ක්‍රමයට ගෙන්වීම:
පසුව එම එකඟතාව රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර ඇති අතර, ඉන් අත්තිකාරම් ලෙස පළමුව කෝටි 10ක් ද, පසුව තවත් කෝටි 2ක් ද වශයෙන් රුපියල් කෝටි 12ක මුදලක් 'උණ්ඩියල්' (Undiyal system) ක්‍රමය හරහා මෙරටට ගෙන්වාගෙන ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ. මුදල් ලබාගැනීමෙන් පසු සැකකරුවන් තිදෙනාම යළි එකම ගුවන් යානයකින් ලංකාවට පැමිණ ඇත.
සජබ ආසන සංවිධායකට විනය පරීක්ෂණයක්:
පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, අත්අඩංගුවට පත් තම පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි විනය පරීක්ෂණයක් පවත්වා ගතහැකි උපරිම ඉහළම පියවර ගන්නා බවයි. තමන්ගේ පක්ෂය තුළ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට කිසිදු ඉඩක් නොමැති බව විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.




